Skip to content

එරිත්‍රියාව

විශ්වාසය නිසා සිරදඬුවම් විඳියි - එරිත්‍රියාව

විශ්වාසය නිසා සිරදඬුවම් විඳියි - එරිත්‍රියාව

එරිත්‍රියාවේ ආණ්ඩුව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව අත්අඩංගුවට අරගෙන එයාලව සිරගත කරන්නේ කාලයක් තිස්සේ. කාන්තාවන් සහ මහලු අයවත් ආගමික හේතුවලට විතරක් නෙමෙයි, හේතුවක් නැතුවත් නඩු විභාගයකින් තොරව සිරගත කරනවා. එරිත්‍රියාවේ ජනාධිපති එෆර්කි 1994 ඔක්තෝබර් 25වෙනිදා ජනාධිපති නියෝගයක් මගින් සාක්ෂිකරුවන්ගේ පුරවැසිභාවය අහෝසි කළා. 1993දී නිදහස ලබාගැනීම සම්බන්ධයෙන් කළ ජනමත විමසුමේදී සාක්ෂිකරුවන් ඡන්දය පාවිච්චි නොකිරීම සහ හෘදය සාක්ෂිය ඉඩ නොදෙන නිසා හමුදා සේවයට බැඳෙන්නේ නැතුව ඉන්න තීරණය කිරීම වගේ දේවල් ඒකට හේතු විදිහට දක්වලා තිබුණා. බලෙන් හමුදා සේවයට බඳවාගන්න නීතිය ක්‍රියාත්මක කරන්න කලින් හමුදා සේවය වෙනුවට කරන්න පුළුවන් වෙනත් පොදු සේවයක් එරිත්‍රියානු බලධාරීන් සැලසුම් කරලා තිබුණා. විවිධ රාජ්‍ය ආයතන යටතේ සැලසුම් කර තිබූ එම පොදු සේවාවන්ට සාක්ෂිකරුවන් හුඟදෙනෙක් සහභාගි වුණා. නිලධාරීන් විසින් “රජයේ අනිවාර්යය සේවය අවසන් කිරීමේ සහතික” ඔවුන්ට ප්‍රධානය කරමින් බොහෝ විට ඔවුන් ඉටු කළ සේවයට ඔවුන්ට ප්‍රශංසාත් කළා. ඒත් දැන් ජනාධිපති නියෝගය පදනම් කරමින් එරිත්‍රියානු ආරක්ෂක හමුදා යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ව සිරගත කර, ඔවුන්ට වධ දී, කෙනෙහිලිකම් කරනවා. එහෙම කරන්නේ සාක්ෂිකරුවන්ට ඔවුන්ගේ විශ්වාසය අත්හරින්න බල කරන්නයි.

සාක්ෂිකරුවන් 39දෙනෙක් (සහෝදරයන් 27දෙනෙක් සහ සහෝදරියන් 12දෙනෙක්) තවමත් සිරගතව සිටිනවා. 2020 දෙසැම්බර් 4වෙනිදා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් 28දෙනෙක්ව (සහෝදරයන් 26දෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක්) බලධාරීන් විසින් නිදහස් කෙරුවා. ඒ අය අවුරුදු 5ත් 26ත් අතර කාලයක් සිරගතව සිටි අයයි. 2021 ජනවාරි 29වෙනිදා අවුරුදු 12ක් පුරා සිරගතව හිටපු සාක්ෂිකරුවෙක් නිදහස ලැබුවා. 2021 පෙබරවාරි 1වෙනිදා තවත් සාක්ෂිකරුවන් 3දෙනෙක්ව නිදහස් කළා. (එක සහෝදරයෙක්ව සහ සහෝදරියන් දෙන්නෙක්ව) ඒ තුන්දෙනා අවුරුදු 4ත් 9ත් අතර කාලයක් සිරගතව හිටපු අයයි.

දරුණු තත්වයන් නිසා සිරගතව ඉද්දිම මිය ගිය සාක්ෂිකරුවන්

මේ වෙද්දී එරිත්‍රියාවේ සිරගතව ඉද්දිම දිවි කෙළවර වුණු සාක්ෂිකරුවන්ගේ ගණන 4ක්. ඒ වගේම සිරගතව ඉද්දී විඳින්න සිදු වූ දරුණු තත්වයන් නිසා මහලු සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සිරෙන් නිදහස් වුණාට පස්සේ මිය ගියා.

මායි සර්වා බන්ධනාගාරයට යැව්වාට පස්සේ 2018දී සාක්ෂිකරුවන් දෙදෙනෙක් මිය ගියා. 2018 ජනවාරි 3වෙනිදා හබ්ටමිකායෙල් ටෙස්ෆමාරියම් මිය ගියා. එතකොට ඔහුට වයස 76යි. හබ්ටමිකායෙල් මෙකෝනන් මිය ගියේ 2018 මාර්තු 6වෙනිදා. ඒ වෙද්දී ඔහු පසු වුණේ 77වෙනි වියේ. කිසිම නඩු විභාගයක් නැතුව එරිත්‍රියානු බලධාරීන් මේ මහලු පුරුෂයන් දෙදෙනාව සිරගත කළේ 2008දී.

මෙයිට කියන ප්‍රදේශයේ තියෙන සිරකඳවුරේ 2011 සහ 2012 වසරවලදී සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සිදු කළ අමානුෂික වද හිංසා නිසා ඔවුන් මිය ගියා. ඒ කඳවුරේ “භූගත කුටිය” කියලා තැනක් තියෙනවා. එහි සිර කරලා හිටපු 62 හැවිරිදි මිස්ගිනා ගෙබ්‍රෙටින්සෙ ඒ කුටියේ අධික රස්නය දරාගන්න බැරුව 2011 ජූලි මාසෙදි මිය ගියා. ඒ හා සමාන තත්වයන් යටතේ අවුරුදු 4ක විතර කාලයක් හුඟක් දුක් විඳපු 68 හැවිරිදි යොහානස් හයිලෙ 2012 අගෝස්තු 16වෙනිදා කඳවුරේදීම මිය ගියා. තව මහලු සාක්ෂිකරුවන් 3දෙනෙක් සිරභාරයේදී විඳපු දුක් ගැහැටවල ප්‍රතිඵලයක් විදිහට සිරෙන් නිදහස් වුණාට පස්සේ මිය ගියා. කාසායි මෙකොන්නන්, ගොයිටොම් ගෙබ්‍රෙක්‍රිස්ත්‍රොස් සහ ට්සෙහායේ ටෙස්ෆාරියම් ඒ අයයි.

මානව හිමිකම් කොමිසමට අයත් ප්‍රධාන ආයතනවල යෝජනා නොසලකාහරියි

එරිත්‍රියාව දිගින් දිගටම මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිති නොසලකා හරිනවා. මෙලෙස මූලික මානව හිමිකම් උල්ලංගනය කිරීම හෙළා දකිමින් මූලික අයිතිවාසිකම් රකින ප්‍රධාන ආයතන එරිත්‍රියාවේ ආණ්ඩුවට බල කර තිබෙන්නේ තත්වය නිවැරදි කරන්න කියලයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයා විසින් එරිත්‍රියාව සම්බන්ධයෙන් ලබා දුන් වාර්තාව 2014දී මානව හිමිකම් කවුන්සිලය (HRC) මගින් සලකා බැලුවා. තමන්ගේ හෘදය සාක්ෂිය ඉඩ නොදෙන නිසා හමුදා සේවයට බැඳෙන්නේ නැතුව ඉන්න “සම්මත ජාත්‍යන්තර නීතිවලට අනුව” කෙනෙක්ට තියෙන නිදහසට ගරු කරන්න කියලත් “සියලුම රැඳවියන්ගේ ශාරීරික ආරක්ෂාව තහවුරු කරන්න, අවශ්‍ය අයට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න, . . . සිරකුටිවල තත්වය ජාත්‍යන්තර ප්‍රමිතියට ගෙන එන්න” කියලත් ඒ වාර්තාවේ එරිත්‍රියාවේ බලධාරීන්ට බල කර තිබුණා. 2015දී මානව හිමිකම් කවුන්සිලය ලබාගත් සම්මුතියක් මගින් එරිත්‍රියාවේ බලධාරීන්ගෙන් පැහැදිලිව ඉල්ලා සිටියේ “හෘදය සාක්ෂිය ඉඩ නොදෙන නිසා හමුදා සේවයට බැඳෙන්නේ නැතුව සිරගතව ඉන්න අයට නිදහස ලබා දෙන්න” කියලයි.

2016දී එරිත්‍රියාවේ මානව හිමිකම් කඩ කිරීම් විමර්ශනය කිරීමට පත් කළ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඇතුළු අනිත් අයට ඔවුන්ගේ “ආගම හෝ වර්ගය පදනම් කරගෙන සිදු කරන පීඩා” නිසා එරිත්‍රියාවේ ආණ්ඩුව මුළු “මිනිස් සංහතියටම විරුද්ධව බරපතළ අපරාධයක්” කර තිබෙන බවයි.

2017දී ළමා අයිතිවාසිකම් සහ සුභසාධනය පිළිබඳ ප්‍රවීණයන්ගෙන් සමන්විත අප්‍රිකානු කමිටුව (ACERWC) ප්‍රකාශ කළේ ළමා ආරක්ෂක නීතිරීති රට තුළ ක්‍රියාත්මක වුණත් “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ දරුවන්ට” ඒ නීතිවලින් ප්‍රයෝජන ගන්න හැකි වී නැති අතර ඒ දරුවන් දරුණු ලෙස ළමා හිංසනයට ගොදුරු වෙනවා කියලයි. “දරුවෙකුට නිදහසේ සිතන්න, ආගමක් අදහන්න සහ හෘදය සාක්ෂියට එකඟව කටයුතු කරන්න තියෙන අයිතිය පිළිගෙන ඒ අයිතීන් සම්පූර්ණයෙන්ම සුරක්ෂිත කරන්න” කියලා ඒ කමිටුව එරිත්‍රියාවේ බලධාරීන්ට පැහැදිලිව කියා සිටියා.

“සිරභාරයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඇතුළු සියලුම රැඳවියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමට හේතුව සොයා බැලීමට වහාම පියවර ගන්න” කියා මානව සහ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ අප්‍රිකානු කොමිසම 2018දී එරිත්‍රියාවේ ආණ්ඩුවට බල කර සිටියා. ඒ වගේම සිරගතව ඉද්දී මිය ගිය සාක්ෂිකරුවන්ගේ මරණවලට හේතුව සොයා බලන්න කියාත් ඔවුන් තදින්ම ඉල්ලා සිටියා. සෑම සාක්ෂිකරුවෙකුටම “රටේ පුරවැසියෙක් විදිහට ලැබිය යුතු අයිතිවාසිකම් ලබා දෙන්න“ එරිත්‍රියාවේ ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි කියලත් ඔවුන් කියා සිටියා.

2019 මැයි මාසයේදී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව (CCPR) එරිත්‍රියාවේ ආණ්ඩුවට බල කර සිටියේ කෙනෙකුට තමන්ගේ ආගම ඇදහීමට තිබෙන නිදහස තහවුරු කළ යුතුයි කියලයි. ඒ වගේම “තමන් කැමති ආගමක් ඇදහීමට තියෙන නිදහස පාවිච්චි කළ නිසා අත්අඩංගුවට ගත් හෝ රඳවාගෙන සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඇතුළු සියලුදෙනාව නිදහස් කිරීමට පියවර ගන්න කියලයි.” “තමන්ගේ හෘදය සාක්ෂිය ඉඩ නොදෙන නිසා හමුදා සේවයට බැඳෙන්නේ නැතුව ඉන්න කෙනෙකුට තියෙන අයිතිය නීත්‍යානුකූල කර එවැනි අයට වෙනත් පොදු සේවයක් කිරීමට අවස්ථාව සලසා දෙන්න” කියාත් මානව හිමිකම් කමිටුව එරිත්‍රියාවේ බලධාරීන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටියා.

එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු එරිත්‍රියානු රජයෙන් ඉල්ලා තිබුණ දේවල් 2021 මැයි 12දා ඔහුගේ වාර්තාවේ මේ විදිහට සඳහන් වුණා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 20දෙනා ඇතුළු තමන්ගේ විශ්වාසයන් නිසා චෝදනාවක් හෝ නඩු විභාගයකින් තොරව සිරගත කර සිටින සියලුදෙනාව කොන්දේසි විරහිතව, වහාම නිදහස් කරන්න.” ඒ වාර්තාවේ මෙහෙමත් සඳහන් වුණා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ආගමික බැඳීම් නිසා ඔවුන්ගේ පුරවැසිභාවය ඉවත් කිරීමට ගත් තීරණය නැවත සලකා බලන්න. ඔවුන්ගේ පුරවැසි අයිතිය තබාගැනීම සහතික කිරීම සඳහා මානව සහ මහජන අයිතිවාසිකම් පිළිබඳ අප්‍රිකානු කොමිසමේ නිර්දේශයට ගරු කරන්න. අත්අඩංගුවේ රඳවාගෙන සිටියදී මිය ගිය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මරණ පිළිබඳව විමර්ශනය කරන්න.”

දින නියමයක් නැතුව සිරගතව

දින නියමයක් නැතුව සිරගතව සිටින පිරිමි සාක්ෂිකරුවන් හුඟදෙනෙක්ට මැරෙන තුරු හෝ මරණාසන්න වෙන තුරු නිදහස ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න අමාරුයි. රටේ නිසි නීතික ක්‍රියා පරිපාටියක් නැති නිසා නඩු මඟට බසින්න හරි හැටි ක්‍රමයක් නැහැ. ඒකේ අවසන් ප්‍රතිඵලය විදිහට එයාලට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින්න සිදු වෙලා තියෙනවා.

කාල රේඛාව

  1. 2024 ජූනි 17

    සිරගත කරලා තියෙන සාක්ෂිකරුවන්ගේ මුළු ගණන 39යි.

  2. 2021 පෙබරවාරි 1

    සාක්ෂිකරුවන් තුන්දෙනෙක්ව නිදහස් කරයි.

  3. 2021 ජනවාරි 29

    එක සාක්ෂිකරුවෙක්ව නිදහස් කරයි.

  4. 2020 දෙසැම්බර් 4

    සාක්ෂිකරුවන් 28දෙනෙක්ව නිදහස් කරයි.

  5. 2018 මාර්තු 6

    මායි සර්වා සිරගෙට මාරු කළාට පස්සේ 77 හැවිරිදි හබ්ටමයිකල් මෙකොනෙන් මරණයට පත් වුණා.

  6. 2018 ජනවාරි 3

    මායි සර්වා සිරගෙට මාරු කළාට පස්සේ 76 හැවිරිදි හබ්ටමයිකල් ටෙස්ෆමාරියම් මරණයට පත් වුණා.

  7. 2017 ජූලි

    මෙයිට සිරකඳවුරේ සිටි සියලුම සාක්ෂිකරුවන්ව අස්මාරා නගරයට එපිටින් තියෙන මායි සර්වා සිරකඳවුරට මාරු කළා.

  8. 2014 ජූලි 25

    අප්‍රියෙල් 14වෙනිදා අත්අඩංගුවට ගත්ත අයගෙන් හුඟදෙනෙක්ව නිදහස් කළත් අප්‍රියෙල් 27වෙනිදා අත්අඩංගුවට ගත්ත 20දෙනා තවම ඉන්නේ සිරභාරයේ. සිරගත කළ මුළු සාක්ෂිකරුවන් ගණන 73යි.

  9. 2014 අප්‍රියෙල් 27

    බයිබල් තොරතුරු සාකච්ඡා කරන රැස්වීමකදී සාක්ෂිකරුවන් 31දෙනෙක්ව අත්අඩංගුවට ගත්තා.

  10. 2014 අප්‍රියෙල් 14

    අවුරුදු පතා පවත්වන යේසුස්ගේ මරණය සිහි කිරීම අතරතුරේ සාක්ෂිකරුවන් 90කට වඩා වැඩිදෙනෙක්ව අත්අඩංගුවට ගත්තා.

  11. 2012 අගෝස්තු 16

    සිරභාරයේදී ඉතාම දරුණු තත්වයන්ට මුහුණ දීලා 68 හැවිරිදි යොහානස් හයිලෙ මිය ගියා.

  12. 2011 ජූලි

    සිරභාරයේදී ඉතාම දරුණු තත්වයන්ට මුහුණ දීලා 62 හැවිරිදි මිස්ගිනා ගෙබ්‍රෙටින්සෙ මිය ගියා.

  13. 2009 ජූනි 28

    සාක්ෂිකරුවෙක්ගේ නිවසේ පවත්වමින් තිබුණ ආගමික රැස්වීමක් අතරතුර එතන රැස් වෙලා හිටපු අවුරුදු 2 සිට 80 දක්වා වයස්වල සාක්ෂිකරුවන් 23දෙනාවම බලධාරීන් අත්අඩංගුවට ගත්තා.

  14. 2009 අප්‍රියෙල් 28

    පොලිස් ස්ථානයේ රඳවාගෙන සිටි සාක්ෂිකරුවෙක් හැර අනිත් හැම සාක්ෂිකරුවෙක්වම මෙයිට සිරකඳවුර වෙත යැව්වා.

  15. 2008 ජූලි 8

    සාක්ෂිකරුවන් 24දෙනෙක්ව අල්ලාගන්න බලධාරීන් නිවාස සහ රැකියා ස්ථාන වැටලුවා. ඒ අතරින් වැඩිදෙනෙක් පවුලේ අයව බලාගන්න රස්සාවල් කළ අය.

  16. 2002 මැයි

    ආණ්ඩුවෙන් අවසර දීලා තිබුණ ආගම් 4ට අයිති නැති සියලුම ආගම් රට තුළ ක්‍රියාත්මක වීම තහනම් කරයි.

  17. 1994 ඔක්තෝබර් 25

    ජනාධිපති නියෝගය මගින් යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ගේ පුරවැසිභාවය සහ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් නැති කරයි.

  18. 1994 සැප්තැම්බර් 17

    පාවුලොස් එයාසු, ඉසාක් මොගොස් සහ නෙගේඩේ ටෙක්ලමාරියම් යන අයව චෝදනාවක් හෝ නඩු පැවරීමක් නැතුව සිරගත කරයි.

  19. 1950 ගණන්වල

    එරිත්‍රියාවේ යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන් තමන්ගේ නමස්කාර කටයුතු පටන්ගනියි.