Skip to content

පටුනට යන්න

පසුබිම් දර්ශන ඇතුළත් ගීත තෝරා බේරාගෙන නරඹන්නේ කොහොමද?

පසුබිම් දර්ශන ඇතුළත් ගීත තෝරා බේරාගෙන නරඹන්නේ කොහොමද?

යෞවන අය අසති . . .

පසුබිම් දර්ශන ඇතුළත් ගීත තෝරා බේරාගෙන නරඹන්නේ කොහොමද?

“හොඳ ගණයෙහි ලා නොසැලකෙන සංගීත කණ්ඩායමක හෝ ගීතයක නමක් දැක්ක ගමන්ම මම චැනලය මාරු කරනවා.”—කේසී.

පසුබිම් දර්ශන ඇතුළත් ගීත හරිම ආස්වාදජනකයි කියා යෞවන අයට හැඟී තිබෙනවා. නමුත් මෙම ලිපි මාලාවේ පෙර ලිපියක පෙන්වූ ලෙස එම ගීත බොහෝමයක තිබෙන්නේ හද සලිත කරවන ආකාරයේ ලිංගික දුරාචාරය සහ සැහැසියාව උලුප්පා දක්වන දර්ශනයි. a දෙවි වැරදියි කියා හෙළා දකින දේ හරි දෙයක් ලෙස පෙන්වන ඕනෑම විනෝදාස්වාදයකින් ක්‍රිස්තියානියෙකු වැළකී සිටිය යුතුමයි. එහි කතා දෙකක් නැහැ. ඒ කෙසේවෙතත්, පසුබිම් දර්ශන ඇතුළත් හැම ගීතයක්ම ඉතා පහත් ආකාරයෙන් දුරාචාරය උලුප්පා දක්වන ඒවා නොවෙයි. සමහර හොඳ දර්ශන ඒවායේ තිබෙන්න පුළුවන්. ඒ වගේම තවත් ගීතවල ඒ තරම් දුෂ්ට දේවල් ඇතුළත් කර නැති බවක් පෙනී යා හැකියි. ඒත් එම ගීත තුළින් පවා ඉතාමත් සූක්ෂ්ම ලෙස දෙවිගේ වචනයට විරුද්ධ යමක් පෙන්වීමට ඉඩ තිබෙනවා.

ඔබේ දෙමාපියන් පසුබිම් දර්ශන ඇතුළත් ගීත නරඹන්න ඉඩහැරියත් ඔබ ඒවා තෝරා බේරාගෙන නැරඹිය යුතුයි. ඒ වගේම බයිබල් දැනුම තුළින් පුහුණු කළ ඔබේ “වටහාගැනීමේ හැකියාව” භාවිත කරන්නත් අවශ්‍යයි. එවිට නරඹන්න සුදුසු දේ සහ නුසුදුසු දේ තෝරාගැනීමට ඔබට හැකියාව ලැබෙයි. (හෙබ්‍රෙව් 5:14, NW) මේ සඳහා ඔබට උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්ති මොනවාද? මතු දැක්වෙන්නේ එම ප්‍රතිපත්තිවලට අදාළ බයිබල් පද සහ අදහස්ය.

හිතෝපදේශ 4:23: “සියල්ලට වඩා නුඹේ සිත ආරක්ෂා කරගන්න. මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.” ඔබට අගේ ඇති යම් ක්‍රීඩා භාණ්ඩයක් හෝ සංගීත භාණ්ඩයක් තිබෙනවාද? කිසිම සැකයක් නැහැ ඔබ එය නඩත්තු කරන්නත් ආරක්ෂාකාරී තැනක තබන්නත් වෙහෙස මහන්සි ගන්නවා. ඔබ එය පාරේ අයිනක තබා නොයන බව ස්ථිරයි. හානියක් වෙයි හෝ සොරකම් කරයි යන බිය නිසා සුළු මොහොතකට හෝ එසේ තබා යන්නේ නැහැ. ඔබ එය ආරක්ෂා කරගන්නවා. ඒ හා සමානව ඔබගේ හදවත සුළු මොහොතකට හෝ අහිතකර විනෝදාස්වාදයකට යොමුවීමට ඉඩ නොදී ආරක්ෂා කරගැනීමට ඔබ තීරණය කළ යුතුයි.

එපීස 2:1, 2, NW: “ඔබ ඔබේ වැරදි සහ පාප හේතුවෙන් මැරී සිටිය නමුත් දෙවි ඔබව ජීවත් කළේය. එසේ ඔබ පාප හේතුවෙන් මැරී සිටියදී මේ ලෝකයේ පවතින ක්‍රමය ලෙසද, අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියා කරන ස්වභාවය වන අවකාශයේ බලයේ පාලකයාගේ කැමැත්ත ලෙසද කලක් ඔබ ඒ දේවල ගමන් කළහුය.” අවකාශය කියන්නේ දෙවි පිළිකුල් කරන හැසිරීමකට උල්පන්දම් දෙන සිතුම් රටා හා ආකල්ප ඇතුළත් මේ ලෝක ස්වභාවයයි. මෙම ස්වභාවය බොහෝ පසුබිම් දර්ශන තුළ දක්නට තිබෙන අතර එය ප්‍රීතිය, සමාදානය සහ ආත්ම දමනය වැනි ගුණාංග නිපදවන දෙවිගේ ශුද්ධාත්මයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි.—ගලාති 5:22, 23, NW.

2 තිමෝති 2:22, NW: “යොවුන් වියට ආවේණික වූ තෘෂ්ණාවලින් පලා යන්න.” සුළු මොහොතකට හෝ කාමුක දර්ශන නැරඹීම තුළින් සිදු වන්නේ ආශාවන්ට තව තවත් පොහොර දැමීමයි. එවැනි දර්ශන මතකයෙන් ඈත් කිරීම දුෂ්කර බව බොහෝ යෞවන අය පිළිගෙන තිබෙනවා. සමහරවිට එම දර්ශන යළි යළිත් මතකයට නැඟීමටත් ඔවුන් නැඹුරු වෙන්න පුළුවන්. ඩේව් නමැති යෞවනයා කාමුක හැඟීම් අවුස්සන දර්ශන ඇතුළත් ගීතයක් නැරඹූ පසු ඔහුට සිදු වුණ දේ මෙසේ විස්තර කරයි. “ඒක නැරඹුවායින් පස්සේ ඒ ගීතය ඇහෙන හැම වාරයකම එම පසුබිම් දර්ශනය මට මැවිලා පේනවා.” එවැනි පසුබිම් දර්ශන ඇතුළත් ගීත නැරඹීම දුරාචාරමය ලිංගික ක්‍රියාවල නිරත වීමට තිබෙන ආශාවන්ට පොහොර දැමීමක් විය හැකියි.—1 කොරින්ති 6:18; කොලොස්සි 3:5.

හිතෝපදේශ 13:20: “අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදු වන්නේය.” ඔබෙන් මෙසේ අසන්න. ‘සැහැසියාවේ, භූතවාදයේ, බීමත්කමේ හෝ දුරාචාරයේ යෙදෙන්නන්ට මම මගේ නිවසට ආරාධනා කරනවාද?’ රූපවාහිනිය තුළින් හෝ එවැනි පුද්ගලයන්ට ඇසුරු කිරීම හරියට එම පුද්ගලයන්ව නිවසට ආරාධනා කරනවා හා සමානයි. මෙයින් ඔබට “වේදනා” ගෙන දිය හැකිද? කිම්බලි මෙවන් ප්‍රකාශයක් කරනවා. “මිතුරු හමුවක් වැනි අවස්ථාවකදී ගැහැනු ළමයි එයාලා මෑතක නැරඹුව පසුබිම් දර්ශන ඇතුළත් ගීතවල ඇඳුම් විලාසිතා එහෙම නැත්නම් කාමුක හැඟීම් අවුස්සන නැටුම් අනුකරණය කරන හැටි මම දැකලා තියෙනවා.” ඔබත් ඒ හා සමාන දේවල් දැක තිබෙන්න පුළුවන්. දේවප්‍රතිපත්තිවලට ගරු නොකරන අයව අනුකරණය කිරීමෙන් මෙම යෞවනයෝ ඔවුන්ටම ‘වේදනා සිදු කරගැනීමට’ පටන්ගෙන තිබෙනවා. එමනිසා සෑම ආකාරයකම “නරක ආශ්‍රයෙන්” ඈත් වෙන්න.—1 කොරින්ති 15:33, NW.

ගීතාවලිය 11:5: ‘යෙහෝවා ධර්මිෂ්ඨයා විමසයි. නමුත් ඔහුගේ ආත්මය දුෂ්ටයාටත් බලාත්කාරකමට ප්‍රිය වෙන්නාටත් ද්වේෂ කරයි.’ සිත් පිත් නැති, සැහැසියාව උලුප්පා දක්වන පසුබිම් දර්ශන ඇතුළත් ගීත අප නරඹනවා නම් අපි ‘බලාත්කාරකමට ප්‍රිය කරන’ අය කියා අන් අයට එයින් යම් ඉඟියක් දෙන්නේ නැද්ද?

තෝරා බේරාගැනීමේ අභියෝගය

“මුළු ලෝකයම දුෂ්ටයාගේ බලයට යටත්ව තිබෙන” නිසා ලෝකයේ සිතුම් රටාව සහ ආකල්ප පිළිබිඹු නොකරන විනෝදාංශයක් සොයාගැනීම ඉතාමත් දුෂ්කරයි. (1 යොහන් 5:19, NW) පසුබිම් දර්ශන ඇතුළත් ගීත පෙන්වන සමහර රූපවාහිනි චැනලවලින් නුසුදුසු දේ පුළුල් ලෙස පෙන්විය හැකියි. යම් අවස්ථාවල වැඩසටහන් මුළුමනින්ම දුරාචාරමය හෝ සැහැසික නොවුණත් ඒවායින් උලුප්පා දක්වන්නේ ලෝකයේ ස්වභාවයයි. පසුබිම් දර්ශන ඇතුළත් ගීත පෙන්වන ප්‍රසිද්ධ රූපවාහිනි චැනලයක් දැන් “පසුබිම් දර්ශන පෙන්වන චැනලයක් නොව ‘ජීවත් වීමේ රටාවන්’ පෙන්වන චැනලයක්” බවට පත් වෙලා කියා එක් වෘත්තීමය සංගීතඥයෙක් පැවසුවා.

විසඳුම හරිම පහසුයි කියා සිතෙන්න පුළුවන්. ගීතය සුදුසු නැත්නම් චැනලය මාරු කරන්න. එච්චරයි. ඒත් ප්‍රශ්නේ අනෙක් චැනලයන් තුළ පෙන්වන වැඩසටහන් නැරඹීමේදී පවා කල්පනාකාරී වීමට සිදුවීමයි. මන්දයත් වර්තමානයේ පෙන්වන බොහෝ වැඩසටහන් මගින් සැහැසියාව හෝ සදාචාරමය මට්ටමෙන් පහත වැටුණු දෑ සවිස්තරාත්මකව හුවා දක්වයි. නැතහොත්, එම දර්ශන තුළ සදාචාර ප්‍රතිපත්ති පාවා දීමට මඟ පාදන තත්වයන්ද හුවා දක්වයි. සතුටෙන් යම් වැඩසටහනක් නරඹමින් සිටින විට වෙනත් චැනලයකට මාරු කිරීමට හැම මොහොතකම සූදානමින් සිටින්න සිදුවීමේදී ඔබ තුළ නොරිස්සුම් ගතියක් ඇති විය හැකියි යන්න සත්‍යයක්. සමහරවිට ඔබ කලකිරෙන්න පවා ඉඩ තිබෙනවා. ඒ වගේම චැනලය මාරු කරන විට වෙන්න ඕන හරිය වී අවසන්. මනසට බලපෑම් කරන දුරාචාරමය පින්තූර ඒ වන විටත් මනසේ තැන්පත් වෙලා. එසේ වුවත් එක් දෙයක් ගැන ඔබට ස්ථිර විය හැකියි. එනම් ඔබ ඔබේ හදවත රැකගැනීමට ගන්නාවූ ඕනෑම අවංක වෑයමකට යෙහෝවා ආශීර්වාද කරන බව.—2 සාමුවෙල් 22:21.

ප්‍රයෝජනදායක වන වෙනත් ප්‍රායෝගික යෝජනා තිබෙනවා. කලින් සඳහන් කළ කේසි ඔහුට උපකාරවත් වූ දේ මෙසේ සඳහන් කරනවා. “සාමාන්‍යයෙන් සංගීත කණ්ඩායමේ නම සහ ගීතයේ තේමාව, ගීතය වාදනය කරන්න කලින් පෙන්වනවා. සංගීත කණ්ඩායම්, ඔවුන් වාදනය කරන සංගීතයට අනුව වර්ග කරලා තියෙන නිසා කොයි කණ්ඩායමද සහ කොයි ගීතයද නරක කියලා කලින්ම දැනගන්න පුළුවන්. ඒ නිසා හොඳ ගණයෙහි ලා නොසැලකෙන කණ්ඩායමක නමක් හෝ ගීතයක තේමාවක් දැක්ක ගමන්ම මම චැනලය මාරු කරනවා.”

සිතින් සැබෑව කීම’

ඔබ බයිබල් ප්‍රතිපත්ති හොඳින් දැන සිටියත් යම් විටක පිළිකුල්සහගත දේ සාමාන්‍ය දෙයක් ලෙස පෙනෙන තත්වයකට ඔබ පත් විය හැකියි. එවැනි දෙයක් සිදු වන්නේ කොහොමද? ඔබ නරඹන දේ හොඳයි කියා ඔබ ඔබටම නිදහසට කරුණු කීමෙනුයි. (යාකොබ් 1:22) යෙහෝවාගේ මිතුරෙක් “සිතින් සැබෑව කියන්නාවූ තැනැත්තෙක්” කියා බයිබලයෙහි සඳහන්ව තිබෙනවා. (ගීතාවලිය 15:2) එමනිසා ඔබටම අවංක වන්න. ඔබවම රවටාගන්න එපා. ඔබ ඔබටම නිදහසට කරුණු ඉදිරිපත් කරමින් හොඳ නැති යමක් නරඹන විට ‘මම මේ බලන දේට යෙහෝවා කැමති වෙයිද?’ කියා ඔබෙන්ම අසන්න. හරි දේ සහ වැරදි දේ කුමක්ද කියා දැනගැනීම නෙමෙයි තියෙන අභියෝගය. ඔබ හරි දේ කිරීමට තීරණය කිරීම තමයි වැදගත්ම දේ කියන එක අමතක කරන්න එපා! යෙහෝවා සමඟ තිබෙන ඔබේ සබඳතාව ඕනෑම විනෝදාස්වාදයකට වඩා වටිනා දෙයක් බව සැලකිය යුතුයි.—2 කොරින්ති 6:17, 18.

තෝරා බේරාගෙන දේවල් නරඹන බවට අඩ සිතකින් තීරණය කිරීම ප්‍රමාණවත් නොවෙයි. මන්දයත් ඔබේ අදිටන ස්ථිර නැතිනම් එය ක්‍රමයෙන් දුර්වල වී යා හැකියි. දෙවිට විශ්වාසවන්තව සිටි යෝබ් නමැති මනුෂ්‍යයා ඔහුගේ භාර්යාවට විශ්වාසවන්තව සිටීමට ගත් අදිටන ගැන බයිබලයේ සඳහන් වී තිබෙනවා. ඔහු පැවසුවේ, “මාගේ ඇස් සමඟ ගිවිසුමක් කළෙමි. එබැවින් කන්‍යාවක් දෙස බලන්නේ කොහොමද?” කියායි. (යෝබ් 31:1) ඒ ගැන මොහොතකට සිතන්න! යෝබ් ඔහුගේ ඇස්වලින් බලන දේවල් සීමා කිරීමට ඔහු සමඟම ගිවිසුමක් නැතහොත් එකඟතාවක් ඇති කරගත්තා. ඔබටත් එසේ කළ හැකියි. නරක දේ නොබලා සිටිනවා කියා ස්ථිර අදිටනකින් යුක්තව ඔබටම පොරොන්දු වෙන්න. නිශ්චිත සීමාවන් තබාගන්න. ඒ ගැන යාච්ඤා කරන්න. ඔබේ පොරොන්දුවට විශ්වාසවන්තව සිටින්න. ඒ ගැන ලිඛිතව සඳහන් කිරීමත් හොඳ අදහසක්. ඔබට තව අමතර උපකාරයක් අවශ්‍ය නම් විශ්වාසය තැබිය හැකි ඔබට වඩා වැඩිමහල් කෙනෙකුට කතා කරන්න. මීට නිදසුනක් ලෙස ඔබේ දෙමාපියන්ව දැක්විය හැකියි.

හසු විය හැකි අනතුරු ගැන සිතා සමහර යෞවන අය පසුබිම් දර්ශන ඇතුළත් ගීත නොබැලීමට තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබේ තීරණය කුමක් වුවත් ඒ තීරණය ගැනීමේදී ඔබේ වටහාගැනීමේ හැකියාව භාවිතා කරන්න. පිරිසිදු හෘදය සාක්ෂියක් ඇතුව සිටීමට උත්සාහ කරන්න. හිතකර විනෝදාස්වාදයන් පමණක් තෝරාගැනීමෙන් ඔබට හානි සිදුවීම වළක්වාගත හැකි අතර යෙහෝවා සමඟ තිබෙන ඔබේ මිතුදම දිගටම පවත්වාගත හැකියි.

[පාදසටහන]

[12වන පිටුවේ පින්තූරය]

සමහරක් පසුබිම් දර්ශන ඇතුළත් ගීතවල පහත් කාමුක දර්ශන නොතිබුණත් හානිකර අදහස් ඒවායේ පෙන්විය හැකියි

[13වන පිටුවේ පින්තූරය]

දෙවිට අප්‍රසන්න දේ නොබැලීමට අදිටන් කරගන්න