Skip to content

පටුනට යන්න

වැරදි ආශාවන්ගෙන් සිත ආරක්ෂා කරගන්නේ කෙසේද?

වැරදි ආශාවන්ගෙන් සිත ආරක්ෂා කරගන්නේ කෙසේද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

වැරදි ආශාවන්ගෙන් සිත ආරක්ෂා කරගන්නේ කෙසේද?

“හරි දේ කිරීමට මා කැමැත්තෙන් සිටින විට, මා තුළ නපුර තිබෙන බව මට පෙනේ.”—රෝම 7:21, NW.

ප්‍රේරිත පාවුල් සෙසු ජනයාව ක්‍රිස්තියානි ධර්මයේ උසස් ප්‍රමිතීන් අනුගමනය කිරීමෙහිලා උනන්දු කිරීමට අනෙකුත් ප්‍රේරිතයන්ට වඩා විශාල වෑයමක් දැරුවා විය හැකියි. (1 කොරින්ති 15:9, 10) එනමුත් ඔහු අවංකව තමා සම්බන්ධයෙන් ඉහත සඳහන් දේ පිළිගත්තේය. ඔහු තම මනසත් වැරදි ආශාවනුත් සමඟ නිරන්තර ගැටුමක නිරත විය. ප්‍රේරිත පාවුල්ට හැඟුණු ආකාරයටම ඔබටත් කවදා හෝ හැඟී තිබෙනවාද? අසම්පූර්ණ මිනිසුන් වශයෙන් ඇතුළාන්තයෙන් එවන් ඝට්ටනයක් අද්දැක නැති කෙනෙක් ඇත්තටම අප අතරේ සිටීවිද?

මෙම වැරදි ආශාවන්ගෙන් සිත රැකගැනීම සඳහා කරන සටන බොහෝදෙනෙකුට ඉතා තද බල ගැටලුවක් වී තිබේ. සමහරෙක් අනාචාරයේ යෙදීමෙන් ලිංගික සතුට ලැබීමේ වැරදි ආශාව සමඟ පොරබදති. තවත් සමහරෙක් සූදුව, දුම්බීම, මත්ද්‍රව්‍ය හෝ මත්පැන් වැනි දේවල්වලට ඇබ්බැහි වීම මගින් ඊට වහල්ව සිටිති. විනාශකාරී සහ අපවිත්‍ර ආශාවන් මනසේ සැරිසරන විට අප එම ආශාවන් මනසෙන් අහක් කරන්නේ කොහොමද? ඒ සඳහා උපකාරයක් තිබේද? වැරදි ආශාවන්ට එරෙහිව කරන සටන කවදා හෝ නිමා වේවිද?

වැරදි ආශාවන්ගෙන් සිත ආරක්ෂා කරගැනීමට රහස ප්‍රේමයයි

මෝසෙස්ගේ නීතියෙහි තිබූ උතුම්ම ආඥාවන් දෙක යේසුස් හුවා දැක්වීය. පළමුවෙනි එක මෙයයි. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ද ඔබේ මුළු ජීවිතයෙන්ද ඔබේ මුළු මනසින්ද ප්‍රේම කරන්න.” (මතෙව් 22:37, NW) යේසුස් කියූ ලෙස අප දෙවිට ප්‍රේම කරනවා නම් අපේ ලොකුම ආශාව විය යුත්තේ ඔහුව සතුටු කිරීමයි, එසේ නොවේද? එම ධර්මිෂ්ඨ ආශාව, දරුණු වැරදි ආශාවකට විරුද්ධව කරන සටනක් ජයගැනීමට වුවත් අපට උපකාරවත් වේවි! මෙය කළ නොහැකි මනඃකල්පිත දෙයක් නොවෙයි. ක්‍රිස්තියානීන් මිලියන ගණනක් දෛනිකව ඉස්මතු වන වැරදි ආශාවන්ගෙන් සිත ආරක්ෂා කරගැනීමට සමත් වී තිබේ. ඔබටත් දෙවි කෙරෙහි එවන් තද බැදීමක් ඇති කරගත හැක්කේ කෙසේද? දෙවිගේ මැවිල්ලෙන්, බයිබලයෙන් සහ ඔහු පෞද්ගලිකව අප සමඟ කටයුතු කර තිබෙන ආකාරයෙන් දැකිය හැකි ඔහුගේ යහපත්කම මුළු හදින්ම මෙනෙහි කිරීමෙන් මෙය කළ හැකියි.—ගීතාවලිය 116:12, 14; 119:7, 9; රෝම 1:20.

යේසුස් සඳහන් කළ දෙවෙනි ආඥාව නම් “ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේම කරන්න” යන ආඥාව. (මතෙව් 22:39, NW) ප්‍රේරිත පාවුල් පැවසුවේ ප්‍රේමය “අවිනීතව හැසිරෙන්නේ නැත,” එමෙන්ම “තමන්ගේම කාරණා සොයන්නේ නැත” යනුවෙනි. ආත්මාර්ථකාමීත්වයෙන් තොර එවන් ප්‍රේමයක් අන් අයට වේදනා ගෙන දෙන්නාවූ ඕනෑම ආකාරයක හැසිරීමකින් වැළකී සිටීමට අපට උපකාරවත් වෙයි. (1 කොරින්ති 13:4-8, NW) එම ප්‍රේමය අප තුළ වර්ධනය කරගන්නේ කෙසේද? ඒ සඳහා අපව අන් අයගේ තත්වයට දැමීම හා ඔවුන්ගේ හැඟීම් සහ ශුභ සිද්ධිය කෙරෙහි අව්‍යාජ උනන්දුවක් දැක්වීම අවශ්‍ය කරවයි.—ෆිලිප්පි 2:4, NW.

කිනම් උපකාරයක්ද තිබෙන්නේ?

අපට හරි දේ කිරීම කොතරම් අමාරුද කියා දෙවි තේරුම්ගන්නා නිසා ඔහු විවිධාකාරයේ උපකාර සපයා ඇත. ඔහු අපට ඔහුගේ ලිඛිත වචනය වන බයිබලය තුළින් නරක දේවලට ද්වේෂ කිරීමටත් ඔහු කෙරෙහි හෘදයාංගම ගෞරවයක් වර්ධනය කරගැනීමටත් උගන්වයි. (ගීතාවලිය 86:11; 97:10) වැරදි ආශාවන් මුදුන් පත්වීමට ඉඩ දීමෙන් විනාශකාරී ප්‍රතිඵල අත් විඳින්න සිදු වූ අයගේ සැබෑ ජීවිත අද්දැකීම් බයිබලයේ වාර්තා වී තිබේ. ඊට අමතරව, විශ්වයේ තිබෙන ශ්‍රේෂ්ඨතම බලය වන දෙවිගේ ශුද්ධාත්ම බලය අප ඉල්ලනවා නම් ඔහු අපට එය ලබා දෙන බව යේසුස් පැවසුවේය. (ලූක් 11:13) එය හරි දේ කිරීමට වූ අපගේ අදිටන ශක්තිමත් කරයි. තවත් උපකාරයක් වන්නේ වැරදි ආශාවන්ට එරෙහිව කටයුතු කරමින් සිටින අනෙකුත් ක්‍රිස්තියානීන්ගෙන් අපට ලබාගත හැකි අන්‍යෝන්‍ය සහයෝගය සහ දිරිගැන්වීමයි. (හෙබ්‍රෙව් 10:24, 25) අපට අන් අයගෙන් ගොඩනංවනසුලු බලපෑමක් ලැබෙන විට අපගේ විනාශකාරී ආශාවන් අප තුළ දළුලන්නේ නැති අතර හරි දේ කිරීම සඳහා වූ අපගේ ප්‍රයත්නයට ඉන් අනුබලයක් ලැබේ. (පිලිප්පි 4:8) මෙම ක්‍රම ඇත්තටම සාර්ථකද?

බේබද්දා කියා තම ගම්වාසීන් අතර ප්‍රසිද්ධව සිටි ෆීඩෙල්ගේ අද්දැකීම සලකා බලන්න. ඔහු මත්පැන්වල බලපෑමට හසු වූ නිසා දුම්පානය කළේය. සූදුවේ නියැලුණේය. අන් අය සමඟ රණ්ඩු සරුවල්වලද පැටලුණේය. නමුත් බයිබලය පාඩම් කිරීමත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව ඇසුරු කිරීමත් මගින් මෙම පුරුදුවලින් ගොඩ ඒමට ඔහුට හැකි විය. ඔහු දැන් තම භාර්යාවත් දරු දෙදෙනාත් සමඟ ඉතා යහපත් ජීවිතයක් ගත කරමින් සිටියි.

“නැවතත් පරණ තත්වයට වැටුණොත්” තත්වය කුමක්ද කියා යමෙකු ඇසීය හැකියි. එවන් පසුබෑමක් ඇති විය හැකි බව ප්‍රේරිත යොහන් ලියූ දෙයින් පැහැදිලි වෙයි. “කුඩා දරුවෙනි, මා මේ දේවල් ඔබට ලියන්නේ ඔබ පාපයක් නොකරන පිණිසය. එහෙත් යමෙක් පාපයක් කළොත්, පියාණන් සමඟ සිටින උපකාරකයෙක් අපට සිටින්නේය. ඒ ධර්මිෂ්ඨ තැනැත්තෙක් වන යේසුස් ක්‍රිස්තුස්ය. ඔහු අපේ පාප උදෙසා සමඟි කිරීමේ පූජාවකි. එහෙත් අපේ පාප උදෙසා පමණක් නොව, මුළු ලෝකයේද පාප උදෙසාය.” (1 යොහන් 2:1, 2, NW) යම් කෙනෙකු ඔහු කළ පාප ගැන පසුතැවී දෙවිව සතුටු කිරීම සඳහා අවංකවම වෙනස්කම් කිරීමට වෑයමක් දරයි නම් යේසුස්ගේ පූජාව මගින් ඔහුට ක්ෂමාව ලැබෙයි. එම සැපයුම සැලකිල්ලට ගන්නා විට යම් කෙනෙකුට හරි දේ කිරීම සඳහා වූ සටන අත්හැරීමට කිසිදු සාධාරණ පදනමක් නැති බව පැහැදිලියි.

වැරදි ආශාවන් පරාජය වනු ඇත

දෙවිට සහ අපගේ අසල්වැසියාට තිබෙන ප්‍රේමය වර්ධනය කරගැනීමෙන් හා දෙවි ලබා දෙන උපකාරයෙන් ප්‍රයෝජන ගැනීමෙන් දැන් පවා වැරදි ආශාවන් සිතෙන් අහක් කරගැනීම සඳහා අප කරන සටනින් සාර්ථකත්වයක් නෙළාගැනීමට අපට හැකි වෙයි. ඊට අමතරව, මෙම සටන සදහටම තිබෙන දෙයක් නොවෙයි කියා දෙවිගේ වචනයෙහි අපට සහතික කර තිබේ. දෙවිගේ ආත්මික සැපයුම්වලින් ප්‍රයෝජන ගන්න අයව නුදුරු අනාගතයේදී ශාරීරිකවත් ආත්මිකවත් සම්පූර්ණ නිරෝගීභාවයට ගෙන එයි. (එළිදරව් 21:3-5; 22:1, 2) ඔවුන්ව පාපයෙනුත් පාපය නිසා ඇති වූ මරණයෙනුත් නිදහස් කරනු ලැබේ. (රෝම 6:23) ඒත් අපවිත්‍ර සහ විනාශකාරී ආශාවන් මුදුන් පමුණුවාගැනීමට අදහස් කරන අයට එම ආශීර්වාද ලැබෙන්නේ නැත.—එළිදරව් 22:15.

වැරදි ආශාවන් සිතෙන් අහක් කිරීමට කරන සටන සදාකාලයටම පවතින දෙයක් නොවෙයි කියා දැනගැනීමට ලැබීම මොන තරම් සහනයක්ද! එම පෙලඹවීම් මුළුමනින්ම සහ සදහටම අහක් කරනු ලැබේ. එය මොන තරම් සැනසීමක්ද!