Skip to content

පටුනට යන්න

වර්ෂා වනාන්තර—ඒවා විනාශ නොකර ප්‍රයෝජනයට ගත හැකිද?

වර්ෂා වනාන්තර—ඒවා විනාශ නොකර ප්‍රයෝජනයට ගත හැකිද?

වර්ෂා වනාන්තර—ඒවා විනාශ නොකර ප්‍රයෝජනයට ගත හැකිද?

ඔබ සිතන අන්දමට, ලොවේ නිවර්තන වර්ෂා වනාන්තර විනාශ කර දැමීමට දැව කර්මාන්තයට අයිතියක් ඇද්ද? ඔබේ පිළිතුර නැත වනවාට සැකයක් නැත! කෙසේවෙතත්, නැතයයි පවසා ඇති බොහෝදෙනෙකු ක්‍රියාවෙන් එසේය කියා පවසා තිබෙන බව ඇතැම් පරිසරවේදීන් තරයේ කියා සිටින්නට පුළුවන. නිදසුනකට, දැව ලබාගැනීම සඳහා වවන ලද වනාන්තරවලින් නොව, නමුත් නොඉඳුල් වර්ෂා වනාන්තරවලින් ලබාගත් අලංකාර මෙන්ම ජනප්‍රිය නිවර්තන දැව වර්ගවලින් සෑදූ ගෘහ භාණ්ඩ බොහෝදෙනෙක් මිල දී ගනිති. එසේ කිරීම මගින් මෙම ප්‍රශ්නයට ඔවුන් පවසන්නේ එසේය කියා නොවේද?

ගස් කැපීම බොහෝවිට වන විනාශයට සමාන යමක් සේ සැලකේ. ඇත්තෙන්ම යථාර්ථය නම්, වනාන්තර බොහොමයක් විනාශ වන්නේ ගස් කැපීම නිසයි. කෙසේ නමුත්, අවම හානියක් සිදු කරමින් වෙනත් වනාන්තරවල දැව සඳහා ගස් කපා ඇති බවටද ආරංචි ලැබී ඇත. ගස් කැපීම සිදු වන විට නිවර්තන වර්ෂා වනාන්තර සහ ඒවායෙහි වෙසෙන වන ජීවීන් බේරී පවතිනු ඇද්ද? ගස් කැපීමෙන් වනාන්තරයක් විනාශ විය හැක්කේ කෙසේදැයි මුලින්ම පරීක්ෂා කර බලමු.

ගස් කැපීමෙන් වනාන්තරයක් සහ වන ජීවීන් විනාශ වී යා හැකි අයුරු

මෙම සිදුවීම් වැල සලකා බල-න්න. කතාව ඇරඹෙන්නේ මෙසේය. බුල්ඩෝසර කිහිපයක් වනාන්තරයක ඇතුළටම ගස් පෙරළගෙන යමින් පාරවල් කපයි. අනතුරුව දැව කපන්නන් විගස ක්‍රියාත්මක වන්නේ දම්වැල් කියත් අතට ගනිමින්ය. දැව සමාගමට ගස් කැපීම සඳහා ඇත්තේ කෙටි කාලීන අවසරයක් පමණි. එමනිසා, වටිනා ඕනෑම ගසක් කැපීමට වැඩකරුවන්ට නියෝග කර තිබේ. අළෙවි කළ හැකි ගස් කඩා වැටෙද්දී වැල්වලින් ඒවාට සම්බන්ධ වී ඇති වෙනත් ගස්වලටද අලාභ හානි සිදු වේ. එසේ නැතහොත් ඒවාද කඩා වැටේ. ඊළඟට ඝන වෘක්ෂලතාදිය යට කරගෙන යන කැටපිලර් වැනි බර වාහන ලී කොටන් ඉවතට ගනිද්දී, මතුපිට තිබෙන සිනිදු පස් තට්ටුව තද වී එයට සහමුලින්ම හානි සිදු වේ.

දැව සමාගම්වල සේවකයෝ සාමාන්‍යයෙන් ගම්වැසියන්ට වඩා වැඩියෙන් මස් අනුභව කරති. එමනිසා දඩ මස් කෑම සඳහා වනාන්තරය පුරාම ඔවුහු දඩයමෙහි යෙදෙති. බොහෝ දුරට අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් සතුන්ව ඝාතනය කරනු ලැබේ. දැව කපන්නන් වනය අත්හැර යන විට ඔවුන් ඉන් බැහැර වන්නේ කලින් පිවිසිය නොහැකි වූ පෙදෙසකට පිවිසුම් මාර්ග විවෘත කර දෙමිනි. ඊළඟට තුවක්කු සමඟින් වාහනවලින් පැමිණෙන දඩයක්කාරයන්ට ඉතිරිව සිටින වන ජීවීන්ව දඩයම් කිරීමට පුළුවන. ඉතා ලාභදායී සුරතල් සතුන් වෙළඳාමෙන් යමක් උපයාගැනීම සඳහා උගුල් අටවන්නෝ කුඩා සතුන්ව සහ පක්ෂීන්ව අල්ලාගනිති. ඊළඟට පැමිණෙන්නේ පදිංචිකරුවෝය. ඉඩකඩම් නැති මොවුන් දහස් ගණනින් මෙවන් අලුත් ප්‍රදේශවලට පැමිණෙන්නේ කෙසේ හෝ තම ජීවිතය ගැටගසාගැනීම සඳහාය. හේන් ගොවිතැන් ක්‍රම උපයෝගි කරගන්නා ඔවුහු ඉතිරිව ඇති ගස්ද කපා බිම හෙළති. ඊළඟට ඇදහැළෙන දැඩි වර්ෂාපතනයෙන් මතුපිට ඇති තුනී පස් තට්ටුවද සේදී යයි.

ඇත්තෙන්ම වනාන්තරය අත්හරිද්දී එය මුඩු බිමක් මෙනි. ගස් කැපීම මුල්ම පියවර වූවා පමණි. එනමුත් නිවර්තන වර්ෂා වනාන්තරවල ගස් කැපීම මෙතරම් විනාශකාරී අන්දමකින් සිදු කළ යුත්තක්ද?

පරිසර හානිය අවම වන අයුරින් ගස් කැපීම

පරිසර හානිය අවම කරමින් ගස් කැපීම හා ධරණීය වනාන්තර කළමනාකරණය (පරිසරයට හානියක් සිදු නොකරමින් එයට දරාගත හැකි අයුරින් එහි සම්පත් ප්‍රයෝජනයට ගැනීම) සම්බන්ධයෙන් මෑතක සිට යළිත් උනන්දුව පිබිද ඇත. මෙහි පරමාර්ථය වන්නේ වනාන්තරයට හා වන ජීවීන්ට සිදු වන හානිය අවම කරමින් දැව සඳහා ගස් කැපීමය. ප්‍රතිඵලයක් ලෙස වනාන්තරය ක්‍රමානුකූලව ප්‍රකෘති තත්වයකට පැමිණ, දශක කිහිපයකින් පසුව නැවතත් දැව සම්පත් ලබාගැනීමට හැකි යෝග්‍ය තත්වයකට පත් වේ. වන සංරක්ෂකයන්ගෙන් එල්ල වී ඇති පීඩනය හේතුවෙන් දැන් දැව අළෙවි කරන අය දැව ගැන ප්‍රචාරය කරන්නේ, ඒවා ධරණීය වනාන්තර කළමනාකරණයක් සිදු වන වනාන්තරවලින් ලබාගත් බවට සහතික කර තිබෙන දැව ලෙසටයි. පරිසර හානිය අවම වන අයුරින් දැව කපන විදිහ මොහොතකට සලකා බලමු.

වෘත්තීය පුහුණුවක් ලද වන පාලකයෙක් සහ සහයකයන් පිරිසක් කැලෑව මැදින් තම ඉලක්කය කරා ගමන් කරති. කැලෑවේ මාස හයක් පමණ ගත කරමින් වනාන්තරයේ තිබෙන ගස්වල පිහිටීම සලකුණු කරන ලේඛනයක් පිළියෙළ කරන කණ්ඩායම් කිහිපයක් ඇත. ඔවුන් ඒ අතුරින් එක් කණ්ඩායමකි. ගස් කැපීමේ සමාගමට දිගුකාලීන අවසරයක් ලබා දී ඇත. එමනිසා ගස් සම්බන්ධයෙන් මෙවැනි සමීක්ෂණයක් කිරීමට අවශ්‍ය තරම් කාලය සේවක පිරිසට දී තිබේ. අනාගත භාවිතය සඳහා වනාන්තර සංරක්ෂණය කිරීමට අවශ්‍ය කරන විධිවිධාන මෙමගින් යෙදිය හැක.

වන පාලකයා සෑම ගසකම ලියාපදිංචි අංකයක් සලකුණු කරන අතර, ගස් විශේෂය කුමක්ද කියා හඳුනාගනියි. ගස් විශේෂ සිය ගණනක් ඇති නිසා, ඔහුට සෑහෙන විශේෂඥ ඥානයක් තිබිය යුතුය. කෙසේවෙතත් ඊළඟ පියවර ගැනීම සඳහා නූතන තාක්ෂණය උපයෝගි කරගැනීම අවශ්‍යය.

පෘථිවි ගෝලයේ පිහිටීම දක්වන පද්ධතියට සම්බන්ධ චන්ද්‍රිකාවලට තොරතුරු (ජී.පී.එස්.) ලබා දෙන අතින් අල්ලාගත හැකි උපකරණයක් භාවිත කරමින් වන පාලකයා ගසේ ප්‍රමාණය, වර්ගය සහ ලියාපදිංචි අංකය ඇතුළත් දත්තයන් ඇතුළත් කරයි. ඉන්පසු දත්තයන් යැවීමේ යතුර එබීම මගින්, ගසේ නිශ්චිත පිහිටීම ඇතුළුව ඒ පිළිබඳව සියලුම දත්තයන් වනාන්තරයේ සිට දුරින් පිහිටි විශාල නගරයක තිබෙන පරිගණකයකට යවනු ලැබේ.

ඉන්පසුව වනයේ කළමනාකරු තම පරිගණකය ඇසුරෙන් වනාන්තරයේ වටිනා සියලුම ගස්වල පිහිටීම දක්වා ඇති සිතියමක් මුද්‍රණය කරයි. ඔහු නිල රෙගුලාසිවලට අනුකූලව කැපිය හැකි ගස් හරියටම තෝරාගනී. අවසර පත්‍රයේ දක්වා ඇති විෂ්කම්භයට වඩා විශාල වූ ගස්වලින් කැපිය හැක්කේ සියයට 50ක් පමණි. මෙම කොන්දේසිය ගස් විශේෂ වැඩි හරියකටම අදාළ වන්නකි. පැරණිම සහ වඩාත්ම නිරෝගී ගස් කැපීමට අවසරයක් නැත. ඒවා නවක පරම්පරාවක් බිහි කිරීම සඳහා ආරක්ෂා කළ යුතු වේ.

කෙසේවෙතත්, වනයට හානියක් නොකරමින් ගස් කැපිය හැක්කේ කෙසේද? පිබිදෙව්! සඟරාවේ නියෝජිතයෙක් කලින් ලිපියේ සඳහන් වූ වන පාලකයා වන රොබේර්ටෝගෙන් එම ප්‍රශ්නය ඇසීය. ඔහු මෙසේ පැහැදිලි කළේය. “සිතියම ඉතාම වැදගත්. ගස්වල පිහිටීම දක්වා ඇති සිතියම උපයෝගි කරගෙන ගස් කැපීම සැලසුම් කිරීමට අපට පුළුවන්. එය කරන්නේ වනයට සිදු වන හානිය අවම වෙන විදිහටයි. අවට ගස්වලට සිදු වන හානිය අවම කරගැනීම සඳහා කපන ගස් වැටෙන දිශාව වුණත් සැලසුම් කරන්නට පුළුවන්.

“කපන ලද සෑම ගසක්ම ඉවත් කිරීම සඳහා මහත් හානියක් සිදු කරන බුල්ඩෝසර පාවිච්චි කරනවා වෙනුවට, විංචි මගින් ලී කොටන් ඉවත් කරගැනීමට අපට සැලසුම් කළ හැකියි. ගස කැපීමට පෙරාතුව අවට ගස්වලට සිදු විය හැකි හානිය අවම කිරීමට කපන ගස්වලින් වෙනත් ගස්වලට විහිදී යන වැල්, ගස් කපන්නන් විසින් ඉවත් කරනු ලබනවා. අපි අවසරයක් ලැබී ඇති ප්‍රදේශ වෙතට යන්නේ මාරුවෙන් මාරුවටයි. වසරකට එක් වතාවක් එක් එක් කොටසේ ගස්වල පිහිටීම සලකුණු කර ගස් කපනවා. අනුගමනය කරන පිළිවෙත විස්තර කළහොත් අප එකම භූමි කොටසට නැවත යන්නේ අඩුම තරමින් 20 අවුරුද්දක්වත් ගත වූවායින් පසුවයි. වනාන්තරයේ සමහර භූමි කොටස්වලට අපි ආපසු යන්නේ 30 වසරකට පසුවයි.”

කෙසේවෙතත්, රොබේර්ටෝ වැඩ කරන්නේ දැව කපන සමාගමකටය. එමනිසා පිබිදෙව්! සඟරාවේ නියෝජිතයා ඔහුගෙන් මෙසේ ඇසීය. “වන ජීවීන් සංරක්ෂණය කිරීම ගැන දැව කපන අය උනන්දු වන්නේ කොතරම් දුරකටද?”

සතුන් ආරක්ෂා කිරීම

රොබේර්ටෝ අදහස් දක්වන්නේ මෙසේය. “සතුන් නැතුව හොඳ වනාන්තරයක් පවත්වාගන්න බැහැ. බීජ පරාගණය සහ විසුරුවා හැරීම සඳහා සතුන්ගෙන් අතිවැදගත් කාර්යයක් ඉටු වෙයි. එමනිසා වන සතුන්ට සිදු වන අපහසුතාව හැකි තරම් අවම කිරීමට අපි උපරිම උත්සාහයක් දරනවා. නිදසුනකට, අපි පිවිසුම් මාර්ග ඉතා පරෙස්සමින් සැලසුම් කරනවා. ඒ නිසා සෑම තැනකම පාරවල් කපන්නේ නැහැ. හැකි සෑම අවස්ථාවකදීම අපි හදන්නේ ඉතාමත් පටු පාරවල්. එතකොට පාරට උඩින් තුරු වියන බාධාවක් නැතුව විහිදෙනවා. මේ හේතුවෙන් වඳුරන් සහ මන්දයන් වැනි සතුන්ට ගස්වලින් බහින්නේ නැතුව පාරේ අනිත් පැත්තට යන්න ඉඩ කඩ සැලසෙනවා.”

රොබේර්ටෝ තම ඇඟිල්ලෙන් තමා සතු සිතියමේ වර්ණගැන්වූ ප්‍රදේශ කිහිපයක් පෙන්වයි. ඒවාට කිසිම කෙනෙකු පය තබන්නේවත් නැත. නිදසුනකට සෑම ගඟකම හෝ ඇළකම ඉවුරු දෙපස පිහිටි ප්‍රදේශය මෙවැනි ආරක්ෂිත කලාපයක් ලෙස සැලකේ. මෙමගින් කාගෙන්වත් බාධාවක් හිරිහැරයක් නොවී නොඉඳුල් කැලෑවේ සක්මන් කිරීමට සතුන්ට අවකාශ සැලසේ.

“ගංගා ආශ්‍රිතව පවතින මෙවැනි අතිවැදගත් වාසභූමිවලට අමතරව, ගල් ලෙන්, පාෂාණ උද්ගත (පර්වත), බෙන සහිත ඉපැරණි ගස්, රසවත් පලතුරු ගස් මෙන්ම එක්තරා සත්ව වර්ගයකගේ අඛණ්ඩ පැවැත්මට බෙහෙවින් ඉවහල් වන ඕනෑම ප්‍රදේශයක් අපි ආරක්ෂිත කලාප හැටියටයි නම් කරන්නේ. නීති විරෝධී දඩයම වැළැක්වීමට, අපගේ සේවකයන්ට තුවක්කු ගෙනියන්න අපි ඉඩ දෙන්නේ නැහැ. දඩ මස් කෑමට අවශ්‍යතාවක් ඇති නොවන්නේ අපගේ කඳවුරට අපි නිතරම හරක් මස් සහ කුකුල් මස් ගුවනින් ගෙන්වාගන්නා නිසයි. එක්තරා භූමි කොටසක අපගේ වැඩ නිම කළායින් පසු, අපි පරෙස්සමින් ඊට පිවිසිය හැකි මාර්ගවලට බාධක දමනවා. එසේ නැතහොත් මුර පොළවල් පිහිටුවනවා. ඒවායේ ප්‍රතිඵලයක් ලෙසට දඩයක්කාරයන් හෝ නීතිවිරෝධී දැව කපන්නන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ වනාන්තරයට ඇතුල් වන්න.

“පෞද්ගලිකව මම හරි ආසයි මේ සෑම දෙයක්ම කරන්න. මොකද දෙවිගේ මැවිල්ල ආරක්ෂා කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. හැබැයි, ලියාපදිංචි කළ, ධරණීය වනාන්තර කළමනාකරණයක් සිදු කරන වනාන්තරයක මම දැන් විස්තර කළ මේ සෑම ක්‍රියාමාර්ගයක්ම අන්තර්ජාතික රෙගුලාසිවලට එකඟව අනුගමනය කළ යුතුයි. අවසර පත්‍රයක් ලබාගන්න නම් යම් සමාගමකට අන්තර්ජාතික සංවිධානවලින් පැමිණෙන පරීක්ෂකයන්ව සෑහීමට පත් කරන්න සිදු වෙනවා.”

ධරණීය වනාන්තර කළමනාකරණය ලාභදායීද? සාමාන්‍යයෙන් වනයේ ජීවීන් සංරක්ෂණය කිරීමට වූ සැලසුම් දැව කපන්නන් එතරම් උද්‍යෝගයකින් පිළිගන්නේ නැත. මෙබැවින් රොබේර්ටෝ හා සමාන අය සිටින්නේ අතළොස්සක් පමණි. වැඩිදෙනා එවැනි තහංචි සලකන්නේ ලාභයට හරස් පොලු තැබීමක් ලෙසයි.

කෙසේවෙතත්, ගස්වල පිහිටීම ලකුණු කිරීම, වැල් කැපීම සහ සැලසුම්සහගතව දැව ඉවත් කිරීම යනාදිය ඉතා කාර්යක්ෂමව සිදු කළ හෙයින් ඒ සඳහා වැය වූ මුදල පිරිමසාගත හැකි වූවා පමණක් නොව මුදල් ඉතිරියක්ද තිබුණු බව නැඟෙනහිර ඇමසොන් ප්‍රදේශයේ 1990 ගණන්වල අගභාගයේදී කළ අධ්‍යයනයකින් පෙනී ගියේය. නිදසුනකට නැති වූ ලී කොටන්වල ගණන අඩු විය. ගස්වල පිහිටීම ලකුණු නොකරන අවස්ථාවන්හිදී දම්වැල් කියත් භාවිත කරමින් ගස් කපන පිරිස සිය කාර්යය නිම කළායින් පසුව, කොටන් එකතු කරන පිරිසට ඝන කැලෑව නිසා ඒවායින් සමහරක් සොයාගැනීම අපහසු වේ.

මීට අමතරව, ධරණීය වනාන්තර කළමනාකරණයක් සිදු වන වනාන්තරයකින් ලබාගත් බවට සහතික කර ඇති දැව අළෙවි කිරීමද වඩාත් පහසු විය හැක. එනමුත් පරිසර හානිය අවම වන අයුරින් ගස් කැපීම ජෛව විවිධත්වය ඇත්තවශයෙන්ම ආරක්ෂා කරයිද? වර්ෂා වනාන්තරයකින් මෙලෙස ගස් කපන විට, මෙය වන ජීවීන්ට කොතෙක් දුරට බලපායිද?

ගස් කැපීම වන ජීවීන්ට දරාගත හැකිද?

නිවර්තන වර්ෂා වනාන්තර ආශ්‍රිතව පවතින පරිසර පද්ධතීන් බිඳෙනසුලු හා සංකීර්ණ ඒවා බව පිළිගත යුතුය. එනමුත්, ඇතැම් තත්වයන් යටතේ ඒවාට පුදුම දනවන ඔරොත්තු දීමේ ශක්තියක් ඇති බව පෙනී ගොස් ඇත. නිදසුනකට, දැව කපා ඇති ප්‍රදේශයක් අසල නොඉඳුල් වනාන්තර ප්‍රදේශයක් ඇත්නම්, කපනු ලබන ගස්වල පැළ ක්‍රමානුකූලව වැඩී තුරු වියනේ හිදැස් පුරවනු ඇත. එනමුත් සතුන්, පක්ෂීන් සහ කෘමීන් ගැන කුමක් කිව හැකිද?

සත්ව විශේෂයන් අතළොස්සකට මෙය ඉතා අහිතකරව බලපාන අතර, දැව කැපීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රදේශයෙහි වෙසෙන පක්ෂි සහ සත්ව විශේෂයන් අඩු වී යයි. කෙසේවෙතත්, පරිසර හානිය අවම වෙන පරිදි ගස් කපන විට, සත්ව විශේෂයන් බහුතරයකට එය එතරම් දුරට බලපාන්නේ නැත. ඇත්තෙන්ම, ගස් කැපීමේ ප්‍රතිඵලයක් ලෙස තුරු වියනේ හිදැස් ඇති වන නිසා, ඇතැම් සත්ව විශේෂයන්ට එය හිතකර වෙනවාද විය හැකියි. මෑතකදී කරන ලද පර්යේෂණවලින් පෙන්වන්නේ මිනිසුන් සිටින විට, තෝරා බේරා දැව කපන කිහිපදෙනෙකු සිටියදී පවා වර්ෂා වනාන්තරවල ජෛව විවිධත්වය වැඩි කිරීමට එය ඉවහල් විය හැකි බවය.

ජෛව විවිධත්වයට ස්ථිර හානියක් සිදු නොකරමින් නිවර්තන වර්ෂා වනාන්තරවලින් වගකීමෙන් යුතුව ගස් කැපිය හැකි බවට ප්‍රමාණවත් සාක්ෂි එකතු කර තිබේ. ලන්ඩනයේ පළ වන ඉකොනමිස්ට් නමැති සඟරාව මෙසේ පැවසීය. “ඉතිරිව ඇති වනාන්තරවලින් සියයට 10ක් තරම් සුළු ප්‍රමාණයක ධරණීය වනාන්තර කළමනාකරණය සිදු කෙරේ නම්, නිවර්තන කලාපීය තද ලී වර්ග සඳහා පවතින ඉල්ලුම සම්පූර්ණයෙන්ම සපුරාලිය හැකිය. එවිට ඉතිරි වනාන්තරවලින් බොහොමයක්, ගස් කැපීම තහනම් ප්‍රදේශ ලෙස සලකන්නට පුළුවන.”

පූර්ණ ආරක්ෂාවක් ලබන වනාන්තරයක් සඳහා නිදසුනක් මෙම ලිපි මාලාවේ මුල් ලිපියෙහි සඳහන් විය. රාමීරෝ එය ආරක්ෂා කරන්නේ එහි තර්ජනයට ලක් වූ සත්ව හා ශාක විශේෂ කිහිපයක්ම විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙන බැවිනි. මෙවැනි වලාකුළු වනාන්තර දුර්ලභය. එමෙන්ම එහි පවතින ජෛව විවිධත්වය අසාමාන්‍ය ලෙස ඉහළ මට්ටමක පවතී. රාමීරෝ මෙසේ පැහැදිලි කරයි. “සංරක්ෂණයට රහස නම් මහජනයාව දැනුවත් කිරීමයි. තමන්ගේ ජල සැපයුම වනාන්තරය මත රඳා පවතින බව ගම්වැසියන් තේරුම්ගන්නා විට, වනාන්තරය ආරක්ෂා කිරීම ගැන ඔවුන් උනන්දු වෙනවා.”

රාමීරෝ මෙසේද පවසයි. “රූ දෙස් සංචරණය (පාරිසාරික සංචාරණය) ඉතාමත් වැදගත්. මන්ද සංචාරකයන් තමන් දකින විවිධ ගස් වැල් ආරක්ෂා කිරීම වටින්නේ ඇයි කියා එමගින් ඉගෙනගන්න හින්දයි. ඔවුන් වනාන්තරයෙන් පිටව යන්නේ ඒ ගැන හා එහි වෙසෙන වන ජීවීන් ගැන වැඩි අවබෝධයක් ඇතුවයි.”

රාමීරෝ සහ රොබේර්ටෝගේ අද්දැකීම්වලින් කියාපාන්නේ නිවර්තන වර්ෂා වනාන්තර හා එහි වෙසෙන වන ජීවීන් විනාශ නොකර එම වනාන්තර භාවිතයට ගැනීමට මිනිසාට හැකියාව තිබෙන බවයි. එනමුත්, එවැන්නක් සිදු විය හැකි වුවද, එසේ වනු ඇති බවට එයම සහතිකයක් නොවේ. තමන් මිලේට ගන්නා නිවර්තන කලාපීය දැව සහතික කරන ලද, ධරණීය වනාන්තර කළමනාකරණයක් සිදු වන වනාන්තරයකින් ලබාගන්නා බව සහතික කරගැනීමට අදදින වෙසෙන ඇතැම් පුද්ගලයන්ට පුළුවන. කෙසේවෙතත්, තවත් පිරිසකට එවැනි පහසුකම් නැත. එමනිසා සංරක්ෂණය සඳහා දරන ප්‍රයත්නය වනයේ සුවිශේෂ වූ ජෛව විවිධත්වය බේරාගැනීමට ඉවහල් වේවිද?

[7වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

බොලිවියාව

දකුණෙහි දක්වා ඇති සිතියම සෑම ගසක් පිළිබඳව තොරතුරු සපයයි. ඉහත සඳහන් පරිදි මෙම සිතියමෙන් දැක්වෙන්නේ බොලිවියාවේ කුඩා ප්‍රදේශයක් පමණි

[හිමිකම් විස්තර]

ඉහළ වමේ සිතියම හැර අන් සියලුම සිතියම්: Aserradero San Martin S.R.L., Bolivia

[7වන පිටුවේ පින්තූර]

සෑම ගසකටම අංකයක් දෙනු ලබන අතර, එය අයත් විශේෂයද දක්වනු ලැබේ. ඊළඟට පෘථිවි ගෝලයේ පිහිටීම දක්වන පද්ධතිය (ඉහළ) ආධාරයෙන්, ගසක නිශ්චිත පිහිටීම සටහන් කෙරේ

[7වන පිටුවේ පින්තූර]

‘වනාන්තරයට හා එහි වන ජීවීන්ට කල්පවතින හානියක් නොකරන ආකාරයකින් ගස් කැපීම සැලසුම් කිරීමේ රහස වන්නේ වනයේ ගස්වල පිහිටීම සලකුණු කර ඇති සිතියමක් පිළියෙළ කිරීමයි.’—රොබේර්ටෝ

[8, 9වන පිටුවේ පින්තූරය]

“සංරක්ෂණයට රහස නම් මහජනයාව දැනුවත් කිරීමයි.”—රාමීරෝ

[9වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Foto: Zoo de Baños