Skip to content

පටුනට යන්න

ආහාර ඔබේම වත්තෙන්

ආහාර ඔබේම වත්තෙන්

ආහාර ඔබේම වත්තෙන්

මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවේ පිබිදෙව්! ලේඛක විසිනි

බොහෝ රටවල ජනයා දිනපතා කල්පනා කරන්නේ තම පවුල පෝෂණය කරන්නේ කෙසේද යන්න ගැනය. එදිනෙදා භාවිතයට ගැනෙන එළවුළුවල මිල අධික නිසා බොහෝවිට මේ කාර්යය ඇත්තෙන්ම අභියෝගයක් වී ඇත. කෙසේනමුත්, සමහරුන් සරල විසඳුමක් සොයාගෙන තිබෙන්නේ තමන්ගේම ආහාර වගා කරගැනීමෙනි!

ඔබේ ඵල ප්‍රයෝජනය සඳහා පොඩි බිම් කැබැල්ලක හරි වගා කළ යුතුයි කියා ඔබට හැඟෙනු ඇත. ඔබේ ගෙවත්තේ එතරම් ඉඩ කඩක් නොතිබිය හැකි බව ඇත්තයි. එහෙත් ළඟ පාතක තිබෙන කවරාකාරයේ බිම් කැබැල්ලක හෝ වගා කිරීමට ඔබට හැකියි. ප්‍රණීත මෙන්ම පෝෂ්‍යදායී ආහාර නිපදවීම මගින් ඔබට මොන තරම් මුදලක් ඉතිරි කරගත හැකිදැයි සිතන්න! ගෙවතු වගාව ඔබේ ශරීරයට අත්‍යවශ්‍ය යම් ව්‍යායාමයක් ගෙන දෙන ක්‍රමයක් විය හැක. එය ඔබේ දරුවන් ප්‍රීතිය භුක්ති විඳිනු ඇති පවුල් ව්‍යාපෘතියක්ද විය හැකිය. ඇත්තෙන්ම, එළවුළු වත්තක් වගා කිරීම අධ්‍යාපනයක් ලබා දෙන දෙයකි. එය ඉවසීම වැනි ගුණාංග උගන්වයි. (යාකොබ් 5:7) ඊට අමතරව ඔබ වගා කළ දේ වැඩෙන අයුරු දකින විට ඔබට හැකියි සියලු දේවල මැවුම්කරු වෙත තව තවත් ළංවීමට.—ගීතාවලිය 104:14.

කෙසේනමුත්, ඔබේම ආහාර වගා කරගැනීම නිරායාසයෙන් සිදු වන්නක්යයි කියා හෝ එයින් විගස ඔබට පලදාව ලැබෙයි කියා හෝ නොසිතන්න. එසේවුවත්, අධිෂ්ඨානයෙන් යුතුව, සුළු ප්‍රායෝගික දැනුමක් ඇතුව සිටීමෙන් හැකියි ඔබට සාර්ථක වන්න!

එක් පවුලක් අභියෝගය භාරගනී

උදාහරණයක් වශයෙන්, ටිමෝතේ සහ ලුසී ගැන සලකා බලමු. දරු දෙදෙනෙකු සිටින මෙම ක්‍රිස්තියානි යුවළ වෙසෙන්නේ මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවේ අගනුවර වන බාංගීහිය. තමන්ගේම වත්තේ වගා කිරීම තම ආර්ථිකය ඉහළ නංවාලීමට හැකි ප්‍රායෝගික ක්‍රමයක් මෙන්ම එය ප්‍රීතිය ගෙන දෙන්නක්ද වන බව ඔවුන්ට පෙනී ගියේය.

ලුසී 13 හැවිරිදි වියේ පාසැල් දැරියකව සිටියදී, පාසැල් වේලාවෙන් පසු හා සති අන්තවලදී ඇගේ නිවසට යාබද කුඩා වතු කැබැල්ලක වගා කිරීමට සහ එය බලාගැනීමට පුරුදුව සිටියාය. ඈ සිය වගාවේ වර්ධනය දැකීමෙන් සතුටක් ලැබුවාය. එහෙත්, තම පවුල වෙනුවෙන් වතු වගාවේ නියැලීමේ අදහස පහළ වූයේ ඉන් සෑහෙන කලකට පසුවය. කුණු ගොඩ කිරීමට වැඩි වශයෙන් යොදාගෙන තිබූ ස්ථානයක් භාවිත කිරීමට ඈ කටයුතු සැලසුම් කළ අතර එයින් ඵල ප්‍රයෝජන ගන්න පුළුවන් බව ඈ දුටුවාය. වසර ගණනාවක් පුරා කුණු දැමීම නිසා මේ ඉඩමට අයහපතක් වෙනුවට සිදු වූයේ යහපතකි. මන්ද එම කුණු දිරාපත් වීම නිසා බෝග වගාවට සුදුසු පසක් එහි බිහි වී තිබිණ. මෙම ඉඩම සාරවත් වත්තක් බවට පරිවර්තනය කිරීමට ලුසී හා ටිමෝතේ තීරණය කළහ.

වගාව ඇරඹීම

එහෙත්, මුලින්ම ඔවුන්ට යම් පර්යේෂණවල යෙදීමට සිදු විය. එළවුළු වගාව ගැන දන්න කියන අයගෙන් විමසූ ඔවුහු ඔවුන්ට හොඳින් සවන් දුන්හ. මෙම ඉඩමට ප්‍රමාණවත් ලෙස ජලය අවශ්‍ය වූ බැවින් තමන්ගේම ළිඳක් කපාගන්නා ආකාරය ගැනද ඔවුහු ඉගෙනගත්හ. වතු වගාව පිළිබඳ පොත් කියවීමද ඔවුන්ට උපකාරවත් විය.

ඔවුන් මිශ්‍ර බෝග වගාව ගැන කියෙවූ අතර, සමහර පැළ අනික් පැළවලට හොඳින් වැඩෙන්න උපකාර කරන බවත් සමහර පැළ අනික් ඒවාවල වර්ධනයට බාධා කරන බවත් ඔවුහු දැනගත්හ. එළවුළු පාත්තියක තිබෙන කැරට් හා තක්කාලි කදිම සහකරුවන්යයි සමහරු පවසති. එලෙසම, සැල්දිරි සහ මල් ගෝවා එකට වගා කිරීමෙන් වාසි තිබේ. එමෙන්ම පීස්, පිපිඤ්ඤා, සලාද කොළ සහ ළූණුවල “මිත්‍රයෙකි,” සූදුරු. එහෙත් කොළ වශයෙන් සෑදෙන කොළ පාට සලාද කොළ සහ පාර්ස්ලි හොඳ සහකරුවන් නොවේ. කොළ පාට බෝංචිවලට හා පීස්වලට ළූණු හානිකර වනු ඇත. පැළ වර්ග එකිනෙකට හානිකර වන විට ඒවා මැලවී යන අතර පරපෝෂිතයන්ට හා හානිකර කෘමීන්ට පහසුවෙන්ම ගොදුරු වෙයි.

මුළු බිම් ප්‍රදේශය පුරාම එක බෝගයක් පමණක් වගා කිරීමද අනුවණ දෙයක් බව ටිමෝතේ හා ලුසී ඉගෙනගත්හ. කෘමීන්ගෙන් හෝ යම් රෝගවලින් ඒවා පහර ලැබුවහොත් ඔවුන්ට සියල්ල අහිමි වීමට ඉඩ තිබේ. විවිධ පැළ වර්ග තෝරා බේරා වගා කිරීම එම අවදානම අවම කරගැනීමට ඔවුන්ට උපකාරයක් විය. පැළ හා මල් ඔවුන්ගේ එළවුළු වත්ත වර්ණවත් කර ඊට ප්‍රාණවත් බවක් හා අලංකාරයක් ගෙන දුන් අතර වතුවල සාරවත් පැවැත්ම සඳහා උපකාරවත් වන මීමැස්සෝ හා වෙනත් වැඩදායක කෘමීහුද ඒ වෙත ඇදී ආහ.

මෙම යුවළ, තම බෝගවලට විෂ සහිත දේ ඉසීමෙන් වැළකෙන අයුරුද දැනගත්තේය. සුදු ළූණු වගා කිරීමෙන් පමණක්ම යම් පරපෝෂිතයන් පලවාහැරිය හැකි බව ඔවුහු දැනගත්හ. a

බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කිරීම හා ඉවසීම ඊට අවශ්‍ය වූ නමුත් අද දින ටිමෝතේ සහ ලුසී සාරවත් වත්තක උරුමකරුවන් වී ඇත. එහි වගා කර ඇති ගෝවා, පාර්ස්ලි, තක්කාලි, කැරට්, පිපිඤ්ඤා සහ වම්බටු වගාවෙන් ලැබෙන අස්වැන්න සමහරවිට පවුලට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් ලැබේ.

ඔබේම වත්තේ වගා කරන්න

ගෙවතු වගාවේ තිබෙන ප්‍රයෝජන සොයාගෙන තිබෙන්නේ අප්‍රිකාවේ වැසියන් පමණක් නොවේ. උදාහරණයක් වශයෙන්, ජර්මනියේ නගරබදව වතු මිලියනයකට වඩා අධික බිම් කට්ටි ප්‍රමාණයක් ගෙවතු වගාව සඳහා වෙන් කර තිබේ. සමහරවිට (ජර්මන් ජාතික උද්භිද විද්‍යාඥ ඩැනියෙල් වොන් ෂ්‍රේබර්ගෙන් පසුව) ඒවා හඳුන්වනු ලබන්නේ ෂ්‍රේබර්ගාටන් කියාය. වෙන් කරන ලද මෙම වතු (වර්ග මීටර් 200 සහ 400 අතර) එක පොදියට පිහිටා ඇති කුඩා බිම් කැබලි වන අතර නගරබද වාසීන්ට ඒවා කුලියට දී ඇත. එක් පර්යේෂකයෙකු කියා සිටියේ මෙම පුංචි වතු “අලුත් පලතුරු හා එළවුළු වගා කිරීමෙහිලා වැදගත් වැඩ කොටසක් ඉටු කරයි” යනුවෙනි. එමෙන්ම වතු පාලකයන්ට වැඩ කිරීම හා ගිමන් නිවාගැනීම සඳහා මේ වතු “පාරාදීසයේ” සේයාවක් මවා දෙයි.

ළඟදීම දිනෙක මුළු පොළොවම උද්‍යානයක් බඳු නියම පාරාදීසයක් වන බව බයිබලයේ පොරොන්දු වී ඇත. (ලූක් 23:43) එහෙත්, ඒ අතරතුර ඔබට හැකියි ඉඩම් කැබැල්ලක් සොයාගෙන වගා කර ඔබේම පුංචි වත්තෙන් ආහාර ලබාගැනීමේ ප්‍රීතිය අද්දකින්න.

[පාදසටහන]

a පළිබෝධ නාශක භාවිත නොකර වත්තකින් පරපෝෂිතයන් පලවාහැරීම සම්බන්ධයෙන් අමතර යෝජනා සඳහා 2002 මාර්තු 22 පිබිදෙව්! කලාපයේ “ජෛව ක්‍රමයට වගා කිරීම” යන ලිපිය බලන්න (සිංහලෙන් නැත).

[24වන පිටුවේ පින්තූරය]

ටිමෝතේ හා ලුසී තම වත්තට වතුර අදිමින්

[24වන පිටුවේ පින්තූරය]

ජර්මනියේ මිය්‍යුනිච්හි වෙන් කළ වතු කැබැල්ලක්