Skip to content

පටුනට යන්න

බිම් බෝම්බ—සිදු වන පාඩුව ගණන් බැලීම

බිම් බෝම්බ—සිදු වන පාඩුව ගණන් බැලීම

බිම් බෝම්බ—සිදු වන පාඩුව ගණන් බැලීම

වර්ෂ 1993 දෙසැම්බර් 26වනදා හය හැවිරිදි අගුස්ටෝ, ඇන්ගෝලාවේ අගනුවර වන ලුවන්ඩා අසල පිහිටි පිට්ටනියක ඇවිදිමින් සිටියේය. දිලිසෙන යමක් බිම තිබෙනවා දුටු ඔහු, එය කුමක්දැයි පරීක්ෂා කිරීමට පහත් විය. කුතුහලයෙන් පිරි අගුස්ටෝ එය තම අතට ගන්න සිතුවේය. ඒත් එක්කම මහත් පිපිරීමක් සිදු විය. ඒ බිම් බෝම්බයකි.

ප්‍රතිඵලයක් වශයෙන්, අගුස්ටෝගේ දකුණු කකුල කපා දැමීමට සිදු විය. දැන් 12වන වියේ පසු වන අගුස්ටෝ දවසෙන් වැඩි හරියක් ගෙවන්නේ රෝද පුටුවකය. ඒ මදිවට මේ කොලුවාට දෙනෙත්ද අහිමි වී ඇත.

අගුස්ටෝ හසු වූයේ පුද්ගලනාශක බිම් බෝම්බයකටය. මේ වන තෙක් අඩුම තරමින් රටවල් 50කවත් මෙවැනි බිම් බෝම්බ වර්ග 350කට වැඩිය නිෂ්පාදනය කර තිබෙන බවට ගණන් බලා ඇත. මේවායින් වැඩි හරියකගේ අරමුණ මරණය ගෙන දීම නොව, බරපතළ තුවාල සිදු කිරීමයි. ඒ මන්ද? තුවාල වූ සෙබළුන්ට සාත්තුව අවශ්‍යය. ඒ නිසා, බිම් බෝම්බයකින් තුවාල වූ සොල්දාදුවෙක් හමුදාවක ඉදිරි ගමනට බාධාවකි. එමගින් සතුරු සේනාවේ අභිලාෂයන් ඉටු වේ. තවද තුවාල වූ සගයෙකුගේ වේදනාකාරි මොරගැසීම්, සෙසු සෙබළුන්ව භීතියට පවා පත් කළ හැක. එමනිසා, ගොදුරු වූ කෙනා යන්තමින් හරි පණ බේරාගත්තොත්, බිම් බෝම්බයක කාර්යය ඉතා සාර්ථකව ඉටු වූවායයි සැලකේ.

කෙසේවෙතත්, කලින් ලිපියේ සඳහන් කළ පරිදි, බිම් බෝම්බයක් පිපිරීමේදී ඊට වැඩි වශයෙන් ගොදුරු වන්නේ සෙබළුන් නොව, සාමාන්‍ය ජනතාවයි. මෙම සත්‍යය පිටුපසද ඉතා කූට අභිප්‍රායක් ඇති බව පෙනේ. බිම් බෝම්බ—මරණය ගෙන දෙන ඉරණමකි (ඉංග්‍රීසියෙන්) නමැති පොතට අනුව, ඇතැම් බෝම්බ “වළලනු ලබන්නේ සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙනයි. ප්‍රතිඵලයක් වශයෙන්, යම් ප්‍රදේශවලින් ජනයාව ඉවත් කිරීමට, ආහාර සැපයුම් විනාශ කිරීමට, සරණාගතයන් බිහි කිරීමට හෝ භීතිය පැතිරවීමට මෙය ඉවහල් වේ.”

උදාහරණයකට, කාම්බෝජයේ සිදු වූ ගැටුමකදී, සතුරු ගම් වටා බිම් බෝම්බ වැළලීමෙන් අනතුරුව, එම ගම්වලට කාල තුවක්කු ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාරයෙන් බේරීමට පලා ගිය ගම්වැසියෝ කෙළින්ම බිම් බෝම්බ වැළලූ තැන්වලට පිවිසීම නිසා අනතුරට ලක් වූහ. ඒ අතරතුරේදී, ආණ්ඩුව මත දැඩි පීඩනයක් එල්ල කිරීමේ අදහසින්, ඛ්මේර් රූෂ් සංවිධානයේ සාමාජිකයෝ කුඹුරුවල බිම් බෝම්බ වැළලූහ. මෙයින් භීතියට පත් වූ ගොවීහු තම කෘෂිකාර්මික කටයුතු මුළුමනින්ම පාහේ නතර කර දැමූහ.

සෝමාලියාවේ 1988දී සිදු වූයේ ඊටත් වඩා දරුණුයයි සැලකිය හැකි දෙයකි. හාර්ගේසා නමැති ගම්මානය බෝම්බ ප්‍රහාරයකට ලක් වූ විට, ගම්වැසියන්ට පලායෑමට සිදු විය. අනතුරුව අත්හැර ගිය නිවාසවල සෙබළුන් විසින් බිම් බෝම්බ වළලන ලදි. සටනින් පසු, සරණාගතයෝ නැවතත් සිය නිවෙස් බලා ගියද, සඟවා තිබූ බෝම්බ පිපිරීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූහ, එසේ නැතහොත් මරුමුවට පත් වූහ.

එනමුත් බිම් බෝම්බවලින් සිදු වන්නේ ජීවිතයට අනතුරු වීම පමණක්මද? මෙම රුදුරු අවිවලින් බලපෑමට ලක් වන තවත් පැති කිහිපයක් සලකා බලන්න.

ආර්ථිකය සහ සමාජය පහර ලබන අන්දම

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වන කෝෆි අන්නන් මෙසේ අදහස් පළ කරයි. “තනි බිම් බෝම්බයක් තිබුණු පමණින්, එසේ නැතහොත් ඒ පිළිබඳව සැකයක් පහළ වූ පමණින් මුළු වෙල් යායක්ම වගා කිරීම නතර කර දැමිය හැක. සම්පූර්ණ ගමකම ජීවනෝපාය අඩාල විය හැක. ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය කරා ඇදෙන මාර්ගය ඇහිරීමට පවා හේතුවක් විය හැක.” වගා බිම්වලට පය තැබීමේ බිය ගොවීන්ට තිබුණේ නැත්නම්, ඇෆ්ඝනිස්ථානයේ සහ කාම්බෝජයේ භූමි ප්‍රදේශයෙන් තවත් සියයට 35ක් වගා කිරීමට හැකියාව තිබෙනු ඇත. සමහරු තම බිය නොසලකා වගාවෙහි නිරත වෙති. කාම්බෝජයේ ගොවියෙක් මෙසේ පවසයි. “මට බිම් බෝම්බ ගැන තියෙන්නේ පුදුම භයක්. හැබැයි, මම එළියට බැහැලා තණකොළයි උණ බටයි කැපුවේ නැත්නම්, අපිට බඩගින්නේ මැරෙන්නයි වෙන්නේ.”

සාමාන්‍යයෙන් බිම් බෝම්බයකට හසු වී අනතුරකට පත් වූ කෙනෙකුට ආර්ථික වශයෙන් උහුලන්න බැරි තරම් පීඩනයක් එල්ල වේ. නිදසුනකට සංවර්ධනය වෙමින් පවතින රටක තත්වය සලකා බලමු. දස හැවිරිදි ළමයෙකුට කකුලක් අහිමි වේ නම්, ඔහුගේ හෝ ඇගේ ජීවිත කාලය තුළදී කෘත්‍රිම කකුල් 15ක් පමණ අවශ්‍ය විය හැක. මෙම කෘත්‍රිම කකුලකට සාමාන්‍යයෙන් රුපියල් 9,000ක් වැය වේ. දියුණු වූ රටවල සමහරෙකුට රුපියල් 9,000ක් යනු සුළු මුදලක් විය හැකියි. එනමුත් ඇන්ගෝලාවේ ජනගහනයෙන් වැඩිදෙනෙකුට රුපියල් 9,000ක් කියන්නේ මාස තුනක වැටුපක්!

දැන් මෙය සමාජයට බලපාන අන්දම සලකා බලමු. එක් ආසියාතික රටක, පාද අහිමිවූවන් සමඟ ආශ්‍රය කිරීමෙන් ජනයා වැළකී සිටින්නේ, ඔවුන්ව යම් “අසුභ ලකුණක්” ලෙස සලකන නිසයි. එසේ බලන කල, කකුලක් නොමැති කෙනෙකුට විවාහ දිවියක් ගත කිරීමේ අපේක්ෂාව සිහිනයක් බඳුය. බිම් බෝම්බයක් හේතුවෙන් කකුල ඉවත් කර දැමීමට සිදු වූ ඇන්ගෝලාවේ මෙම මනුෂ්‍යයාගේ දුක්ගැනවිල්ල මොනතරම් කම්පා කරවනසුලුද! “ගෑනියෙකුට ඕනෙ වැඩ කරන්න පුළුවන් මිනිහෙක්. ඒ හින්දා පවුලක් වෙන එක මම මගේ හිතෙන් අහක් කරලයි තියෙන්නේ.”

එසේ නම්, මෙවැනි අයගේ ආත්ම විශ්වාසයට සෑහෙන පහරක් එල්ල වීම ගැන පුදුම විය යුතු නැත. කාම්බෝජයේ පුරුෂයෙක් මෙසේ පවසයි. “දැන් මට මගේ පවුලට කන්න බොන්න දෙන්න විදිහක් නැහැ. ඒක නං මට උහුලගන්න බැරි ලජ්ජාවක්.” ඇත්තවශයෙන්ම, එවැනි හැඟීම්වලින් ඇති වන වේදනාව, අතක් පයක් අහිමි වීමේ දුකට වඩා ප්‍රබල විය හැක. මොසැම්බික් රටේ එවන් කෙනෙක් වන අතූර් මෙසේ අදහස් පළ කරයි. “මම හිතන්නේ ලොකුම හානිය වෙන්නේ අපේ මානසිකත්වයට කියලයි. වෙන කෙනෙක් මං දිහා නිකම් බැලුවත් මට තරහ යනවා. එහෙම තරහ ගිය අවස්ථා එමටයි. මිනිස්සු මට ගෞරව කරන්නේ නැහැ කියලත්, ආයෙ කවදාවත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න ලැබෙන එකක් නැහැ කියලත් මට හිතුණා.” a

බිම් බෝම්බ ඉවත් කිරීම ගැන කුමක් කිව හැකිද?

මෑත වර්ෂවලදී බිම් බෝම්බ භාවිතය තහනම් කිරීමට දැඩි ප්‍රයත්නයක් දරා ඇත. ඇතැම් ආණ්ඩු බිම් බෝම්බ ඉවත් කිරීමේ අසීරු කාර්යය පවා භාරගෙන තිබේ. එනමුත් මෙහිදී බාධක කිහිපයක් මතු වේ. ඉන් එකකි ගත වන කාලය. බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යය සඳහා සෑහෙන වේලාවක් ගත වේ. බිම් බෝම්බ ඉවත්කරන්නන්ගේ අද්දැකීමට අනුව, බිම් බෝම්බයක් වැළලීමට ගත කරන කාලය මෙන් සිය ගුණයක කාලයක් බිම් බෝම්බයක් ඉවත් කිරීමට යයි. තවත් බාධකයකි, දැරීමට සිදු වන වියදම. බිම් බෝම්බයක මිල රුපියල් 210ත් රුපියල් 1,050ත් අතර වේ. එනමුත් එකක් ඉවත් කිරීමට රුපියල් 70,000ක් තරම් මුදලක් වියදම් විය හැක.

මෙම සාක්ෂිවලට අනුව, බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යය හරියට පිදුරු ගොඩට වැටුණු ඉඳිකට්ටක් සොයනවා වගේ අමාරු වැඩක් බව පැහැදිලිය. නිදසුනකට, කාම්බෝජයේ සියලුම බිම් බෝම්බ ඉවත් කිරීමට නම්, රටේ සියලුම පුරවැසියන් ඊළඟ වසර කිහිපයේදී තමන් උපයන ආදායම එහෙන්පිටින්ම පරිත්‍යාග කළ යුතු වේ. කර ඇති ගණන් බැලීම්වලට අනුව, අවශ්‍ය අරමුදල් තිබුණත්, එම රටෙහි සියලුම බිම් බෝම්බ ඉවත් කිරීමට සියවසක්ම ගත වේ. අප සැලකුවේ එක් රටක තත්වය පමණි. ජාත්‍යන්තර මට්ටමින් බලනවා නම්, ඊටත් වඩා කනගාටුදායක පින්තූරයක් දක්නට ලැබේ. නවීනතම තාක්ෂණය යොදාගෙන මෙලොවින් බිම් බෝම්බ ඉවත් කිරීමට තැත් කළොත්, අවුරුදු දහසකට වැඩි කාලයක්ද, රුපියල් බිලියන 2,310ක්ද වැය වන බව ගණන් බලා ඇත.

දැන් බිම් බෝම්බ ඉවත් කිරීමට නවීනතම ක්‍රම යෝජනා කෙරේ. පුපුරන ද්‍රව්‍ය සෙවීමට ජානමය වශයෙන් සකස් කර ඇති පලතුරු මැස්සන්ද, පැයකට අක්කර පහක ප්‍රදේශයකින් බිම් බෝම්බ ඉවත් කිරීමට සමත් දුරස්ථ පාලනයෙන් ක්‍රියාත්මක වන යෝධ රථද මේ අතර වේ. එනමුත්, මෙවැනි ක්‍රම මහ පරිමාණයකින් යොදාගැනීමට සෑහෙන කාලයක් ගත වෙනවා පමණක් නොව, බොහෝදුරට ඒවා මිල දී ගත හැකි වන්නේ ධනවත් රටවලට පමණි.

එමනිසා, බොහෝ රටවල බිම් බෝම්බ ඉවත් කරන්නේ සම්ප්‍රදායික ක්‍රම යොදාගෙනයි. සාමාන්‍යයෙන් මනුෂ්‍යයෙක් බිම දිගා වී, ඔහු ඉදිරියෙහි ඇති පස ලීයකින් ඉතා පරෙස්සමින්, අඟලක් අඟලක් පාසා පහුරු ගායි. සාමාන්‍යයෙන් දවසකට වර්ග අඩි 200ක් හෝ 500ක් මේ අයුරින් ආරක්ෂා සහිත බවට සහතික කෙරේ. අනතුරුදායක වැඩක්ද? ඔව්! ඉවත් කරන සෑම බිම් බෝම්බ 5,000කදීම, එක් ඉවත් කරන්නෙකු මරු දකින අතර, තවත් දෙදෙනෙක් තුවාල ලබති.

බිම් බෝම්බවලට එරෙහිව නැඟී සිටීම

වර්ෂ 1997 දෙසැම්බර් මාසයේදී රටවල් කිහිපයක නියෝජිතයෝ ඔටාවා ගිවිසුම යනුවෙන් හඳුන්වනු ලැබූ සම්මුතියකට අත්සන් තැබූහ. එම ගිවිසුමට අනුව, මනුෂ්‍යයන්ට එරෙහිව යොදාගන්නා බිම් බෝම්බ භාවිතය, රැස් කර තබාගැනීම, නිෂ්පාදනය සහ ප්‍රවාහණය තහනම් කරන ලදි. මෙම ගිවිසුම ගැන කැනඩාවේ අගමැති ජාන් ක්‍රේටියෙන් මෙසේ පැවසීය. “ජාත්‍යන්තර නිරායුධකරණයේ හෝ ජාත්‍යන්තර මානව හිතවාදී නීතියේ පෙර නොවූ විරූ සන්ධිස්ථානයක් ලෙස මෙය සැලකිය හැකියි.” b කෙසේවෙතත්, මෙම ගිවිසුමට රටවල් 60කට ආසන්න ගණනක් තවමත් අත්සන් තබා නොමැත. ඊට, ලොවේ ප්‍රධාන වශයෙන් බිම් බෝම්බ නිෂ්පාදනය කරන රටවල් කිහිපයක්ම ඇතුළත් වන බව සඳහන් කළ යුතුය.

බිම් බෝම්බ උවදුර තුරන් කිරීමට ඔටාවා ගිවිසුම සමත් වේවිද? යම් යහපතක් ඉන් සිදු විය හැක. එනමුත් ඒ ගැන එතරම් විශ්වාසයක් බොහෝදෙනෙකුට නැත. “ඔටාවාහි සම්මත කළ ගිවිසුමට ලෝකයේ හැම රටක්ම යටත් වුණත්, බිම් බෝම්බ අනතුරෙන් ලෝකයේ හැම රටක්ම නිදහස් කිරීමට එය මුල් පියවර පමණයි.” එසේ පැවසුවේ, ප්‍රංශයේ ජාත්‍යන්තර ආබාධිතයන්ගේ සංවිධානයේ සම-අධ්‍යක්ෂක ක්ලෝඩ් සිමෝනෝය. ඔහු එසේ පැවසුවේ මන්ද? සිමෝනෝ මෙසේ පිළිතුරු දෙයි. “අනාගත ගොදුරු පැමිණෙන තෙක්, බිම් බෝම්බ මිලියන ගණනක් මාන බලමින් සිටිනවා.”

යුද ඉතිහාසඥ ජොන් කීගන් ලියූ දෙයද වැදගත් වේ. යුද්ධය කියන්නේ “මිනිසාගේ සිතේ ගැඹුරටම කාවැදී ඇති දෙයකි. ඔහු යුද්ධ කරන්නේ උඩඟුකම නිසාය. සියල්ලට වඩා හැඟීම්වලට මුල් තැන දෙනු ලැබේ. මෘග ගති රජයයි.” ගිවිසුමකට අත්සන් තැබූ පමණින් වෛරය සහ ගිජුකම වැනි ගැඹුරටම මුල් බැසගත් මිනිස් ගති පැවතුම් වෙනස් කළ නොහැක. එනමුත්, මිනිසා සදහටම බිම් බෝම්බවල අසරණ ගොදුරු බවට පත් වන බව මින් අදහස් කෙරේද?

[පාදසටහන්වල]

a අත පය අහිමි වීම ගැන තවත් තොරතුරු ලබාගැනීමට, 1999 ජූනි 8 පිබිදෙව්! කලාපයේ 3-10 දක්වා පිටුවල ඇති “ආබාධිතයන් සඳහා බලාපොරොත්තුව” යන ලිපි මාලාව බලන්න.

b මෙම ගිවිසුම ක්‍රියාත්මක වූයේ 1999 මාර්තු 1වනදා සිටය. වර්ෂ 2000 ජනවාරි 6 වන විට, රටවල් 137ක් ඊට අත්සන් තබා තිබූ අතර, ඉන් 90ක් ඊට තම අනුමැතිය පළ කොට තිබිණ.

[6වන පිටුවේ කොටුව]

දෙපැත්තෙන්ම වාසි

නිෂ්පාදනය කරන භාණ්ඩයකින් හානියක් සිදු වේ නම්, ඒ සමාගම ඊට වන්දියක් ගෙවිය යුතුය යන්න ව්‍යාපාරික ලෝකයේ සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන ප්‍රතිපත්තියකි. මේ අනුව, බිම් බෝම්බ උපදේශක සංවිධානයේ ලූ ම’ග්‍රැත්ගේ තර්කය මෙයයි. බිම් බෝම්බ නිෂ්පාදනයෙන් මහත් ලාභයක් ලබා ඇති සමාගම් බිම් බෝම්බ ඉවත් කිරීමට යන වියදම දැරිය යුතුය. එනමුත් සිදු වන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. බිම් බෝම්බ නිෂ්පාදකයන්ම බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපාරයෙන් ගජ ලාභ ලබන බවක් පෙනේ. නිදසුන් කිහිපයක් සලකා බලමු. ජර්මනියේ කලින් බිම් බෝම්බ නිෂ්පාදන කළ සමාගමක්, කුවේට්වල බිම් බෝම්බ ඉවත් කිරීමට රුපියල් මිලියන 7,000ක කොන්ත්‍රාත්තුවක් බාරගත් බව වාර්තා වේ. මොසැම්බික් රටේ, ප්‍රධාන මාර්ගවලින් බිම් බෝම්බ ඉවත් කිරීමට රුපියල් මිලියන 525ක් වටිනා කොන්ත්‍රාත්තුවක් භාර දෙනු ලැබුවේ, සමාගම් තුනක එකතුවකටය. මින් දෙකක්ම බිම් බෝම්බ නිෂ්පාදනයෙහි හවුල් වී තිබිණ.

බිම් බෝම්බ නිෂ්පාදනය කළ සමාගම්, ඒවා ඉවත් කිරීමෙන් මුදල් උපයන ආකාරය දකින සමහරුන්ට ඇති වන්නේ ඉමහත් පිළිකුලකි. ඔවුන්ගේ මතයට අනුව, බිම් බෝම්බ නිෂ්පාදකයන් දෙපැත්තෙන්ම වාසි ලබයි. ඒ කෙසේවෙතත්, බිම් බෝම්බ නිෂ්පාදනය මෙන්ම බිම් බෝම්බ ඉවත් කිරීම ගජ ලාභ ලබන ව්‍යාපාර ලෙස හැඳින්වූවොත් නිවැරදිය.

[5වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

බිම් බෝම්බ වැඩියෙන්ම වළලා ඇති රටවල සෑම වර්ග සැතපුමකම ඇති සාමාන්‍ය බිම් බෝම්බ සංඛ්‍යාව

බොස්නියාව සහ හර්ට්ස්ගොවිනාව 152

කාම්බෝජය 143

ක්‍රොඒෂියාව 137

ඊජිප්තුව 60

ඉරාකය 59

ඇෆ්ඝනිස්ථානය 40

ඇන්ගෝලාව 31

ඉරානය 25

රුවන්ඩාව 25

[හිමිකම් විස්තර]

මූලාශ්‍රය: United Nations Department of Humanitarian Affairs, 1996

[7වන පිටුවේ පින්තූර]

කාම්බෝජයෙහි, බිම් බෝම්බ අනතුර දැනුම් දෙන විශාල පෝස්ටර් සහ දැන්වීම් අලවා ඇත

ඉවත් කරන සෑම බිම් බෝම්බ 5,000කදීම, එක් ඉවත් කරන්නෙකු මරු දකින අතර, තවත් දෙදෙනෙක් තුවාල ලබති

[හිමිකම් විස්තර]

පසුබිම: © ICRC/Paul Grabhorn

© ICRC/Till Mayer

© ICRC/Philippe Dutoit