Skip to content

පටුනට යන්න

බදු ගෙවීමට දක්වන නුරුස්නා ගතිය වැඩි වී ඇත්තේ මන්ද?

බදු ගෙවීමට දක්වන නුරුස්නා ගතිය වැඩි වී ඇත්තේ මන්ද?

බදු ගෙවීමට දක්වන නුරුස්නා ගතිය වැඩි වී ඇත්තේ මන්ද?

“මම මහන්සි වෙලා හම්බ කරන දේ මගෙන් උදුරාගන්නවා.”—ක්‍රි.පූ. 2300දී පමණ ලියනු ලැබූ බබිලෝනියානු ආප්තෝපදේශයක්.

“මේ ලෝකයේ, මරණය හා බදු හැර වෙනත් කිසිවක් නිශ්චිත නැත.”—1789දී එක්සත් ජනපද රාජ්‍ය නායකයෙකු වූ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්.

රූබන් අලෙවිකරුවෙකි. සෑම වසරකම ඔහු අමාරුවෙන් උපයන ආදායමෙන් තුනෙන් එකක්ම බදු ලෙස වාෂ්ප වී යයි. “ආණ්ඩුව සේවාවන් සඳහා යොදවන මුදල් හුඟක් පැතිවලින් අඩු කරලයි තියෙන්නේ. ඒ නිසා ඉස්සරට වඩා අපිට දැන් ලැබෙන සේවාවන් හරි අඩුයි. ඉතින් මම දන්නේ නැහැ මේ සල්ලිවලට මොනවා වෙනවාද කියලා,” හේ මැසිවිලි නඟයි.

ඔබ කැමති වුණත්, නැතත් බදු ගෙවීම ජීවිතයේ කොටසකි. ලේඛක චාල්ස් ඇඩම්ස් මෙසේ කියයි. “ශිෂ්ට සම්පන්න සමාජයක් ඇති වූ දා පටන්ම ආණ්ඩු මිනිස්සුන්ගෙන් විවිධ ක්‍රමවලින් බදු අය කරලා තියෙනවා.” බොහෝවිට මහජනයා බදු ගෙවීම දෙස බලන්නේ නුරුස්නා ගතියකිනි. සමහරවිට ඒ නිසා විප්ලව පවා ඇති වී තිබේ. ආදියේ විසූ බ්‍රිතාන්‍යයන් රෝමවරුන් සමඟ සටන් වැදුණේ මෙසේ කියමිනි. “අපේ හිස් මත පටවා ඇති අධික බදු බර ගෙවනවාට වඩා මැරෙන එක කොච්චර හොඳද!” ප්‍රංශයේ ලුණු සඳහා අය කළ බද්දක් වන ගබෙල් බද්ද නිසා ප්‍රංශ විප්ලවයට එය තුඩු දුන් අතර, බදු එකතු කරන්නන්ගේ හිස ගසා දමනු ලැබිණි. නිදහස පතා එක්සත් ජනපදය එංගලන්තයට එරෙහිව මෙහෙයවනු ලැබූ යුද්ධයට හේතු පාදක වූයේ බදු අය කිරීමට එරෙහිව දියත් කරන ලද කැරලිය.

බදු ගෙවීමට එරෙහිව නුරුස්නා ගතියක් අද දින පවා සමාජය තුළ පැවතීම පුදුමයට කරුණක් නොවේ. සංවර්ධනය වෙමින් පවතින රටවල තිබෙන බදු ක්‍රම බොහෝවිට “අකාර්යක්ෂම” සහ “අසාධාරණ” ක්‍රම බව විශේෂඥයන්ගේ අදහසයි. ඉතා දිලිඳු අප්‍රිකානු රටක් ගැන, එක් පර්යේෂකයෙක් මෙසේ පැවසීය. “බදු ක්‍රම 300කට වඩා තිබුණා, ඒවා මෙහෙයවීමට දක්ෂතම කාර්ය මණ්ඩලයක් සිටියා. ඒත් ඒක අමාරු වැඩක්. බදු නිසි ලෙස එකතු කිරීමක් සහ එම කටයුතු අධීක්ෂණය කිරීමක් නෑ. ක්‍රම තිබුණත් ක්‍රියාත්මක වෙන්නේ නෑ. . . . මේ නිසයි බදු අය කිරීම නිවැරදි ලෙස සිදු නොවෙන්නේ.” බීබීසී ප්‍රවෘත්ති සේවය වාර්තා කරමින් කියා සිටියේ මෙසේය. එක් ආසියානු රටක, “ප්‍රාදේශීය නිලධාරීහු නීති විරෝධී බදු අය කිරීම්වල බහුල ලෙස නියැලෙති. කෙසෙල් වගාව සඳහා මෙන්ම ඌරන් මැරීම සඳහාද එවැනි බදු අය කෙරේ. ඒවා අය කරනු ලබන්නේ රජයේ ප්‍රාදේශීය වියදම් සඳහාය. නැත්නම් ඒවා යන්නේ නිලධාරීන්ගේ සාක්කුවලටය.”

බදු ගෙවීම කෙරෙහි තිබෙන නුරුස්නා ගතිය වැඩි කරන තවත් සාධකයක් නම් පොහොසතුන් සහ දුප්පතුන් අතර ඇති පරතරයයි. ඇෆ්‍රිකා රිකවරි නම් වූ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනයේ පවසන්නේ මෙයයි. “සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල තිබෙන ආර්ථික වෙනස්කම් බොහොමයකගෙන් එකක් නම්, සංවර්ධිත රටවල් ගොවියන්ට ආධාර දෙන අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල් එහි සිටින ගොවීන්ගෙන් බදු අය කිරීමයි. . . . එක්සත් ජනපද ගොවීන්ට දෙන සහනාධාර නිසා, බටහිර අප්‍රිකාවේ කපු අපනයනය කිරීමෙන් වසරකට ලැබෙන අමෙරිකානු ඩොලර් 250ක ආදායම අඩු වෙන බව ලෝක බැංකුවේ වාර්තාවලින් ඇඟවේ.” මෙබැවින් තමන් උපයන සොච්චමිනුත් තම රටවල ආණ්ඩු බදු අය කිරීම ගැන සංවර්ධනය වෙමින් පවතින රටවල ගොවියෝ උරණ වෙති. එක් ආසියානු රටක ගොවියෙක් කීවේ මෙසේයි. “ආණ්ඩුවේ නිලධාරීන් මේ පැත්තට එන හැම අවස්ථාවේදීම අපි දැනගත්තා එයාලා මොකටද එන්නේ කියලා. ඒ අපෙන් බදු මුදල් ඉල්ලන්නයි.”

ඒ හා සමාන නුරුස්නා ගතියක් දකුණු අප්‍රිකාවේද මෑතකදී දක්නට ලැබිණි. ඒ එම රටේ ආණ්ඩුව ගොවියන් මතට ඉඩම් බද්දක් පනවනු ලැබූ විටයි. නඩු දමන බව ගොවීහු කියා සිටියහ. ගොවීන්ගේ නියෝජිතයෙකු කියා සිටියේ, “මේ නිසා ගොවියන් බංකොලොත්භාවයට පත් වෙනවා. ගොවිපොළවල සේවකයන්ට තවත් රැකියා නැති වෙනවා” යනුවෙනි. ඇතැම් අවස්ථාවලදී, බදු ගෙවීම එපාවීම නිසාවෙන් තවමත් ප්‍රචණ්ඩ ක්‍රියාද සිදු කෙරේ. බීබීසී ප්‍රවෘත්ති සේවය මෙසේ වාර්තා කරයි. “එක්තරා ගමක ගැමියන් පිරිසක් අධික බදු බරට එරෙහිව උද්ඝෝෂණය කරමින් සිටින විට, එතැනට පොලීසිය කඩා වැදී [ආසියානු] ගොවියන් දෙදෙනෙකුව මරා දමන ලදි.”

කෙසේවෙතත් බදු ගෙවීම නුරුස්සන්නේ දුප්පතුන් පමණක්ම නොවේ. දකුණු අප්‍රිකාවේ කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ බදු ගෙවන ධනවතුන් බොහෝදෙනෙකු “අමතර බදු ගෙවීමට අකමැති” බවය. “තමන්ට අත්‍යවශ්‍ය වූ සේවාවන් දියුණු කිරීමට ආණ්ඩුවට නොහැකි වී ගියද මේ බදු ගෙවීමට ඔවුන් අකමැතිය.” සංගීතය, සිනමාව සහ ක්‍රීඩා සහ දේශපාලන ක්ෂේත්‍රයන්හි කිරුළු පළන් පුද්ගලයන් බදු ගෙවා නැති බව හෝ බදු වංචා කර ඇති බව ජනමාධ්‍යයේ ප්‍රධාන පුවත් සිරස්තලවල දක්නට තිබේ. ආදායම් බදු ගෙවීමේ පිරිහීම (සිංහලෙන් නැත) නමැති පොතේ මෙසේ කියයි. “අපගේ රජයේ උසස් නිලධාරීන්ද, අපේ ජනාධිපතිවරුන්ද, රටේ බදු නීතිවලට කීකරු වීම සම්බන්ධයෙන් මහජනතාවට හොඳ ආදර්ශයක් නොතැබීම කනගාටුවට කරුණකි.”

අධික බදු ගෙවීම අසාධාරණයයි හෝ දරන්ට බැරි තරම් බරක්යයි සමහරවිට ඔබටත් සිතෙනවා ඇති. එසේනම්, බදු ගෙවීම දෙස ඔබ බැලිය යුත්තේ කෙසේද? ඒ මගින් නියම අරමුණක් ඉෂ්ට වේද? බදු ගෙවීමේ ක්‍රම බොහෝවිට එතරම් සංකීර්ණ වී තිබෙන්නෙත් අසාධාරණයයි පෙනී යන්නෙත් මන්ද? ඊළඟ ලිපියේදී මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනු ඇති.

[4වන පිටුවේ පින්තූරය]

සංවර්ධනය වෙමින් පවතින රටවල වෙසෙන දුප්පතුන්ට ඇතැම්විට අසාධාරණ බදු බරක් පටවා ඇත

[හිමිකම් විස්තර]

Godo-Foto