Skip to content

පටුනට යන්න

බිම් පලස් කෙතරම් සුරක්ෂිතද?

බිම් පලස් කෙතරම් සුරක්ෂිතද?

බිම් පලස් කෙතරම් සුරක්ෂිතද?

බිම් පලස්වලින් ආවරණය කළ නිවෙස් තුළ ඔබ කෙතරම් වේලාවක් ගත කරනවාද? නිව් සයන්ටිස්ට් සඟරාවේ වාර්තාවක් පවසන්නේ, ඊට ලැබෙන පිළිතුර සැලකිලිමත් විය යුතු කරුණක් විය හැකි බවය. දරුවන් සඳහා එය විශේෂ වේ.

එම සඟරාවේ මෙසේ පළ වේ. “එළිමහන්වල ඉන්නවාට වඩා ගොඩනැඟිලි තුළ සිටියදී අධික විෂ දූෂක ද්‍රව්‍යවලට අප නිරාවරණය වන ප්‍රමාණය 10 සිට 50 දක්වා වාරයකින් වැඩි වේ.” එක්සත් ජනපදයේ පාරිසර ඉංජිනේරුවෙකු වූ ජෝන් රොබට්ස් පවසන්නේ නිවාස තුළ අතුරා ඇති බිම් පලස්වල තිබෙන දූවිලි අංශුවල දූෂක ද්‍රව්‍යය කන්දරාවක් තිබිය හැකි බවය. මේවාට ඊයම්, කැඩ්මියම්, රසදිය, කෘමිනාශක සහ PCBs මෙන්ම PAHs (කාසිනෝජනික් පොලික්ලෝරිනේටඩ් බයිෆෙනොල්ස් සහ පොලිසයික්ලික් ඇරෝමැටික් හයිඩ්‍රොකාබන්ස්) වැනි රසායනික ද්‍රව්‍යය ඇතුළත්ය.

වාර්තා වී ඇති අන්දමට, පාවහන් හා සුරතල් සතුන්ගේ පහුරු පාද මගින් නිවස තුළට එන කෘමිනාශකවලට බිම් පලස්වල තිබෙන දූවිල්ලේ රැඳී ඇති කෘමිනාශක ප්‍රමාණය 400 ගුණයකින් වැඩි කළ හැක. මෙම දූෂක ද්‍රව්‍යය වසර ගණනාවක් පුරා එහි රැඳී පවතින බව කියැවේ. කෘමිනාශක සහ PAHs අර්ධ වාෂ්පශීලී බැවින් ඒවා වාෂ්ප වී, පාවී ඉන්පසු පලස් මත හෝ වෙනත් මතුපිටවල් මත යළිත් තැන්පත් වේ.

බිම ඉඳගෙන නිතර සෙල්ලම් කරන කුඩා දරුවෝ තම ඇඟිලි කටේ දමාගනිති. එබැවින් ඔවුහු දූෂකවලට විශේෂයෙන්ම ගොදුරු වෙති. එමෙන්ම, වැඩිහිටියන්ට වඩා බරෙන් අඩු වුවත් කුඩා දරුවන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් නිසා ඔවුහු ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ වැඩිහිටියන්ට වඩා වේගයෙනි.

ගොඩනැඟිලි තුළ බිම් පලස් යෙදූ කොටස් වැඩිවීම දරුවන් තුළ ඇදුම, අසාත්මිකතාව හා පිළිකා වැනි රෝග වැඩිවීමට දායක විය හැකි බව ඇතැම් පර්යේෂකයන්ගේ අදහස වී ඇත. රොබට්ස් මෙසේ පවසයි. “බිම් පලස් අතුරන්නේ නැතුව තැන් කීපයකට පමණක් පාපිස්නා දමා ඇති නිවසක තිබෙන්නේ මුළු බිමටම බිම් පලස් අතුරා ඇති නිවසක තිබෙන දූවිලි ප්‍රමාණයෙන් දහයෙන් එකක් පමණක් විය හැකියි.”

රොබට්ස් යෝජනා කරන්නේ, බිම් පලස් වඩාත් සුරක්ෂිත කිරීමට නම් ඔබ හොඳින් දූවිලි ඇදගන්නා වැකියුම් ක්ලීනරයක් භාවිතා කළ යුතුයි කියාය. ඉන්පසු, සති කීපයක් පුරා සතියකට වරක් ප්‍රධාන දොරටුව අසල අඩි හතරක කොටසක් තුළ 25 වතාවක් ක්ලීනරය එහාට මෙහාට යවන්න. ගමන් කිරීමට වැඩියෙන් භාවිතා කරන ප්‍රදේශය එලෙස 16 වතාවක්ද, පලස අතුරා ඇති ඉතිරි කොටස් 8 වතාවක්ද වැකියුම් කරන්න.

ඔබ මෙම සරල ක්‍රියාදාමය සම්පූර්ණ කළ පසු සතියකට වරක් ඉහත නිර්දේශ කර ඇති සංඛ්‍යාවන්වලින් අඩකට සීමා වුවත් දූවිලි මට්ටම අවම කරගැනීමට ඔබට හැකි වෙයි. රොබට්ස් මෙසේද අවවාද කරයි. “ඔබේ නිවසට ඇතුල් වන ස්ථානවල උසස් ගණයේ පාපිසි තබන්න; ඇතුල් වීමට පෙර හොඳින් දෙවරක් පාද පිස දමන්න.”