Skip to content

පටුනට යන්න

න්‍යෂ්ටික යුද්ධයක් වැළැක්විය හැකිද?

න්‍යෂ්ටික යුද්ධයක් වැළැක්විය හැකිද?

න්‍යෂ්ටික යුද්ධයක් වැළැක්විය හැකිද?

“ඔවුහු කිසිවෙකු විසින් භයගන්වනු නොලැබ කෑම කා නිදාගන්නෝය.”—ශෙපනියා 3:13.

සෑම කෙනෙක්ම න්‍යෂ්ටික තර්ජනයකින් තොර වූ ලෝකයක් දෙස ඉතා ආශාවෙන් බලා සිටිති. කෙසේවෙතත්, මේ ලෝකයේ යථාර්ථය දෙස බලන කල, බොහෝදෙනෙකුට තිබෙන්නේ අශුභවාදී මතයකි. “න්‍යෂ්ටික අවි පාලනය කිරීමේ, අවම කිරීමේ සහ අවසානයේදී සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ අදහස එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ න්‍යාය පත්‍රයෙන් ඉවතට විසි වී ගොස් තිබේ,” යයි ගාර්ඩියන් වීක්ලි නමැති පුවත්පත පවසයි.

එහෙත්, මේ සම්බන්ධයෙන් යම් රටවල් විසින් ගන්නා ලද ප්‍රයත්නවලට අවධානය යොමු කළ යුතු වේ. නිදසුනක් වශයෙන්, එක්සත් ජනපදය පමණක් අමෙරිකානු ඩොලර් බිලියන 2.2ක් න්‍යෂ්ටික යුද්ධ වැළැක්වීම සඳහා එක් වසරකදී වැය කළ බව ගණන් බලා තිබේ. මෙය සුළු මුදලක් නොවන බව පැහැදිලිය. එහෙත්, එම රටම එක් වසරක් තුළදී න්‍යෂ්ටික යුද්ධයකට සූදානම් වීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 27ක් වැය කිරීම බොහෝදෙනෙකුගේ කලකිරීමට හේතු වී ඇත.

සාම ගිවිසුම් ගැන කුමක් කිව හැකිද? එවන් ප්‍රයත්න ගැන යම් බලාපොරොත්තුවක් තබන්නට පුළුවන්ද?

න්‍යෂ්ටික අවිවලින් ගිවිසුම් පාලනය වේ

න්‍යෂ්ටික බෝම්බය හඳුන්වා දුන්නායින් පසුව, න්‍යෂ්ටික අවි පාලනය කිරීමේ හෝ සීමා කිරීමේ අටියෙන් සැලසුම් කරන ලද ගිවිසුම් ගණනාවක් ඇති කරගනු ලැබ තිබේ. මේවා අතර, න්‍යෂ්ටික අවි ව්‍යාප්ත වීම වැළැක්වීමේ ගිවිසුම (NPT), යුධෝපක්‍රමික අවි සීමා කරන සාකච්ඡා, යුධෝපක්‍රමික අවි අවම කිරීමේ සාකච්ඡා, න්‍යෂ්ටික අත්හදා බැලීම් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමේ ගිවිසුම යන ගිවිසුම් වෙයි. න්‍යෂ්ටික තර්ජනය මුලිනුපුටා දැමීමෙහිලා මේවා ඵලදායී වී නැද්ද?

ඕනෑම ගිවිසුමක් රඳා පවතින්නේ ඊට සම්බන්ධ වන රටවල් අතර ඇති වන අන්‍යෝන්‍ය පොරොන්දුවක් මතයි. නිදසුනක් වශයෙන්, න්‍යෂ්ටික අවි ව්‍යාප්ත වීම වැළැක්වීමේ ගිවිසුමට 1970දී අත්සන් තබන ලද අතර, 2000 දෙසැම්බර් මාසය වන විට ඊට සාමාජිකයන් 187දෙනෙක් බැඳී සිටිති. එහි සාර්ථකත්වය රඳා පවතින්නේ ඊට අත්සන් තැබූ න්‍යෂ්ටික සහ න්‍යෂ්ටික නොවන රටවල් අතර ඇති හොඳ හිත මතයි. න්‍යෂ්ටික නොවන රටවල් න්‍යෂ්ටික අවි දියුණු කිරීමට හෝ ලබාගැනීම එම ගිවිසුම මගින් තහනම් කරන අතරේදී, න්‍යෂ්ටික රටවල් තම න්‍යෂ්ටික අවි මුලිනුපුටා දැමීමට උත්සාහ ගැනීමද ඉන් අවශ්‍ය කෙරේ. මෙය ඵලදායී වී තිබේද? “NPT ගිවිසුම අංග සම්පූර්ණ එකක් නොවුණද, එය සාමාන්‍ය න්‍යෂ්ටික තාක්ෂණය හා පහසුකම් වෙනත් අරමුණුවලට යොදාගැනීම වැළැක්වීමට ප්‍රබල ලෙස දායක වී ඇත” යනුවෙන් “න්‍යෂ්ටික ආයුධ ගැන බොහෝවිට අසනු ලබන ප්‍රශ්න” නම් වූ ලේඛනයේ කැරී සබ්ලෙට් පැහැදිලි කරයි.

ගිවිසුම්වලින් යම් සාර්ථකත්වයක් ඇති වී තිබුණද, “ඇතැම් අවස්ථාවලදී රටවල් කිහිපයක් විසින් මෙම ආයුධ ලබාගැනීමට තැත් කිරීම හා ඇතැම් අවස්ථාවලදී සැබවින්ම ලබාගැනීම වළක්වා නැත,” යයි සබ්ලෙට් පවසයි. කෙසේවෙතත්, එවන් දෙයක් කිරීමට හැකි වී තිබෙන්නේ න්‍යෂ්ටික අවි ව්‍යාප්ත වීම වැළැක්වීමේ ගිවිසුමෙන් පිටත යම් පහසුකම්වල න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමේ හෝ ලබාගැනීමේ යම් වැඩසටහන් රහසේ කරගෙන යෑමෙනි. ඕනෑම ගිවිසුමක සාර්ථකත්වය රඳා පවතින්නේ ඊට අදාළ පාර්ශ්වයන් එකිනෙකා කෙරෙහි දක්වන විශ්වාසවන්තභාවය මතයි. මිනිසුන්ගේ පොරොන්දු අපට නිකම්ම පිළිගත හැකිද? මිනිස් ඉතිහාසයේ සැබෑ යථාර්ථය දෙස බලන කල, එම ප්‍රශ්නයට පිළිතුර පැහැදිලිය.

එසේනම්, අපට බලාපොරොත්තුවක් තිබෙන්නේ කොහේද?

අලුත් විදිහකින් සිතීම

වර්ෂ 2001 දෙසැම්බර් මස නොබෙල් ත්‍යාගලාභී 110දෙනෙකු පමණ එකඟ වූ සහ අත්සන් තැබූ යම් ප්‍රකාශයක මෙසේ දැක්වේ. “අනාගතය සඳහා තිබෙන එකම බලාපොරොත්තුව රඳා පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදය මගින් නීත්‍යනුකූලව ස්ථාපිත කළාවූ ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයකිනි. . . . අප වෙනස් කර ඇති ලෝකයෙන් බේරී ජීවත් වීමට නම්, අප අලුත් විදිහකින් සිතිය යුතුය.” එහෙත්, අවශ්‍ය වන්නේ කුමනාකාරයක ‘අලුත් විදිහක්ද?’ තම න්‍යෂ්ටික ආයුධ සමඟින් ලෝක සාමයට තර්ජන එල්ල කරන අය තමන්ගේ න්‍යෂ්ටික ආයුධ අතැතිව අලුත් විදිහකට සිතන්නට ඉගෙනගනීවි කියලා විශ්වාස කිරීමට සාධාරණ පදනමක් ඇද්ද?

බයිබලය අපට මෙසේ අවවාද කරයි. “අධිපතීන් කෙරෙහිවත් පිහිටවිය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබව්.” (ගීතාවලිය 146:3) විශ්වාසය තබන්නට නොහැක්කේ මන්ද? බයිබලය දෙන පිළිතුර මෙයයි. ‘මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැත. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත.’ (යෙරෙමියා 10:23) එසේය, මූලිකම හේතුව නම්, සාමය පවත්වාගනිමින් පොළොව පාලනය කිරීමේ හැකියාවක් මිනිසුන් සතුව නොතිබීමයි. බයිබලයේ සඳහන් පරිදි, “මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩු කරන කාලයක් තිබේ.”—දේශනාකාරයා 8:9.

පොළොව පාලනය කිරීමට මිනිසුන්ට හැකියාව නැත්නම්, හැකියාව තිබෙන්නේ කාටද? බයිබලය පොරොන්දු වන්නේ විශ්වාසදායක සහ හැකියාවන්ගෙන් පූර්ණ ආණ්ඩුවකින් සාමය උදා වන බවයි. මෙම පාලන ක්‍රමය බයිබලයේ සඳහන් වී තිබෙන්නේ දෙවිගේ රාජ්‍යය ලෙසටයි. මිලියන ගණනක් ස්වාමීන්ගේ යාච්ඤාව කියන විට, නොදැනුවත්වම වාගේ ඒ ආණ්ඩුව පතා යාච්ඤා කර ඇත. “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, . . . ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” යනු එම යාච්ඤාවේ කොටසකි. (මතෙව් 6:9, 10NW) මෙම රාජ්‍යයේ රජ හැටියට ක්‍රියා කරන්නේ සාමයේ කුමාරයා වන යේසුස් ක්‍රිස්තුස්ය. ඔහුගේ පාලනය ගැන සඳහන් කරමින් බයිබලය පවසන්නේ මෙයයි. “ඔහුගේ ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය.”—යෙසායා 9:6, 7.

“අධිපතීන්” හෙවත් දේශපාලනඥයන් සහ මිනිස් ආණ්ඩු මෙම අලුත් විදිහකට සිතීමට ඉගෙනගත්තේ නැතත්, ඔබට ඉගෙනගත හැකියි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් නොමිලේ පවත්වන බයිබල් පාඩම් මාර්ගයෙන් බයිබලය තුළින් ඉදිරිපත් කෙරෙන බලාපොරොත්තුව වැලඳගැනීමට මිලියන ගණනකට උපකාර කොට ඇත. තවත් තොරතුරු ලබාගැනීමට කැමති නම්, මෙම සඟරාවේ ප්‍රකාශකයන්ව අමතන්න. නැත්නම් ඔබගේ පළාතේ තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවක් වෙත යෑමට ඔබට හැකියි.

[8, 9වන පිටුවේ පින්තූරය]

දෙවිගේ රාජ්‍ය පාලනය යටතේ, ලෝකය න්‍යෂ්ටික තර්ජනයකින් තොර තැනක් බවට පත් වනු ඇත