Skip to content

පටුනට යන්න

“පෞද්ගලික ආගමක්”—පිළිතුර එයද?

“පෞද්ගලික ආගමක්”—පිළිතුර එයද?

“පෞද්ගලික ආගමක්”—පිළිතුර එයද?

සංවිධානාත්මක ආගම්වලට ජනයා කෙරෙහි තිබූ බලය එන්න එන්නම අඩු වෙත්ම බොහෝදෙනෙකු පෞද්ගලික ආගමක් සකස් කරගැනීම පුදුමයක් නොවේ. එහෙත් මෙමගින් යමෙකුට තම අධ්‍යාත්මික අවශ්‍යතා තෘප්තිමත් කරගත හැකිද? මෙම ගැටලුවට නියම පිළිතුර වන්නේ “පෞද්ගලික ආගමක්” සකස් කරගැනීමද යන වැදගත් ප්‍රශ්න ඉස්මතු වේ.

මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීම සඳහා අපි මිනිසාට ලැබී ඇති ශ්‍රේෂ්ඨතම දීමනාවලින් එකක් වන ‘තර්කානුකූලව සිතීමට අප සතු හැකියාව’ උපයෝගි කරගනිමු. මෙසේ කිරීමෙන් පෞද්ගලික ආගම ගැන ඇත්තටම සෑහීමකට පත් විය හැකිද යන්න ගැන සොයා බලමු.—රෝම 12:1, NW.

සාමාන්‍යයෙන් තර්කානුකූලව සිතන කෙනෙක් එකිනෙකට පටහැනි අදහස් ඇතුළත් සංකල්පයක් ප්‍රතික්ෂේප කිරීමට පෙලඹෙයි. එහෙත් ස්වීඩනයේ පෞද්ගලික ආගම පිළිබඳව කළ සමීක්ෂණයකදී හෙළි වූයේ ජනයා “තම පෞද්ගලික දර්ශනය සකස් කරගන්නේ සිතා බැලීමකින් තොරව” බවයි. ඔවුහු ඊට “ජීවිතයේ ස්වභාවය හා අරමුණ ගැන ඇති (සමහරවිට තර්කානුකූල නොවන එකිනෙකට පරස්පර විරෝධී) විවිධ මතිමතාන්තර මුසු කරගනිති.”

නිදසුනකට, “තමන්ගේ අදහස්වලට ගැළපෙන විදිහේ කිතු දහමක් අදහන” බව කියා සිටි අයගෙන් සියයට දෙදෙනෙකු පමණයි යේසුස්ව ඓතිහාසික පුද්ගලයෙකු වශයෙන් පිළිගත්තේ. එහෙත් ඔවුහු නිතරම වාගේ පුනරුත්පත්තිය ගැන සඳහන් කළහ. තමා යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් බව කියා සිටින අතරතුරේදී ක්‍රිස්තුස්ගේ ජීවිතය හා ඉගැන්වීම් නොසලකා හැරීමත්, ඔහුගේ ප්‍රධාන ඉගැන්වීම්වලට හාත්පසින්ම පටහැනි ඉගැන්වීම් වැලඳගැනීමත් අමුතු දෙයක් කියා ඔබ සිතන්නේ නැද්ද? a

තර්කානුකූලව සිතීමට අප සතු හැකියාව නිසා නිශ්චිතව පැහැදිලි කළ නොහැකි, බොඳ වූ අදහස් ප්‍රතික්ෂේප කිරීමටද අපි පෙලඹෙන්නෙමු. නමුත් “දෙවි කෙනෙක් ගැන හෝ දිව්‍ය බලයක්” ගැන විශ්වාස කරනවාද කියා සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ අයගෙන් ඇසූ විට ඔවුන්ගෙන් බහුතරයක් පිළිතුරු දුන්නේ සමහරවිට “ඒ වගේ දෙයක්” පවතිනවා ඇතියි කියායි. එක්කෙනෙකු පැවසුවේ මේ ආකාරයටයි. “මොකක් හරි අද්භූත බලයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. හැබැයි ඒක දෙවි කෙනෙක්ම කියලා මම හිතන්නේ නැහැ.” දෙවි කෙනෙක් ගැන විශ්වාස කරනවා කියා පැවසූ අය පවා සිතුවේ ඔහු ඔවුන්ගේ “ජීවිතයේ ඒ තරම්ම වැදගත් තැනක් ගන්නේ නැහැයි” කියායි. එමනිසා එම වාර්තාවේ පෞද්ගලික ආගම විස්තර කර තිබුණේ “නිශ්චිත නොවූ හා විධිමත් ලෙස සකස් නොවූ සංකල්ප, අදහස් හා ප්‍රතිපත්තිවල සංකලනයක්” වශයෙනුයි. වාර්තාව අවසන් වූයේ සම්මුඛ සාකච්ඡාවට භාජන කළ බොහෝදෙනෙකුගේ මෙම පිළිතුර සමඟිනි. “මට විශ්වාසයක් තියෙනවා. හැබැයි ඒ මොකක්ද කියලා මට හරියටම විස්තර කරන්න තේරෙන්නේ නැහැ.”

කැනඩාවේ පෞද්ගලික ආගම් පිළිබඳව කළ අධ්‍යයනයකින් මේ හා සමාන නිගමනයකට එළඹිණ. එම රටෙහි එක් සඟරාවක (Alberta Report) මෙසේ සඳහන් විය. “දැන් සිතාගත හැකි ඕනෑම විෂයක් ගැන විශ්වාසයක් ඇති කරගැනීමේ ප්‍රවණතාවක් තිබේ. ඔව්, විශ්වාසවල නම් අඩුවක් නැත. එහෙත් ප්‍රශ්නය වන්නේ එම විශ්වාසයන්ට තර්කානුකූල හෝ සාධාරණ පදනමක් නොමැති වීමයි. එමෙන්ම මෙම පෞද්ගලික විශ්වාසයන් මගින් මිනිසුන්ගේ ජීවිතවලට ලබා දී ඇති මඟ පෙන්වීම කොතරම්ද කියා බලද්දී එය කිසිත් නැති තරම්ය. සදාචාරමය ප්‍රමිති සකසන ප්‍රධාන අධිකාරයක් නොමැති නිසා ඔවුන්ගේ එම විශ්වාසයන්ට කිසිදු හරයක් නැත.” එම විශ්වාසයන් අදහන අය “සම්ප්‍රදායික ආගම්වලින් යම් යම් කොටස් තෝරාගන්නා” නිසා “දෙවියන් කෑලි කෑලිවලට කැඩී ගොස් ඇති” බව එම සඟරාවේ තවදුරටත් සඳහන් විය. එසේනම්, දුර්වල හා තර්කානුකූල නොවන තර්කයන් මත පදනම් වූ තැනින් තැනින් අහුලාගත්, පැහැදිලි හා නිශ්චිත නොවන අදහස් මත තම ආගමික විශ්වාසයන් හා බලාපොරොත්තු පදනම් කරගැනීම තර්කානුකූල මෙන්ම සාධාරණ යමක් කියා සිතිය හැකිද?

ඇසුරු කිරීමට අපට ඇති අවශ්‍යතාව

අතීතයේ සිටම සමූහයක් වශයෙන් එකට ඇසුරු කිරීම, සහෝදරත්වය හා එකමුතුකමෙන් සිටීම වැනි දේවල් ආගමික බැතිමතුන් ඉතා අගේ කොට සලකා ඇත. (ක්‍රියා 2:42, 46) නමුත් පෞද්ගලික ආගමක් ඇදහීමට සිදු වන්නේ තනියෙන් වන බැවින් එම අවශ්‍යතාව සම්පූර්ණ කරගත හැක්කේ කෙසේද?

පෞද්ගලික ආගමක් අදහන විට “සෑම මිනිසෙකුම තමාගේම පල්ලිය” බවට පත් වන නිසා ජනයා අතර තිබෙන ආගමික බෙදීම් දෙගුණ තෙගුණ වෙනවා කියා ඔබ සිතන්නේ නැද්ද? “ආගම දැන් තම පෞද්ගලික අභිමතය පරිදි තෝරාගන්නා දෙයකි. . . . එහි ප්‍රතිඵලයක් වශයෙන් අපි විවිධ ආගම් සිය ගණනකින් නොව මිලියන ගණනකින් යුත් ජාතියක් බවට පත් වී තිබේ” කියා ඉහත සඳහන් සඟරාවේ පවසා තිබිණ. එසේනම්, පෞද්ගලික ආගම අධ්‍යාත්මික වියවුලකට හේතුකාරකයක් ලෙස විස්තර කර තිබීම පුදුමයට හේතුවක් නොවේ.

සාරධර්ම ගැන කුමක් කිව හැකිද?

ස්වීඩන් ජාතික බිෂොප්වරයෙකු වන මාර්ටින් ලනෙබෝ සමඟ කළ පුවත්පත් (Svenska Dagbladet) සාකච්ඡාවකදී ඔහු පැවසුවේ මෙසේයි. “පෞද්ගලික ආගමට අපේ වත්මන් යුගය වඩා අර්ථවත් එකක් බවට පත් කළ නොහැකියි. ඒ වගේම එය මතු පැමිණෙන පරම්පරාවට සාරධර්ම දායාද කර දීමට අපොහොසත් වේ.” ස්වීඩනයේ දෙමව්පියන් අතර දරුවන් ඇති දැඩි කිරීම සම්බන්ධයෙන් ප්‍රචලිත වී තිබෙන මතයකින් මෙය සනාථ වේ. ඉහත සඳහන් පුවත්පතේ එය මෙසේ කැටි කොට දක්වයි. “ඔබට කැමති දේ විශ්වාස කරන්න! ඔබේ දරුවන්ට තීරණ ගැනීමට බල කරන්න එපා. ඔවුන් සුදුසු වයසකට ආවාම තනියෙන් තීරණ ගන්න ඔවුන්ට ඉඩ දෙන්න.”

දරුවන්ට ආගමික සාරධර්ම ඉගැන්වීම ඔවුන්ගේ මනසට බලපෑම් ඇති කිරීමක් ලෙස සැලකිය හැකි බව පුවත්පතේ පිළිගෙන තිබිණ. එහෙත් ලිපිය අවසානයේදී ඒ ගැන මෙසේ සඳහන් විය. “ආගමික සාරධර්ම දරුවන්ට ඉගැන්වීම හොඳ දෙයක් වෙන්න පුළුවන. එමෙන්ම එය පෞද්ගලික තීරණයක් ගැනීමට ඔවුන්ට . . . උපකාර කළ හැකි එකම ක්‍රමයද විය හැකියි.” ඇත්තෙන්ම වත්මන් යෞවනයන් මුහුණ දෙන දුක්ඛිත තත්වයන්ගෙන් පැහැදිලි වන්නේ මතු පරම්පරාවට දායාද කර දීමට ස්ථිරසාර සාරධර්ම නැති නිසා පෞද්ගලික ආගම් පවුල් එක්සත් කිරීමට අසමත් වී තිබෙන බවයි.

පෙනෙන ආකාරයට ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු සපයා දීමට, මිනිසාව එක්සත් කිරීමට හෝ සදාචාරමය වශයෙන් මඟ පෙන්වීම් ලබා දීම සඳහා ඔහුට තිබෙන අවශ්‍යතාව සපුරාලීමට පෞද්ගලික ආගම අසමත් වී තිබේ. ඉහත සඳහන් පුවත්පතෙහි උපුටා දැක්වූ ලිපියේ පෞද්ගලික ආගම ගැන මෙසේ අදහස් දැක්වීය. “‘ඇදහිලි ක්‍රමයක්’ තුළ සිතාගත හැකි සෑම කාරණයක්ම අඩංගු වන විට එහි අර්ථවත් බව නැති වී යයි. එමෙන්ම නිදහස සීමාවකින් තොරව ලැබෙන විට නිදහසට තර්ජනයක් එල්ල වේ.”

මින් පැහැදිලි වන්නේ පෞද්ගලික ආගම බොහෝ ආකාරවලින් මිනිසාගේ අධ්‍යාත්මික අවශ්‍යතා සම්පූර්ණ කර නැති බවයි. ඇත්තෙන්ම, භෝජන සංග්‍රහයකදී තමන්ට රුචි කෑම වර්ග තෝරාගැනීම හා සමානව නානාවිධ සම්ප්‍රදායන්ගෙන් විශ්වාසයන් තෝරාගැනීමෙන් එම අවශ්‍යතාව සම්පූර්ණ කරගත හැකි බව සිතිය හැකිද? සංවිධානාත්මක ආගම් මගින්ද මෙම අවශ්‍යතාව සම්පූර්ණ කර නැති බව පැහැදිලියි. එසේනම්, අපට කුමක් වෙතටද හැරිය හැක්කේ?

[පාදසටහන]

a මළවුන් යළි ඉපදෙන බව යේසුස් ඉගැන්වූයේ නැත. ඊට හාත්පසින්ම වෙනස්ව ඔහු ඉගැන්වූයේ නැවත නැඟිටීමක් ලැබෙන තුරු මළවුන් පැවැත්මෙන් තොර, එනම් නින්දක පසු වෙනවා හා සමාන තත්වයක සිටින බවයි.—යොහන් 5:28, 29; 11:11-14.

[8, 9වන පිටුවේ පින්තූරය]

අපි ආගම සැලකිය යුත්තේ භෝජන සංග්‍රහයක් හා සමානවද? එනම් රුචි අරුචිය අනුව විශ්වාසයන් තෝරාගත හැකි යමක් ලෙසද?