Skip to content

පටුනට යන්න

න්‍යෂ්ටික යුධ තර්ජනයක් තවමත් තිබේද?

න්‍යෂ්ටික යුධ තර්ජනයක් තවමත් තිබේද?

න්‍යෂ්ටික යුධ තර්ජනයක් තවමත් තිබේද?

ජපානයේ පිබිදෙව්! වාර්තාකරු විසිනි

“හොඳ සිහි බුද්ධියක් ඇති සෑම කෙනෙක්ම න්‍යෂ්ටික යුද්ධයට භය වෙති. තාක්ෂණික අතින් දියුණු සෑම රටක්ම ඒ සඳහා සූදානම් වෙයි. එය මෝඩකමක් බව සෑම කෙනෙක්ම දනිති. නමුත් සෑම ජාතියක්ම එය සාධාරණීකරණය කරමින් ඒ ගැන නිදහසට කරුණුද කියත්.”—තාරකා විද්‍යාඥයෙකු වන කාල් සේගාන්.

වර්ෂ 1945 අගෝස්තු 6වන දා, අමෙරිකානු යුධ ගුවන් යානයක් ජපානයේ හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බයක් හෙළීය. මිනිස් ජීවිත හා දේපළවලට අතිමහත් හානි සිදුවීමට ගත වූයේ නිමේෂයකි. යුද්ධයකදී හෙළනු ලැබූ පළමු පරමාණු බෝම්බය වූයේ එයයි. මෙම පිපිරීමෙන් වැසියන් 3,43,000ක් වාසය කළ නගරයේ වර්ග කිලෝමීටර් 13ක්ම සහමුලින්ම විනාශයට ලක් විණි. නගරයේ ගොඩනැඟිලි තුනෙන් දෙකක්ම මුළුමනින්ම විනාශ වී අවම වශයෙන් 70,000ක් පමණ මරණයට පත් වී 69,000ක් පමණ තුවාල ලැබූහ. ඉන් දවස් තුනකට පසුව දෙවෙනි පරමාණු බෝම්බය නාගසාකි නගරයට හෙළනු ලැබූ අතර 39,000ක් මිය ගොස් 25,000කට තුවාල සිදු විණි. නගරයේ ගොඩනැඟිලිවලින් අඩක් පමණ විනාශ විය. නැතහොත් දරුණු ලෙස හානි සිදු විය. මිනිස් වර්ගයාගේ ඉතිහාසයේ මීට පෙර කිසිදු කලක මෙතරම් ප්‍රබල ආයුධයක් භාවිත කර තිබුණේ නැත. ලෝකය වෙනස් වී තිබිණි. එය න්‍යෂ්ටික යුගයට අවතීර්ණ වී තිබිණි. වසර කිහිපයක් ඇතුළතදී, එක්සත් ජනපදය, කලින් සෝවියට් සංගමය, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ චීනය මීටත් වඩා බොහෝ සෙයින් විනාශකාරී වූ හයිඩ්‍රජන් බෝම්බය තනන්නට විය.

කොමියුනිස්ට් සහ කොමියුනිස්ට් නොවන ජාතීන් අතර පැවති අරගලය වන ශීත යුද්ධයේ ආරම්භයත් සමඟ සුපිරි න්‍යෂ්ටික අවි සහ අවි ප්‍රවාහන පද්ධති තව තවත් දියුණු විය. කිලෝමීටර් 5,600ක් ඈතින් පිහිටි රටවලට පැය ගණනකින් නොව විනාඩි කිහිපයකින් න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කිරීමට හැකි අන්තර් මහාද්වීපික ප්‍රක්ෂේපණ මිසයිල තැනීමත් සමඟ මුළු ලොවම මහත් බියකින් වෙළී ගියේය. න්‍යෂ්ටික මිසයිල පුරවාගත් සබ්මැරීනවලින් ඉලක්ක 192කට පහර දීමට හැකියාවක් තිබිණි. එක්තරා අවදියකදී, න්‍යෂ්ටික යුද අවි ගබඩාවල න්‍යෂ්ටික යුධ මිසයිලවල පිපිරුම් ශීර්ෂ (යුද හිස්) 50,000ක් පමණ තිබූ බව ගණනය කෙරිණි! ශීත යුද්ධ සමයේදී, මිනිස් වර්ගයා සිටියේ, ඇතැම් අය විසින් හඳුන්වනු ලැබූ න්‍යෂ්ටික අර්මගෙදොන් යුද්ධයක අද්දරය. එය නම් කිසිම ජයග්‍රාහකයෙකු නැති යුද්ධයකි.

ශීත යුද්ධයේ නිමාව

එක්දහස් නවසිය සැත්තෑ ගණන්වලදී ශීත යුද්ධයෙන් එල්ල වූ පීඩනය ලිහිල් වූයේ, “යුධෝපක්‍රමික අවි සීමා කිරීමේ පළමුවන සහ දෙවන සාකච්ඡා මගින් ස්ථාපිත කළ ගිවිසුම්” නිසාය. මෙම ගිවිසුම් මගින් “සුපිරි බලවතුන් දෙදෙනා න්‍යෂ්ටික ආයුධ රැගෙන යා හැකි තම ප්‍රතිප්‍රක්ෂේපණ මිසයිලවලටද යුධෝපක්‍රමික මිසයිලවලටද සීමාවන් පැන වූහ” යයි දී එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා පවසයි. අනතුරුව 1980 ගණන්වල අගභාගයේදී ශීත යුද්ධය අඩු වී ගොස් අවසානයේදී නිමා විය.

“ශීත යුද්ධය අවසන් වීමත් සමඟම, එක්සත් ජනපදය හා රුසියාව අතර දිගු කලක් පුරා පැවති අවි තරඟය හා ගැටුම නිමාවකට පත් වෙමින් තිබේය යන බලාපොරොත්තුව ඉහළ නැංවෙමින් තිබිණි” යයි ජාත්‍යන්තර සාමය සඳහා වූ කාර්නෙගි උපපාදනය නමැති ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාවක කියැවේ. න්‍යෂ්ටික නිරායුධකරණ ප්‍රයත්නවල ප්‍රතිඵලයක් වශයෙන්, මෑත වර්ෂවලදී න්‍යෂ්ටික අවි ගබඩාවන් සිය ගණනක් ඉවත් කර දමා ඇත. වර්ෂ 1991දී, සෝවියට් සංගමය සහ එක්සත් ජනපදය ප්‍රහාරාත්මක යුධෝපක්‍රම සීමා කිරීම් සහ අවම කිරීම් පිළිබඳව ගිවිසුමකට අත්සන් තැබූ අතර, මෙය මෙම න්‍යෂ්ටික සුපිරි බලවතුන් දෙදෙනා තම අවි සීමා කිරීමට පමණක් නොව, නමුත් ඉතිහාසයේ පළමු වතාවට යුධෝපක්‍රමික යුධ අවි ගෙන යන යුධ හිස් 6,000ක් බැගින් අවම කිරීමටද සිදු විය. වර්ෂ 2001 අවසානය වන විට, මෙම දෙපාර්ශ්වයම ප්‍රකාශ කළේ ගිවිසුමට අනුවම තමන් යුධෝපක්‍රමික යුධ අවි අවම කළ බවයි. තවදුරටත් 2002දී, මොස්කව් ගිවිසුම මගින් පැමිණෙන වසර දහය තුළදී මිසයිල 1,700 සිට 2,200ක් අතර ප්‍රමාණයක් දක්වා අවම කිරීමටද එකඟ විණි.

එහෙත්, නාට්‍යයේ එවන් ජවනිකා දිගහැරුණද, “න්‍යෂ්ටික යුද්ධයක් පිළිබඳ තර්ජනය සලකා බලන කල මෙය නම් අත් දෙක බැඳගෙන බලා සිටීමට කාලයක් නොවේ” යයි එක්සත් ජාතීන්ගේ මහා ලේකම් කෝෆි අනන් පැවසීය. ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ මෙසේයි. “න්‍යෂ්ටික ගැටුම තවමත් සැබෑ යථාර්ථයකි. විසිඑක්වන සියවසේ මුල් භාගයේදී මෙවැන්නක් සිදුවීමට ඇති හැකියාව ගැන සිතද්දී එය බියගන්වනසුලුය.” හිරෝෂිමා සහ නාගසාකි නගරවල සිදු වූ දේට වඩා භයානක වූද දරුණු වූද න්‍යෂ්ටික ව්‍යසනයක් සිදු වෙන බවට තර්ජනයක් අපගේ කාලයේදී තිබීම කනස්සල්ලට හේතුවකි. මෙම තර්ජනය කරන්නේ කවුරුන් විසින්ද? ඊටත් වඩා වැදගත් දේ නම් එය වැළැක්විය හැකිදැයි යන්නය.