Skip to content

පටුනට යන්න

කාමුක කෘති—ඒවා කිසි හානියක් නැති විනෝදයක්ද?

කාමුක කෘති—ඒවා කිසි හානියක් නැති විනෝදයක්ද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

කාමුක කෘති—ඒවා කිසි හානියක් නැති විනෝදයක්ද?

වික්ටෝරියානු භූ විශේෂඥයන් පොම්පේහි ඉපැරණි නටඹුන්වල කැනීම් ක්‍රමානුකූලව කරගෙන යන විට, තමන් සොයාගත් දෙයින් ඔවුන් පුදුමයට පත් වුණා. අලංකාර බිතුසිතුවම් හා වෙනත් සිත්තම් අතර ඉතා පහත් ගණයේ කාමුක සිත්තම් හා මූර්තිද ඔවුන්ට දකින්ට ලැබුණා. ඒවායේ තිබූ ඉතා පහත් ස්වභාවය මහත් පුදුමයටත් කම්පනයටත් පත් වූ අධිකාරීන් කළේ ඒවා රහස් කෞතුකාගාරවල සැඟවීමයි. මෙම පහත් සිත්තම් හා මූර්ති ප්‍රභේද කිරීමට “පොර්නොග්‍රැෆි” යන යෙදුම යොදාගත්තා. “කාමුක කෘති” හෙවත් “pornography” යන යෙදුම පැමිණියේ ග්‍රීක් භාෂාවේ පෝර්නේ සහ ග්‍රැපොස් යන වචනවලින්. එහි අර්ථය නම් “ගණිකාවන් ගැන ලිවීම” යන්නයි. වර්තමානයේ කාමුක කෘති යන්න “ලිංගික හැසිරීම් පොත්වලින්, පිංතූරුවලින්, ප්‍රතිමාවලින් හා සිනමා සිත්තම්වලින් ලිංගික කුතුහලය ඇවිස්සීමේ අටියෙන් ඉදිරිපත් කිරීම” යයි නිර්වචනය කර තිබෙනවා.

මේ දිනවල හාත්පස පැතිර තිබෙන මේ කාමුක කෘති, නවීන සමාජයේ වැඩිදෙනෙකු විසින් පිළිගනු ලබන බවක් තමයි එන්ට එන්ටම දකින්ට තිබෙන්නේ. වරෙක පහත් පෙළේ සිනමා ශාලා හා ලිංගික දුරාචාරය බහුල ලෙස සිදු වෙන ගණිකා නිවාසවලින් පිරි ගුබ්බෑයම්වලට පමණක් සීමා වූ මේවා දැන් එලිපිටම බොහෝ ප්‍රජාවන් තුළ දක්නට ලැබෙනවා. එක්සත් ජනපදයේ පමණක් කාමුක කෘති වෙළඳාමෙන් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 10කට වඩා වැඩි මුදලක් උපයනවා.

මෙය සාධාරණීකරණය කරන ඇතමුන් කියා සිටින්නේ නිරස විවාහයක් ‘රස ගන්වන්නට’ එක් ක්‍රමයක් වන්නේ කාමුක කෘති බවයි. එක් ලේඛිකාවක් මෙසේ ලීවා. “ඒවා මනෝ විකාරවලින් හෙබි ක්‍රියාශීලී ජීවිතයක් මවාපානවා. ලිංගික සැපත සඳහා අවශ්‍ය උපදෙස් ඒවායින් ලබා දෙනවා.” තවත් අය කියන්නේ ඒවා ලිංගික කාරණා ගැන අවංකව හා විවෘතව කතා කිරීමට දිරිගන්වන බවයි. වෙන්ඩි මක්එල්රෝයි නමැති ලේඛිකාව කියා සිටින්නේ “කාමුක කෘති කාන්තාවන්ට ප්‍රයෝජන අත් කර දෙන” බවයි.

නමුත් මීට හැමෝම එකඟ වන්නේ නැහැ. කාමුක කෘති බොහෝවිට විවිධාකාර හානිදායක ප්‍රතිඵල හා ආකල්ප දැරීමට හේතු වී තිබෙනවා. ස්ත්‍රී දූෂණ හා ස්ත්‍රීන්ට සහ දරුවන්ට එරෙහිව කෙරෙන වෙනත් ආකාරයේ සාපරාධී ක්‍රියාවලට කාමුක කෘති සම්බන්ධ වී තිබෙන බවයි ඇතමුන්ගේ මතය. ඉතා නින්දිත ලෙස කළ මිනිමැරුම් කිහිපයක් සම්බන්ධයෙන් අපකීර්තියට ලක් වූ ටෙඩ් බන්ඩි පිළිගත්තේ තමාට “සාපරාධී කාමුක කෘති බැලීම සඳහා ඉතා ප්‍රබල ආශාවක් තිබූ” බවයි. ඔහු මෙසේද කියනවා. “මෙම තත්වය පුද්ගලයාට විගසම පෙනී යන්නේ නැහැ වගේම එය බරපතළ ගැටලුවක් බවට හඳුනාගන්නේද නැහැ. . . . නමුත් මේ බලවත් උනන්දුව . . . අන්තිමේදී ලිංගික සාපරාධී ක්‍රියාවලට මඟ පාදනවා. මේ තත්වය ටිකෙන් ටික වර්ධනය වන ආකාරය ගැන තදින්ම කාවද්දන්නට මට වුවමනායි. එය ටික කලක් ඇතුළත වෙන දෙයක් නොවේ.”

වර්තමානයේ තිබෙන නිමක් නැති වාද විවාද හා හාත්පස පැතිර පවතින කාමුක කෘති දෙස බලන කළ, ‘මේ කාරණය ගැන බයිබලය යම් මඟ පෙන්වීමක් දී තිබෙනවාද?’ කියා ඔබ කල්පනා කරන්නට පුළුවන්.

බයිබලය ලිංගික කාරණා ගැන අවංකව කතා කරයි

බයිබලය තුළ ලිංගික කාරණා ඉතා අවංක ලෙස හා ලජ්ජාවකින් තොරව සාකච්ඡා කර තිබෙනවා. (ද්විතීය කථාව 24:5; 1 කොරින්ති 7:3, 4) “නුඹේ යෞවන වයසේ භාර්යාව කෙරෙහිම ප්‍රීති වෙන්න” යයි සාලමොන් උපදෙස් දුන්නා. “ඇගේ පියයුරුවලින් සෑම විටම සතුටු වී, ඇගේ ආදරයෙන් ප්‍රීතිමත් වෙන්න.” (හිතෝපදේශ 5:18, 19) බයිබලයේ ලිංගික කාරණා ගැන පැහැදිලි අවවාද හා උපදෙස් දී තිබෙන අතර ලිංගික සම්බන්ධකම් භුක්ති විඳිය හැකි සීමාද ඊට ඇතුළත් කර තිබෙනවා. එහි විවාහයෙන් පිටත ලිංගික සම්බන්ධකම් පැවැත්වීම තහනම් කර තිබෙනවා. ඒ වගේම සියලුම ආකාරවල අස්වාභාවික හා විකෘති ලිංගික සම්බන්ධකම්ද තහනම්.—ලෙවී කථාව 18:22, 23; 1 කොරින්ති 6:9; ගලාති 5:19.

මෙම සීමාවන් ඇතුළත පවා සංයමය හා ගෞරවය අපේක්ෂා කෙරෙනවා. “විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා” කියා ප්‍රේරිත පාවුල් ලීවා. (හෙබ්‍රෙව් 13:4) මෙම උපදෙස කාමුක කෘතිවල ඉලක්කයට හා පණිවුඩයට හාත්පසින්ම පටහැනියි.

කාමුක කෘති ලිංගිකත්වය විකෘති කරයි

ලිංගික සම්බන්ධතා ගෞරවනීය විවාහයක් තුළ සැමියා හා බිරිඳ අතර සිදු වන ප්‍රේමයේ ඉතා සමීප හා මිහිරි ප්‍රකාශයක් ලෙස හුවා දක්වනවා වෙනුවට, කාමුක කෘතිවලින් සිදු වන්නේ ලිංගික ක්‍රියා පහත් තත්වයකට පමුණුවා ඒවා විකෘති කිරීමයි. කිසිම වගකීමේ හැඟීමකින් තොරව කෙරෙන විකෘති ලිංගික ක්‍රියා කුතුහලය අවුස්සනසුලු විදිහටත් ආකර්ෂණීය අන්දමිනුත් ඒවායේ විස්තර වෙනවා. අනික් තැනැත්තා කෙරෙහි කිසිම ගෞරවයක් නොදක්වා තමන් පමණක් තෘප්තිමත් වෙන්න කියායි ඒවායින් හුවා දක්වන්නේ.

ඒවායේ විස්තර වෙන හැටියට, ගැහැනුන්, පිරිමින් හා ළමුන් යනු ලිංගික තෘප්තිය සඳහා තිබෙන භාණ්ඩයි. “සුන්දරත්වය මනිනු ලබන්නේ ශරීර කොටස්වල ප්‍රමාණයට අනුවයි. එසේ කරන්නේ නරඹන්නා තුළ යථාර්ථවාදී නොවන අපේක්ෂාවන් ඇති කරවමින්” යනුවෙන් එක් වාර්තාවක කියැවුණා. “ගැහැනුන් යනු කිසිම නමක් ගමක් නැති, ඕනෑම වේලාවක ඕනෑම මොහොතක පිරිමින්ගේ ලිංගික සෙල්ලම් බඩු බවට පත්වීමට බලා සිටින්නියන් බව පෙන්වීමට ඒවා වෑයම් කරනවා. ඔවුන්ගේ ඇඳුම් ගළවා දමා සිරුරු නිරුවත් කර මුදල් හම්බ කරගැනීමටත් හුදු විනෝදය සඳහාත් යොදාගත හැකි සෙල්ලම් බඩු ලෙස ඔවුන්ව ප්‍රදර්ශනය කොට තිබීම මොනතරම් නීච ක්‍රියාවක්ද? සමානාත්මතාවයේ, ගෞරවයේ හා මිනිස්බවේ උදාර ගතියට එය කොහොමටවත් ගැළපෙන්නේ නැහැ” යනුවෙන් පවසමින් එම වාර්තාව අවසන් වෙයි.

මීට පටහැනිව, ප්‍රේමය “අශෝභන ලෙස හැසිරෙන්නේ නැත” කියා පාවුල් ලීවා. “[එය] තමාගේම කාරණා සොයන්නේ නැත.” (1 කොරින්ති 13:5) බයිබලය සැමියන්ට අවවාද කරන්නේ ‘තමුන්ගේ භාර්යාවන්ට තමුන්ගේම ශරීරවලට මෙන් ප්‍රේම කොට’ ‘ඔවුන්ට ගෞරව දීමට’ මිස, ස්ත්‍රීන් ලිංගික ආශාවන් පිනවාගැනීම සඳහා යොදාගත හැකි නිකම් සෙල්ලම් භාණ්ඩ ලෙස සැලකීමට නොවේ. (එපීස 5:28; 1 පේතෘස් 3:7) පිරිමි හෝ ගැහැනු හෝ වේවා ඕනෑම අයෙක් වෙනත් අයගේ ලිංගික රූප නිතර නිතර බලමින් මනස දූෂණය කරගැනීම සැබවින්ම ශෝභන ක්‍රියාවක් ලෙස සැලකිය හැකිද? ඇරත් ඒ පුද්ගලයා ඇත්තටම ගෞරවය හා සැලකිල්ල දක්වන කෙනෙක්ද? ප්‍රේමය වෙනුවට කාමුක කෘතිවලින් කෙරෙන්නේ තමා ගැන පමණක් සිතමින් ආත්මාර්ථකාමී ආශාවන් මුදුන් පමුණුවාගැනීමයි.

මෙහිදී තවත් සාධකයක් සැලකිල්ලට ගත යුතුයි. එනම්, වෙනත් නුසුදුසු පෙලඹීම් හා සමානව මුලදී කුතුහලය අවුස්සන දේ පසුව සාමාන්‍ය දෙයක් හා පුරුද්දක් බවට පත් වන බවයි. එක් ලේඛකයෙක් පවසන්නේ මෙසේයි. “අවසානයේදී, [කාමුක කෘති පරිහරණය කරන්නන්ට] තව තවත් සවිස්තරාත්මක විකෘති වූ දේවල් අවශ්‍ය කරවයි. . . . තමන් හා ලිංගික ක්‍රියාවල යෙදෙන අයට තව තවත් විකාර වූ විකෘති වූ ලිංගික ක්‍රියාවල යෙදීමට බල කරයි. . . . , මින් සිදු වන්නේ නියම ස්නේහය පළ කිරීමට තමන් තුළ ඇති හැකියාව හීන කරගැනීමයි.” ඒ වගේ දෙයක් හානිකර නොවන විනෝදයක් කියා කියන්නට පුළුවන්ද? එහෙත්, කාමුක කෘතිවලින් වැළකී සිටීමට තවත් වැදගත් හේතුවක් තිබෙනවා.

බයිබලය හා රාගය

ලිංගික මනෝ විකාරවලින් මනස පුරවාගැනීමේ කිසිදු වරදක් හෝ අන්තරායක් නැතැයි කියා අදදින බොහෝදෙනෙකුට හැඟුණත්, බයිබලය කොහෙත්ම මීට එකඟ වන්නේ නැහැ. අප මනසට පුරවන දේ සහ අප ක්‍රියා කරන ආකාරය අතර ඊටම ආවේනික වූ සම්බන්ධයක් තිබෙන බව එය පැහැදිලිව කියනවා. “එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොලඹවනු ලබන කල්හිද පරීක්ෂා කරනු ලබයි. එවිට තෘෂ්ණාව පිළිසිඳගත් කල්හි පාපය බිහි කරන්නීය” යනුවෙන් ක්‍රිස්තුස්ගේ ගෝලයෙක් වූ යාකොබ් පවසනවා. (යාකොබ් 1:14, 15) යේසුස් මෙසේ පැවසුවා. “ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවෙලේම ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කළේය.”—මතෙව් 5:28.

යාකොබ් හා යේසුස් යන දෙදෙනාම පෙන්නුම් කළ පරිදි, මිනිසුන් ක්‍රියා කරන්නේ අභ්‍යන්තර ආශාවන්ගේ පෙලඹීම් අනුවයි. එම ආශාවන් පෝෂණය කළ විට කලක් ගත වෙද්දී ඒවා සිතේ ගැඹුරින් මුල් බැස ගත් දේවල් බවට පත් වෙනවා. මෙලෙස සිතට කාවැදුණු දේවලට එරෙහි වීම ඉතා අපහසු වන අතර අන්තිමේදී ඒවා පුද්ගලයෙකුව ක්‍රියාවට තල්ලු කරනවා. මෙසේ, අපගේ මනසට හඳුන්වා දෙන දෙයට පුළුවන් අප අවසානයේදී කරන දෙයට ප්‍රබල බලපෑමක් කරන්නට.

දෙවිට අප කරන නමස්කාරයට කෙළින්ම බාධා ඇති කරන්නට ලිංගික මනෝ රූපවලට හැකියි. පාවුල් මෙසේ ලීවේ ඒ නිසයි. “එබැවින්, . . . නුඹලාගේ අවයවයන්, එනම් වේශ්‍යාකමත් අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් රූප වැඳීම වූ තණ්හාවත් නසන්න.”—කොලොස්සි 3:5.

මෙහිදී පාවුල් ලිංගික රුචිය තණ්හාවට සම්බන්ධ කරනවා. තණ්හාව යනු තමාට අයිති නැති දෙයකට බලවත් ආශාවක් ඇති කරගැනීමයි. a තණ්හාව එක්තරා විදිහක රූප වැඳීමක් කියාද පවසන්නට පුළුවනි. ඒ ඇයි? මන්දයත් තණ්හාවෙන් සිටින්නා, දෙවි ඇතුළු සියලු දේට වඩා ඉදිරියෙන් තමාගේ ආශාව තබන හෙයිනි. කාමුක කෘතිවලින් සිදු වන්නේ යමෙකුට හිමි නැති දෙයකට රාගයක් උත්තේජනය කිරීමයි. “වෙනත් කෙනෙකුගේ ලිංගික ජීවිතය ඔබට වුවමනායි. . . . ඔබට සිතෙන්නේම වෙන කිසිවක් නොව නමුත් එම ආශාව කෙසේ හෝ සන්තර්පණය කරගැනීමටයි. . . . අප රාගයෙන් මත් වී සිටින දෙයට අපි නමස්කාර කරන්නෙමු” යයි එක් ආගමික ලේඛකයෙක් පවසනවා.

කාමුක කෘති දූෂිතයි

“ඉතින්, සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, . . . ඇද්ද ඒ දේවල් මෙනෙහි කරන්න” යනුවෙන් බයිබලය අනුශාසනා කරනවා. (පිලිප්පි 4:8) කාමුක කෘතිවලින් තමන්ගේ ඇස් හා මනස පෝෂණය කරන පුද්ගලයෙක් කරන්නේ පාවුල්ගේ අනුශාසනාව ප්‍රතික්ෂේප කිරීමයි. කාමුක කෘති ඉතා අවිනීතයි. මන්ද ඒවා කෙනෙකුගේ ඉතා පෞද්ගලික වූ රහසිගත වූ ක්‍රියා මහජන ප්‍රදර්ශනයට තබයි. එය ඉතා තුච්ඡයි, නීචයි, පහත්. මන්ද ඒවායින් මිනිසුන්ගේ මානුෂික ගතිය නැති කර ඔවුන්ව පහත් කරනවා. එය අනාදරයි, මන්ද ඉන් මුදු මොළොක්කම හෝ සැලකිල්ල ඇති කරන්නේ නැහැ. එයින් හුදෙක් වන්නේ ආත්මාර්ථකාමී රාගය ඇවිස්සීම පමණයි.

කිසිම සමාජීය වගකීමක් හෝ සැලකිල්ලක් නැතිව කරන දුරාචාරමය හා නීච ක්‍රියා නිදහසේ ප්‍රදර්ශනය කරන කාමුක කෘතිවලින් සිදු වන්නේ ‘නපුරට ද්වේෂ කිරීමට’ ක්‍රිස්තියානියෙකු දරන උත්සාහයට බාධා කිරීමයි. (ආමොස් 5:15) ඒවා පාපතර පුරුදු හුවා දක්වන අතර, “වේශ්‍යාකමද සියලු ආකාර අපවිත්‍රකම හෝ තණ්හාවද නුඹලා අතරේ සඳහන් කරන්ට පමණවත් එපා. එය ශුද්ධවන්තයන්ට නුසුදුසුය. කැතකම්ද . . . නීච කවටකම්ද යන මේවාත් නුසුදුසුය” යනුවෙන් පාවුල් එපීසවරුන්ට දුන් දිරිගැන්වීම මුළුමනින්ම උල්ලංගනය කරයි.—එපීස 5:3, 4.

කාමුක කෘතිවලින් හානියක් නැතැයි කියා කොහෙත්ම පැවසිය නොහැකියි. ඒවා යමෙකුගේ ආත්මය සූරා කයි. ඒවා දූෂිතයි. ඒවායින් සම්බන්ධතා විනාශ කරන්නට පුළුවනි. ස්වාභාවිකව සිදු කෙරෙන ලිංගික සබඳතා ඉතා පහත් ගණයේ ලිංගික සූරා කෑමකට හරවන්නටත් එයට හැකියි. මනස විෂ කරමින් එහි නියැලෙන්නාගේ අධ්‍යාත්මය මරා දමයි. ආත්මාර්ථකාමී ගිජු ආකල්පවලට දිරි දෙමින්, අනුන් මිනිසුන් නොව නමුත් තමන්ගේ රාගය සන්සිඳවීමට තිබෙන භාණ්ඩ ලෙස සැලකීමට උගන්වයි. යහපත කිරීමටද, පිරිසිදු හෘදය සාක්ෂියක් ඇතුව සිටීමටද දරන ප්‍රයත්නයන් සෝදාපාළුවට ලක් කරයි. ඊටත් වඩා, යමෙකුට දෙවි සමඟ ඇති ආත්මික සම්බන්ධතාවයට හානි පැමිණවීමට හෝ එය විනාශ කර දැමීමට පවා ඊට පුළුවන්. (එපීස 4:17-19) සැබවින්ම, කාමුක කෘති යනු මුළුමනින්ම වැළකිය යුතු වසංගතයක් බව නොකිවමනායි.—හිතෝපදේශ 4:14, 15.

[පාදසටහන]

a පාවුල් මෙහිදී කතා කරමින් සිටියේ සාමාන්‍ය ලිංගික රුචිය ගැන, එනම් යමෙකුට තමාගේම විවාහක කලත්‍රයා සමඟ තබාගැනීමට කැමති සමීප ලිංගික සම්බන්ධතාව ගැන නොවේ.

[22වන පිටුවේ පින්තූරය]

විරුද්ධ ලිංගයේ අය කෙරෙහි යමෙකුට තිබෙන දෘෂ්ටිය කාමුක කෘති මගින් විකෘති කරනවා