Skip to content

පටුනට යන්න

බදු—“ශිෂ්ට සම්පන්න සමාජයකට” ගෙවිය යුතු මිලක්ද?

බදු—“ශිෂ්ට සම්පන්න සමාජයකට” ගෙවිය යුතු මිලක්ද?

බදු—“ශිෂ්ට සම්පන්න සමාජයකට” ගෙවිය යුතු මිලක්ද?

“බදු යනු ශිෂ්ට සම්පන්න සමාජයක් සඳහා අප ගෙවන මිලයි.”—වොෂිංටන් ඩී.සී.හි අභ්‍යන්තර දේශීය ආදායම් ගොඩනැඟිල්ලේ පුවරුවේ සටහන.

ආණ්ඩු කියා සිටින්නේ අය බදු වනාහි “ශිෂ්ට සම්පන්න සමාජයක්” පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය මිලක් බවය. එම අදහස සමඟ ඔබ එකඟ වුවත් නැතත්, එම මිල සාමාන්‍යයෙන් අධික මිලක් බව ප්‍රතික්ෂේප කරන්නට බැරිය.

බදු යනු දෙකොට්ඨාසයකට බෙදිය හැකි යමකි. ඒවා නම් ඍජු හා වක් බද්දයි. ආදායම් බදු, සංස්ථා බදු සහ දේපළ බදු යනු ඍජු බදු අය කිරීම් පිළිබඳ උදාහරණයන්ය. මේවා අතුරින් ආදායම් බදු ක්‍රමය ජනයා වැඩියෙන්ම නුරුස්සන බදු ක්‍රමයයි. අනුක්‍රම බදු, හෙවත් පුද්ගලයෙක් වැඩියෙන් උපයන තරමට වැඩියෙන් බදු ගෙවන ආකාරයේ ආදායම් බදු ක්‍රමයක් පවතින රටවල මෙය විශේෂයෙන්ම සත්‍යයකි. මීට එරෙහි වන විවේචකයන් කියා සිටින්නේ අනුක්‍රම බදු වෙහෙස මහන්සි වී සාර්ථකව කරන වැඩවලට දෙන දඬුවමක් බඳුය කියාය.

ආර්ථික සහයෝගිතා සහ සංවර්ධනය පිළිබඳ සංවිධානයේ ප්‍රකාශනයක් වන OECD Observer යන්නෙහි, අපට සිහිගන්වන්නේ මධ්‍යම ආණ්ඩුවලට ගෙවන බදුවලට අමතරව, “ආදායම් බදු ගෙවන්නන්ට, ගම් මට්ටමෙන්, ප්‍රාදේශීය වශයෙන් පළාත් හෝ ප්‍රාන්ත මට්ටමින්ද ආදායම් බදු ගෙවන්නට සිදු විය හැකි” බවය. අයිස්ලන්තය, එක්සත් ජනපදය, කැනඩාව, කොරියාව, ජපානය, බෙල්ජියම, ස්පාඤ්ඤය හා ස්විට්සර්ලන්තය යන රටවල පවතින තත්වය මෙයයි.”

වක් බදුවලට විකුණුම් බදු, හෙවත් මත්පැන් සහ සිගරට් මත පැනවෙන බදු සහ රේගු බදුද ඇතුළත් වෙයි. මේ බදු අය කෙරෙන ආකාරය එතරම් පෙනෙන්නට තිබෙන්නේ නැත. නමුත් එය දුප්පතාගේ මඩියට තට්ටු කරයි. ඉන්දියාවේ බදු ක්‍රමයේ වැඩියෙන්ම බදු ගෙවන්නේ මධ්‍යම පාංතිකයන් සහ ධනවත් බදු ගෙවන්නන් බවට කියා සිටීම මිථ්‍යාවක් බව ඉන්දියාවේ පළවෙන ෆ්‍රන්ට්ලයින් නමැති සඟරාවේ ලේඛිකාවක වන ජයාලි ගෝෂ් කියා සිටී. ගෝෂ් මෙසේද පවසන්නීය. “ප්‍රාන්ත ආණ්ඩුවල නම්, සම්පූර්ණ බදු එකතුවෙන් සියයට 95කට වැඩි හරියක්ම අය කර ඇත්තේ වක් බද්දය. . . . පෙනෙන විදිහට පොහොසතුන්ට වඩා දුප්පත්ම ජනයා ඇත්තටම තමන්ගේ ආදායමෙන් විශාල ප්‍රමාණයක් ආදායම් බදු ලෙස ආණ්ඩුවලට ගෙවති.” විශේෂයෙන්ම මෙසේ වීමට හේතු වන්නේ වැඩියෙන්ම පරිභෝජනය කරනු ලබන සබන් සහ ආහාර වැනි ද්‍රව්‍ය සඳහා අධික බදු අය කිරීමයි.

ආණ්ඩුවලින් එකතු කරන මේ සියලු මුදල්වලට සිදු වන්නේ කුමක්ද?

මුදලට සිදු වන දෙය

මහජනතාව සඳහා අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට ආණ්ඩුවලට විශාල මුදලක් වැය වන බව පිළිගත යුතුය. නිදසුනක් වශයෙන්, පුද්ගලයන් හතරදෙනෙකුගෙන් එක් කෙනෙකු සේවය කරන්නේ රාජ්‍ය අංශයේය. ගුරුවරුන්, තැපැල් සේවකයන්, කෞතුකාගාර සේවකයන්, රෝහල් සේවකයන්, පොලිස් නිලධාරීන් සහ වෙනත් රජයේ සේවකයන් මීට ඇතුළත්ය. ඔවුන්ගේ වැටුප් ගෙවීමට බදු මුදල් අවශ්‍යය. තවද, මංමාවත්, පාසැල්, රෝහල් සහ කසළ එකතු කිරීම සහ තැපැල් සේවය වැනි සේවාවන් පවත්වාගෙන යෑමට සඳහාද බදු ගෙවනු ලැබේ.

හමුදා සේවය නඩත්තු කිරීම සඳහාද බදුවලින් ලැබෙන විශාල මුදලක් වැය කෙරේ. වර්ෂ 1799දී, ප්‍රංශයට එරෙහිව පැවති යුද්ධය සඳහා බ්‍රිතාන්‍යයේ ධන කුවේරයන්ගෙන් පළමු වරට බදු මුදල් අය කෙරිණි. කෙසේවෙතත්, දෙවන ලෝක මහා යුද්ධ සමයේදී, බ්‍රිතාන්‍ය ආණ්ඩුව වැඩ කරන ජනතාවගෙන් ඉල්ලා සිටියේ ආදායම් බදු ගෙවන ලෙසටයි. සාමය පවතින කාලයකදී පවා රටක හමුදාව නඩත්තු කිරීමට අද දිනත් මහා ධන සම්භාරයක් වැය කිරීමට සිදු වෙයි. වර්ෂ 2000දී මුළු ලෝකයේම හමුදා නඩත්තුව සඳහා දළ වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 798ක් වැය කර ඇති බව ස්ටොක්හෝම්හි ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය ගණනය කළේය.

සමාජීය ව්‍යූහය වෙනස් කිරීම

අය බදු වනාහි “සමාජීය ව්‍යූහය වෙනස් කිරීමේ” මාර්ගයක්ද වෙයි. ඉන් අදහස් වන්නේ බදු යනු සමාජයේ එක්තරා චර්යාවන් දිරිගැන්වීමට හෝ අධෛර්ය කිරීම සඳහා යොදාගන්නා වූ එක්තරා ක්‍රමයක් වන බවයි. නිදසුනක් වශයෙන්, මත්පැන් සඳහා බදු අය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ අධික බීමත්කම සීමා කිරීමය. මේ අනුව, බොහෝ රටවල බියර්වල සිල්ලර පිරිවැයෙන් සියයට 35ක්ම බදු වශයෙන් අය කෙරේ.

එමෙන්ම දුම්වැටිවලටද අධික බද්දක් අය කෙරේ. දකුණු අප්‍රිකාවේ සිගරට් පැකැට්ටුවක් සඳහා නියම කෙරෙන පිරිවැයෙන් සියයට 45 සිට 50 දක්වා ප්‍රමාණයක් අය කෙරෙන්නේ බදු සඳහායි. කෙසේවෙතත්, එවන් බදු වැඩි කිරීමෙහිලා ආණ්ඩුවල චේතනාව සෑමවිටම ජනතාවගේ ශුභසිද්ධිය උදෙසාම තිබෙන පරාර්ථකාමී එකක් නොවේ. විදේශීය ප්‍රතිපත්තිය [සිංහලෙන් නැත] නම් වූ සඟරාවේ කෙනෙත් වෝර්නර් නම් ලේඛකයා නිරීක්ෂණය කරන්නේ, දුම්වැටි වනාහි “අලෙවියෙන් ඩොලර් බිලියන සිය ගණන් සහ අය කරනු ලබන බදුවලින් තවත් බිලියන ගණනාවක් වාර්ෂිකව බිහි කරන ඉතා ප්‍රබල ආර්ථිකමය බලවේගයක්” බවයි.

සමාජීය ව්‍යූහය වෙනස් කිරීමේ එක්තරා කැපීපෙනෙන උදාහරණයක් විසිවන සියවසේ මුල් භාගයේදී දක්නට ලැබිණි. එක්සත් ජනපදයේ නීති සම්පාදකයෝ ධනවත් රදළ පවුල් ඇතිවීම සීමා කරන්නට උත්සුක වූහ. ඒ කෙසේද? බූදල් බද්දක් නිර්මාණය කිරීමෙනි. ධන කුවේරයෙක් මිය යන විට, ඔහු ගොඩ ගසාගෙන තිබූ ධනයෙන් විශාල කොටසක් බදු වශයෙන් අය කරනු ලැබේ. මීට එකඟ වන්නන් තර්ක කරන්නේ, මෙලෙස බදු අය කිරීමෙන් “පවුල් සංස්ථාවකට කොටු වූ, රදළ පෙළපත්වලට සීමා වූ සම්පත්, සිවිල් ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයකට හැරවිය හැකි” බවය. එය එසේ වන්නට පුළුවන. නමුත් බද්ද නමැති එම ප්‍රහාරයේ සැර බාල කිරීම සඳහා බදු ගෙවන ධනවත්හු නොයෙක් උපක්‍රම සාදාගෙන සිටිති.

තවද, පාරිසරික ගැටලු වැනි විවිධ සමාජීය ගැටලු විසඳීම සඳහාද බදු අය කරනු ලැබේ. පාරිසරික සඟරාව [සිංහලෙන් නැත] වාර්තා කරන්නේ මෙසේයි. “බටහිර යුරෝපා රටවල් නවයක් මෑතකදී බදු අය කිරීමේ ක්‍රම වෙනස් කර තිබේ. ඔවුන් එය කර ඇත්තේ විශේෂයෙන්ම වායු දූෂණය අඩු කරමින් පරිසරය රැකගැනීම සඳහා පාරිසරික බද්ද යනුවෙන් බද්දක් අය කිරීම මගිනුයි.” මීට කලින් සඳහන් කරන ලද, අනුක්‍රම අය බදු පැනවීමද සමාජීය ව්‍යූහය වෙනස් කිරීමට දරනු ලැබූ තවත් ප්‍රයත්නයක් වෙයි. මෙහි පරමාර්ථය නම්, දුප්පතුන් සහ පොහොසතුන් අතර ඇති පරතරය අඩු කිරීමය. මේ සඳහා ඇතැම් ආණ්ඩු පුණ්‍යාධාර ආයතනවලට හෝ දරුවන් සිටින දෙමාපියන්ට යම් බදු සහන ලබා දී ඇත.

බදු ක්‍රම මෙතරම් සංකීර්ණ මන්ද?

නව බදු ක්‍රමයක් යෝජනා කරන සෑම අවස්ථාවකදීම, නීති සම්පාදකයන් උත්සාහ කරන්නේ නීතියේ සිදුරු හැකි තරම් වසා දැමීමටයි. මෙය මතක තබාගන්න: විශාල මුදල් කන්දරාවක් වතුරට ගසාගෙන යෑමේ අවදානමක් තිබේ. මෙහි ප්‍රතිඵලය? බදු නීති ඉතා සංකීර්ණ වූද දැඩි වූද ඒවා වීමේ ප්‍රවණතාවක් ඇතිවීමයි. ටයිම් සඟරාවේ පළ වූ ලිපියක පැහැදිලි කරන්නේ එක්සත් ජනපදයේ බදු නීතිවල ඇති සංකූලතාවන්ගෙන් බොහොමයක්ම “ආදායම් ලෙස හැඳින්විය හැකි දේ කුමක්ද යන්න නිර්වචනය කිරීම හා බැඳී” පවතින බවය. මෙහිදී, බදු අය කළ යුත්තේ මොනවාටද කියා තීරණය කිරීම අවශ්‍ය වේ. “විවිධ බදු අඩු කිරීම හෝ ඒවා ගෙවීමෙන් නිදහස් කිරීම” පිළිබඳව තිබෙන දහසකුත් නීති නිසා තත්වය තවත් සංකීර්ණ වී තිබෙනවා. කෙසේවෙතත්, සංකීර්ණ බදු නීති ඇත්තේ එක්සත් ජනපදයේ පමණක් නොවේ. එක්සත් රාජධානියේ බදු නීතිකරණයේ මෑතකදී පිට වූ සංස්කරණය වෙළුම් දහයකින් හා පිටු 9,521ක් පිරී තිබිණි.

මිචිගන් සරසවියේ බදු ප්‍රතිපත්ති පර්යේෂණ පිළිබඳ කාර්යාලය මෙසේ වාර්තා කරයි. “සෑම වසරකම එක්සත් ජනපදයේ බදු ගෙවන්නෝ තම ආදායම් බදු ප්‍රකාශයන් පිළියෙළ කිරීම සඳහා පැය බිලියන තුනකට වඩා වැඩි කාලයක් වැය කරති. . . . මේ සියල්ල එකට ගත් කල, එක්සත් ජනපද ආදායම් බදු ගෙවන්නන් [බදු ප්‍රකාශ පිරවීමේදී] ගත කරන කාලය සහ වැය කරන මුදල් සෑම වසරකම ඩොලර් මිලියන 100ක පමණ ප්‍රමාණයක් වෙයි. නැතහොත් එය එකතු කරගනු ලබන බදුවලින් 10%ක ප්‍රමාණයක් වෙයි. බදු නීතිවලට එකඟ වීමට දරන මේ වෙහෙසට හේතුපාදක වී තිබෙන්නේ බදු නීතිවල ඇති මනස අවුල් කරනසුලු ආරලු බූරලුවලින් ගහන සංකීර්ණතාය.” මෙම ලිපි මාලාවේ මුල් ලිපියේ ආරම්භයේදී සඳහන් වූ රූබන් මෙසේ කියයි. “මම උත්සාහ කළා මගේම බදු ප්‍රකාශ පිළියෙළ කරගන්න. නමුත් ඒකට ගොඩක් කාලය වැය වෙනවා. මට බොහෝවිට හැඟී ගියේ මම ගෙවන්න අවශ්‍ය තරමටත් වඩා ගෙවනවා කියලයි. දැන් මගේ බදු ප්‍රකාශ පිළියෙළ කරගන්න මම ගණකාධිකාරීවරයෙකුට ගාස්තුවක් ගෙවනවා.”—“බදු නීතිවලට එකඟ වීම” යනුවෙන් 8වන පිටුවේ දැක්වෙන කොටුව බලන්න.

ගෙවන්නෝ, වැළකී සිටින්නෝ, පැහැරහරින්නෝ

වැඩිදෙනෙකු අකමැත්තෙන් වුවත් පිළිගන්නේ බදු ගෙවීමෙන් තමාගේ ප්‍රජාවට යම් ප්‍රයෝජනයක් ලැබෙන බවයි. බ්‍රිතාන්‍ය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වරෙක මෙසේ පැහැදිලි කළේය. “කිසිම කෙනෙක් තමන්ගේ ආදායම් බදු ගෙවන්නේ ආශාවෙන් නොවෙයි. නමුත් ඒවා ගෙවන්නේ නැතුව අපට සමාජයේ පැවැත්මක් තියාගන්න බැහැ යන කාරණය නම් හැම කෙනෙක්ම පිළිගන්නවා.” එක්සත් ජනපදයේ බදු ගෙවන්නන් අතුරින් බදු නීති සමඟ එකඟ වන සංඛ්‍යාව සියයට 90ක් තරම් ඉහළ අනුපාතයක් වන බව ඇතැම්හු ගණනය කරති. එක්තරා බදු අධිකාරියක් මෙසේ පිළිගනී. “බොහෝදෙනෙක් බදු නීතිවලට අනුවම බදු නොගෙවන්නේ බදු නීතිවල සහ ගෙවන ක්‍රමවල ඇති සංකීර්ණතාවලින් අපහසුවට පත්වීම නිසා මිස, ගෙවන්නට අකමැතිකම නිසා නොවේ.”

ඒ වුණත්, එක්තරා ආකාරයකට බදු ගෙවීමෙන් වැළකී සිටින්නට බොහෝදෙනෙක් මං සොයති. නිදසුනක් වශයෙන්, සංස්ථා බදු ගෙවීම පිළිබඳව යූ.එස්. නිව්ස් ඇන්ඩ් වර්ල්ඩ් රිපෝට්හි පළ වූ ලිපියක තිබූ දේ සලකා බලන්න. “බොහෝ සමාගම් ඉතා සූක්ෂ්ම ලෙස තමන් නීත්‍යනුකූලව ගෙවිය යුතු බදු විශාල ප්‍රමාණයක් පැහැරහරිති. සමහරවිට සියලුම බදු ගෙවීම පැහැරහරිති. එසේ කරන්නේ බදු අඩු කිරීම්වලින් හෝ ගිණුම්කරණයේදී සටකපට වංචනික ක්‍රම යොදාගැනීමෙනි.” එක්තරා සූක්ෂ්ම උපක්‍රමයක් ගැන යම් උදාහරණයක් සඳහන් කරමින් ලිපිය මෙසේ කියයි. “එක්සත් ජනපදයේ සංස්ථාවක් බදු සහන පවතින විදේශීය රටක කුඩා සමාගමක් පිහිටුවාගනී. ඉන්පසුව එක්සත් ජනපදයේ පිහිටි එම සංස්ථාව එම විදේශීය සමාගමේ ශාඛාවක් බවට පරිවර්තනය කෙරේ.” එසේ කිරීමෙන් එක්සත් ජනපදයේ සංස්ථාවක් විසින් ගෙවිය යුතු සියයට 35ක ප්‍රමාණයක් දක්වා වූ බදු මුදල ගෙවීමෙන් එම සමාගම නිදහස් වේ. “එම සමාගමේ “මූලස්ථානය” තිබෙන්නේ එම විදේශීය රටේය. එම “මූලස්ථාන” කාර්යාලයේ තිබෙන්නේ ලිපි ගොනු දමන කැබිනෙට්ටුවක් සහ තැපැල් පෙට්ටියක් පමණක් විය හැකියි.”

එළිපිටම බදු පැහැරහරින තත්වයන්ද තිබේ. එක් යුරෝපීය රටක බදු ගෙවීම පැහැරහැරීම “ජාතික ක්‍රීඩාවක්” ලෙස සැලකෙන බව වාර්තා වෙයි. එක්සත් ජනපදයේ වයස අවුරුදු 25 සිට 29 දක්වා වයස් කාණ්ඩයේ අය පිළිබඳව කරන ලද එක් සමීක්ෂණයකට අනුව, සියලු ආදායම් ප්‍රකාශ නොකිරීම වැරදි දෙයක් බව විශ්වාස කළේ එයින් සියයට 58ක ප්‍රතිශතයක් පමණයි. මෙම සමීක්ෂණයේ ප්‍රධානියා මෙසේ පිළිගනී. “මෙම වාර්තාවෙන් අපගේ සමාජයේ ආචාර ධර්ම සහ සදාචාරය ගැන කියන එතරම් හොඳ පින්තූරයක් දෙන්නේ නැත.” මෙක්සිකෝවේ බදු ගෙවීම පැහැරහැරීම සියයට 35ක් පමණ වෙයි.

සමස්තයක් ලෙස ගත් කල, බදු ගෙවීමට ඇති අවශ්‍යතාව පිළිගන්නා අය තමන්ගේ කොටස ගෙවීමට සතුටු වෙති. කෙසේවෙතත්, ටයිබීරියස් සීසර්ගේ සුප්‍රසිද්ධ වූ මෙම වචන සත්‍යයක් බව පැහැදිලිය. “හොඳ එඬේරෙක් තමන්ගේ රැළේ බැටළුවන්ගේ ලොම් කපනවා මිසක්, උන්ව හම ගහන්නේ නැත.” බර පටවා ඇති, අසාධාරණ හා ඉතා සංකීර්ණ බදු ක්‍රමයක්යයි පෙනී යා හැකි බදු ක්‍රමයක් යටතේ ඔබ සිටින බව ඔබට හැඟේ නම්, බදු ගෙවීම දෙස ඔබ බැලිය යුත්තේ කෙසේද?

[7වන පිටුවේ කොටුව]

පදිංචිය වෙනස් කිරීමට පෙර කල්පනා කර බලන්න!

බදු ගෙවන ක්‍රම රටින් රටට වෙ නස් වෙයි. ඇත්තෙන්ම, එකම රටක් තුළ ප්‍රාදේශීය මට්ටමින් බදු ගෙවන ක්‍රම තුළද විශාල වෙනසක් ඇත. බදු අනුපාත වඩාත් අඩුයයි සැලකෙන ප්‍රදේශයක පදිංචියට යෑම ගැන සලකා බැලීම වටින දෙයක්ද? සමහරවිට එය එසේ වෙන්නට පුළුවන. එහෙත් පදිංචියට යෑමට පෙර ඔබ ඒ ගැන කල්පනා කර බැලිය යුතුයි.

නිදසුනක් වශයෙන්, OECD Observerහි ලිපියක එහි පාඨකයන්ට සිහිගන්වන්නේ මූලික ආදායම් බදු අනුපාතය පමණක්ම සැලකිල්ලට ගැනීම ප්‍රමාණවත් නොවන බවය. “එක් බදු ගෙවන්නෙකු ගෙවිය යුතු සම්පූර්ණ බදු ප්‍රමාණයට, විවිධ අවම කිරීම්ද බලපාන” බව එය කියයි. නිදසුනක් වශයෙන්, ඇතැම් රටවල ආදායම් බදු අනුපාතය ඉතා අඩුය. එහෙත් එම රටවල “බදු සහන සහ අවම කිරීම් ලබා දෙන්නේද ඉතා අඩුවෙන්ය.” මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම රටවල ජීවත් වන බදු ගෙවන්නෝ බදු සහන සහ අවම කිරීම් වැඩි වශයෙන් ලබා දෙන, එහෙත් ඉහළ බදු අනුපාතයක් ඇති රටවල සිටින බදු ගෙවන්නන්ට වඩා වැඩියෙන් ගෙවති.

එක්සත් ජනපදවල වෙසෙන ඇතමුන් කල්පනා කරන්නේ ආදායම් බදුවලින් නිදහස් ප්‍රාන්තවල පදිංචියට යෑමට ගැනය. එහෙත් මේ නිසාම ඔවුන්ගේ මුදල් ඉතිරියක් වේද? එක්තරා ප්‍රකාශනයක (Kiplinger’s Personal Finance) පැවසෙන පරිදි එය එසේ නොවේ. එහි පවසන්නේ මෙසේයි. “අවස්ථා කිහිපයකදී අප කරන ලද පර්යේෂණවලින් පෙන්නුම් කළේ, ආදායම් බදු අය නොකරන ප්‍රාන්තවල දේපළ බදු, විකුණුම් බදු සහ වෙනත් බදු වර්ගවල අනුපාතය වඩාත් ඉහළ බවයි.”

[8වන පිටුවේ කොටුව]

බදු නීතිවලට එකඟ වීම

අපගෙන් බොහෝදෙනෙකුට බදු ගෙවීම ඉතා පීඩාකාරී යමකි. ඔව්, එය මහත් බරක් මෙන් පෙනේ. මේ නිසා, පිබිදෙව්! සඟරාව යම් ප්‍රායෝගික යෝජනා කිහිපයක් ගැන බදු විශේෂඥයෙකුගෙන් විමසීය.

“නිවැරදි උපදෙස් ලබාගන්න. මෙය අත්‍යවශ්‍යයි. මන්ද බදු නීති සංකීර්ණ විය හැකියි. ඇරත් බදු නීති ගැන නොදැන සිටීම, බදු නීතිවලට එකඟ නොවී සිටීම සඳහා නිදහසට කරුණක් ලෙස පිළිගැනෙන්නේ නැත. බදු නිලධාරීන් තමාගේ සතුරන් කියා බදු ගෙවන්නා සිතුවද, බදු ගෙවන ආකාරය පිළිබඳව නිවැරදි වූද, සරල වූද උපදෙස් දීමට බොහෝ අවස්ථාවලදී ඔවුන්ට හැකියි. ඔබ මුල් අවස්ථාවේදීම නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන්නේ නම්, බදු අධිකාරීහු වඩාත් සතුටු වෙති. බදු ගෙවීමට එකඟ නොවීම නිසා ඔබට විරුද්ධව නඩු දැමීම ඔවුන්ගේ කැමැත්ත නොවේ.

“ඔබගේ ගිණුම් ක්‍රම සංකීර්ණ නම්, බදු ගෙවීමට කටයුතු පිළියෙළ කර දෙන වෘත්තිකයෙකුගේ උපදෙස් පතන්න. එහෙත් මේ කාරණය ගැන පරෙස්සම් වන්න! බදු පිළියෙළ කරන වෘත්තිකයන් බොහෝදෙනෙක් ඔබ ගැන සැලකිලිමත් වුණත්, එසේ නොකරන විශාල සංඛ්‍යාවක් සිටිති. එම නිසා විශ්වාසවන්ත මිතුරෙකුගෙන් හෝ ව්‍යාපාර සගයෙකුගෙන් යම් නිර්දේශයක් ලබාගන්න. එම වෘත්තිකයාගේ සුදුසුකම් පරීක්ෂා කර බලන්න.

“විගස ක්‍රියාත්මක වන්න. කල් ගත වී බදු තොරතුරු ඉදිරිපත් කිරීමෙන් අධික දඩ මුදල් ගෙවීමට සිදු විය හැකියි.

“වාර්තා පිළිවෙළකට තබාගන්න. ඔබ යොදාගෙන ඇති ගිණුම්කරණ ක්‍රමය කුමක් හෝ වේවා, ඒවා තත්කාලීනව තබන්න. ඒ අන්දමින්, ඔබට බදු ගෙවීමට තිබෙන අවස්ථාවේදී කිරීමට තිබෙන වැඩ බොහෝ අවම වනු ඇත. එමෙන්ම ඔබේ වාර්තාවන් විගණනය කර තිබේ නම් එය වඩාත් හොඳ තත්වයක තිබෙනවා ඇත.

“අවංක වන්න. වංචා කිරීමට හෝ නීතිවලින් මඳක් පිට පැනීමට ඔබ තුළ පෙලඹීමක් ඇති විය හැකියි. එහෙත් බොරු ප්‍රකාශයන් හඳුනාගැනීමේ ඉතා සූක්ෂ්ම ක්‍රම නිලධාරීන් සතුව තිබේ. ඒ නිසා වඩාත්ම හොඳම දේ නම් සෑමවිටම අවංක වීමයි.

“පෞද්ගලිකව සැලකිලිමත් වන්න. බදු ප්‍රකාශ පිළියෙළ කරන්නා වැරදි තොරතුරු ඉදිරිපත් කළත්, එහි වගකීම දැරිය යුත්තේ ඔබයි. එම නිසා ඔබගේ නියෝජිතයා ඔබගේම කැමැත්තට අනුව කටයුතු කරන බවට වග බලාගන්න.”

[7වන පිටුවේ පින්තූරය]

බොහෝ රටවල දුම්කොළ නිෂ්පාදන සහ මත්පැන් සඳහා ඉහළ බදු අය කෙරේ

[8, 9වන පිටුවේ පින්තූරය]

අප සැහැල්ලුවට ගන්නවා විය හැකි සේවාවන් බොහොමයක් සඳහා වියදම් කෙරෙන්නේ බදු මුදල්ය