Skip to content

පටුනට යන්න

නේවාසික මිතුරා සමඟ කල් ගෙවන්න මේ තරම් දුෂ්කර ඇයි?

නේවාසික මිතුරා සමඟ කල් ගෙවන්න මේ තරම් දුෂ්කර ඇයි?

යෞවන අය අසති . . .

නේවාසික මිතුරා සමඟ කල් ගෙවන්න මේ තරම් දුෂ්කර ඇයි?

“මම කවදත් හරිම පිළිවෙළයි. ඒ නිසා මගේ නේවාසික මිතුරා පොත් පත් හැම තැනම විසි කරගෙන කකුලුත් දිග ඇරගෙන TV බල බල ඉන්න කොට මට හරිම කේන්තියි. රට කජු පොතු හැමතැනම. හැම තිස්සේම කාමරයට ඇතුල් වෙන කොට මට මේ දසුන තමයි මතක් වෙන්නේ. ‘අනේ කොහොමද මේ කාමරයට යන්නේ’ කියලා මම මටම කියාගන්නවා.”—ඩේවිඩ්.

“මගේ නේවාසික මිතුරිය හුරතලේට හැදිච්ච කෙනෙක්. එයා හිතාගෙන ඉන්නේ අතට පයට වැඩ කරලා දෙන්න වැඩකාරයෝ ඉන්නවා කියලා. හැම දෙයක්ම එයාට ඕන විදිහට තමයි එයා කරන්නේ.”—රනේ a

“නාඳුනන්නාවූ කෙනෙකුගේ ආවේණික ගති පැවතුම් දරාගැනීමට ඉගෙනගැනීමෙන් නම්‍යසුලු වීමේ සහ වෙනස්කම් දරාගැනීමේ කලාව ඉගෙනගත හැකිය. නමුත් එය අතිශයෙන් වේදනාකාරි යමක්” කියා අමෙරිකාවේ එක් පුවත් වැකියක (U.S.News & World Report) සඳහන් වුණා. නේවාසික මිතුරෙක් හෝ මිතුරියක් සමඟ කල් යැවූ කෙනෙකු නම් ඔබත් එයට එකඟ වෙයි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන බොහෝ ශිෂ්‍යයන් තම පාසැල් වියහියදම් පිරිමසා ගැනීමට තවත් කෙනෙකු සමඟ තම නේවාසික කාමරය බෙදාගන්නවා. තවත් යෞවනයන් වෙනත් කෙනෙකු සමඟ කාමරයක කල් ගෙවන්නේ දෙමාපියන්ගෙන් නිදහස් වෙන්න. ඒත් යෞවන ක්‍රිස්තියානීන් එවන් ක්‍රියාමාර්ගයක් ගන්නේ ආත්මික කටයුතු කරගෙන යෑමටයි. (මතෙව් 6:33) ඔවුන් සොයාගෙන තිබෙනවා, එලෙස තවත් කෙනෙකු සමඟ වියහියදම් බෙදාගැනීම පූර්ණකාලීන එවැන්ජලිස්තවරයෙක් වීමට පිටිවහලක් වන බව. ඒ වගේම මිෂනාරි සේවයේදීත් ශාඛා කාර්යාලවල සේවය කිරීමේදීත් කාමරය තවත් කෙනෙකු සමඟ බෙදාගැනීමට සිදු වෙනවා. b

අප (පිබිදෙව්!) නේවාසික මිතුරෙකු හෝ මිතුරියක් සමඟ කල් යැවූ තරුණ තරුණියන් ගණනාවක් සමඟ කතා බහ කළා. ඒ හැම කෙනෙක්ම වගේ කියූ දෙයක් තමයි කාමරය තවත් කෙනෙකු සමඟ හවුලේ බෙදාගැනීමෙන් කුලිය ගෙවාගැනීමට, ඒ වගේම හොඳ මිත්‍රත්වයක් භුක්ති විඳීමට, කතා කිරීමට සහ එකතු වෙලා යම් දේවල් කිරීමට හැකි වන බව. “අපි එකතු වෙලා විශේෂයෙන් ගෑනු ළමයි කතා කරන්න ආස දේවල් ගැන කතා කර කර ඉන්නවා” කියා ලීන් පවසනවා. රනේ මෙහෙම කියනවා. “නේවාසික මිතුරියකට පුළුවන් අපිව දිරිගන්වන්න. ටිකක් මෙහෙම හිතන්න. ඔබ රස්සාවක් කරගෙන, තනියම බිල් පත් ගෙවාගෙන ඒ වගේම දේශනා සේවයත් කරගෙන හැම දෙයක්ම තනියම කරගෙන ඉන්නවාට වඩා තව කෙනෙක් සමඟ ඒ දේවල් හවුලේ බෙදාගන්න එක හොඳ නැද්ද?”

නමුත් වෙනත් කෙනෙකු සමඟ එකම කාමරයේ විසීම, විශේෂයෙන්ම මුලදී ඔබ මුළුමනින්ම පාහේ නොදන්නා කෙනෙකු සමඟ විසීම අභියෝගයකි. පාසැල්වල තත්වයන් සැලකිල්ලට ගනිමින් එක් වාර්තාවක (U.S.News & World Report) මෙසේ පවසා තිබුණා. “නේවාසික කාමරයකට ගැළපෙන දෙදෙනෙක්ව සෙවීමට කොතරම් යත්න දැරුවත් එය මෙතෙක් සාර්ථක වී නැහැ.” ඇත්තම කියනවා නම් පාසැල් නේවාසික කාමරවල සිටින ශිෂ්‍යයන්ගේ ගැටුම් කොතරම් උත්සන්න වීද යත් එය මඟ පාදා තිබෙන්නේ සැහැසියාවට! තම කාමර මිතුරා කෙරෙහි තිබෙන අකමැත්ත විවෘතව ප්‍රකාශ කිරීමට අන්තර් ජාලය අතකොළුවක් වී තිබෙනවා. ඇත්තෙන්ම තවත් කෙනෙකු සමඟ නවාතැන් ගැනීම මෙතරම් අමාරු කාර්යයක් වී ඇත්තේ මන්ද?

නොදන්නා කෙනෙකු සමඟ විසීම

“නොදන්නා කෙනෙකු සමඟ ඉන්න එකත් එක්තරා විදිහේ අද්දැකීමක්. මොකද ඔහු කොයි වගේ කෙනෙක්ද කියලා අපි දන්නේ නැහැනේ.” ඒ මාර්ක් නමැති යෞවනයාගේ අදහසයි. සමහරවිට ඔබේ පසුබිමට කිසිම සමානකමක් නැති ඔබට ගැළපෙන්නෙම නැහැයි කියලා හිතෙන කෙනෙකු සමඟ එකට වෙසෙන කොටත් ඔබට යම් නොසන්සුන් බවක් දැනෙනවා ඇති. සාමාන්‍යයෙන් සැබෑ ක්‍රිස්තියානීන්ට කතා කිරීමට බොහෝ පොදු දේවල් තිබෙනවා. ඒත් ඩේවිඩ් මෙහෙම කියනවා. “තවත් කෙනෙකු සමඟ කාමරයේ ඉන්න වෙනවා කියනකොට මට බයක් දැනුණා.”

ඩේවිඩ්ගේ නේවාසික මිතුරාත් ඔහු හා සමාන පසුබිමක හැදුණ කෙනෙක් වුණ නිසා ඇත්තටම වාසියක් වුණා. ඒ වුණත් බොහෝ අවස්ථාවල නේවාසික මිතුරන් එකිනෙකා ගැළපෙන්නේ නැහැ. “මාත් සමඟ කාමරයේ මුලින්ම හිටිය කෙනා වැඩි කතා බහක් නැහැ. එකම කාමරයේ ඉන්නකොට කතා නොකර ඉන්න අමාරුයි. මට එයාව ඇල්ලුවේ නැහැ” කියා මාර්ක් පවසනවා.

පවුල් පසුබිම්වල තිබෙන වෙනස්කම් නිසා දුෂ්කරතාවන් ඉස්මතු වෙනවා. “ඔබ මුල්ම වතාවට තනියම ජීවත් වෙන්න පටන්ගත්තාම, ඔබ කැමති විදිහට කටයුතු කිරීමට තමයි ඔබ මනාප. ඒත් වැඩි කල් නොගොස් අන් අයගේ රුචි අරුචිකම්වලට ගරු කළ යුතුයි කියා ඔබට වැටහේවි.” එසේ පැවසුවේ ලීන්. කුරුලු කූඩුවක් වන් ඔබේ නිවසේ ආරක්ෂාව හා සුව පහසුව භුක්ති විඳලා එක විගස වෙනස් ආකල්පයන් තිබෙන අය සමඟ ජීවත් වීමට සිදු වන විට එය ඔබට එක්තරා විදිහක කම්පිත කරවන අද්දැකීමක් වන්න පුළුවන්.

වෙනස් පසුබිම්, හැදියාවන් හා ගති පැවතුම්

මෙහිදී යෞවනයෙක් හෝ යෞවනියක් තම දෙමාපියන්ගෙන් ලබන නිසි පුහුණුව විශාල කාර්ය භාරයක් ඉටු කරනවා. බොහෝ දුරට කාරණා කටයුතු හසුරුවන ආකාරය රැඳී පවතින්නේ මේ කාරණය මතයි. (හිතෝපදේශ 22:6) මේ පිළිබඳව ෆනැන්ඩෝ නමැති යෞවනයා මෙසේ පවසනවා. “මම හරිම පිළිවෙළකට වැඩ කරන කෙනෙක්. ඒත් මගේ නේවාසික මිතුරා කමකට නැහැ. උදාහරණයක් කියනවා නම්, එයා එයාගේ බඩු හැම තැනම දානවා. හැබැයි මම කැමති බඩු මුට්ටු එල්ලලා පිළිවෙළකට තියන්න.” සමහර අවස්ථාවල එකිනෙකාගේ ප්‍රමිති පවා මුළුමනින්ම වෙනස්.

රනේ තම නේවාසික මිතුරන් ගැන මෙසේ මතකයට නඟනවා. “මාත් එක්ක හිටිය කෙනා කාමරය තියාගෙන හිටියේ කුණු ගොඩක් වගේ. තව කෙනෙක් හිටියා. එයා කෑම කාලා මේසේ පිරිසිදු කරන්නේ නැහැ කවදාවත්. දවස් ගණන් කෑම කාපු පිඟන් කෝප්ප සින්ක් එක ළඟ ගොඩගැහිලා.” ගෙදර දොරේ වැඩ සම්බන්ධයෙන් නම් සමහර නේවාසික මිතුරන්ට හිතෝපදේශ 26:14හි සඳහන් දෙය හොඳින් ගැළපේ. එහි පවසන්නේ, “දොර ඒකේ අසව්ව පිට කරකැවෙන්නාක් මෙන් අලසයා තමාගේ ඇඳ පිට පෙරළෙන්නේය.”

නමුත් අනික් අතට, ඕනෑවට වඩා පිළිවෙළ ඇති කෙනෙකු සමඟ එක කාමරයක වෙසෙන එකත් හිසරදයක්. ලී නමැති යෞවනිය තම නේවාසික මිතුරියක් ගැන පවසන්නේ මෙසේයි. “සාමාන්‍යයෙන් පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒත් මෙයා අන්තයටම ගිහිල්ලා. මමත් පිළිවෙළකට තමයි වැඩ කරන්නේ. සමහර වේලාවට මම පොත් වගේ දේවල් ඇඳ උඩ තියලා යනවා. එයා මේක දකින්නේ මහා ලොකු වරදක් විදිහට.”

නේවාසික මිතුරන්ට පෞද්ගලික පිරිසිදුකම සම්බන්ධයෙන් තමන්ගේම අදහස් උදහස් තිබෙන්න පුළුවන්. මාර්ක් මෙසේ පවසනවා. “මාත් එක්ක හිටිය නේවාසික මිතුරා නැඟිටින්නේ අන්තිම මොහොතේ. ඊට පස්සේ සින්ක් එක ළඟට දුවලා ගිහිල්ලා වතුර ටිකක් මුහුණට ඉහාගෙන එනවා.”

හැදී වැඩෙන පරිසරය සහ පෞද්ගලිකත්වයේ වෙනස්කම් නිසා එකිනෙකා කැමති විනෝදාංශත් යම් විදිහකින් හිරිහැරයක් වෙන්න පුළුවන්. “අපි දෙන්නා එකම සංගීතයට නෙමෙයි ප්‍රිය කළේ” කියා මාර්ක් පවසනවා. නමුත් අන්‍යොන්‍ය ගෞරවය තිබෙනවා නම් එවන් වෙනස්කම් තිබීමත් ප්‍රයෝජනදායකයි. එය දෙදෙනාගේම රුචි අරුචිකම් පිළිබඳ අවබෝධය පුළුල් කරනවා. ඒත් බොහෝ විට මෙම වෙනස්කම් මඟ පාදන්නේ ගැටුම්වලට. ෆනැන්ඩෝට මේ අද්දැකීම තියෙනවා. “මම කැමති ස්පාඤ්ඤ සංගීතයට නිසා මගේ යහළුවා හැම තිස්සේම මට අනං මනං කියනවා.”

දුරකථනයත් ප්‍රශ්නයක්

දුරකථනය භාවිතා කිරීම විශාල ගැටලුවක් විය හැකියි. මාර්ක් පවසන්නේ මෙසේයි. “මම ඉක්මනට නිදාගන්න යනවා. නමුත් මගේ යහළුවා රෑ වෙනකම් දුරකථනයෙන් කතා කර කර ඉන්නවා. හැමදාමත් මේක ඉවසන්න පුළුවන්ද?” ලීන්ටත් එවැනිම අද්දැකීමක් තිබෙනවා. “මාත් සමඟ ඉන්න මිතුරියගේ යහළුවන් උදේ පාන්දර 3ට 4ට විතර දුරකථනයෙන් කතා කරනවා. එයා නැති වේලාවට මට නැඟිටලා කතා කරන්න වෙනවා. අන්තිමේදී අපි තීරණය කළා වෙනම වෙනම දුරකථන තියාගන්න.”

නමුත් හැම කෙනෙකුටම තමුන්ටම කියලා දුරකථනයක් තබාගන්න හැකියාවක් නැහැ. ඒ නිසා එකම දුරකථනය පාවිච්චි කරන්න සිදු වෙන අතර ප්‍රශ්නවලටද මුහුණ දෙන්න වෙනවා. රනේට තිබූ ගැටලුව ගැන ඇය මෙසේ පවසනවා. “මාත් එක්ක හිටිය එක මිතුරියකට පෙම්වතෙක් හිටියා. ඇය හැම වේලාවේම පැය ගණන් දුරකථනයේ එල්ලිලා තමයි ඉන්නේ. එක මාසයක දුරකථන බිල ඩොලර් 90ක් ආවා. (රුපියල් 8,100ක් පමණ) අපි හැම බිලක්ම බෙදාගෙන ගෙවන්න තීරණය කරගෙන හිටපු නිසා මේ බිලටත් මට බාගයක් ගෙවන්න සිදු වුණා.”

දුරකථනය අවශ්‍ය වේලාවට ලබාගැනීමත් ප්‍රශ්නයක්. “මගේ කාමරයේ හිටිය අනෙක් කෙනා මට වඩා වැඩිමහල්. අපිට තිබුණේ එක දුරකථනයක්. මට ගොඩක් යහළුවෝ හිටිය නිසා මම තමයි නිතරම දුරකථනය පාවිච්චි කරන්නේ. ඇය කිසිම දෙයක් පැවසුවේ නැහැ. මම හිතුවේ එයාට දුරකථනය අවශ්‍ය නම් මට කියයි කියලා. මට දැනුයි තේරෙන්නේ මම කොයිතරම් ආත්මාර්ථකාමිද කියලා.”

නිදහස අඩුයි

“හැමෝටම තමුන්ටම කියලා කාලයක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මම කැමතියි ටිකක් ඇඳේ ඇලවිලා නිවාඩු පාඩුවේ ඉන්න” කියා ඩේවිඩ් පවසනවා. ඔබ වෙනත් කෙනෙකු සමඟ කාමරය බෙදාගන්නවා නම් නිදහසේ කාලය ගත කිරීමට ප්‍රස්තාවක් සොයාගැනීම අභියෝගයක්. “මම ආසයි ටිකක් තනියම ඉන්න. ඒත් ඒකට ඉඩක් නැහැ. මගෙයි එයාගෙයි කාල සටහනේ වැඩ යෙදිලා තියෙන්නේ එකම වේලාවට. නිදහසක් ඇත්තෙම නැහැ” කියා මාර්ක් පවසනවා.

යේසුස් ක්‍රිස්තුස්ටත් යම් අවස්ථාවලදී නිදහසේ සිටීමට අවශ්‍ය වුණා. (මතෙව් 14:13) ඒ නිසා තව කෙනෙක් කාමරයේ ඉන්න විට යමක් කියවන්න, පාඩම් කරන්න එසේ නැතහොත් මෙනෙහි කරන්න අමාරු විය හැකියි. මාර්ක් මෙහෙම කියනවා. “පාඩම් කරන්න යනකොට මොනවා හරි දෙයක් වෙනවා. එක්කෝ මාත් එක්ක ඉන්න මිතුරාගේ යහළුවෝ එනවා. එක්කෝ එයා දුරකථනයේ එල්ලිලා. එහෙම නැත්නම් TV එක හරි රේඩියෝ එක හරි දාගෙන ඉන්නවා.”

නේවාසික කාමරය තවත් කෙනෙකු සමඟ බෙදාගැනීම අභියෝගයක් වුණත් එම අභියෝගය සාර්ථකව ජයගත් යෞවනයන් දහස් ගණනක් ඉන්නවා. නේවාසික මිතුරා සමඟ පෑහී කල් ගෙවීමට උපකාරවත් වන ප්‍රායෝගික ක්‍රම සමහරක් මෙම ලිපි මාලාවේ මතු ලිපිවල පළ කරනු ලබයි.

[පාදසටහන්වල]

a සමහර නම් වෙනස් කර ඇත.

b මෙහි උපදෙස් ඍජුවම යෞවන අයට ඉදිරිපත් කළත් යම් හේතූන් නිසා හෝ වැන්දඹුභාවය නිසා හෝ කාමරයේ තවත් කෙනෙකු සමඟ කල් යවන වැඩිහිටියන්ටද මෙම උපදෙස් උපකාරවත් වේවි.

[12, 13වන පිටුවේ පින්තූරය]

සංගීත රසාස්වාදයේ විවිධ රුචි අරුචිකම් තිබීමත් අභියෝගයක් විය හැකියි

[14, 15වන පිටුවේ පින්තූරය]

සැලකිලිමත් නොවීම නිසා ගැටලු ඇති විය හැකියි