Skip to content

පටුනට යන්න

“දෙවිව සොයා මිනිසා කරන ගවේෂණය”

“දෙවිව සොයා මිනිසා කරන ගවේෂණය”

“දෙවිව සොයා මිනිසා කරන ගවේෂණය”

මෙක්සිකෝ නගරයේ 2002 සැප්තැම්බර් 25වෙනි දා පළ වූ පුවත්පතක (Excelsior) ඉහත සඳහන් මාතෘකාවෙන් යුත් කතු වැකියක් දක්නට ලැබිණ. එම ලිපිය ලියා තිබුණේ මෙක්සිකෝ රටේ ප්‍රසිද්ධ විශාරදයෙකු මෙන්ම ලේඛකයෙකු වන කාලෝ කොචොලි විසිනි. ඔහුගේ එම ලිපියේ ආරම්භක වදන් වූයේ මෙයයි.

“මම අසාමාන්‍ය කුඩා රතු පොතක් කියවලා ඉවර කළා විතරයි. ඇත්තෙන්ම මම මේ පොත දෙතුන් සැරයක් කියෙව්වා කිව්වොත් වඩාත් නිවැරදියි. මම කතා කරන්නේ මාහෝ සේතුංගේ කාලයේ ඉතා ප්‍රසිද්ධියට පත් වූ රතු පොත ගැන නොවෙයි. මේ පොත [දෙවිව සොයා මිනිසා කරන ගවේෂණය * (සිංහලෙන් නොමැත)] ඊට වඩා බොහෝ සෙයින් අසාමාන්‍ය පොතකි. එපමණක්ද නොව, කාලයත් සමඟ අභාවයට පත් වී තිබෙන මාහෝ සේතුංගේ ‘කුඩා රතු පොත’ මෙන් නොව මෙය කිසිදා නැති නොවීමට ඉඩ තිබේ. මෙම පොත යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ලෝකයට ප්‍රදානය කළ තෑග්ගක්යයි සරලව කිව හැකියි. වෙනත් බොහෝ පොත් සමඟ සසඳා බලන කල පෙනී යන්නේ මේ පොත කුඩා බවයි. නමුත් එහි ගැබ්ව ඇති මූලික සාරය වෙනත් කිසිවක් සමඟ සන්සන්දනය කළ නොහැකි තරම් අද්විතීයයි. එය පහසුවෙන් කෙනෙකුගේ සාක්කුවේ දමාගෙන යා හැකියි. විවිධ පොත් 90,000කින් සමන්විත පුස්තකාලයකදී මේ පොත සම්බ වුවහොත් අනෙකුත් සියලුම පොත්වලට වඩා මෙය වැදගත්ම පොත විය හැකියි.”

කොචොලි මහත්මයා තමාගේ යෞවන කාලයේදී තමා අත් කරගැනීමට ඉලක්ක කළ වෘත්තිය ගැන කතා කළේය. “මම විශ්වවිද්‍යාලයේ ඉගෙනීමට තෝරගත්තේ මගේ උනන්දුවට ලක් වූ හා හදවතට ළං වූ විශේෂ ක්ෂේත්‍රයක් වන ආගම නමැති විෂයයි. විශේෂයෙන්ම පෙරදිග ආගම්.” තවද ඔහු පැවසුවේ ආගම් සම්බන්ධයෙන් ඔහු කළ අධ්‍යයනය ඔහු තුළ මහත් උද්‍යෝගයක් ඇති කළ බවත් දෙවන ලෝක මහ යුද්ධ සමයේදී ඒ හා බැඳි විෂයන්වලට ඔහුට ආචාර උපාධියක්ද ලැබුණු බවත්ය.

“ඒ නිසා මම හිතනවා මට සෑම අතින්ම සුදුසුකම් තියෙනවා කියලා මා අතට පත් වී තිබෙන මේ කුඩා රතු පොත ගැන කතා කිරීමට. මෙය පුදුම දනවන ආගමික මතිමතාන්තර ඇතුළත් විෂයන් සම්බන්ධයෙන් ගැඹුරු හා වැදගත් කරුණුවලින් පිරුණු අපූරු නිර්මාණයක්. . . . කලින් කලට කියවීමට ඒ කියන්නේ නැවත නැවත කියවීමට මේ පොත සෑම ගෙදරකම අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මෙහි කුමන ආකාරයේ හෝ ආගමික ප්‍රචාරයක් කරන්නේ නැත. නමුත් එය දෙවි පිළිබඳ වූ සංකීර්ණ අභිරහස සොයා බැලීමට නැඹුරු වූ මිනිසා විසින් බිහි කරන ලද උසස් සංස්කෘතිමය වටිනාකමකින් හෙබි කෘතියක්.”

මෙම ලිපිය අවසානයේදී කොචොලි මහත්මයා තමාට මෙම පොත ලබා දුන් සාක්ෂිකාර සහෝදරියගේ දුරකථන අංකය සඳහන් කර තිබුණේය. ඉන්පසු මේ පොත ඉල්ලා එම සහෝදරීට දුරකථන ඇමතුම් රාශියක් ලැබුණි. මේ අනුව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මෙක්සිකෝ ශාඛා කාර්යාලය විසින් දෙවිව සොයා මිනිසා කරන ගවේෂණය යන පොත ලබාගැනීමට උනන්දුවක් දැක්වූ සෑම කෙනෙකුටම එහි පිටපතක් ලබා දීමට සැලසුම් කරන ලදි. තම පවුලේ අයට හා මිත්‍රයන්ට ලබා දීමට මෙයින් පොත් 20ක් ඉල්ලා සිටි එක් පුද්ගලයෙක් බයිබලය ඉගෙනගනිමින් හොඳ ප්‍රගතියක් ලබමින් සිටියි.

[පාදසටහන]

^ 3 ඡේ. මෑතකදී මුද්‍රණය කළ පොත්වලට කඩදාසියෙන් නිමවූ පිට කවරයක් ඇත. රතු පැහැති කවරය දැන් නොමැත.