Skip to content

පටුනට යන්න

ඔබේ හිසකෙස් ගැන ඔබ ළත වෙනවාද?

ඔබේ හිසකෙස් ගැන ඔබ ළත වෙනවාද?

ඔබේ හිසකෙස් ගැන ඔබ ළත වෙනවාද?

ඔබත් බොහෝදෙනෙකු මෙන් දිනපතාම කැඩපත ඉදිරියට ගොස් ඉතා උනන්දුවෙන් ඔබගේ හිසකෙස් පරීක්ෂා කර බලනවා විය හැකියි. ගැහැනු පිරිමි දෙපක්ෂයම තම හිසකෙස් ගැන උනන්දු වනවා පමණක් නොව එය ඔවුන් ළතවීමට පවා හේතුවක් වෙන්න පුළුවන්.

ඔබේ හිසකෙස් පිළිබඳ තොරතුරු බිඳක්

ඔබේ හිස්කබලේ කොයිතරම් කෙස් ප්‍රමාණයක් තිබෙනවාද කියා ඔබ දන්නවාද? එය දළ වශයෙන් 1,00,000ක් පමණ වෙයි. කෙස්ගසක් දිගින් දිගටම වැඩෙන්නේ නැහැ. එය අවුරුදු 2 සිට 6 දක්වා කාලයක් පුරා වැඩී ඉන්පසු හැළෙනවා. කෙටි විරාමයකින් පසුව එම කෙස්ගස වැඩුණු විවරයෙන්ම අලුත් කෙස්ගසක් වැඩෙන්න පටන්ගන්නවා. කෙස්ගසක ජීවන චක්‍රය හඳුන්වන්නේ රෝම චක්‍රය යනුවෙන්. (31වන පිටුවේ කොටුව බලන්න.) මෙම චක්‍රය නිසා නිරෝගී කෙස් කලඹක් තිබියදී පවා දිනපතාම කෙස්ගස් 70ත් 100ත් අතර ප්‍රමාණයක් ස්වාභාවිකවම හැළෙනවා.

එක් එක් අයගේ හිසකෙස්වල වර්ණය වෙනස් වන්නේ ඇයි? ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා මෙසේ පැහැදිලි කරනවා. “හිසකෙස්වල වර්ණය තීරණය වන්නේ කලු පැහැයට හුරු දුඹුරු වර්ණකයක් වන මෙලනින්වල ප්‍රමාණය හා ව්‍යාප්තිය අනුවයි.” මෙලනින් කියන්නේ හිසකෙස්වල, සමේ හා ඇස්වල පවතින සජීවී වර්ණකයක්. වර්ණක ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න හිසකෙස් වඩාත් තද පැහැයක් ගන්නවා. මෙලනින් ප්‍රමාණය අඩු වෙත්ම හිසකෙස්වල පැහැයත් අඩු වෙනවා. ඒ නිසා, අඩංගු මෙලනින් ප්‍රමාණයට අනුව හිසකෙස් කලු, දුඹුරු, රතු හෝ රන්වන් පැහැයක් ගනියි. මෙලනින් කොහෙත්ම නැත්නම් හිසකෙස් දිලිහෙන සුදු පැහැයක් ගන්නවා.

ඉස්හොරි ප්‍රශ්නයට අමතරව බොහෝදෙනෙකු ළත වන්නේ කෙස් වැටීම ගැන හෝ කෙස් පැසීම ගැනයි.

ඔබට පැසුණු හිසකෙස් තිබෙනවාද?

හිසකේ දුර්වර්ණ වීම (අළු පැහැයට හැරීම) වයසට යෑමේ සංකේතයක් ලෙසත් හිසකේ සුදුවීම මහලු වියත් සමඟ අත්වැල් බැඳගත් ලක්ෂණයක් ලෙසත් පොදුවේ සැලකෙනවා. වයසට යන්න යන්න සුදු කෙස් ගණන වැඩි වන බව ඇත්තයි. එහෙත් සුදු කෙස් වැඩිවීමට හේතු වන්නේ වයසට යෑම පමණක්ම නොවෙයි. සුදුසු තරමට වඩා ආහාර පාලනය කිරීමත් හිසකෙස් පැසීමට හේතු විය හැකියි. හිසකෙස්වල වර්ණය කුමක් හෝ වේවා ස්ත්‍රී පුරුෂභාවය කුමක් හෝ වේවා කොයි කාගෙත් හිසකේ යම් කිසි දවසක පැහෙනවා. කොහොම නමුත් කලු හෝ තද දුඹුරු පැහැති හිසකේ තිබෙන අයගේ හිසකෙස් පැහෙන විට එය වඩාත් කැපී පෙනෙනවා විය හැකියි.

කෙස් දුර්වර්ණ වීම නිසා ඇතමෙකුට වයසට වඩා වැඩි පෙනුමක් තිබෙන්න පුළුවන්. එවැනි අය මේ පිළිබඳව තැවෙනවා විය හැකියි. අනික් අතට, කෙස් දුර්වර්ණ නොවීම නිසා තම වයසට වඩා තරුණ පෙනුමක් තිබීම ගැන පුදුම වන අයත් සිටිනවා.

කෙස්ගසක් දුර්වර්ණ වීමෙන් අදහස් වන්නේ එය මිය ගොස් ඇති බව නොවෙයි. ඇත්තෙන්ම පවසනවා නම් සෑම කෙස්ගසකම සමට මතුපිටින් තිබෙන කොටස පවතින්නේ අජීවි තත්වයකයි. සෑම කෙස්ගසක්ම සම තුළට ගිලී තිබෙනවා. මෙම ගිලී තිබෙන කොටස හඳුන්වන්නේ බල්බය වශයෙනුයි. කෙස්ගසේ එකම සජීවී කොටස බල්බය වන අතර හිසකෙස් නිපදවන කම්හල එයයි. එහි කෙස් වර්ධනය වන්නේ වේගවත්ව සිදු වන සෛල විභේදනය හේතුවෙන්. කෙස් වැඩුණු විට ඒවා වර්ණක සෛල මගින් නිෂ්පාදනය කෙරෙන මෙලනින් අවශෝෂණය කරනවා. වර්ණක සෛල මගින් මෙලනින් නිෂ්පාදනය කිරීම නතර වූ විට හිසකෙස් පැසෙන්න පටන්ගන්නවා.

වර්ණක සෛල එකවිටම මෙලනින් නිෂ්පාදනය නතර කරන්නේ ඇයි කියා කිසිවෙක් දන්නේ නැහැ. මේ නිසා හිසකෙස් පැසීම වැළැක්වීමට නියම ප්‍රතිකාරයක් තවමත් සොයාගැනීමට නොහැකි වී තිබෙනවා. පෙනෙන ආකාරයට අක්‍රියාශීලී වී ඇති වර්ණක සෛල නැවතත් ක්‍රියාශීලී තත්වයට පත් වෙන්න පුළුවන්. හිසකෙස් ගැන බයිබලයේ පවා කිහිප වතාවක්ම සඳහන් කර තිබීම උනන්දුව දනවන්නක්. යේසුස්ගේ උපමාවක පැසුණු හිසකෙස් ගැන සඳහන් කර තිබෙන්නේ මේ ආකාරයටයි. “එක හිසකෙසක් සුදු කරන්ටවත් කලු කරන්නටවත් නුඹට [නොහැක].” (මතෙව් 5:36) මනුෂ්‍යයන්ට හිසකෙස් පැසීම නතර කරන්නවත් එයට පිළියමක් යොදන්නවත් බැරි බව දිගු කාලයක් පුරා පිළිගෙන තිබෙන බව මෙම වදන්වලින් පැහැදිලියි.

ඇතමෙක් මෙලනින් එන්නත් කිරීම වැනි අලුත් ප්‍රතිකාර ක්‍රම අත්හදා බලනවා. තවත් අය තම හිසකෙස් ඩයි කිරීමට තෝරාගන්නවා. ඩයි වර්ග භාවිත කිරීම පුරාණයේ සිටම කෙරුණු දෙයක්. ඉපැරණි ග්‍රීකවරුන් හා රෝමවරුන්ද ඩයි වර්ග භාවිත කළ අතර ඊජිප්තු ජාතිකයන් හිසකේ ඩයි කළේ ගොනුන්ගේ ලේවලිනුයි. ඒ වගේම යේසුස් මිහිපිට සිටිද්දී ජීවත් වූ මහා හෙරොද් රජු තම වයස සැඟවීමට පැසුණු හිසකෙස් ඩයි කළ බව වාර්තා වෙනවා.

නමුත් දිගින් දිගටම හිසකෙස් ඩයි කිරීම සඳහා කාලයත් ශ්‍රමයත් වැය වෙනවා. ඇතමෙකුට ඩයි වර්ග විෂ විය හැකියි. එසේත් නැත්නම් ඔවුන්ගේ සමට වෙනයම් ආකාරයකින් එය හානි සිදු කළ හැකියි. ඔබේ පැසුණු හිසකෙස් ඩයි කිරීමට ඔබ දැන් පෙලඹුණත් කාලයක් ගෙවුණු පසු එසේ නොකරන්න තීරණය කරන්න පුළුවන්. එසේ තීරණය කළොත් යම් කාලයක් යන තෙක් අලුත් හිසකෙස් හා ඩයි කළ හිසකෙස් අතර වෙනස කැපීපෙනෙන්න පුළුවන්. නමුත් වඩාත් ශුභවාදීව බැලුවොත්, පැසුණු හිසකෙස් නිසා ඔබට චාම් මෙන්ම කිසිදා නොතිබූ ගෞරවනීය පෙනුමක් ඇති විය හැකියි. බයිබලයේ සඳහන් වන්නේ “ධර්මිෂ්ඨකමේ මාර්ගයේ සම්බ වූ විට, පැසුණු හිසකෙස් අලංකාරයේ ඔටුන්නක්” බවයි.—හිතෝපදේශ 16:31, NW.

හිසකෙස් වැටීම හා තට්ටය පෑදීම

හිසකෙස් වැටීම හා තට්ටය පෑදීම ගැන බොහෝදෙනෙක් ළත වෙනවා. මෙම ගැටලු දෙක අද මෙන් පුරාණ කාලයේදීද පැවතුණා. පුරාණ මිසරයේ තට්ටය පෑදීම වළක්වාගැනීම සඳහා කළ ප්‍රතිකාරයේදී සිංහයන්ගේ, හිපපොටේමසයන්ගේ, කිඹුලන්ගේ, පූසන්ගේ, සර්පයන්ගේ හා පාත්තයන්ගේ තෙල් භාවිත කෙරුණා. හිසකෙස් වැටීම හා තට්ටය පෑදීම වළක්වාගැනීම සඳහා සාර්ථකයයි පැවසෙන ප්‍රතිකාර ක්‍රම ගණන් කළ නොහැකි ප්‍රමාණයක් අළෙවි කෙරෙන අතර සෑම වසරකම ඒවා සඳහා විශාල මුදල් කන්දරාවක්ද වැය කෙරෙනවා.

තට්ටය පෑදෙන්නේ රෝම චක්‍රයේ යම් වෙනසක් සිදු වූ විටයි. මන්දපෝෂණය, දවස් ගණනාවක් තිස්සේ පැවති දරුණු උණක් නැත්නම් සමේ රෝගයක් හේතුවෙන් ස්වාභාවික රෝම චක්‍රයට හානි සිදු වෙන්න පුළුවන්. ගැබ් ගැනීම හා දරු ප්‍රසූතියද රෝම චක්‍රයට බලපෑ හැකියි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සාමාන්‍ය චක්‍රය අවසන් වීමට පෙර හිසකෙස් විශාල ප්‍රමාණයක් වැටෙන්න පටන්ගනී. එයට හේතුපාදක වන තත්වයන් නැති වී යන විට හිසකෙස් වැටී යෑමද නතර වෙනවා.

හිසකෙස් වැටීමට හේතු වන තවත් දෙයක් වන්නේ ඇලොපීෂියා නම් රෝගී තත්වයයි. a මෙම රෝගී තත්වය තිබෙන විට හිස්කබලේ එක් එක් ප්‍රදේශවල කෙස් ගැළවී යනවා. මෑතකදී සිදු කෙරුණු පර්යේෂණවලින් හෙළි වන්නේ ඇලොපීෂියා හටගන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ආබාධයක් නිසා විය හැකි බවයි.

වඩාත්ම සුලභව දක්නට ලැබෙන්නේ පුරුෂ මාදිලියේ හිසකෙස් හැළීම නම් තත්වයයි. එම නමින්ම ඇඟවෙන පරිදි එය බලපාන්නේ පුරුෂයන්ටයි. මුලදී නළල අවට ප්‍රදේශයේ හෝ හිස්කබල මුදුනේ තිබෙන කෙස්ගස් මදින් මද හැළී යයි. කෙස් හැළී යන ප්‍රදේශයේ රෝම චක්‍රයේ යම් අසාමාන්‍යතාවක් සිදු වී අන්තිමට එය මුළුමනින්ම නතර වෙනවා. දි එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා එය පැහැදිලි කරන්නේ මේ ආකාරයටයි. “කෙස් හැළෙන ප්‍රදේශයේ කලින් වැඩුණු සවිමත්, දිග හා වර්ණක සහිත කෙස්ගස් වෙනුවට වෙලස් නමින් හඳුන්වන කුඩා බිලිඳෙකුගේ කෙස් තරමටම සිහින් කෙස් වර්ගයක් වැඩේ.” හිසකෙස් චක්‍රයේ සිදු වන වෙනස්කම් නිසා හිසකෙස්වල ඝනකම එන්න එන්නම අඩු වනවාත් සමඟම කෙස්ගස් හැළී යන වේගයට සමානව හිසේ නව කෙස්ගස් හට නොගනියි. අවසානයේදී කෙස් වැඩීම සම්පූර්ණයෙන්ම නතර වෙනවා. ප්‍රවේණි ලක්ෂණ හා පිරිමි හෝමෝන යන කාරණා දෙකම මීට හේතු වශයෙන් දැක්විය හැකියි.

පුරුෂ මාදිලියේ හිසකෙස් හැළීම නහඹර වියේදීම ඇති විය හැකි වුවත්, එය පුරුෂයන් අතර වැඩියෙන්ම දක්නට ලැබෙන්නේ තිස්ගණන්වල අගභාගයේදී හෝ හතළිස් ගණන්වලදීයි. පිරිමි පක්ෂයේ බොහෝදෙනෙකුගේ හිසකෙස් මේ ආකාරයට හැළී ගියත් එය සිදු වන වේගය ජාතියෙන් ජාතියට හා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. පුරුෂ මාදිලියේ හිසකෙස් හැළීම මුළුමනින්ම නතර කළ හැකි ප්‍රතිකාර ක්‍රමයක් තවමත් සොයාගෙන නැතිවීම කනගාටුවට කරුණක්. ඇතමෙක් බොරු කොණ්ඩයක් දැමීමට හෝ හිසකෙස් බද්ධ කිරීමට තෝරාගත හැකියි. හිසේ ඉතිරි වී තිබෙන කෙස් හොඳින් රැකබලා ගැනීමෙන් කෙස් වැටීමේ වේගය අඩු කරගත හැකි බව තවත් බොහෝදෙනෙකුගේ අද්දැකීමයි.

හිසකෙස් සිහින් වෙනවා යනුවෙන් පැවසූ විට එයින් සැමවිටම කෙස් හැළී යන බව අදහස් නොවෙයි. සමහරවිට එක් එක් කෙස්ගස වඩ වඩාත් සිහින් වීමත් සමඟම මුළු කෙස් කලඹම ඝනකමින් අඩු විය හැකියි. හිසකෙස්වල ඝනකම කොතරම්ද? එය එක් එක් පුද්ගලයාට අනුව වෙනස්. මේ අනුව එය මයික්‍රොන් 50ත් 100ත් අතර විය හැකියි. b වයසට යන්න යන්න හිසකේ වඩ වඩාත් සිහින් වෙනවා. මයික්‍රොන් සුළු ප්‍රමාණයක් අඩුවීමෙන් ඒ තරම්ම ලොකු වෙනසක් සිදු නොවිය හැකි බව සිතන්න පුළුවන්. එහෙත් හිසේ කෙස්ගස් 1,00,000ක් පමණ තිබෙන බව මතක තබාගන්න. එමනිසා එක් එක් කෙස්ගස සුළු වශයෙන් හෝ සිහින් වන විට මුළු කෙස් කලඹේම ඝනකම විශාල වශයෙන් වෙනස් විය හැකියි.

ඔබේ හිසකෙස් රැකබලා ගන්න

ශරීරයේ වඩාත්ම වේගවත්ව වැඩෙන කොටස් අතුරින් එකකි හිසකෙස්. එය මාසයකට මිලිමීටර් 10ක් පමණ වැඩෙනවා. සෑම කෙස්ගසකම වැඩෙන ප්‍රමාණය එකතු කර බැලූ විට දිනකට මීටර් 20කට වැඩිය වැඩී තිබෙනවා!

හිසකෙස් පැසීම හා තට්ටය පෑදීම සඳහා තවමත් හරි ප්‍රතිකාරයක් සොයාගෙන නැහැ. ඒ කොහොම නමුත් අපේ හිසකෙස් රැකබලා ගැනීමට අපටම බොහෝ දෑ කළ හැකියි. මේ සඳහා නිසි පෝෂණය ලබාගැනීම හා හිස්කබලේ රුධිර සංසරණය දියුණු කරගැනීම අත්‍යවශ්‍යයි. හිතකර නොවන ආකාරයට ආහාර පාලනය කිරීම නැතහොත් අසමබර ආහාර වේල් අනුභව කිරීම මගින් අකලට හිසකෙස් පැසෙන්න හා එහි ඝනකම අඩු වෙන්න පුළුවන්. හිසකේ නිතිපතා සේදීමටත්, හිස සම්බාහනය කිරීමටත්, නියපොතුවලින් හිස්කබල කැසීමෙන් වැළකී සිටීමටත් විශේෂඥයන් නිර්දේශ කරනවා. ඉහත සඳහන් උපදෙස් අනුගමනය කිරීම හිස්කබලේ රුධිර සංසරණය නිසි ලෙස සිදුවීමට දායක වෙනවා. ඒ වගේම හිසකේ ෂැම්පූ කිරීමෙන් පසුව එය හොඳින් සෝදාහැරිය යුතුයි.

ඕනෑවට වඩා හයියෙන් ඔබේ හිසකෙස් පීරීමෙන් වැළකී සිටින්න. ඔබට දිගු කේශ කලාපයක් ඇත්නම් එකපාරටම මුල සිට අග වෙන තෙක් පීරීම එතරම්ම සුදුසු නැහැ. ඒ වෙනුවට කොණ්ඩෙ අතින් අල්ලා අගිස්සේ තිබෙන අවුල් ටික කඩාගන්න. ඉන්පසු මැද සිට අග වන තෙක් පීරගන්න. අන්තිමට, කොණ්ඩෙ සෙමින් අත්හැර මුල සිට අග වන තෙක් පීරගන්න.

හිසකෙස් පැසී ඇති බව හෝ හැළෙන බව පෙනෙන්ට තිබෙනවා නම් ඔබ ඒ ගැන තැවෙන්න පුළුවන්. නමුත් මෙය මතක තබාගන්න. ඔබ තරම්ම අන්‍යයන් ඔබේ හිසකෙස් ගැන සැලකිලිමත් වන්නේ නැහැ. ඔබේ කොණ්ඩෙ ඩයි කරනවාද නැද්ද, බොරු කොණ්ඩයක් භාවිත කරනවාද නැද්ද හෝ වෙනයම් ප්‍රතිකාරයක් කරනවාද නැද්ද යන්න පෞද්ගලික තීරණයක්. ඔබේ හිසකෙස්වල වර්ණය කුමක් හෝ වේවා, දිග හෝ ඝනකම කුමක් හෝ වේවා වැදගත් දේ වන්නේ එය පිරිසිදුව හා පිළිවෙළකට තබා ගැනීමයි.

[පාදසටහන්වල]

a පිබිදෙව්! 1991 අප්‍රියෙල් 22වෙනි කලාපයේ 12 පිටුව බලන්න (සිංහලෙන් නොමැත).

b මයික්‍රොනයක් කියන්නේ මිලිමීටරයකින් දාහෙන් පංගුවක්.

[31වන පිටුවේ කොටුව/රූප සටහන]

රෝම චක්‍රය

හිසකෙස් වැඩෙන්නේ චක්‍රයකට අනුවයි. වර්ධන කාලපරිච්ඡේදය, කෙටි සංක්‍රමණ කාලපරිච්ඡේදය හා විවේකී කාලපරිච්ඡේදය මෙම චක්‍රයට අයත් වේ. ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා පැහැදිලි කරන ආකාරයට, “සෑම විවේකී කාලපරිච්ඡේදයක් තුළම හිසකෙස් වැඩීම නතර වේ. අලුත් වර්ධන කාලපරිච්ඡේදය ආරම්භ වන තෙක් පරණ කෙස්ගස විවේක ගෙන සිටින රෝම කූපය තුළම රැඳී පවතී. අලුත් වර්ධන කාලපරිච්ඡේදය ආරම්භ වන විට පරණ කෙස්ගස හැළී අලුත් එකක් වර්ධනය වේ. එය ක්‍රමක්‍රමයෙන් රෝම කූපයෙන් එළියට පැමිණේ.” ඕනෑම අවස්ථාවකදී කෙස්ගස් සියයට 85ත් 90ත් අතර සංඛ්‍යාවක් වර්ධන කාලපරිච්ඡේදයේ පසු වෙනවා. සියයට 10ත් 15ත් අතර සංඛ්‍යාවක් විවේකී කාලපරිච්ඡේදය තුළද සියයට 1ක් සංක්‍රමණ කාලපරිච්ඡේදය තුළත් පවතී.

[රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

රෝම දණ්ඩය

මේද ග්‍රන්ථිය

රුධිර වාහිනි

රෝම කූපය

ප්‍රථම වර්ධනය

ක්‍රියාශීලී වර්ධනය

පසුබෑම

විවේකය

අලුත් වර්ධනය

[28වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]