Skip to content

පටුනට යන්න

2

ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලේ දෙවිගේ නාමය

ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලේ දෙවිගේ නාමය

දෙවිගේ නාමය පෙන්වීමට යොදාගෙන තිබෙන අක්ෂර හතර (יהוה) හෙබ්‍රෙව් ලියවිලිවල 7,000කට ආසන්න වතාවක් සඳහන් වෙනවා කියා බයිබල් විශාරදයන් පිළිගන්නවා. නමුත් බොහෝදෙනෙක් සිතන්නේ මුල් ක්‍රිස්තියානි ග්‍රීක පිටපත්වල එය දකින්න නැහැ කියායි. එම හේතුව නිසා මේ කාලයේ ඇති බයිබල් පරිවර්තනවල නව ගිවිසුම ලෙස හඳුන්වන කොටසේ “යෙහෝවා” යන දෙවිගේ නම දකින්න නැහැ. හෙබ්‍රෙව් ලියවිල්ලෙන් උපුටා දක්වා ඇති කොටස් පරිවර්තනය කරද්දී එම කොටසේ හෙබ්‍රෙව් අක්ෂර හතර සඳහන් වී තිබූ තැන්වල දෙවිගේ නම සඳහන් කරනවා වෙනුවට “ස්වාමීන්” කියන වචනය යොදාගෙන තිබෙනවා.

නමුත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ විවිධ භාෂාවලට පරිවර්තනය කරද්දී එසේ කර නැහැ. එහි ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලේ දෙවිගේ නම 237 වතාවක් දකින්න තිබෙනවා. දෙවිගේ නම ඇතුළත් කිරීමට ඔවුන් තීරණය කළේ මෙම ප්‍රධාන කාරණා දෙක සැලකිල්ලට ගත් නිසයි. (1) ග්‍රීක ලියවිල්ලේ මුල් පිටපත් අද දින සොයාගන්න නැහැ. ග්‍රීක ලියවිල්ලේ අත්පිටපත් මේ වෙනකොට දහස් ගණනක් තිබුණත් ඒවා පිටපත් කර ඇත්තේ මුල් පිටපත් සකස් කර අඩුම තරමේ අවුරුදු 200කට පමණ පසුවයි. (2) එම කාලයේදී අත්පිටපත්කරුවන් දෙවිගේ නම නියෝජනය කළ අක්ෂර 4 වෙනුවට ග්‍රීක බසින් “කිරියොස්” එනම් “ස්වාමීන්” යන්න යෙදුවා. එසේ නැතහොත් ඔවුන් පිටපත් කළේ ඒ වන විටත් එම වෙනස්කම කර ඇති අත්පිටපත්වලිනුයි.

මුල් ග්‍රීක අත්පිටපත්වල හෙබ්‍රෙව් අක්ෂර 4 ඇතුළත්ව තිබූ බවට සාක්ෂි තිබෙනවා යන කාරණය ගැන නව ලොව පරිවර්තන කමිටුවට සැකයක් තිබුණේ නැහැ. දෙවිගේ නම ග්‍රීක ලියවිල්ලට ඇතුළත් කරන්න ඔවුන් තීරණය කළේ පහත දැක්වෙන කරුණු පදනම් කරගෙනයි.

  • යේසුස් සහ ඔහුගේ නියෝජිතයන් සිටි කාලයේ භාවිත කළ හෙබ්‍රෙව් ලියවිල්ලේ අත්පිටපත්වල දෙවිගේ නම සඳහා යොදාගත් අක්ෂර 4 ඇතුළත් වුණා. එම කාරණය ගැන සමහරුන්ට සැකයක් තිබුණත් පළවෙනි සියවසේ භාවිත කළ හෙබ්‍රෙව් ලියවිලිවල පිටපත් කිහිපයක් කුම්රාන් ප්‍රදේශයෙන් සොයාගැනීමත් සමඟම එම සැකයත් නැති වී ගියා.

  • යේසුස් සහ ඔහුගේ නියෝජිතයන් සිටි කාලයේ ග්‍රීක බසට පරිවර්තනය කර තිබූ හෙබ්‍රෙව් ලියවිලිවල අත්පිටපත්වලත් හෙබ්‍රෙව් අක්ෂර 4 ඇතුළත් වුණා. බයිබල් විශාරදයන් සියවස් ගණනාවක් පුරා සිතුවේ හෙබ්‍රෙව් ලියවිලි ග්‍රීක බසට පරිවර්තනය කර තිබූ ‘සෙප්ටුඅජින්ට්’ පරිවර්තනයේ අත්පිටපත්වල දෙවිගේ නම නැහැ කියායි. නමුත් විසිවන සියවසේ මැදභාගය වන විට යේසුස්ගේ කාලයේ භාවිත කළ ග්‍රීක ‘සෙප්ටුඅජින්ට්’ පරිවර්තනයක කොටස් කිහිපයක් සොයාගත්තා. එම කොටස්වල හෙබ්‍රෙව් අක්ෂරවලින් දෙවිගේ නම ලියා තිබෙනවා. ඒ අනුව යේසුස්ගේ කාලයේ තිබූ ග්‍රීක භාෂාවට පරිවර්තනය කළ අත්පිටපත්වල දෙවිගේ නම තිබුණා කියා ඔප්පු වුණා. කෙසේවෙතත් ක්‍රි.ව. හතරවෙනි සියවස වන විට කෝඩෙක්ස් වැටිකනස් සහ කෝඩෙක්ස් සයිනයිටිකස් වැනි ග්‍රීක ‘සෙප්ටුඅජින්ට්’ පරිවර්තනයේ උත්පත්ති සිට මලාකි දක්වා පොත් ඇතුළත් අත්පිටපත්වල දෙවිගේ නම දකින්න නැහැ. එම කාලයේ සිට තිබූ පිටපත්වල දෙවිගේ නම සඳහන් වී නැත්නම් බයිබලයේ නව ගිවිසුම ලෙස හඳුන්වන ග්‍රීක ලියවිල්ලේ දෙවිගේ නම දකින්න නොලැබීම පුදුමයක්ද?

    යේසුස් දෙවිට කළ යාච්ඤාවක “ඔබ ලෝකයෙන් මට භාර දුන් මිනිසුන්ට මම ඔබේ නාමය ප්‍රකාශ කළා” කියා සඳහන් කළා. ඔහු දිගටම දෙවිගේ නාමය ගැන මිනිසුන්ට දැනුම් දෙනවා කියාත් පැවසුවා

  • යේසුස් නිතරම දෙවිගේ නම සඳහන් කළා කියාත් එය අන් අයට දැනුම් දුන්නා කියාත් ග්‍රීක ලියවිලිවල සඳහන් වී තිබෙනවා. ඔහු දෙවිට කළ යාච්ඤාවක මෙසේ සඳහන් කළා. “ඔබ ලෝකයෙන් මට භාර දුන් මිනිසුන්ට මම ඔබේ නාමය ප්‍රකාශ කළා.” ඔහු දිගටම දෙවිගේ නාමය ගැන මිනිසුන්ට දැනුම් දෙනවා කියාත් සඳහන් කළා.—යොහන් 17:6, 11, 12, 26.

  • හෙබ්‍රෙව් ලියවිලි හා සමානවම ග්‍රීක ලියවිලිත් දෙවිගේ මඟ පෙන්වීම යටතේ ලියා තිබූ නිසා දෙවිගේ නාමය ග්‍රීක ලියවිලිවල සඳහන් නොවීමට හේතුවක් නැහැ. පළවෙනි සියවසේදී යාකොබ් යෙරුසලමේ රැස්ව සිටි වැඩිමහල්ලන්ට මෙසේ පැවසුවා. “සිමියොන් අපට හොඳින් පැහැදිලි කළේ වෙනත් ජාතීන්වල මිනිසුන්ව තෝරාගැනීමට දෙවි මුල් වතාවට පියවර ගත් ආකාරයයි. දෙවි එසේ කළේ තම නාමය දැරීමට සෙනඟක් ඔවුන් අතරින්ද තෝරාගැනීමටයි.” (ක්‍රියා 15:14) පළවෙනි සියවසේ සිටි කිසිවෙක් දෙවිගේ නාමය නොදැන සිටියා නම් යාකොබ් එවැනි දෙයක් පවසයි කියා කොහොමටවත් සිතන්න බැහැ.

  • ග්‍රීක ලියවිලිවල දෙවිගේ නම කෙටි කර දක්වා තිබෙනවා. එළිදරව් 19:1, 3, 4, 6 යන පදවල“හලෙලූයා” යන වචනය සඳහන් වී තිබෙනවා. එහි “යා” යන්නෙන් යොමු දක්වන්නේ දෙවිගේ නාමයටයි. “හලෙලූයා” යන හෙබ්‍රෙව් වචනේ තේරුම “යෙහෝවාට ප්‍රශංසා කරන්න” යන්නයි. ග්‍රීක ලියවිල්ලේ සඳහන් බොහෝ නම් සෑදී තිබෙන්නෙත් දෙවිගේ නම ඇතුළත්වයි. යේසුස් යන නමේ අර්ථයත් “යෙහෝවා දෙන ගැලවීම” යන්නයි.

  • පුරාණ යුදෙව් ලියවිලිවලින් ඔප්පු වෙන්නේ යුදෙව් ක්‍රිස්තියානීන් ග්‍රීක භාෂාවෙන් ලියූ බයිබල් පොත්වල දෙවිගේ නම සඳහන් කර තිබූ බවයි. ක්‍රි.ව. 300දී පමණ ලියනු ලැබූ යුදෙව් නීති පොතක සඳහන් දෙයකින් එය තහවුරු වෙනවා. එහි සඳහන් වන ආකාරයට සබත් දිනකදී දෙවිගේ නම සඳහන් වන ලියවිලි ඇතුළුව ඕනෑම ක්‍රිස්තියානි ලියවිල්ලක් පිළිස්සිය හැකියි. ක්‍රි.ව. දෙවෙනි සියවසේ මුල්භාගයේ රබ්බීවරයෙක් වූ යෝසේ පැවසූ දෙයක්ද එම පොතේ සඳහන් කර තිබෙනවා. ඔහු පවසා තිබෙන ආකාරයට සබත් දවස් හැර අනිකුත් දවස්වලදී ක්‍රිස්තියානි ලියවිලි පුළුස්සනවා නම් දෙවිගේ නම ඇතුළත් තැන් කපා ඉවත් කර අනිත් කොටස් පිළිස්සිය හැකියි.—The Tosefta.

  • හෙබ්‍රෙව් ලියවිල්ලෙන් උපුටා ගෙන ග්‍රීක ලියවිල්ලට ඇතුළත් කර තිබෙන කොටස්වල බොහෝදුරට දෙවිගේ නම සඳහන් වෙන්න ඇතැයි කියා සමහර බයිබල් විශාරදයන් පිළිගන්නවා. එක් බයිබල් විශ්වකෝෂයක සඳහන් වන පරිදි “නව ගිවිසුම මුලින් ලියද්දී පැරණි ගිවිසුමෙන් උපුටා ගත් සෑම කොටසකම හෝ සමහර කොටස්වල ‘යාහ්වේ’ ලෙස සඳහන් දෙවිගේ නම සංකේතවත් කළ අක්ෂර 4 ඒ විදිහටම ඇතුළත් කළ බවට සාක්ෂි තිබෙනවා.” (The Anchor Bible Dictionary) ජෝර්ජ් හාවර්ඩ් නම් විශාරදයා පැවසුවේ මෙලෙසයි. “මුල් කාලයේ ක්‍රිස්තියානීන් භාවිත කළ ග්‍රීක ‘සෙප්ටුඅජින්ට්’ පරිවර්තනයේ දෙවිගේ නාමය සංකේතවත් කළ අක්ෂර 4 සඳහන් වී තිබූ නිසා නව ගිවිසුම ලියූ අය පැරණි ගිවිසුමෙන් උපුටා දක්වද්දී එම අක්ෂර 4 එලෙසින්ම සඳහන් කරන්න ඇතැයි කියා සිතිය හැකියි.”

  • ප්‍රසිද්ධ බයිබල් පරිවර්තකයන් ඔවුන් පරිවර්තනය කළ ග්‍රීක ලියවිලිවල දෙවිගේ නම සඳහන් කර තිබුණා. ඔවුන් එසේ කර ඇත්තේ ‘නව ලොව පරිවර්තනය’ සකස් කිරීමට බොහෝ කාලයකට පෙරයි. ඒවා අතර පහත දැක්වෙන පරිවර්තන ඇතුළත්. වතිකානු අත්පිටපත්වලින් හර්මාන් හින්ෆෙටර් පරිවර්තනය කළ ‘අ ලිටරල් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද නිව් ටෙස්ටමන්ට්’ (1863); බෙන්ජමින් විල්සන් පරිවර්තනය කළ ‘ද එම්ෆැටික් ඩයග්ලොට්’ (1864); ජෝර්ජ් බාර්කර් ස්ටීවන්ස් පරිවර්තනය කළ ‘ද එපිසල්ස් ඔෆ් පෝල් ඉන් මොඩන් ඉංග්ලිෂ්’ (1898); ඩබ්. ජි. රදෆර්ඩ් පරිවර්තනය කළ ‘සෙන්ට් පෝල්ස් එපිස්ල් ටු ද රෝමන්ස්’ (1900); ලන්ඩන්වල ජේ. ඩබ්. සී. වොන්ඩ් නම් බිෂොප්වරයා පරිවර්තනය කළ ‘ද නිව් ටෙස්ටමන්ට් ලෙටර්ස්’ (1946). ඊට අමතරව 1919දී පාබ්ලෝ බෙසෝන් ස්පාඤ්ඤ භාෂාවට කළ පරිවර්තනයක ලූක් 2:15වෙනි පදය සහ යූද් 14වෙනි පදයේ “යෙහෝවා” යන දෙවිගේ නම සඳහන් කළා. දෙවිගේ නම සඳහන් තැන් පෙන්වීම සඳහා පාදසටහන් 100ක් පමණ ඔහුගේ පරිවර්තනයේ ඇතුළත් කර තිබෙනවා. එම බයිබල් පරිවර්තන ප්‍රකාශයට පත් කිරීමට බොහෝ කාලයකට පෙර එනම් 16වෙනි සියවසේ පමණ සිට ක්‍රිස්තියානි ග්‍රීක ලියවිලි හෙබ්‍රෙව් භාෂාවට පරිවර්තනය කරද්දීත් බොහෝ ස්ථානවල දෙවිගේ නාමය නියෝජනය කළ අක්ෂර 4 යොදාගෙන තිබෙනවා. ජර්මන් භාෂාවෙන් ඇති පරිවර්තන 11ක පමණ ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලේ “යෙහෝවා” (හෝ “යාහ්වේ”) යන නම දකින්න ලැබෙනවා. තවත් පරිවර්තන 4ක “ස්වාමීන්” යන වචනයට පසුව වරහන් තුළ දෙවිගේ නාමය සඳහන් කර තිබෙනවා. ජර්මන් භාෂාවෙන් ඇති පරිවර්තන 70කට වඩා වැඩි ගණනක පාදසටහන්වල හෝ දී ඇති අමතර විස්තරවල දෙවිගේ නම දකින්න ලැබෙනවා.

    බෙන්ජමින් විල්සන් පරිවර්තනය කළ ‘ද එම්ෆැටික් ඩයග්ලොට්’ (1864) බයිබලයේ ක්‍රියා 2:34 දෙවිගේ නම සඳහන් වෙන අයුරු

  • භාෂා 100කට වඩා වැඩි ගණනකට පරිවර්තනය කර ඇති ක්‍රිස්තියානි ග්‍රීක ලියවිලිවල දෙවිගේ නම දකින්න තිබෙනවා. බොහෝ අප්‍රිකානු, ඇමරිකානු ආදිවාසී, ආසියානු, යුරෝපීය සහ පැසිෆික් දූපත්වල භාෂාවලින් ඇති බයිබල් පරිවර්තනවල දෙවිගේ නම ඇති තරම් දකින්න තිබෙනවා. (12 සහ 13 පිටු බලන්න.) එම පරිවර්තනවලට දෙවිගේ නම ඇතුළත් කිරීමට පරිවර්තකයන් තීරණය කර ඇත්තේ ඉහත සඳහන් කළ කරුණු හා සමාන කරුණු හේතු කරගෙනයි. ඒවායින් සමහර පරිවර්තනවල දෙවිගේ නම සඳහන් කිරීමට පටන්ගෙන ඇත්තේ මෑතක සිටයි. 1999දී පළ කළ රොටුමන් බයිබලයේ පද 48ක පමණක් “ජිහෝවා” යන නම 51ක් වතාවක් සඳහන් කර තිබෙනවා. 1989දී ඉන්දුනීසියාවේ පළ කළ බටක් (ටොබා) පරිවර්තනයේ “ජාහෝවා” ලෙස දෙවිගේ නම 110 වතාවක් සඳහන් වෙනවා.

    හවායන් භාෂාවකින් පළ කළ බයිබලයේ මාක් 12:29, 30 දෙවිගේ නම සඳහන් වෙන අයුරු

ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලට දෙවිගේ නම ඇතුළත් කරන්න ඕනෑ තරම් පැහැදිලි සාක්ෂි තිබෙනවා. ‘නව ලොව පරිවර්තනයට’ එහි පරිවර්තකයන් දෙවිගේ නම ඇතුළත් කළේ එම ස්ථිර සාක්ෂි පදනම් කරගෙනයි. දෙවිගේ නම සඳහා ඔවුන් තුළ විශාල ගෞරවයක් ඇති අතර දෙවි කෙරෙහි ඔවුන් තුළ තිබෙන ගරුබිය නිසා මුල් ලියවිලිවල ඇති කිසිවක් ඉවත් නොකරන්න ඔවුන් පරෙස්සම් වී තිබෙනවා.—එළිදරව් 22:18, 19.