Skip to content

පටුනට යන්න

පීඩා විඳින මනස්

පීඩා විඳින මනස්

පීඩා විඳින මනස්

නිකෝල්ට විටින් විට දුක්මුසු හැඟීම් පහළ වෙන්න පටන්ගත්තේ 14වන වියේ සිටයි. එහෙත් ඇයට අවුරුදු 16ක් වූ පසු ඇය අලුත්ම අද්දැකීමකට මුහුණ දුන්නා. අමුතුම ප්‍රීති ප්‍රමෝදයේ හැඟීම් සමඟින් අධික්‍රියාශීලී ස්වභාවයක් ඇය තුළ හටගත්තා. ඒත් සමඟම, මනස එක්තැන් කරගැනීමට නොහැකි වීම, කතා කරමින් සිටින දේ මඟ නතර කර වෙනත් දෙයක් ගැන කතා කරන්න පටන්ගැනීම, නින්ද නොයෑම වැනි දේවල් ඇය අද්දුටු අතර කිසිම සාධාරණ හේතුවක් නොමැතිව මිතුරන් ඇගෙන් අයුතු වාසි ප්‍රයෝජන ලබාගන්නවා කියා ඇය සැක කරන්නද පටන්ගත්තා. එමෙන්ම තමාට හිතු මනාපෙට භාණ්ඩවල වර්ණ වෙනස් කරන්න පුළුවන් කියාද නිකෝල් ඊළඟට කියා සිටියා. මේ අවස්ථාවේදී, වෛද්‍යවරයෙකුගේ උපකාරය පැතිය යුතු බව වටහාගත් නිකෝල්ගේ මව ඇයව රෝහලකට ගෙන ගියා. නිකෝල්ගේ මානසික ස්වභාවයේ ක්ෂණිකවම ඇති වන වෙනස්කම් ඉතා හොඳින් නිරීක්ෂණය කළ පසු වෛද්‍යවරුන් නිර්ණය කළේ ඇය බයිපෝල අක්‍රමිකතාවෙන් (bipolar disorder) පීඩා විඳින බවයි. *

නිකෝල් මෙන් ලෝ වටා අනන්ත අප්‍රමාණ ජන සංඛ්‍යාවක් මානසික ස්වභාවයේ අක්‍රමිකතාවලින් පෙළෙනවා. මේ අය අතරේ බයිපෝල අක්‍රමිකතාව ඇති අයද දරුණු මානසික අවපීඩනය ඇති අයද සිටිනවා. මෙම ආබාධවලින් ඉතා හානිකර ප්‍රතිඵල අත් විය හැකියි. බයිපෝල රෝගියෙක් වන ස්ටීවන් මෙසේ විස්තර කරනවා. “අවුරුදු ගානක් තිස්සේ මම පුදුම වේදනාවක් වින්දා. මට වෙලාවකට දරාගන්න බැරි තරමේ දුක්මුසු හැඟීම් ඇති වුණා. ඒත් තවත් වෙලාවක මගේ හැඟීම් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා මට පුදුමාකාර ප්‍රීති ප්‍රමෝදයක් දැනෙන්න පටන්ගත්තා. බෙහෙත් ගැනීමෙන් හා උපදේශන වැඩසටහන්වලට සහභාගි වීමෙන් මට යම් සහනයක් ලැබුණා. ඒත් මාත් එක්ක මටම ලොකු පොරබැදීමක් කරන්න සිද්ධ වුණා.”

මානසික ස්වභාවයේ අක්‍රමිකතා ඇතිවීමට හේතුව කුමක්ද? මානසික අවපීඩනය හෝ බයිපෝල අක්‍රමිකතාව ඇති අය මුහුණ දෙන්නේ කුමනාකාරයේ අද්දැකීම්වලටද? එවැනි අක්‍රමිකතාවලින් පෙළෙන අයටත් ඔවුන්ව බලාගන්න අයටත් අවශ්‍ය උපකාරය පිරිනැමිය හැක්කේ කෙසේද?

[පාදසටහන]

^ 2 ඡේ. දෙයාකාර මනෝ ස්වභාවයක් විදහාපෙන්වන මෙම ආබාධය උන්මාද විෂාද සයිකෝසියාව (manic-depressive disorder) ලෙසද හැඳින්වෙනවා. ඉහත සඳහන් කළ සමහර රෝග ලක්ෂණ භින්නොන්මාදය ඇති විට හෝ මත්ද්‍රව්‍යවලට අබ්බැහි වූ විට හෝ නව යොවුන් වියේදී සාමාන්‍යයෙන් අද්දකින වෙනස්කම්වලට මුහුණ දෙන විට හෝ මතු විය හැකි බව සැලකිල්ලට ගන්න. රෝග නිර්ණයක් කළ යුත්තේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු විසින් පූර්ණ පරීක්ෂණයක් කරනු ලැබුවායින් පසුවයි.