Skip to content

පටුනට යන්න

ගුරු වෘත්තිය තෝරාගන්නේ ඇයි?

ගුරු වෘත්තිය තෝරාගන්නේ ඇයි?

ගුරු වෘත්තිය තෝරාගන්නේ ඇයි?

“බොහෝ අය ගුරු වෘත්තිය තෝරාගන්නේ එයින් අන් අයට සේවයක් වෙන නිසා. ගුරු වෘත්තිය යනු ශිෂ්‍යයන්ගේ ජීවිතවල වෙනසක් ඇති කිරීම හා බැඳි සේවයක්.”—ගුරුවරු, පාසැල් හා සමාජය.

සමහර ගුරුවරුන් මෙය පහසු රාජකාරියක් බව පෙන්නුවත් මෙය බාධා වැට කඩුලු පසු කර යා යුතු ගමනක්. මෙයින් සමහරක් නම් ප්‍රමාණය ඉක්මවූ ශිෂ්‍යයන්ගෙන් යුත් පන්ති කාමර පාලනය කිරීම, ලිපි ලේඛන කටයුතු අධික වීම, බොහෝ සංකීර්ණ නීති රෙගුලාසිවලට යටත් වීමට සිදුවීම, ප්‍රතිචාරයක් නොදක්වන සිසුන් හා සරිලන වැටුපක් නොලැබීම යනාදියයි. පෙඩ්රෝ නම් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්හි ගුරුවරයෙක් මෙවැනි අදහසක් පළ කළා. “ගුරු වෘත්තිය කිරීම කියන තරම් පහසු දෙයක් නොවෙයි. එය කිරීමට බෙහෙවින් ආත්ම පරිත්‍යාගශීලී වීම අවශ්‍යයි. ඒ කෙසේවෙතත් වාණිජ ලෝකයේ රැකියාවකට වඩා මම තාම ගුරු වෘත්තියට ආසයි.”

බොහෝ රටවල නාගරික පාසැල්වල ගුරුවරුන්ට විවිධාකාර අභියෝගයන්ට මුහුණ පෑමට සිදු වෙනවා. මත්ද්‍රව්‍ය උවදුර, අපරාධ, සදාචාර මට්ටම පහත වැටී තිබීම, දෙමව්පියන් නොසැලකිලිමත් වීම වැනි කරුණු පාසැලේ විනයට හා වාතාවරණයට බලපායි. කැරලිකාර ස්වභාවය සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබෙනවා. එසේ නම් අධ්‍යාපන සුදුසුකම් ලත් බොහෝ අය ගුරු වෘත්තිය තෝරාගන්නේ ඇයි?

ලීමරීස් හා ඩයනා නිව් යෝක්හි ගුරුවරුන්. ඔවුන් පෙර පාසැල් දරුවන්ගේ පටන් වයස අවුරුදු දහය දක්වා වූ දරුවන්ට උගන්වනවා. මේ ගුරුවරියන් දෙදෙනාටම ඉංග්‍රීසි හා ස්පාඤ්ඤ යන භාෂා දෙක ගැනම දැනුමක් තිබෙන අතර ඔවුන්ට වැඩියෙන්ම කටයුතු කිරීමට තිබෙන්නේ ස්පාඤ්ඤ දරුවන් සමඟයි. අපේ ප්‍රශ්නය වූයේ . . .

ගුරුවරයෙකුව පොලඹවන්නේ කුමක්ද?

ලීමරීස් පැවසුවේ මෙසේයි. “මා තුළ පෙලඹීමක් ඇති වෙන්නේ ඇයි? මම දරුවන්ට ආදරෙයි. මම දන්නවා සමහර දරුවන් ගන්නා උත්සාහයන්ට සහයෝගය දෙන්න ඉන්නේ මම විතරයි කියලා.”

ඩයනා කිව්වේ මෙයයි. “ අවුරුදු අටක් වයසැති මගේ ඥාති පුතෙකුට පාසැලේ අධ්‍යාපන කටයුතු අමාරු වුණ නිසා මම ඔහුට උදව් කළා. විශේෂයෙන් කියවීමට. ඔහු සහ අනිත් දරුවන් උද්‍යෝගයෙන් ඉගෙනගන්නවා දැකීමෙන් මම මහත් සතුටක් භුක්ති වින්දා! ඉතිං මම බැංකුවේ රස්සාවෙන් අස් වෙලා උගන්වන්න තීරණය කළා.”

පිබිදෙව්! ඒ ප්‍රශ්නම විවිධ රටවල් කිහිපයක ගුරුවරුන්ගෙන් විමසුවා. පහත දැක්වෙන්නේ ඔවුන්ගෙන් ලැබුණු පිළිතුරුයි.

ඉතාලි ජාතික ජූලියානෝගේ වයස අවුරුදු 40යි. ඔහු අදහස් දැක්වූයේ මෙසේයි. “මම පාසැල් යන කාලයේ (දකුණු පසින්) පටන් මේ රැකියාවට දැඩි ඇල්මක් දැක්වුවා. මම මේ රැකියාව තෝරාගත්තේ ඒ නිසයි. මේ රැකියාව නිර්මාණාත්මක මෙන්ම අන් අය කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි සේවයක්. මේ වෘත්තිය ආරම්භ කළ කාලයේදී තිබුණු අසීරුකම් මට මඟ හරවාගැනීමට උපකාරවත් වුණේ මා තුළ කලක් මේ සඳහා තිබුණු උනන්දුවයි.”

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි නික් මෙසේ පැවසුවා. “මම අධ්‍යාපනය ලැබූ රසායනික ද්‍රව්‍ය පර්යේෂණ ක්ෂේත්‍රයේ රැකියා හිඟයක් තිබුණු අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ රැකියා ඕන තරම් තිබුණා. මම ඉගැන්වීමෙන් ප්‍රීතියක් භුක්ති විඳින අතර මගෙන් ඉගෙනගන්නා ශිෂ්‍යයන්ද සෑහීමට පත්වීම සතුටට කාරණයක්.”

දෙමව්පියන්ගේ ආභාෂයද ගුරු වෘත්තිය තෝරාගැනීමට දායක වන බව මීළඟ අද්දැකීමෙන් පැහැදිලි වෙනවා. කෙන්යාවේ විලියම් අපේ ප්‍රශ්නයට පිළිතුරු සැපයුවේ මෙහෙමයි. “මට ගුරුවරයෙක් වීමට බෙහෙවින් බලපෑම් ඇති කළේ මගේ තාත්තා. ඔහු 1952දී ගුරුවරයෙක් ලෙස සේවය කර තිබුණා. යෞවනයන්ගේ මනස්වලට බලපෑම් කිරීමට ඇති හැකියාව මේ වෘත්තිය තෝරාගැනීමට මාව පෙලඹුවා.”

කෙන්යාවේ පදිංචි වී සිටින රෝස්මේරි මෙසේ පැවසුවා. “මම නිතරම ආස කළේ අඩු වරප්‍රසාද ලත් අයට උදව් කරන්නයි. ඒ නිසා මට තේරීමක් කරන්න වුණා මම ගුරුවරයෙක් වෙනවාද නැත්නම් හෙදියක් වෙනවාද කියලා. මට මුලින්ම ලැබුණේ ගුරු වෘත්තිය. ඒ වගේම මම මවක් වීමත් මෙම සේවයට ඇලුම් කිරීමට තවත් හේතුවක් වුණා.”

ජර්මනියේ ඩියුරන්හි පදිංචි බර්ට්හෝල්ඩ් ගුරු වෘත්තිය තෝරාගත්තේ වෙනස් හේතුවක් නිසා. “මගේ භාර්යාව කිව්වා මම දක්ෂ ගුරුවරයෙක් වෙයි කියලා” යනුවෙන් ඔහු පැවසුවා. ඇය කියූ දේ හරි ගියා. ඔහු තවදුරටත් මෙසේ කිව්වා. “මගේ වෘත්තිය මට මහත් ප්‍රීතියක් ලබා දෙනවා. ගුරුවරයෙක් අධ්‍යාපනයේ ඇති වටිනාකම දන්නේ නැත්නම් හා යෞවනයන් කෙරෙහි උනන්දුවක් නොදක්වනවා නම්, ඔහුට හෝ ඇයට කිසිදාක දක්ෂ, සාර්ථක, දැඩි උනන්දුවක් දක්වන හා සෑහීමට පත් විය හැකි ගුරුවරයෙක් වෙන්න බැහැ.”

ජපානයේ නකාට්සු නගරයේ ජීවත් වන මාසාහීරෝ පැවසුවේ මෙයයි. “මම ගුරුවරයෙක් වෙන්න පෙලඹුණේ මට මධ්‍යම පාසැලේ පළමුවෙනි අවුරුද්දේ ඉගැන්වූ අපූරු දක්ෂ ගුරුවරයා නිසයි. ඔහු අපිට ලොකු කැපවීමකින් ඉගැන්නුවා. ගුරු වෘත්තිය දිගටම කරගෙන යෑමට මට මූලිකවම හේතු වුණේ දරුවන් කෙරෙහි ඇති ආදරයයි.”

යෝෂියාට දැන් වයස අවුරුදු 54යි. ඔහු ජපානයේ කර්මාන්ත ශාලාවක හොඳ වැටුපක් ලැබෙන රැකියාවක් කළා. එහෙත් කරන්න තිබූ වැඩ නිසත්, රැකියා ස්ථානයට ගමන් කිරීමට සෑහෙන වේලාවක් ගත වුණ නිසත් ඔහුට හැඟුණේ ඔහු ඊට වහල් වී ඇති බවයි. ඔහු මෙසේ පැවසුවා. “මම දවසක් කල්පනා කළා ‘කොච්චර කල් මම මේ ජීවිත රටාව පවත්වාගෙන යනවාද?’ කියලා. මම තීරණය කළා බඩු බාහිරාදිය එක්ක නොවෙයි, මිනිසුන් එක්ක වැඩිපුර කාලයක් ගත කළ හැකි රැකියාවක් කරන්න. ගුරු වෘත්තිය මේ අතින් අද්විතීයයි. ඔබ වැඩ කරන්නේ යෞවනයන් සමඟයි. එය මානුෂිකත්වය අගය කිරීමක්.”

රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග්හි වැලන්ටීනා දැරුවේත් යෝෂියාගේ ආකල්පයමයි. ඇය කිව්වේ “මම ආස කළ වෘත්තිය නම් ගුරු වෘත්තියයි. මම ප්‍රාථමික පාසැලේ අවුරුදු 37ක් සේවය කර තිබෙනවා. මම දරුවන් සමඟ විශේෂයෙන් චූටි දරුවන් සමඟ වැඩ කරන්න ආසයි. මේ කරන සේවයට මම ආදරෙයි. ඒ නිසයි මම තාමත් විශ්‍රාම යන්න හිතුවේ නැත්තේ.”

විලියම් අයර්ස් ගුරුවරයෙක්. ඔහු පළ කළේ මෙවන් අදහසක්. “ගුරු වෘත්තිය තෝරාගැනීමට පෙලඹෙන්නේ දරුවන්ට හා තරුණයන්ට ආදරය කරන හෝ ඔවුන් සමඟ කටයුතු කිරීමට කැමති අයයි. දරුවන් වැඩී මේරූ වී හැකියාවන් දියුණු කරගෙන මේ ලෝකයේ දක්ෂ බලවත් අය වෙනවා දැකීම ඔවුන්ගේ පැතුමයි. . . . කෙනෙක් ඉගැන්වීමෙහි නිරත වනවා කියන්නේ හරියට තමන් ලද තෑග්ගක් තව කෙනෙකුට දෙනවා හා සමාන දෙයක්. මම උගන්වන්නේ මේ ලෝකය වඩාත් සුන්දර තැනක් කිරීමටයි.”

ඔව්, නොයෙක් පසුබට වීම් හා බාධක මැද වුණත් දහස් ගණන් ස්ත්‍රීන් හා පුරුෂයන් ගුරු වෘත්තියට කැප වී සිටිනවා. ඔවුන්ට මුහුණ පෑමට සිදු වන වඩාත් බරපතළ අභියෝගයන් මොනවාද? ඊළඟ ලිපිය මේ සම්බන්ධව කතා කරනවා ඇති.

[6වන පිටුවේ කොටුව]

ගුරු දෙගුරු සබඳතාවට අත්වැලක්

✔ දෙමව්පියන්ව දැනහඳුනා ගන්න. මෙය කාලය අපතේ යැවීමක් නොවන අතර මෙය දෙගොල්ලන්ටම ප්‍රයෝජනවත් ආයෝජනයක් වෙනවාට කිසිම සැකයක් නැහැ. ඔබේ වැඩවලට අත හිත දීමට සිටින හොඳම අය සමඟ යහපත් සබැඳියාවක් ඇති කරගැනීමට එය ඔබට ලැබෙන හොඳ අවස්ථාවක්.

✔ දෙමව්පියන්ගේ තත්වයට සරිලන විදියට කතා කරන්න. ඔවුන්ව පහත් කර සැලකීමෙන් හා ගුරුවරුන්ට ආවේණික වූ විශේෂ වාග් මාලාවක් පාවිච්චි කිරීමෙන් වළකින්න.

✔ දරුවන් සම්බන්ධව කතා කිරීමේදී ඔවුන්ගේ හොඳ පැති ගැන කතා කරන්න. ප්‍රශංසා කිරීම දෝෂාරෝපණයට වඩා යහපත් ප්‍රතිඵල ලබා දෙයි. දරුවන්ගේ සාර්ථකත්වය සඳහා දෙමව්පියන්ට කළ හැකි දේ පහදා දෙන්න.

✔ දෙමව්පියන්ට කතා කිරීමට ඉඩ දෙන්න. ඉන්පසු ඔවුන්ට සාවධානව ඇහුම්කන් දෙන්න.

✔ දරුවාගේ ගෙදර පරිසරය තේරුම්ගන්න උත්සාහ කරන්න. හැකි නම් ඔවුන්ව බැහැදැකීමට යන්න.

✔ ඊළඟට හමු වන දිනය නිශ්චය කරගැනීම හා නොවරදවාම එම දිනයේදී හමුවීම වැදගත්. ඔබ දරුවා ගැන අව්‍යාජ සැලකිල්ලක් දක්වන බවට එය සාක්ෂියක්.—අමෙරිකාවේ ඉගැන්වීම නමැති පොත ආශ්‍රයෙනි.

[6වන පිටුවේ පින්තූරය]

‘මගේ තාත්තත් ගුරුවරයෙක් ලෙස සේවය කළා.’—කෙන්යාවේ විලියම්

[7වන පිටුවේ පින්තූරය]

‘මම දරුවන් සමඟ වැඩ කරන්න ආසයි.’—රුසියාවේ වැලන්ටීනා

[7වන පිටුවේ පින්තූරය]

‘ගුරු වෘත්තිය අද්විතීයයි. ඔබ වැඩ කරන්නේ යෞවනයන් සමඟයි.’—ජපානයේ යෝෂියා