Skip to content

පටුනට යන්න

මුල් සියවසේ ක්‍රිස්තියානීන්ගෙන් ඉගෙනගැනීම

මුල් සියවසේ ක්‍රිස්තියානීන්ගෙන් ඉගෙනගැනීම

මුල් සියවසේ ක්‍රිස්තියානීන්ගෙන් ඉගෙනගැනීම

“ක්‍රිස්තුස්ට එකඟ නැත්තාවූ, මිනිස් සම්ප්‍රදායටද ලෝකයේ ප්‍රාථමික දේවල්වලටද එකඟ වූ දර්ශනවාද සහ හිස් වූ රැවටිලිකාරකම් මාර්ගයෙන් කිසිවෙක් ඔබව කොල්ලයක් කර නොගන්නා පිණිස පරෙස්සම් වන්න.”—කොලොස්සි 2:8, NW.

මිනිස් දර්ශනය අන්ධානුකරණය කිරීමේ තිබෙන අනතුරුදායකකම ගැන මුල් සියවසේ සිටින ක්‍රිස්තියානීන්ට ප්‍රේරිත පාවුල් අනතුරු ඇඟවූයේ ඒ ආකාරයටයි. දැනටමත් ඉමහත් ප්‍රයෝජන ලබා දී ඇති යේසුස්ගේ සහ ඔහුගේ ප්‍රේරිතයන්ගේ විශ්වසනීය මඟ පෙන්වීම්වලට ඇලී සිටීමට හෝ මිලියන ගණන් ජනයාට දැනටමත් දුක්ඛ දොම්නසත් ගාවිනාවත් උරුම කර ඇති මාවතක් වන සෑම මොහොතකම වෙනස් වන මිනිසුන්ගේ සිද්ධාන්තවල ගොදුරක් බවට පත්වීමට හෝ ඔවුන්ට හැකිකම තිබිණ.—1 කොරින්ති 1:19-21; 3:18-20.

‘ක්‍රිස්තුස්ට එකඟව’ ජීවත් වීම

‘ක්‍රිස්තුස්ට එකඟව’ ජීවත් වීම කීමේදී, හුදෙක් තමන් යේසුස් ක්‍රිස්තුස්ට පක්ෂපාතයැයි කියාගැනීමට වඩා වැඩි යමක් අදහස් කරනවාය යන හරය වටහාගැනීමට අවුරුදු දහස් ගණනකට පෙර කුරුස යුද්ධවල යෙදුණු හේවායෝ අසමත් වූහ. (මතෙව් 7:21-23) එයින් අදහස් කරන්නේ, දෙවිගේ ආනුභාවය ලත් වචනය වන බයිබලයේ අඩංගු යේසුස්ගේ ඉගැන්වීම්වලට සම්පූර්ණයෙන්ම එකඟව ජීවත් වීමයි. (මතෙව් 7:15-20; යොහන් 17:17, 18) “ඔබ මාගේ වචනයෙහි පවතිනවා නම්, සැබවින්ම ඔබ මාගේ ගෝලයෝය” කියා යේසුස් කීවේය. (යොහන් 8:31, NW) “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත.”—යොහන් 13:35, NW.

සැබවින්ම, කුරුස යුද්ධයේ යෙදුණු හේවායෝ ‘මිනිස් සම්ප්‍රදායට එකඟ වූ හිස් වූ රැවටිලිකාරකම්වල’ ගොදුරක් බවට පත් වූහ. තම ආගමික නායකයන් සහ බිෂොප්වරුන් “ප්‍රසිද්ධ හමුදා නිලධාරීන් බවට පත් වූ විට” සාමාන්‍ය ජනයා රැවටී යෑම පුදුමයක් නොවේ. “පූජකයන් අතර යුධමය ස්ප්‍රීතුවක් නැත්නම් ස්වභාවයක් පැවතුණු” බව ම’ක්ලින්ටොක් සහ ස්ට්‍රෝංගේ කෘතියක (Cyclopedia of Biblical, Theological, and Ecclesiastical Literature) පවසයි. “එයින් යම් වාසි ඇති බව දැනගත් ගමන් යුද්ධයට යන්ට ඔවුහු ඕනෑම විටක සූදානමින් සිටියහ” යයි එය තවදුරටත් කියයි.

මේ දුක්ඛිත තත්වයට මඟ පෑදුවේ කුමක්ද? මුල් සියවසේ සිටි ක්‍රිස්තියානි ප්‍රේරිතයන්ගේ මරණයෙන් පසු, ඇදහිල්ල අත්හැර ගිය සභා නායකයෝ දෙවිගේ වචනයේ කලින්ම කියා තිබූ ආකාරයට ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලින් ශීඝ්‍ර ලෙස ඉවත්ව ගියෝය. (ක්‍රියා 20:29, 30) දූෂිත පල්ලිය දේශපාලන ආණ්ඩු සමඟ අත්වැල් බැඳගන්ට පටන්ගත්තේය. හතරවෙනි සියවසේදී, රෝමානු අධිරාජ්‍යයා වන කොන්ස්ටන්ටයින් මරණාසන්නව සිටියදී ඔහුව ක්‍රිස්තියානි ධර්මයට හරවාගත්තායැයි කියැවේ. ඉන්පසුව, “පිළිම ලාංඡනවලින් කුරුස කොඩියට මාරු කිරීමෙන් සෑම ක්‍රිස්තියානිවරයෙකුම හේවායෙකු ලෙස සේවය කිරීමේ අණට යට කරනු ලැබීය” කියා ඉහත කෘතියේ සඳහන් කෙරේ.

ඇත්තෙන්ම, එවන් දෙයක් කිරීමට ක්‍රිස්තියානීන් බැඳී සිටියේ නැත. එහෙත්, මිනිස් දර්ශනවාදවල අන්තර්ගත “සිත් ඇදගන්නා තර්කයෙන්” ක්‍රිස්තුස්ගේ ප්‍රමිතිය නියෝජනය කළ සෑම ඉගැන්වීමක්ම බරපතළ ලෙස උල්ලංගනය කිරීමට ඔවුන්ව පොලඹවනු ලැබීය. (කොලොස්සි 2:4, NW) මිනිසුන්ගේ ගැටුම් සහ යුද්ධ සාධාරණීකරණය කිරීමට රැවටිලිකාර තර්ක අතීතයේ පටන් යොදාගෙන තිබේ. නැවතත් ඉහත සඳහන් කෘතියෙහි පැවසෙන්නේ, මානව හිතවාදියෙකු හෝ ආගමට බර කෙනෙකු “අතීතයේදී හෝ වර්තමානයේදී ක්‍රමානුකූලව කෙරුණු යුද්ධයේ යක්ෂාකාර ක්‍රියාවන්හි” හවුල් වීම “ක්‍රිස්තියානි ප්‍රතිපත්ති සමඟ . . . කොයිම ආකාරයකින්වත් එකඟ කළ නොහැකියි” කියාය.

ක්‍රිස්තියානි ලෝකයට අයත් නොවන ආගම්ද පසු වී ගිය සියවස් ගණනාව පුරා යුද්ධයට අතගසා තිබේ. ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි මෙන් එම ආගම්ද, ජාතික, දේශපාලනික සහ ආගමික වෙනස්කම් නිසා තමන්ගේම ආගමට අයත් සාමාජිකයන්ව මෙන්ම අනිත් අයව මරා දමා ඇත. අනිත් අයව ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට හරවාගැනීම සඳහා ඔවුන් ප්‍රචණ්ඩත්වය සහ තර්ජන යොදාගෙන තිබේ. ඔවුන්ගෙන් සමහරෙක් තම අභිමතාර්ථ ඉටු කරගැනීම සඳහා ඉතිහාසය තුළ සිදු වූ මහා මිනිස් ඝාතනවලද යෙදී ඇත. ක්‍රිස්තියානි ලෝකයේ ආගම් හා ඔවුන් අතර වෙනසක් නැත.

ලෝකයෙන් වෙනස්ව

තමන් ජීවත් වූ අවදියේ කෙරුණු ලේ පිපාසිත යුද්ධ සහ දේශපාලනික කටයුතුවලින් ඉවත්ව සිටීමට මුල් සියවසේ විසූ ක්‍රිස්තියානීන්ට හැකි වූයේ මන්ද? මූලික ප්‍රතිපත්ති දෙකක් ඔවුන්ට උදව් විය. මුල්ම එක වූයේ, යේසුස්ව ආරක්ෂා කිරීමට ප්‍රේරිත පේතෘස් කඩුව අතට ගත් විට යේසුස් ඔහුට දුන් ආඥාවයි. “ඔබේ කඩුව කොපුවේ දමාගන්න. මන්ද කඩුව ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන්ම නසින්නෝය.” (මතෙව් 26:52, NW) දෙවැන්න වූයේ, තම රජකමේ ස්වභාවය ගැන පිලාත් යේසුස්ගෙන් ඇසූ විට ඔහු දුන් පිළිතුරයි. “මාගේ රාජ්‍යය මේ ලෝකයට අයත් නොවේ. මාගේ රාජ්‍යය මේ ලෝකයට අයත් වූවා නම්, මා යුදෙව්වරුන් අතට පාවා දෙනු නොලබන පිණිස මා යටතේ සිටින්නන් සටන් කරනවා ඇත. නමුත් මාගේ රාජ්‍යය මේ ලෝකයෙන් නොවේ.”—යොහන් 18:36, NW.

මුල් සියවසේ විසූ ක්‍රිස්තියානීන් එම ප්‍රතිපත්ති අදාළ කරගත්තේ කෙසේද? ඔවුහු දේශපාලනික සහ යුධ කටයුතු සම්බන්ධයෙන් දැඩි මධ්‍යස්ථභාවයක් රැකගනිමින් තමන්ව මේ ලෝකයෙන් සම්පූර්ණයෙන්ම වෙන් කර තබාගත්හ. (යොහන් 15:17-19; 17:14-16; යාකොබ් 4:4) ඔවුහු සෙසු මිනිසුන්ට විරුද්ධව ආයුධ අතට ගැනීම ප්‍රතික්ෂේප කළෝය. මුල් සියවසේ විසූ ක්‍රිස්තියානීන් යුදෙව් ජාතිවාදී කණ්ඩායම්වලටවත් රෝමයේ රාජකීය හමුදාවටවත් නොබැඳුණු බව ඉතිහාසයෙන් පැහැදිලිව පෙනේ. එමෙන්ම, දේශපාලකයන් කරන දේ ඔවුන්ගේ වගකීම බැවින් ඔවුන් කළ යුත්තේ කුමක්දැයි කියා දෙන්ටත් ඔවුන් ගියේ නැත.—ගලාති 6:5.

ක්‍රිස්තියානීන් ‘ඔවුන්ගේ කඩුවලින් හීවැල් තනාගැනීම’ ගැන පො.යු. දෙවන සියවසේ විසූ ජස්ටින් මාටර් ලීවේය. (මීකා 4:3) ක්‍රිස්තියානීන්ගේ ස්ථාවරය ගැන විරෝධතා නැඟූ අයට ප්‍රතිචාරය දක්වමින් ටර්ටූලියන් මෙසේ ඇසීය. “කඩුව ගන්නා සෑම කෙනෙකුම කඩුවෙන්ම නසින බව ස්වාමීන් කියා තිබියදී, හේවායෙකු ලෙස සේවය කිරීම නීත්‍යනුකූලද?”

‘මිනිසුන්ට වඩා පාලකයා හැටියට දෙවිට කීකරු වීම’

යුද්ධයට යෑම ප්‍රතික්ෂේප කිරීම මුල් ක්‍රිස්තියානීන්ට පහසු දෙයක් වූයේ නැත. එය එවකට පැවති පිළිගත් අදහස් උදහස්වලට පිටින් යෑමක් විය. ක්‍රිස්තියානි ධර්මයේ සතුරෙකු වූ සෙල්සස් ක්‍රිස්තියානීන්ගේ ස්ථාවරය සමච්චලයට භාජන කළේය. ඔහු විශ්වාස කළේ බලයේ සිටින අය ඉල්ලා සිටි විට සෑම කෙනෙකුම යුද්ධයට යා යුතු බවයි. දැඩි එදිරිවාදිකම් අභිමුවේ වුවත්, ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට පරස්පර විරෝධී වූ කොයියම්ම හෝ මිනිස් දර්ශනයක් අනුගමනය කිරීම මුල් ක්‍රිස්තියානීහු ප්‍රතික්ෂේප කළහ. “මිනිසුන්ට වඩා පාලකයා හැටියට දෙවිට අප කීකරු විය යුතුයැයි” ඔවුහු කීවෝය.—ක්‍රියා 4:19; 5:29, NW.

වර්තමාන කාලයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඔවුන්ගේ ආදර්ශය අනුගමනය කරති. උදාහරණයක් හැටියට, ජර්මනියේ නාට්සි ආණ්ඩුව පැවති සමයේදී, හිට්ලර්ගේ මිනීමරු යුද්ධවලට හවුල් වීම ඔවුහු තරයේම ප්‍රතික්ෂේප කළෝය. ඔවුහු තම ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය බිඳගන්නවා වෙනුවට, ම්ලේච්ඡ පීඩා විඳදරාගැනීමට හෝ අවශ්‍ය නම් මරණයට පවා මුහුණ දීමට කැමති වූවෝය. ඔවුන් බයිබල් ප්‍රතිපත්තිවලට ඇලී සිටි නිසා නාට්සි පාලකයන් විසින් “ඔවුන්ගෙන් හරි අඩක් සිරගත කරනු ලැබූ අතර, හතරෙන් පංගුවක් මරා දැමූ” බව වාර්තා වේ. (Of Gods and Men) මෙසේ, IIවන ලෝක මහා සංග්‍රාමයේදී ඝාතනය කළ කෝටි ගණන් ජනයාගෙන් එක් අයෙකුවවත් යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු අතින් මරුමුවට පත් නොවිණි. සාක්ෂිකරුවන් බොහෝදෙනෙකු ඒ වන විටත් කර තිබුණා සේ, අනිත් අයව මරනවා වෙනුවට තම ජීවිතය වුවත් පරදුවට තබන්ට ඔවුහු කැමැත්තෙන් සිටියහ.

අපට ඉගෙනගත හැකි පාඩමක්

ඉතිහාසය අපට උගන්වන්නේ කිනම් පාඩම්ද? නිසැකවම ඉන් එකකි, ජාතීන් සහ ජනයා අතර වෛරය හා ලේ හැළීම සඳහා මිනිස් දර්ශනය නිරන්තරව හේතු වී ඇති බව. දේශනාකාරයා 8:9හි [NW] නිවැරදිව මෙසේ සඳහන් වේ. “මනුෂ්‍යයාට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔහුව ආණ්ඩු කර ඇත.” මීට පාදක වන හේතුව දේවවචනයේ යෙරෙමියා 10:23හි [NW] මෙසේ කියවීමට තිබේ. “මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැත. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ පියවර නියම කිරීම අයිති නැත.” මිනිසුන්ට දෙවිගෙන් වෙන් වී තම තමන්ගේ කාරණා සාර්ථකව කරගෙන යෑමට හැකි ආකාරයකට දෙවි මිනිසාව මැව්වේ නැත. දෙවි ඔවුන්ට එම හැකියාව නොදුණි. මුළු ඉතිහාසයම ඊට සාක්ෂි දෙයි.

ජාතීන්ගේ නායකයන් අතීත විපත් යළි යළිත් සිදු කරන මෙම වකවානුවේදී ඔවුන් කරන දේ වෙනස් කිරීමට හෝ යම් නිශ්චිත විදිහකට කටයුතු කිරීමට ඔවුන්ව පෙලඹවීමටද අපට අයිතියක් නැත. ඔවුන්ගේ ගැටුම්වල බලපෑමට හසු වී ඒවායේ පංගුකාරයන් වීමටද අවශ්‍යතාවක් අපට නැත. යේසුස් තම අනුගාමිකයන් සම්බන්ධයෙන් මෙසේ කීවේය. “මා ලෝකයට අයත් නොවන්නාක් මෙන්ම ඔවුන්ද ලෝකයට අයත් නැත.” (යොහන් 17:14, NW) මේ ලෝකයේ ගැටුම්වල පංගුකාරයන් වීමෙන් වැළකී සිටීමට නම්, සෑමවිටම වෙනස් වනසුලු මිනිස් දර්ශනවාදයට නොව අපගේ ජීවිතවලට මඟ පෙන්වීම සඳහා දෙවිගේ වචනය වන බයිබලයට අප ඉඩහැරිය යුතුයි.—මතෙව් 7:24-27; 2 තිමෝති 3:16.

පුදුමාකාර අනාගතයක්

දෙවිගේ විශ්වසනීය වචනය අතීතය සහ වර්තමානය ගැන අතිමහත් දැනුම් සම්භාරයක් සපයනවාට වඩා වැඩි යමක් කරයි. එය අනාගතය සඳහා නිසැක මඟ පෙන්වීමක් ලබා දෙයි. (ගීතාවලිය 119:105; යෙසායා 46:9-11) මේ ග්‍රහයා සඳහා දෙවිගේ අරමුණ පිළිබඳ පැහැදිලි පින්තූරයක්ද එමඟින් සපයයි. විද්‍යාව සහ තාක්ෂණය මිනිසාට දායාද කර ඇති දැවැන්ත බලශක්තිය අඥාන ලෙස අනිසි විදිහට පාවිච්චි කර පොළොව විනාශ කිරීමට දෙවි මිනිසාට ඉඩ නොදෙනු ඇත. ඒ වෙනුවට, ඔහු මුලින්ම පොළොව සඳහා අරමුණු කළ ආකාරයට මේ පොළොව පාරාදීස තත්වයකට පත් කෙරෙන බවට වගබලා ගනු ඇත.—ලූක් 23:43.

මේ සම්බන්ධයෙන් දෙවිගේ වචනයෙහි මෙසේ සඳහන් වේ. “අවංක අයවල් දේශයෙහි වාසය කරන්නෝය. නිර්දෝෂ අයවල්ද එහි නැවතී සිටින්නෝය. දුර්ජනයෝ දේශයෙන් සිඳ දමනු ලබන්නෝය. ද්‍රෝහිකම් කරන්නෝද එයින් උදුරා දමනු ලබන්නෝය.” (හිතෝපදේශ 2:21, 22) අප ජීවත් වන්නේ වත්මන් දුෂ්ට ක්‍රමයේ ‘අන්තිම දවස්වල’ බවට මේ ගැටලු සහිත තත්වයන් සාක්ෂි දෙන බැවින් ඉහත සඳහන් දෙය ඉතාම නුදුරු අනාගතයේදී සිදු වනු ඇත. (2 තිමෝති 3:1-5, 13) නිසැකවම, මේ අන්තිම දවස් ගණන් කර තිබේ. එහි දින ගණන වේගයෙන් ඉකුත් වෙමින් තිබේ. බයිබල් අනාවැකි අපට මෙසේ උගන්වයි. “ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහව යන්නේය. නුමුත් දෙවිගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.”—1 යොහන් 2:17; දානියෙල් 2:44, 45.

දෙවි ඉතාම ඉක්මනින් “පොළොව විනාශ කරන්නවුන් විනාශ කර” පවතින ප්‍රචණ්ඩකාරි ලෝකය වෙනුවට “ධර්මිෂ්ඨකම වාසය කරන” අලුත් ලෝකයක් ලබා දෙන්නේය. (එළිදරව් 11:18; 2 පේතෘස් 3:10-13) ඉන්පසුව, දෙවි ඉතිරි වන අයගේ ‘ඇස්වලින් සියලු කඳුළු පිස දමා, මරණයත් වැලපීමත් හැඬීමත් වේදනාවත් නැති කර දමන්නේය.’ (එළිදරව් 21:1-4) යෙසායා 2:4හි ඇති අනාවැකිය ඒ කාලයේදී ඉටු වනු ඇති බැවින්, යුද්ධ සහ ප්‍රචණ්ඩකාරිත්වය සදාකාලයටම නැති කර දමා තිබෙනු ඇත. “ඔවුහු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත.” ඉතිහාසය සපයා ඇති පාඩම්වලින් ඔබත් ඉගෙනගත්තොත්, එම පුදුමාකාර ජීවිතය භුක්ති විඳින්ට ඔබටත් හැකි වෙයි.—යොහන් 17:3.

[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

යෙහෝවාගේ සාක්ෂිකරුවන් මුල් සියවසේ ක්‍රිස්තියානීන්ගෙන් ඉගෙනගෙන තිබේ

[8, 9වන පිටුවේ පින්තූරය]

තමන්ගේ රාජ්‍යය මේ ලෝකයට අයිති නැතැයි යේසුස් පැවසීය

[10වන පිටුවේ පින්තූරය]

පරිපූර්ණත්වයෙන් යුත් පාරාදීස පොළොවක සදාකාල ජීවිතයක් දෙවිගේ වචනයෙහි පොරොන්දු වේ