Skip to content

පටුනට යන්න

කුහුඹු වෙස් ගන්නා මකුළුවෙක්

කුහුඹු වෙස් ගන්නා මකුළුවෙක්

කුහුඹු වෙස් ගන්නා මකුළුවෙක්

මේ පුංචි මකුළුවා හෙමින් සීරුවේ කූඹි ගුලකට රිංගාගෙන සතුරන් අතරේ හොර රහසේ ඉන්නයි බලන්නේ. ඌ උගේ පෙනුම හා හැසිරීම වෙනස් කරගන්නේ අහු නොවී ඉන්නයි. මෙහෙම කරන එක වැදගත්. මොකද කුහුඹුවන් ඇවිස්සුණොත් උන් හුඟක් දරුණු වෙන්න පුළුවන්. මකුළුවන්ට තියෙන්නේ කුහුඹුවන්ට වඩා වෙනස් සිරුරක් නිසා ඒ වැඩේ ලේසි පහසු දෙයක් නම් නෙවෙයි.

කුහුඹුවාට කකුල් හයකුයි, ස්පර්ශක දෙකකුයි තියෙනවා. ඒත් මකුළුවාට කකුල් අටක් තිබුණත් එක ස්පර්ශකයක්වත් නැහැ. ඉතින් කොහොමද මකුළුවා කුහුඹුවෙක්ගේ වෙස් ගන්නේ? මෙන්න මෙහෙමයි. ඌ කූඹි ගුලේදී දුවන්නේ කකුල් හයකින්. අනිත් කකුල් දෙක ස්පර්ශක වගේ පේන්න උස්සගන්නවා.

ඒ විතරක් නෙවෙයි, මකුළුවා උගේ ස්පර්ශක දෙක එහාට මෙහාට සොලවන්නේ හැබෑම ඒවා වගෙයි. මොනතරම් දක්ෂ ලෙස සොලවනවද කියනවා නම්, ඒවා පෙනෙන්නේ කුහුඹුවන්ගේ ස්පර්ශක වගේමයි. අනිත් එක, මේ හොර තක්කඩියට පුළුවන් කුහුඹුවන් වගේ පැද්දි පැද්දි, සිග්සැග් ක්‍රමයට ඇවිදින්නත්!

උගේ ආරක්ෂාව සලසගන්න නම් කූඹි ගුලේ වැසියෙක් හැටියට ඌව පිළිගැනීම අත්‍යවශ්‍යයි. ඒ නිසා මකුළුවා හදන්නේ හැම අතින්ම කුහුඹුවා වගේ වෙන්නයි. කූඹි ගුලේ ඉන්නකොට මකුළු දෙබරු ඇතුළු ස්වාභාවික සතුරන්ගෙන් මකුළුවන්ට ආරක්ෂාව ලැබෙනවා. මකුළුවා සියුමැලියි කියා සිතමින් ගී ගයන කුරුල්ලන් පවා ඌට පාඩුවේ ඉන්න ඉඩඅරිනවා. මකුළුවන් ගොදුරට ගන්නා වෙනත් මකුළුවනුත් අනුකරණය කරන්නාගේ “ස්පර්ශක” නිසා රැවටෙනවා.

එහෙත්, පක්ෂියෙක්, උරගයෙක් හෝ වෙනත් සත්වයෙක් කුහුඹු ජනපදයට ප්‍රහාර එල්ල කළොත් මකුළුවා ඉක්මනින්ම නියම වෙස් අරගෙන එතනින් පැනගන්නවා. මකුළුවන්ට කුහුඹුවන්ට වඩා හොඳ දෘෂ්ටියක් තියෙන නිසාත්, කුහුඹුවන්ට පනින්න බැරි වුණත් උන්ට හොඳින් පනින්න පුළුවන් නිසාත් ලේසියෙන්ම පැනලා යන්න උන්ට පුළුවන්.

දිවා කාලේදී කූඹි ගුල ඇතුලේ කොහොමහරි අහු නොවී ඉන්නයි මකුළුවා බලන්නේ. හැබැයි රාත්‍රි කාලේදී ඌ ක්‍රියාශීලී වෙලා කූඹි ගුලේම ඉන්න කුහුඹුවන්ව ගොදුරු කරගෙන කූඹි ගුල උගේ රජදහන කරගන්නවා! උගේ ක්‍රියාකලාපය අනාවරණය වුණොත් ඌ කකුල් අටෙන්ම සුරුස්ගාලා පැනලා යනවා.

කූඹි ගුලේදී පිරිමි මකුළුවාට ගැහැණු මකුළුවෙකුත් එකතු වෙන්න ඉඩ තිබෙනවා. ඈ තම මිතුරාට විශ්වාසවන්තභාවය දක්වනවා පමණක් නොව තමන් උපාය දක්ෂව ක්‍රියා කරන බවත් පෙන්වනවා. කූඹි ගුල තුළ ඈ ආරක්ෂිත දැලක් බඳින්නේ ඇගේ මිතුරාට විතරක් නෙවෙයි ඇගේ බිත්තරවලටත් ආරක්ෂාව සලසන්නයි.

මේ මකුළුවා ගැන තව බොහෝ දෑ ඉගෙනීමට තිබෙන බවට සැකයක් නැහැ. අනික, මිහිමත වෙසෙන සත්ව ජීවීන්ගේ වෙනත් විශේෂ බොහොමයක් ගැනත් කියන්න තියෙන්නේ ඒ ටිකමයි. අනාගතයේදී දෙවිගේ මනබඳින මැවිලි ගැන තව බොහෝ දේ දැනගන්න ලැබෙනවා නම් ඒක මොනතරම් කදිම දෙයක් වේවිද!

[31වන පිටුවේ පින්තූරය]

කුහුඹුවන් දෙදෙනෙක් මැද මකුළුවෙක්

[හිමිකම් විස්තර]

Bill Beatty