Skip to content

පටුනට යන්න

මගේ ආත්මික පිපාසය සන්සිඳුණේ මෙහෙමයි

මගේ ආත්මික පිපාසය සන්සිඳුණේ මෙහෙමයි

මගේ ආත්මික පිපාසය සන්සිඳුණේ මෙහෙමයි

ලූචියා මූසානෙට් පැවසූ පරිදි

ඉතාලියේ වයඹදිග ඈත කෙළවරේ පිහිටි කඳුපෙළ අතරේ ස්විස් ඇල්ප්ස් මෙන්ම ප්‍රංශයේ ප්‍රසිද්ධ මොන්ට් බ්ලාන්ක්වලට කිට්ටුවෙන් වාලේ ඩවොස්ටා හි ෂ්ලන්ට් සෙන්ට්අන්සෙල්ම් පළාත පිහිටා තිබෙනවා. මම 1941දී ඉපදුණේ මේ පුංචි ගම්මානයෙයි.

දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා මමයි. බාල හතරදෙනාම පිරිමි ළමයි. වෙහෙස නොබලා වැඩ කළ මගේ අම්මා කතෝලික බැතිමතියක්. තාත්තාත් ආගම දහමට ලැදි පවුලක හැදි වැඩුණු කෙනෙක්. ඔහුගේ අක්කලා දෙන්නෙක් කන්‍යා සොහොයුරියන්. මට අධ්‍යාපනය ලබාගන්න ප්‍රස්තාව සලසමින් මගේ දෙමාපියන් මං වෙනුවෙන් ද්‍රව්‍යමය පැත්තෙන් හුඟක් පරිත්‍යාගයන් කළා. අපේ පුංචි ගම්මානයේ පාසැල් නොතිබුණ නිසා මට වයස අවුරුදු 11 වෙද්දී ඔවුන් මාව කන්‍යා සොහොයුරියන් පාලනය කරන නේවාසික පාසැලකට යැව්වා.

එහෙදී මම විෂයන් කීපයක් එක්ක ලතින් සහ ප්‍රංශ භාෂාවලුත් හැදෑරුවා. ඊට පස්සේ, මට වයස 15ක් වෙද්දී දෙවිට සේවය කරන එක ගැන මම බැරෑරුම්ව හිතන්න පටන්ගත්තා. ඒක කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි කන්‍යාරාමයකට ඇතුල් වෙන එක කියලා මට හිතුණා. කොහොමවුණත්, මගේ මල්ලිලාව අම්මාට තනියම බලාගන්න සිද්ධ වෙන නිසා මගේ දෙමාපියන් මේ අදහසට කැමති වුණේ නැහැ. මගේ දෙමාපියන් බලාපොරොත්තු වුණේ මම අධ්‍යාපනය ලබලා ඊට පස්සේ හොඳ රැකියාවක් කරලා පවුලේ ආර්ථික අවශ්‍යතා පිරිමහයි කියලයි.

මගේ දෙමාපියන්ගේ ප්‍රතිචාරය නිසා මට දුකක් ඇති වුණත් ජීවිතයට නියම අරමුණක් සොයාගන්නට මට වුවමනා වුණා. දෙවිට මුල් තැන දිය යුතුයි කියලා මට හැඟුණ නිසා 1961දී මම රෝමානු කතෝලික කන්‍යාරාමයකට ඇතුල් වුණා.

කන්‍යා සොහොයුරියක් හැටියට මගේ ජීවිතය

මුල් මාසවලදී මම පල්ලියේ ප්‍රමිති සහ නීති හදාරන අතරතුරේ කන්‍යාරාමයේ වැඩ පළත් කෙරුවා. වර්ෂ 1961 අගෝස්තුවලදී කන්‍යා සොහොයුරියක ලෙස පුහුණු වීමේ ආධුනික කාලය පටන්ගත් අතර ඊට නියමිත ඇඳුම අඳින්නත් මම පටන්ගත්තා. ඒ විතරක් නෙවෙයි මගේ නමත් වෙනස් කරගත්තා. මගේ අම්මාගේ නම ඊනේස්. ඒ නම දාගන්න අවසර ලැබුණාට පස්සේ මම සිස්ටර් ඊනේස් හැටියට ප්‍රසිද්ධ වුණා.

ආධුනිකයන් හුඟදෙනෙක් කන්‍යාරාමයේ වැඩකටයුතුවල යෙදුණත් මා ලබා තිබූ අධ්‍යාපනය ප්‍රාථමික පාසැල් ගුරුවරියක් හැටියට සේවය කරන්නත් ප්‍රමාණවත් වුණා. ඊට අවුරුදු දෙකකට පස්සේ 1963 අගෝස්තුවලදී මම මගේ දිවුරුම් දීම කර ඉතාලියේ ආඕස්ටාහි සාන්ත ජූසේගේ කන්‍යා සොහොයුරියන්ගේ ක්‍රමයට අනුව කන්‍යා සොහොයුරියක් බවට පත් වුණා. ඊට පස්සේ කන්‍යාරාමයෙන් මාව රෝමයේ මාරියා සාන්ටිසීමා ආසුන්ටා විශ්වවිද්‍යාලයට යවා වැඩිදුර අධ්‍යාපනයක් ලබාගන්න මට උදව් කළා.

රෝමයේ අධ්‍යාපනය අවසන් කළාට පස්සේ 1967දී ආඕස්ටාවලට ආපහු ගිහින් මම ඉහළ පංති තියෙන පාසැලක උගන්වන්න පටන්ගත්තා. වර්ෂ 1976දී පාසැලේ අධ්‍යක්ෂකවරිය හැටියට කටයුතු කරන්න කැමතිද කියලා මගෙන් ඇහැව්වා. මේ වෙනකොට මම පංති කීපයක උගන්වමින් හිටිය අතර පාසැල් පරිපාලනය සඳහා මාව වාලේ ඩාඕස්ටා ප්‍රාදේශීය පාසැල් මණ්ඩලයේ සාමාජිකාවක් හැටියටත් පත් කළා.

මගේ ලොකුම ආශාව වෙලා තිබුණේ දුප්පත් අයට උදව් කරන එකයි. මට ඔවුන් ගැන හුඟක් අනුකම්පා හිතුණා. ඒ හින්දා මම පවුලේ කාත් කවුරුවත් නැති මාරාන්තික රෝග වැලඳිලා හිටිය අයට උපකාර කිරීම ඇතුළු නොයෙක් සාමාජීය වැඩසටහන් සංවිධානය කළා. සංක්‍රාමිකයන්ගේ දරුවන්ට ඉගැන්වීමටත් මම වැඩසටහනක් යෙදුවා. ඊට අමතරව, දුප්පතුන්ට රස්සාවලුත්, ගෙවලුත් හොයලා දුන්නා. අවශ්‍ය අයට වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නත් උපකාර කළා. මේ විදියට පල්ලියේ ආගමික ප්‍රතිපත්තිවලට එකඟව මගේ ජීවිතය ගත කරන්න මම උත්සාහ කළා.

මේ අතරතුර මම ත්‍රිත්වය, අමරණීය ආත්මය, මනුෂ්‍යාගේ සදාකාල අනාගතය පිළිබඳ කතෝලික මතයන් ඇතුළු කතෝලික ධර්මය පිළිගත්තා. අනිත් ආගම් පිළිගැනීම හා ඒවා සමඟ සම්බන්ධ වීම වැනි ඇදහිල්ලේ සංයෝගයන්වලටද කතෝලික ධර්මය ඉඩහැරලා තිබුණා.

මගේ හිතට වද දෙන්න පටන්ගත් කාරණා

ඒත් කතෝලික සභාවේ සිද්ධ වුණ සමහර දේවල් ගැන මගේ හිතට වද දුන්නා. උදාහරණයකට, බව්තීස්ම වෙන්න සහ සත්ප්‍රසාදය ලබාගන්න කලින් එවැනි පියවරවල තේරුම ගැන අධ්‍යයනයක් ලබාගන්න දෙමාපියන්ට සහ දරුවන්ට සිද්ධ වුණා. ඒ වුණත්, හුඟදෙනෙක් පංතිවලට ආවේ නැහැ. තවත් අය පාඩම් කරන්නවත් වෑයමක් දැරුවේ නැහැ. ඒ විතරක් නෙවෙයි, එක මීසමකින් තමන්ට බව්තීස්මය සහ සත්ප්‍රසාදය දුන්නේ නැත්නම් ඔවුන් හෙමින් සීරුවේ වෙන මීසමකට ගිහින් බව්තීස්මය සහ සත්ප්‍රසාදය ලබාගත්තා. මේක බොරුවක් සහ වංචාකාරී දෙයක් ලෙසයි මට පෙනුණේ.

“වෙන වෙන දේවලට අපේ ජීවිත කැප කරනවා වෙනුවට අපි කරන්න ඕන ශුභාරංචිය දේශනා කරන එක නෙවෙයිද” කියලා සමහර වෙලාවට මම මගෙන්මත්, අනික් කන්‍යා සොහොයුරියන්ගෙනුත් අහනවා. එතකොට ඒගොල්ලෝ උත්තර දෙන්නේ “අපි දේශනා කරන්නේ හොඳ දේවල් කරලා” කියලයි.

ඇරත්, මගේ පව් ගැන පාපෝච්චාරණය කරන්න පූජකයෙක් ළඟට යන්න වුණ එකත් මට මහා වදයක් වුණා. ඒ වගේ පුද්ගලික දේවල් ගැන දෙවිට කියන්න මට පුළුවන්කමක් තියෙන්න ඕන කියලා මම තර්ක කළා. කටපාඩමින්, පුන පුනා එකම දේ කියලා යාච්ඤා කරන එකත් මට පිළිගන්න අමාරු දෙයක් වුණා. පාප්වරයා නොවරදිනසුලු තැනැත්තෙක් කියලා විශ්වාස කරන එකත් ලේසි දෙයක් වුණේ නැහැ. කල් යද්දී, ඒ වගේ කාරණා සම්බන්ධයෙන් මම ගොඩනඟා ගෙන තිබුණ විශ්වාසයන් එහෙමම තියාගෙන මගේ ආගමික ජීවිතය ඔහේ ගත කරනවා කියලා මම හිතාගත්තා.

බයිබල් දැනුම ලබාගැනීමේ ආශාව

මම දේවවචනයට ගැඹුරු ගෞරවයක් දැක්වුවා වගේම ඒකේ තියෙන දේවල් දැනගන්නත් මට ආසාවක් තිබුණා. තීරණයක් ගන්න සිද්ධ වුණ හැම අවස්ථාවකදීම එහෙමත් නැත්නම් දෙවිගේ උපකාරය අවශ්‍ය බව හැඟුණ හැම මොහොතකම මම කළේ බයිබලය කියවන එකයි. අපි කන්‍යාරාමයේදී කවදාවත් බයිබලය අධ්‍යයනය කළේ නැතත් මම තනියම ඒක කියෙව්වා. යෙසායා 43:10-12 දක්වා තියෙන කොටසේ “නුඹලා මාගේ සාක්ෂිකාරයෝය” කියලා යෙහෝවා දෙවි පැවසූ වදන් නිතරම මගේ හිතේ රැඳුණා. කොහොමවුණත් ඒ කාලේදී ඒ වචනවල සම්පූර්ණ අර්ථය මට වැටහුණේ නැහැ.

එක්දාස් නවසිය හැට ගණන්වල රෝමයේ විශ්වවිද්‍යාලයට යන කාලයේදී වතිකානුව මගින් වසර හතරක් පුරා පැවැත්තුව දේවධර්ම පාඨමාලාව මම හැදෑරුවා. ඒත් මගේ පාඩම් පොත්වලට බයිබලය ඇතුළත් කරලා තිබුණේ නැහැ. ආඕස්ටාවලට ආපහු ගියාට පස්සේ මම ක්‍රිස්තියානි සම්මේලන හුඟකට ගියා. අන්තර් නිකායික සහ කතෝලික නොවන සංවිධාන මගින් පැවැත්වුව ඒවාවලට පවා ගියා. ඒ නිසා බයිබලයේ ඉගැන්වීම් ගැන දැනගන්න තිබුණ ආශාව තව තවත් වැඩි වුණා. මේකට හේතු වුණේ එකම පොතේ තියෙන දේවල් උගන්වනවා කියලා කියාගත්තු කණ්ඩායම් අතරෙම සෑහෙන වියවුලක් තිබීමයි.

බයිබලය ගැන වැඩියෙන් ඉගෙනගැනීම

මම සමාජ සේවා වැඩවල යෙදිලා හිටිය ස්ථානයට යෙහෝවාගේ සාක්ෂිකාරියක් 1982දී ඇවිල්ලා බයිබලය ගැන මා එක්ක කතා කරන්න පටන්ගත්තා. වැඩ අධිකව හිටියත් බයිබලය ගැන ඉගෙනගන්න තිබුණ කැමැත්ත නිසා මා තුළ උනන්දුවක් ඇති වුණා. “කරුණාකරලා මට විවේක තියෙන වෙලාවක මගේ ඉස්කෝලෙට එන්න පුළුවන්ද? එතකොට අපිට කතා කරන්න පුළුවන්” කියලා මම කිව්වා.

ඒ තැනැත්ති මාව මුණ ගැහෙන්න ආවත් මට “විවේක වෙලාවක්” තිබුණේ නැහැ. මගේ අම්මාට පිළිකාවක් තියෙන බව දැනගත්ත නිසා මම නැවත සේවයට පැමිණීමට අවසර ඇතුව නිවාඩු අරගෙන ඇගේ උපකාරයට ගියා. ඇය 1983 අප්‍රියෙල්වලදී මියගියාට පස්සේ ආපහු මම වැඩට ආවත් ඒ වෙනකොට සාක්ෂිකරුවන් එක්ක තිබුණ මගේ සම්බන්ධය කැඩිලා තිබුණා. කොහොමවුණත්, ඊට ටික කලකට පස්සේ විසි ගණන්වල මැදභාගයේ හිටිය තවත් සාක්ෂිකාරියක් බයිබලය ගැන කතා කරන්න ආවා. මම එතකොට බයිබලයේ එළිදරව් පොත තනිවම කියවමිනුයි හිටියේ. ඉතින් මම ඇගෙන් ඇහැව්වා, “මේ එළිදරව් 14වෙනි පරිච්ඡේදයේ සඳහන් කරලා තියෙන 1,44,000දෙනා කවුද” කියලා.

හොඳ කරන හැමෝම ස්වර්ගයට යනවා කියලයි මම ඉගෙනගෙන තිබුණේ. ඒ නිසා, ස්වර්ගයේ ඉන්න අනිත් අයගෙන් 1,44,000දෙනෙකුව වෙන් කරලා තියෙන එක තර්කානුකූල දෙයක් හැටියට මට පෙනුණේ නැහැ. ‘මේ 1,44,000දෙනා කවුද? ඔවුන් කරන්නේ මොනවාද’ කියලා මම කල්පනා කළා. විටින් විට මේ ප්‍රශ්න මගේ මනසට නැඟුණා. සාක්ෂිකාරිය මාව හොයාගන්න නිරන්තර උත්සාහයක් දරලා තිබුණත් මම නිතරම එහෙ මෙහේ ගිය නිසා ඇයට මාව හම්බ වෙන්න හැකියාවක් ලැබුණේ නැහැ.

බැරිම තැන ඇය ඇගේ සභාවේ වැඩිමහල්ලෙක් වූ මාර්කෝට මගේ ලිපිනය දීලා තිබුණා. කොහොමහරි, 1985 පෙබරවාරිවලදී ඔහු මාව හොයාගත්තා. මට වැඩ තිබුණ නිසා අපිට කතා කරන්න හම්බ වුණේ ටික වෙලාවක් වුණත් අපි වෙලාවක් යොදාගත්තා. ඊට පස්සේ ඔහුත් ඔහුගේ භාර්යාව වූ ලීනාත් නිතිපතා ඇවිත් බයිබලයේ තියෙන දේ තේරුම්ගන්න මට උපකාර කළා. වැඩි කල් යන්න කලින්, ත්‍රිත්වය, අමරණීය ආත්මය සහ නිරාගින්න වැනි මූලික කතෝලික ඉගැන්වීම් බයිබලය මත පදනම් වෙලා නැති බව මට තේරුණා.

සාක්ෂිකරුවන් සමඟ ඇසුර

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමක් සඳහා ඔවුන්ගේ රාජ්‍ය ශාලාවට ගියහම කතෝලික සභාවට වඩා එතන සිද්ධ වුණ දේවල් හුඟක් වෙනස් බව මම පැහැදිලිවම දැක්කා. සංගීත කණ්ඩායමේ ඉන්න අය විතරක් ගීතිකා නොකියා හැමෝම ගීතිකා කිව්වා. හැමෝම රැස්වීමටත් සහභාගි වුණා. මුළු සංවිධානයම හැදිලා තියෙන්නේ “සහෝදර සහෝදරියන්ගෙන්” බවත් මට පෙනුණා. ඔවුන් හැමෝම එකිනෙකා කෙරෙහි ඇත්තටම සැලකිල්ලක් දැක්වුවා. මේ දේවල් මගේ හිතට තදින් කාවැදුණා.

ඒ දවස්වල මම රැස්වීම්වලට ගියේ ලෝගුව දාගෙනමයි. කන්‍යා සොහොයුරියක් රාජ්‍ය ශාලාවේ ඉන්නවා දැක්ක සමහරුන්ට ලොකු සතුටක් දැනුණා. විශාල ප්‍රේමණීය පවුලක් අතර සිටීමෙන් ලැබෙන ප්‍රීතිය සහ සෑහීම මට දැනුණා. ඒ වගේම, පාඩම් කරගෙන යද්දී මට වැටහෙන්න පටන්ගත්තා මගේ ජීවිතයේ ගොඩනඟා ගෙන තිබුණ ප්‍රතිපත්ති වැඩි හරියක් දේවවචනයට එකඟ නැති බව. උදාහරණයකට, දෙවිගේ සේවකයන් විශේෂ ඇඳුමක් ඇන්ද බවක් බයිබලයේ පවසන්නේ නැහැ. සභාවේ මූලිකත්වය දරන යටහත් පහත් වැඩිමහල්ලන් ගැන බයිබලයේ පවසා ඇති දේට වඩා පූජක මණ්ඩලය සහ ඔවුන් විදහා පෑ ගරු ගාම්භීර විලාසය අතර ලොකු වෙනසක් තිබුණා.

මට දැනුණේ කොයි මොහොතේ හරි කඩා වැටෙන වැලි කණ්ඩියක් උඩ මම හිටගෙන ඉන්නවා වගෙයි. අවුරුදු 24ක්ම නොමඟ ගිහින් හිටියයි කියලා හිතන්නත් පුළුවන්ද! කොහොමවුණත් මම බයිබල් සත්‍යයන් පැහැදිලිවම තේරුම්ගත්තා. වයස අවුරුදු 44දී මට ආපහු සම්පූර්ණයෙන්ම අලුත් ජීවිතයක් පටන්ගන්න වෙලා තියෙනවා කියලා හිතුණාම මට භය හිතුණා. ඒත් ඇත්තෙන්ම බයිබලයේ උගන්වන දේවල් දැක දැකත් අන්ධයෙක් වගේ ඇවිදින්නේ කොහොමද?

අතිවැදගත් තීරණයක්

කන්‍යාරාමයෙන් ඉවත් වෙනවා කියන්නේ මට හිස් අතින් යන්න වෙනවා කියන එක බව මම දැනගෙන හිටියා. කොහොමවුණත්, ධර්මිෂ්ඨයා ‘අත්හරිනු ලබන්නේවත්, ඔහුගේ වංශය කෑම සිඟන්නේවත් නැත’ කියා දාවිත් පැවසුව වදන් මගේ මතකයේ තිබුණා. (ගීතාවලිය 37:25) මගේ සුරක්ෂිතභාවය තරමක් දුරට අඩු වෙන බව දැනගෙන හිටියත් මම දෙවි කෙරෙහි විශ්වාසය තබාගෙන ‘ඇත්තෙන්ම මොකටද මම භය වෙන්නේ’ කියලා මගෙන්ම අහගත්තා.

මගේ පවුලේ අය හිතුවේ මගේ සිහිය විකල් වෙලා කියලයි. ඒක මගේ හිතට වදයක් වුණත් ‘මට වඩා පියාටවත් මවුටවත් ප්‍රේම කරන්නා මට සුදුසු නොවේ’ කියලා යේසුස් කියලා තියෙන දේ මගේ මතකයට ආවා. (මතෙව් 10:37) මේ අතරතුර, සාක්ෂිකරුවන් කරපු සුළු දේවලින් පවා මාව දිරිගැන්වුණා; ශක්තිමත් වුණා. ලෝගුව දාගෙන මම පාරේ ඇවිදිනකොට ඔවුන්ම මා ළඟට ඇවිත් මාත් එක්ක කතා කළා. මේ හින්දා ඔවුන්ගේ සහෝදරත්වයට මාව තවත් සමීප වුණා. මමත් ඔවුන්ගේ පවුලේ කෙනෙක් කියලා මට හැඟුණා.

අන්තිමේදී කන්‍යා මව්තුමී ළඟට ගිහින් මම කන්‍යාරාමයෙන් අයින් වෙන්න තීරණය කළ කාරණය ඇයට පැහැදිලි කළා. මම මේ තීරණය ගත්තේ ඇයි කියලා බයිබලයෙන් පෙන්නන්න හැදුවහම ඇය ඇහුම්කන් දෙන්න අකමැත්තෙන් “බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්න ඕනෙනං මට පුළුවන් බයිබල් විශාරදයෙකුගෙන් අහගන්න” කියලා කිව්වා.

මගේ තීරණය අහලා කතෝලික සභාව පුදුමයට පත් වුණා. මම දුරාචාරයේ යෙදුණා කියලාත්, මට පිස්සු හැදීගෙන එනවා කියලාත් ඔවුන් චෝදනා කරන්න පටන්ගත්තා. ඒත්, මාව දන්න අය ඒවා බොරු චෝදනා බව දැනගෙන හිටියා. මාත් එක්ක වැඩ කරලා තියෙන අය නොයෙක් විදිහට ප්‍රතිචාරය දක්වන්න පටන්ගත්තා. සමහරු දැක්කේ මම නිර්භීත ක්‍රියාවක් කරලා තියෙනවා වගෙයි. තවත් අය මම වැරදි මාර්ගෙක යන්න අරන් කියලා දුක් වුණා. සමහරුන් මා ගැන අනුකම්පා කළා.

මම 1985 ජූලි 4වෙනිදා කතෝලික සභාවෙන් අයින් වුණා. ඒ වගේ ක්‍රියාමාර්ගයක් ගත්ත අයට සලකපු විදිහ දන්න නිසා සාක්ෂිකරුවන් මගේ ආරක්ෂාවට මාසයක් විතර මාව හංගලා තිබ්බා. ඔවුන් මාව රැස්වීම්වලට ගෙනිහින් ආපහු මම හිටිය තැනටම ගෙනත් ඇරලුවා. සන්සුන් තත්වයක් උදා වෙන තුරු මම වැඩිය එළිපහළියට ආවේ නැහැ. ඊට පස්සේ 1985 අගෝස්තු 1වෙනිදා මම යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක දේවසේවයේ හවුල් වෙන්න පටන්ගත්තා.

ඒ අගෝස්තුවේ අග හරියේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුවකට සහභාගි වුණ අවස්ථාවේ මම කතෝලික සභාවෙන් අයින් වෙලා ඉන්න බව දැනගෙන ජනමාධ්‍යයන් මේ කතාව ප්‍රසිද්ධ කළා. වර්ෂ 1985 දෙසැම්බර් 14වෙනිදා බව්තීස්ම වුණහම ඒක හිතාගන්නවත් බැරි දෙයක් කියලා හිතුව ප්‍රාදේශීය රූපවාහිනි මධ්‍යස්ථානය සහ පුවත්පත් වාර්තාකරුවන් මම කරපු දේ හැමෝටම දැනගන්න සලස්වමින් ආපහු මේ කතාව ප්‍රසිද්ධ කළා.

කන්‍යාරාමයෙන් පිට වෙනකොට මට මගේ කියලා මොකවත් තිබුණේ නැහැ. රැකියාවක්, ගෙයක්, විශ්‍රාම වැටුපක් මේ එක දෙයක්වත් තිබුණේ නැහැ. ඒ නිසා අවුරුද්දක් විතර අංශභාග රෝගියෙකුව බලාගත්තා. වර්ෂ 1986 ජූලිවලදී මම පුරෝගාමියෙක් වුණා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන දේවසේවකයන්ව හඳුන්වන්නේ එහෙමයි. අලුතෙන් පුංචි සභාවක් පටන්ගෙන තිබුණ ප්‍රදේශයක මම පදිංචියට ගියා. එහෙදී මම භාෂාව විෂයක් හැටියට පෞද්ගලිකව ඉගැන්නුවා. ඒ වගේම මගේ පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගනිමින් වෙනත් විෂයනුත් ඉගැන්නුවා. මේ හින්දා මට කැමති විදිහට කාල සටහන හදාගන්න පුළුවන් වුණා.

විදේශ ක්ෂේත්‍රයක සේවය කිරීම

මේ වෙනකොට මම බයිබල් සත්‍යය ඉගෙනගෙන තිබුණ හින්දා මට ඕන වුණේ පුළුවන් තරම් දෙනෙක් එක්ක මේ සත්‍යයන් බෙදාගන්නයි. ප්‍රංශ භාෂාව කතා කරන්න මට පුළුවන් නිසා මම කල්පනා කළේ ප්‍රංශ භාෂාව කතා කරන අප්‍රිකානු රටක සේවය කරන්නයි. නමුත් 1992දී අසල්වැසි රටක් වූ ඇල්බේනියාවේ සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව නීතිමය වශයෙන් පිළිගනු ලැබුවා. ඒ වසර අවසානයේදී ඉතාලියේ පුරෝගාමින් ටිකදෙනෙකුව එහාට යැව්වා. ඔවුන් අතර අපේ සභාවෙන් ගිය මාර්යෝ සහ ක්‍රිස්ටිනා ෆාට්සියෝ හිටියා. ඔවුන් දෙන්නාව බලන්න එන්න කියලා ඔවුන් මට ආරාධනා කළා. ඒ වගේම, ඇල්බේනියාවට ඇවිත් සේවය කරන එක ගැන කල්පනා කරන්න කියලාත් කිව්වා. ඉතින් මම යාච්ඤා කරලා, හොඳට හිතලා බලලා තීරණයක් ගත්තා. මේ වෙනකොට 52වෙනි වියේ හිටිය මම සම්පූර්ණයෙන්ම වෙනස් ලෝකයකට අඩිය තිබ්බේ යම්තමින් හරි තිබුණ සුරක්ෂිතභාවය ගැනත් නොතකායි.

ඒ 1993 මාර්තුවලදීයි. මගේ මව් රටට වැඩි ඈතක නොවූවත් එහාට ගිය ගමන්ම මට තේරුණේ හරියට මම ඉන්නේ තවත් ලෝකෙක කියලායි. මිනිස්සු වැඩි හරියක් ගමන් කළේ පයින්. ඔවුන් කතා කළේ මට කොහොමටවත් නොතේරෙන ඇල්බේනියානු භාෂාවෙනුයි. දේශපාලන ක්‍රම නිතර වෙනස් වුණ නිසා නිතරම රටේ විශාල වෙනස් වීම් සිද්ධ වුණා. ඒත් ජනයා බයිබල් සත්‍යය දැනගන්න ආශාවෙන් හිටියා. කියවන්නත්, අධ්‍යයනය කරන්නත් ඔවුන් ඇල්මක් දැක්වුවා. බයිබල් ශිෂ්‍යයන් ඉක්මනින් දියුණු වුණ නිසා මගේ හිතට මොනතරම් සතුටක් දැනුණද කියනවා නම් මේ අලුත් වාතාවරණයට සකස් වෙන්න ඒක මට උපකාරවත් වුණා.

මම 1993දී ඇල්බේනියාවේ අගනුවර වන ටිරානාවලට යනකොට එහේ තිබුණේ එක සභාවක් විතරයි. මුළු රට පුරාම හිටියෙත් සාක්ෂිකරුවන් 100කට ටිකක් වැඩිය විතරයි. ඒ මාසයේ, ටිරානාවල මුල්ම විශේෂ එක්රැස්වීම් දිනය පැවැත්වුවා. ඒකට 585දෙනෙක් ඇවිත් හිටිය අතර 42ක් බව්තීස්ම වුණා. මට කිසි දෙයක් තේරුණේ නැතත් සාක්ෂිකරුවන් එක්ව ගයනකොට ඊට සවන් දීමෙනුත්, ඔවුන් හොඳ අවධානයකින් ඉන්නවා දැකීමෙනුත් මම සතුටු වුණා. අප්‍රියෙල්වලදී පැවැත්වූ යේසුස් ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමට 1,318දෙනෙක් ආවා! එදා පටන් ඇල්බේනියාවේ ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් ශීඝ්‍රයෙන් වැඩි වර්ධනය වුණා.

මම දවසක් හතරවෙනි මහලේ බැල්කනියේ ඉඳලා ටිරානා දිහා බලාගෙන මෙහෙම කල්පනා කළා. ‘මේ දකින හැමදෙනාවම හමු වෙන්න අපිට කවදාහරි පුළුවන් වෙයිද? යෙහෝවා දෙවි ඒ සම්බන්ධයෙන් පියවර ගත්තා. දැන් ටිරානාවල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභා 23ක් තියෙනවා. මුළු රටේම, සභා 68ක් සහ කණ්ඩායම් 22ක් තිබෙනවා. ඒ වගේම සාක්ෂිකරුවන් 2,846දෙනෙක් ඉන්නවා. අවුරුදු කීපයකින් විශාල වර්ධනයක්! ඒ වගේම 2002 සිහි කිරීමට 12,795දෙනෙකුත් ඇවිත් හිටියා.

ඇල්බේනියාවේ හිටිය මේ අවුරුදු දහයේදී අඩුම තරමින් 40දෙනෙකුටවත් බව්තීස්ම වෙන්න උදව් කිරීමේ වරප්‍රසාදය අද්දකින්න මට පුළුවන් වුණා. ඔවුන්ගෙන් කීපදෙනෙක්ම දැන් පුරෝගාමීන් හැටියටත්, පූර්ණ කාලීන සේවයේ වෙනත් ක්ෂේත්‍රයන්වලත් සේවය කරමින් ඉන්නවා. මේ අවුරුදු ගණනාව තුළදී ඉතාලියානු පුරෝගාමීන්ගේ කණ්ඩායම් හයක් ඇල්බේනියාවේ සේවයට සහයෝගය දෙන්න එවලා තියෙනවා. හැම කණ්ඩායමකටම මාස තුනක භාෂා පුහුණු පාඨමාලාවක් සැලසුම් කරලා තිබුණා. අන්තිම පංති හතර උගන්වන්න මටත් ආරාධනාවක් ලැබුණා.

මම කතෝලික සභාවෙන් අයින් වෙන්න තීරණය කරලා තියෙනවා කියලා යාළුවන් දැනගත්තහම ඔවුන් ප්‍රතික්‍රියා කළේ කැලඹුණු ස්වරූපයකින්. කොහොම නමුත් මේ ගත වුණු වසර කීපය තුළදී මම සන්සුන්ව, සාමකාමීව ඉන්නවා දකින නිසා ඔවුන්ගේ ආකල්ප වෙනස් වෙලා. වයස අවුරුදු 93ක් වුණත් තවමත් කන්‍යා සොහොයුරියකව සිටින නැන්දා කෙනෙක් ඇතුළු මගේ පවුලේ අය දැන් මට හොඳ සහයෝගයක් දෙන එක සතුටට කරුණක්.

යෙහෝවාව දැනගත්ත දා ඉඳලාම විවිධ තත්වයන් බොහෝමයකදී ඔහු මාව රැකබලා ගෙන තියෙනවා. ඔහුගේ සංවිධානය තුළට ගමන් කරන්න ඔහු මට මඟ පෙන්නුවා. මගේ අතීතය ගැන කල්පනා කරලා බලද්දී දුප්පතුන්ට, අසරණ තත්වයකට වැටිලා ඉන්න අයට සහ අවශ්‍යතාව ඇති අයට උපකාර කරන්නත් දෙවිගේ සේවයට සම්පූර්ණයෙන්ම කැපවෙන්නත් මම ආශාවෙන් හිටපු හැටි මගේ මතකයට නැඟෙනවා. මගේ ආත්මික පිපාසය සන්සිඳවීම ගැන යෙහෝවාට ඉත සිතින් ස්තුති කරනවා.

[21වන පිටුවේ පින්තූරය]

මාත් එක්ක බයිබලය පාඩම් කරපු ඇල්බේනියානු පවුලක්. ඔවුන්ගෙන් එකළොස්දෙනෙක් බව්තීස්ම වෙලා

[21වන පිටුවේ පින්තූරය]

ඇල්බේනියාවේදී මාත් එක්ක බයිබලය පාඩම් කළ මේ ස්ත්‍රීන්ගෙන් වැඩිදෙනෙක් දැන් පූර්ණ කාලීන දේවසේවයේ යෙදෙනවා