Skip to content

පටුනට යන්න

සබන් “ඔබ ළඟම ඇති කදිම එන්නතක්”

සබන් “ඔබ ළඟම ඇති කදිම එන්නතක්”

සබන් “ඔබ ළඟම ඇති කදිම එන්නතක්”

“ලෝපුරා වෙසෙන දරුවන්ව මරණයට පත් කරන දෙවෙනි ඝාතකයා ලෙස ගණන් ගැනෙන්නේ මැලේරියාව, ක්ෂය රෝගය හෝ ඒඩ්ස් වයිරසය නොවෙයි . . . පාචනයයි” යනුවෙන් එක සඟරාවක් (The Economist) වාර්තා කරයි. මෙයට ගොදුරු වූ දරුදැරියන් හා ඔවුන්ගේ පවුලේ අය නිතිපතා සබන් පාවිච්චි කර අත් සෝදා තිබුණා නම් ඔවුන් තවමත් ජීවතුන් අතර සිටිනු ඇත.

එම සඟරාවේ තවදුරටත් පවසන්නේ ලන්ඩනයේ සනීපාරක්ෂාව හා නිවර්තන ඖෂධ පාසැලේ පර්යේෂකයන් විසින් සොයාගෙන ඇති පරිදි “නිසි ආකාරයෙන් අත් සේදීම මගින් පාචනයට තුඩු දෙන රෝගකාරක සියයට 43කින් අඩු කරගත හැකි” බවය. සබන් ගා අත් සේදීම මගින් “දරුවන්ව මරණයට පත් කරන මූලික හේතුවක් ලෙස දැක්විය හැකි ශ්වසන මාර්ගයේ ආසාදන වැලඳීමද ඉහත ප්‍රතිශතය හා සමානව අඩු කරගත හැකියි. අමෙරිකානු හමුදාව පිළිබඳව කරන ලද පුළුල් පරීක්ෂණයකින් පෙනී ගොස් තිබෙන්නේ හමුදා භටයන් දවසකට පස් වතාවක් අත් සේදීම නිසා කැස්ස හා හෙම්බිරිස්සාව වැලඳීම සියයට 45කින් අඩු කරගත් බවයි.” දියුණු වෙමින් පවතින රටවල වෙසෙන බොහෝ පවුල්වලට සබන් පාවිච්චි කිරීම සඳහා එතරම් වියදමක් දැරීමට සිදු නොවෙයි. ඒ නිසා “ඔබ ළඟම ඇති කදිම එන්නතක්” ලෙස එය හඳුන්වා තිබීම උචිතයි. ඒ විතරක් නොවෙයි, මෙම එන්නත වේදනාව ගෙන දෙන්නේද නැත.

පිරිසිදුව සිටීමට බයිබලයේද උනන්දු කරයි. දෙවෙනි කොරින්ති 7:1හි පවසන්නේ “මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපම පවිත්‍ර” කරගත යුතුයි කියායි. යෙහෝවා මූලිකවම සැලකිලිමත් වන්නේ අපේ ආත්මික පිරිසිදුකම ගැන වුවද ඔහු අපේ ශාරීරික පිරිසිදුකම ගැනද බෙහෙවින් සැලකිලිමත් වෙයි. (ලෙවී කථාව 12-15 පරිච්ඡේද) කෙසේවෙතත් පිරිසිදුකම අතින් අන්තයටම යෑම යෙහෝවා දෙවි අපෙන් අපේක්ෂා කරන්නේ නැත. නමුත් අපි වැසිකිළිය පාවිච්චි කිරීමෙන් පසු, ළදරුවෙකුගේ නැපිය මාරු කිරීමෙන් පසු, කෑම පිසීමට පෙර හා ආහාර ගැනීමට පෙර අත් සෝදාගැනීම පුරුද්දක් කරගත යුතුයි. තවද විෂබීජ හෝ වයිරස් වෙනත් අයට පැතිරී යා හැකියි කියා සිතන ඕනෑම අවදානම් අවස්ථාවක අත් සෝදාගැනීම යෝග්‍යයයි. අපේ අත් සේදීම තුළින් අප පෙන්නුම් කරන්නේ අපේ පවුලේ අය කෙරෙහිත් අප තුළ අප සමඟ එදිනෙදා කටයුතු කරන සැමෝම කෙරෙහිත් ක්‍රිස්තියානි ප්‍රේමයක් තිබෙන බවයි.—මාර්ක් 12:31.