Skip to content

පටුනට යන්න

ඖෂධීය ශාක ප්‍රතිකාරවලට හැකිද ඔබට සුවය ගෙන දෙන්න?

ඖෂධීය ශාක ප්‍රතිකාරවලට හැකිද ඔබට සුවය ගෙන දෙන්න?

ඖෂධීය ශාක ප්‍රතිකාරවලට හැකිද ඔබට සුවය ගෙන දෙන්න?

පුරාණයේ පටන් රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධීය ශාක යොදාගන්නා ලදි. ක්‍රිස්තු පූර්ව 16වන සියවසේදී පමණ ඊජිප්තුවේ සකස් කරනු ලැබූ ඒබර්ස් පැපිරස්වල නොයෙකුත් වේදනාවන් නසන දේශීය ඖෂධ සිය ගණනක් ගැන සඳහන් වේ. කෙසේවුවද, බොහෝවිට ඖෂධීය ශාක ප්‍රතිකාර ක්‍රම පරම්පරාවෙන් පරම්පරාවට ව්‍යාප්ත වූයේ කට වචනයෙනි.

පෙනෙනාකාරයට, බටහිරෙහි ඖෂධීය ශාක ප්‍රතිකර්මය පටන්ගෙන තිබෙන්නේ ග්‍රීක වෛද්‍යවරයෙකු වූ ඩයස්කෝරයිඩිස් විසින් “සුවය දෙන දේවල්” යන අදහස ඇති ඩ මාටරියා මේඩිකා යන ග්‍රන්ථය ලියනු ලැබීමෙන් පසුවය. ඊළඟ වසර 1600 තුළ එය ප්‍රධාන වෛද්‍ය අත්පොත බවට පත් විය. ලෝකයේ බොහෝ කොටස්වල පාරම්පරික ඖෂධීය ශාක ප්‍රතිකාර ජනප්‍රිය වෙමින් තිබේ. ජර්මනියේ සෞඛ්‍යය පිළිබඳ රජයේ වැඩසටහන් මගින් ඖෂධීය ශාක බෙහෙත් වට්ටෝරු සඳහා වූ වියදම ගෙවා දැමීමට පවා ඉදිරිපත් වීමට ඉඩ ඇත.

නවීන සම්මත ඖෂධ වර්ගවලට වඩා පාරම්පරිකව පැවත එන ඖෂධ ගැනීම වඩාත් ආරක්ෂා සහිතයයි පැවසෙතත්, ඒවායේ කිසි අවදානමක් නැතැයි කියා පැවසිය නොහැක. එබැවින් මෙවැනි ප්‍රශ්න පැනනඟී: ඖෂධීය ශාක ප්‍රතිකාරයන් ගැන සලකා බලන කල කෙනෙකු පරෙස්සම් විය යුත්තේ කුමක් ගැනද? සැලකිල්ලට ගත යුත්තේ කුමන නිර්දේශයන්ද? එමෙන්ම යම් ආකාරයක චිකිත්සාවක් අනිකට වඩා වාසිදායක වන යම් තත්වයන් තිබේද? *

ඖෂධීය ශාකවලින් සුවය ලැබෙන අයුරු

ඖෂධීය ශාකවල චිකිත්සක ගුණයන් බොහොමයක් අඩංගු වන බවට පැවසේ. ආසාදනයන්ට එරෙහිව සටන් කිරීමට ඉන් සමහරක් ශරීරයට උපකාර කරන බව පැවසේ. අනික් ඒවා ජීරණයට, නහරවල වේදනාව නැති කිරීමට, විරේකයක් වශයෙන් ක්‍රියා කිරීමට හෝ ග්‍රන්ථිවල ක්‍රියාකාරිත්වය පාලනය කිරීමට ඉවහල් වන බව පැවසේ.

ඖෂධීය ශාකවල පෝෂණ ගුණයක් මෙන්ම වෛද්‍යමය අතින් ප්‍රයෝජනද තිබිය හැක. උදාහරණයක් වශයෙන්, පාස්ලි වැනි ඇතැම් පැළෑටිවල ඇති මූලද්‍රව්‍යයක් නිසා ඒවා අධිමූත්‍රකයන් වශයෙන් ක්‍රියා කරන අතර සෑහෙන පොටෑසියම් ප්‍රමාණයක්ද ඒවායෙහි අඩංගුය. * මූත්‍රා සමඟ පිට වන මෙම රසායනික මූලද්‍රව්‍යය යළි ලබා දීමට මෙම පැළවල අඩංගු පොටෑසියම්වලට හැකියි. එමෙන්ම වේදනා නාශකයක් වශයෙන් දිගු කලක් පුරා භාවිත කර තිබෙන වැලේරියන් පැළයෙහිද (වැලේරියානා ඔෆිසිනේලිස්) අධික කැල්සියම් ප්‍රමාණයක් තිබේ. ස්නායු පද්ධතියේ වේදනාව සමනය කිරීම සඳහා එම ඖෂධීය ශාකයේ වේදනා නාශක බලය වැඩි කිරීමට මෙම කැල්සියම්වලට හැකියි.

ඖෂධීය ශාක ප්‍රයෝජනයට ගත හැකි අයුරු

තේ මෙන් වත් කරගැනීම, කසාය හා අරිෂ්ට සාදාගැනීම මෙන්ම තලපයක් සේ සකස් කරගැනීම වැනි නොයෙක් ක්‍රමවලින් ඖෂධීය ශාක භාවිතයට ගත හැක. ශාක පත්‍ර මත උතුරන වතුර වත් කිරීම මගින් තේ වැනි පානයක් සකසාගත හැකියි. දැනුම් තේරුම් ඇත්තන් අවවාද කරන්නේ තේ මෙන් වත් කරගත යුතු ශාක කොටස් වතුරේ තැම්බීමෙන් වළකින්න කියාය. කසාය සෑදෙන්නේ සක්‍රීය සංඝටක පිට වන තෙක් ශාක මුල් සහ පොතු වතුරේ තම්බාගැනීමෙනි.

අරිෂ්ට ගැන කුමක් කිව හැකිද? එක් පොතක පවසන අන්දමට එය “තනිකර හෝ තනුක කළ මද්‍යසාරයක් හෝ බ්‍රැන්ඩි හෝ වොඩ්කා යොදා සකස් කරගන්නා ඖෂධීය ශාක ක්ෂාරයකි.” එමෙන්ම විවිධාකාරයෙන් සකස් කරගත හැකි තලපයන් තිබේ. සාමාන්‍යයෙන් ඒවා තුවාල මත හෝ වේදනාව ඇති ශරීරයේ කොටස් මත ගල්වනු ලැබේ.

බොහෝ විටමින් හා ඖෂධ මෙන් නොව ඖෂධීය ශාක වැඩි හරියක් ආහාර වශයෙන් හා බොහෝවිට හිස් බඩින් පමණක් ගන්නා ඒවා වශයෙන් සැලකේ. වඩාත් පහසුවෙන් මෙන්ම වඩාත් පිරියකින් ගත හැකි වන සේ සකස් කළ බෙහෙත් කරල් වශයෙන්ද ඒවා ගත හැකියි. ඖෂධීය ශාක ප්‍රතිකාර ගැනීමට ඔබ තීරණය කරනවා නම් නැණවත් දේ වන්නේ වෛද්‍ය උපදෙස් පරිදි ඒවා ගැනීමය.

සෙම්ප්‍රතිශ්‍යාව, අජීර්ණය, මලබද්ධය, නින්ද නොයෑම හා ඔක්කාරය වැනි තත්වයන්ට ප්‍රතිකාර වශයෙන් ඖෂධීය ශාක භාවිතය පාරම්පරිකව සිදු කරන්නක් වී ඇත. කෙසේවෙතත්, ඊටත් වඩා බරපතළ රෝග සඳහාද සුවය ගෙන දෙන්නක් වශයෙන් පමණක් නොව වළක්වාගන්නා දෙයක් වශයෙන්ද ඇතැම්විට ඒවා භාවිත කෙරේ. උදාහරණයකට ජර්මනියේ හා ඔස්ට්‍රියාවේ පුරඃස්ථ ග්‍රන්ථියේ දරුණු නොවන අධිවර්ධනයක් සඳහා ප්‍රාථමික ප්‍රතිකාරය වශයෙන් සෝ පාමෙටෝ (සෙරිනෝආ රිපෙන්ස්) නම් ඖෂධීය ශාකය භාවිත කෙරේ. ඇතැම් රටවල මෙම අක්‍රමිකතාව පුරුෂයන්ගෙන් සියයට 50 සිට 60කට බලපායි. කෙසේවුවද ද්විතීයික ප්‍රතිකාරයක් අවශ්‍යද නැද්ද කියා සහතික කරගැනීමට වෛද්‍යවරයෙකු ලවා එම ඉදිමුමට හේතුව පරීක්ෂා කරගැනීම වැදගත්ය. පිළිකාව සම්බන්ධයෙන් තත්වය එයයි.

පරෙස්සම් වීමට කරුණු කීපයක්

ඖෂධීය ශාක ආරක්ෂිතයි යනුවෙන් පුළුල් පිළිගැනීමක් තිබිය හැකි වුවත් පරෙස්සම් වීම අවශ්‍යය. නිෂ්පාදනයක “ස්වභාවික” යන ලේබලය තිබූ පමණින් ඔබේ නුවණැස පියා නොගන්න. ඖෂධීය ශාක පිළිබඳ විෂය සම්බන්ධයෙන් විශ්වකෝෂයක මෙසේ පැවසේ. “මෙම කාරණය පිළිබඳ අප්‍රසන්න සත්‍යය වන්නේ ඇතැම් ඖෂධීය ශාක ඉතා අනතුරුදායක වීමයි. [කනගාටුදායක දෙය නම්] ඇතමුන් අනතුරු සහිත හෝ රහිත ඕනෑම ශාකයක් ගැනීමට පෙර එය හානිකර විය හැකිද නැද්ද යන්න සලකා නොබැලීමය.” ඖෂධීය ශාකවල අඩංගු රසායනික සංයෝග මගින් හෘද් ස්පන්දනය, රුධිර පීඩනය හා ග්ලූකෝස් මට්ටම වෙනස් විය හැක. මෙබැවින් හෘද් රෝග, අධිරුධිර පීඩනය හෝ දියවැඩියාව වැනි රුධිරයේ සීනි ප්‍රමාණයේ අක්‍රමිකතා තිබෙන අය විශේෂයෙන්ම පරෙස්සම් විය යුතුය.

කෙසේනමුත්, සාමාන්‍යයෙන් ඖෂධීය ශාකවලින් ඇති වන අතුරු ආබාධ, අසාත්මිකතාවන් උද්ගත වීම වැනි ප්‍රතික්‍රියාවන්ට සීමා වේ. මීට හිසරදය, ක්ලාන්තය, ඔක්කාරය හෝ පලු දැමීම ඇතුළත්ය. ඖෂධීය ශාකවලින් උණ ගතිය හෝ වෙනත් රෝග ලක්ෂණ බිහි කිරීම මගින් “සුවවීමට පෙර රෝගය උග්‍ර” කරවන බවද පැවසේ. ඖෂධීය ශාක ප්‍රතිකාර ගන්නා තැනැත්තා සුවවීමට පෙර ඔහුගේ රෝගය උත්සන්න වන බවක් පෙනෙන්න තිබිය හැකියි. මෙම ප්‍රතික්‍රියාව සිදු වන්නේ එම ප්‍රතිකාරවල මුල් අවදියේදී ශරීරයෙන් විෂ අපද්‍රව්‍යය ඉවත් වන නිසා බව පොදු අදහසයි.

ඖෂධීය ශාකවලින් සෑදූ ඇතැම් නිෂ්පාදනයන් නිසා යම් අවස්ථාවලදී මරණයට පත් වී ඇති නිසා පරෙස්සම් විය යුතු අතර මනා මඟ පෙන්වීමක්ද ලබාගත යුතුයි. උදාහරණයකට බර අඩු කරගැනීමට සාමාන්‍යයෙන් ගන්නා ඉෆෙඩ්‍රා නම් ඖෂධීය ශාකය මගින් රුධිර පීඩනය වැඩි කිරීමටද හැක. එක්සත් ජනපදයේ වාර්තා වී ඇති මරණවලින් 100කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු වූයේ ඉෆෙඩ්‍රාවලින් සෑදූ නිෂ්පාදනයන් හේතුකොටගෙන වුවත් සැන් ෆ්‍රැන්සිස්කෝහි ව්‍යාධිවේදී ස්ටීවන් කාර්ච් පවසන්නේ මෙයයි. “මා දන්නේ [ඉෆෙඩ්‍රා අරගෙන] මිය ගියේ දරුණු කිරීටක ධමනි රෝගයක් තිබූ අය නැතහොත් නියමිත මාත්‍රාවට වඩා ගත් අය පමණක් බවයි.”

ඖෂධීය ශාක නිෂ්පාදනයන් පිළිබඳ පොතක කර්තෘ වූ ආචාර්ය ලෝගන් චේම්බලෙන් මෙවැනි අදහසක් දරයි. “ඖෂධ ශාකවලින් සිදු වූ හානිදායක ප්‍රතිඵල සම්බන්ධයෙන් මෑත වසරවල ලද සෑම වාර්තාවකින්ම පාහේ හෙළි වූයේ ජනයා උපදෙස් පිළිපැද නොතිබූ බවය. . . . විශ්වාසදායක නිෂ්පාදනයන් සම්බන්ධයෙන් නිර්දේශ කර ඇති මාත්‍රාවන් ආරක්ෂිතයි. එමෙන්ම නොවෙනස් වේ. පුහුණුව ලත් ඖෂධවේදියෙකුගෙන් උපදෙස් නොලැබ එය වෙනස් නොකරන්න.”

ඖෂධවේදී ලින්ඩා පේජ් පරෙස්සම් වීමට මෙම උපදෙස සපයයි. “දරුණු සෞඛ්‍ය තත්වයන්වලදී පවා විශාල මාත්‍රාවක් එකවිට නොගෙන සීමිත ප්‍රමාණයන්ගෙන් යුත් මාත්‍රාවන් ගත යුතුය. ඔබ වෙනුවෙන් වැඩි කාලයක් දෙමින් වඩාත් සුමට ප්‍රතිකාරයක් ලබාගැනීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැක. සෞඛ්‍යය යළි ගොඩනංවා ගැනීමට කාලයක් ගත වේ.”

ඖෂධ ශාකවේදය පිළිබඳ එක පොතක පැහැදිලි කරන්නේ නියමිත මාත්‍රාවට වැඩියෙන් ගතහොත් ප්‍රතික්‍රියාවක් ඇති කරවන බලයක් ඇතැම් ඖෂධ ශාකවල තිබෙන බවය. උදාහරණයකට ඇඟ පතේ තෙහෙට්ටුව නැති කරගැනීමට ගන්නාවූ එක්තරා පැළ වර්ගයක් අධික ලෙස භාවිතයට ගතහොත් ඔක්කාරය ඇති කරයි. කෙසේවුවද, මේ ලක්ෂණය සෑම ඖෂධ පැළෑටියකටම අදාළ නොවන අතර ආරක්ෂිත මාත්‍රාවක් ගැනීමෙන් වැළකීමට එය හේතුවක්ද නොවේ.

කෙසේනමුත්, ඖෂධීය ශාකයක් බලපෑමෙන් යුක්ත වීමට නම් නිවැරදි ලෙස සකසා නියම ප්‍රමාණයෙන් ගත යුතුය. සමහර අවස්ථාවලදී එසේ කිරීමට තිබෙන එකම මඟ ක්ෂාරය වෙන් කරගැනීමය. මතකය හා සංසරණය වැඩි කිරීමට දිගු කලක් පුරා භාවිත කෙරෙන ගින්ගෝ බිලෝබා සම්බන්ධයෙන් සත්‍යය එයයි. එහි එක ඵලදායී මාත්‍රාවක් සඳහා ශාක පත්‍ර රාත්තල් ගණනාවක් අවශ්‍ය වේ.

හානිදායක විය හැකි සංකලනයක්

නිර්දේශිත ඖෂධ වර්ග සමඟ හිතු මනාපෙට ගන්නා ඖෂධීය ශාක ප්‍රතිකාර නොයෙක් ආකාරයෙන් ගැටිය හැක. උදාහරණයකට නිර්දේශිත ඖෂධයේ බලපෑම වැඩි කිරීමට හෝ අඩු කිරීමට ඒවාට හැක. එම ඖෂධ වඩා ඉක්මනට ශරීරයෙන් ඉවත් කර දැමීමට හෝ අතුරු ආබාධවල ප්‍රතිඵල වැඩි කිරීමට ඒවාට හැක. ජර්මනියේ සුළු හෝ තරමක මානසික අවපීඩනය සඳහා බොහෝවිට දෙන සේන්ට් ජොන්ස් වෝට් වැනි ඖෂධීය ශාක මගින් තමන් භාවිත කරමින් සිටින වෙනත් ඖෂධ බොහොමයක් ශරීරයෙන් බැහැර වන වේගය සාමාන්‍යයට වඩා දෙගුණයක ප්‍රමාණයකින් වැඩි වන බැවින් ඒවායෙහි බලපෑම අඩු වී යයි. එබැවින් ඔබ උපත් පාලන පෙති ඇතුළු නිර්දේශිත ඖෂධයක් ගන්නවා නම් ඖෂධ ශාක ප්‍රතිකාර ගැනීමට පෙර ඔබේ වෛද්‍යවරයාව මුණගැසෙන්න.

ඖෂධ ශාක සතු සුව කිරීමේ හැකියාවන් සම්බන්ධයෙන් වූ පොතක මෙසේ පවසයි. “මත්පැන්, මරිජුආනා, කොකේන්, මනෝ ස්වභාවය වෙනස් කරන වෙනත් ඖෂධ හා දුම්කොළ සමඟ ඇතැම් ඖෂධීය පැළ වර්ග මිශ්‍ර කළ විට ඒවා ජීවිතයට තර්ජනයක් වන ප්‍රතික්‍රියාවන් ඇති කළ හැකියි. . . . විශේෂයෙන්ම රෝගී අවස්ථාවලදී [එවැනි ඖෂධවලින්] වැළකී සිටීම ඥානාන්විතය.” එමෙන්ම ගැබිනි කාන්තාවන් හා කිරි දෙන මව්වරුන් එම අවවාදය සිතට ගත යුතුය. සැබවින්ම දුම්කොළ හා ඇබ්බැහි කරවන ඖෂධ සම්බන්ධයෙන් නම් ක්‍රිස්තියානීහු “මාංසය සහ ආත්මය දූෂ්‍ය කරවන සෑම දෙයකින්ම [තමාව පවිත්‍ර කරගන්න]” යන බයිබල් ආඥාව පිළිපැදීමෙන් ආරක්ෂා වී සිටිති.—2 කොරින්ති 7:1NW.

එක්තරා පොතක ඖෂධ ශාක සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරී වීමට මෙවැනි දෙයක් පවසයි. “ඔබ ඖෂධීය ශාක ප්‍රතිකාරයක් ගනිමින් සිටියදී ගර්භිණී වුවහොත් ඔබේ වෛද්‍යවරයාට ඒ බව පවසන්න. ඔහු හෝ ඇය සමඟ ඒ ගැන සාකච්ඡා කරන තෙක් එය නවත්වන්න. නියමිත මාත්‍රාව සහ එය කොපමණ කාලයක් පුරා ගත්තාද යන්න මතක තබාගැනීමට උත්සාහ කරන්න.”

“[ඖෂධ ශාකවලින්] තමන්ම ප්‍රතිකාර කරගැනීමේ අනතුරු කීපයක්ම ඇත” කියා ඒවා සම්බන්ධයෙන් වූ විශ්වකෝෂයක් පවසයි. මේ සමඟ තිබෙන “හිතු මතේට ගන්නා ප්‍රතිකාරවල අවදානම” නමැති කොටුවේ ඖෂධ ශාක හා බැඳි අනතුරුදායක තත්වයන් සම්බන්ධයෙන් ලැයිස්තුවක් ඔබ දකිනු ඇත.

සෞඛ්‍යය සම්බන්ධයෙන් ඇති සියලු නිෂ්පාදනයන් වාගේම ඖෂධ ශාක පරෙස්සමෙන්ද දැනුම සහ සමබරතාව ඇතුවද භාවිත කළ යුතුය. එමෙන්ම දැනට ඇතැම් සෞඛ්‍ය තත්වයන්ට සුවයක් නැති බවද මතක තබාගන්න. අපේ මුල් දෙමව්පියන්ගෙන් උරුම වී ඇති අසම්පූර්ණත්වය නිසා ඇති වී තිබෙන ලෙඩ රෝග හා මරණය, දේවරාජ්‍යය පාලනයේ ආශීර්වාද යටතේ සම්පූර්ණයෙන්ම පහ වන දවස එන තුරුයි සැබෑ ක්‍රිස්තියානීන් බලා සිටින්නේ.—රෝම 5:12; එළිදරව් 21:3, 4.

[පාදසටහන්වල]

^ 4 ඡේ. පිබිදෙව්! වෛද්‍යමය සඟරාවක් නොවන නිසා ඖෂධීය ශාකවලින් හෝ විකල්ප ඖෂධවලින් ගන්නාවූ නියත ප්‍රතිකාරයක් හෝ නියත ආහාර වේලක් නිර්දේශ කරන්නේ නැත. මෙම ලිපියේ අඩංගු තොරතුරු සපයා ඇත්තේ ජනයාව දැනුවත් කිරීම සඳහා පමණකි. සෞඛ්‍යය සහ වෛද්‍යමය කාරණා සම්බන්ධයෙන් පාඨකයන්ම තීරණ ගත යුතුයි.

^ 7 ඡේ. අධිමූත්‍රකයන් යනු මූත්‍රා පිට කිරීම වැඩි කරන මූලද්‍රව්‍යයකි.

[14වන පිටුවේ කොටුව]

හිතුමතේට ගන්නා ප්‍රතිකාරවල අවදානම

වෛද්‍ය උපදෙස් නොමැතිව ඖෂධීය ශාක භාවිත කිරීමෙන් ඇති විය හැකි අවදානම් තත්වයන් මතු දැක්වේ.

ඔබේ අසනීපය කුමක්දැයි ඔබ හරියටම නොදන්නවා විය හැක.

අසනීපය හරියටම දැනගෙන හිටියත් හිතුමතේට ගන්නා ඖෂධ ඔබේ අමාරුව සඳහා යෝග්‍ය නොවිය හැක.

කාලයක් පුරා ඔබ හිතුමතේට බෙහෙත් ගැනීමෙන් රෝගකාරකයට මුලින්ම දිය යුතු ප්‍රතිකාරය මෙන්ම අත්‍යවශ්‍ය හා යෝග්‍ය ප්‍රතිකාරය දීම ප්‍රමාද විය හැක.

ඔබ හිතුමතේට ගන්නා ප්‍රතිකාර වෛද්‍යවරයෙකු නිර්දේශ කරන ඖෂධ සමඟ ගැටීමක් ඇති කළ හැකියි. අසාත්මිකතාවට හෝ රුධිර පීඩනය සඳහා ගන්නා ප්‍රතිකාර ඊට උදාහරණ වේ.

හිතුමතේට ප්‍රතිකාර ගැනීමෙන් ඔබේ සුළු අසනීපයක් සුව විය හැකි නමුත් අධිරුධිර පීඩනය වැනි වෙනත් සෞඛ්‍ය ගැටලුවක් වඩාත් උග්‍ර කරවිය හැක.

[හිමිකම් විස්තර]

Source: Rodale’s Illustrated Encyclopedia of Herbs