Skip to content

පටුනට යන්න

දෙවි අපට දුක් විඳින්න ඉඩහරින්නේ ඇයි?

දෙවි අපට දුක් විඳින්න ඉඩහරින්නේ ඇයි?

යෞවන අය අසති . . .

දෙවි අපට දුක් විඳින්න ඉඩහරින්නේ ඇයි?

“දෙවියන් කිසි ප්‍රශ්නයක් නැතුව ස්වර්ගයේ හොඳට ඉන්නවා. අපි මෙහෙ ඉඳන් දුක් විඳිනවා.”—මේරි. *

අද යෞවනයන් උපත ලබා තිබෙන්නේ කෲර ලෝකයකටයි. දරුණු භූමිකම්පා සහ ස්වාභාවික විපත්වලින් ජීවිත දහස් ගණන් සැණින් බිලිගැනීම අද සාමාන්‍ය දෙයක් වෙලා. ප්‍රවෘත්තිවල අහන්න දකින්න තිබෙන්නේ යුද්ධ සහ ත්‍රස්ත ප්‍රහාරයන් ගැනයි. අසනීප, ලෙඩ රෝග, අපරාධ සහ අනතුරු අප ආදරය කරන අයව අපෙන් උදුරාගන්නවා. ලිපිය ආරම්භයේ සඳහන් කර තිබෙන මේරිට ඉතාම සමීප වූ කෙනෙක් අහිමි වුණා. එම වදන් ඇය පැවසුවේ ඇගේ පියා මිය ගියාට පසුව ඇගේ හදවතට දැනුණ දරාගත නොහැකි වේදනාවෙන් යුතුවයි.

අප පෞද්ගලිකව යම් විපතකට මුහුණ දෙන විට මිනිසුන් හැටියට පරාජිත හැඟීමක්, තනිකමක් හෝ සමහරවිට කෝපයක් පවා දැනීම සාමාන්‍ය දෙයක්. ‘ඇයි මෙහෙම වුණේ?’ ‘ඇයි මටම මේක වුණේ?’ නැතහොත් ‘ඇයි දැන්ම මට මේකට මුහුණ දෙන්න වුණේ?’ වැනි ප්‍රශ්න ඔබේ සිතට නැඟෙනවා ඇති. එවැනි ප්‍රශ්නවලට සෑහීමට පත් විය හැකි පිළිතුරු අවශ්‍යයි. හැබැයි නිවැරදි පිළිතුරු ලබාගැනීමට නම් අප නිවැරදි තැනට යා යුතුයි. ටරල් නමැති යෞවනයා කියූ දේ පිළිගත හැකියි. ඔහු පැවසුවේ මිනිසුන් සමහර අවස්ථාවල “කොතරම් දුක් වෙනවාද කිව්වොත් තමන් කළ යුත්තේ මොකක්ද කියලවත් ඔවුන්ට හරියට කල්පනා කරන්න බැහැ” කියායි. ඒ නිසා තර්කානුකූලව සහ සාධාරණව සිතීමට හැකි වන ලෙස ඔබේ හැඟීම් යම් දුරකට සන්සුන් කරගැනීමට ක්‍රමයක් සොයාගත යුතුයි.

අමිහිරි තත්වයන්ට මුහුණ දීම

අප සිතන්න අකමැති වුණත් මරණය සහ දුක් විඳීම ජීවිතයේ යථාර්ථයක්. යෝබ් එය මැනවින් ප්‍රකාශ කර තිබෙනවා. “ස්ත්‍රියගෙන් උපන් මනුෂ්‍යයා ස්වල්ප දවසක් පවතින්නාවූ කරදරයෙන් පූර්ණ වූ කෙනෙක්ය.”—යෝබ් 14:1.

“ධර්මිෂ්ඨකම වාසය කරන” අලුත් ලෝකයක් ගැන බයිබලය පොරොන්දු කරනවා. (2 පේතෘස් 3:13; එළිදරව් 21:3, 4) කෙසේවෙතත්, එම යහපත් තත්වය ඇතිවීමට පෙර මිනිස් වර්ගයා පෙර නොවූ විරූ ආකාරයේ දුෂ්ටකම් පවතින කාලයකට මුහුණ දිය යුතුයි. “අන්තිම දවස්වලදී කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලවල් පැමිණෙන බව දැනගන්න” කියා බයිබලයේ සඳහන් වෙනවා.—2 තිමෝති 3:1NW.

මෙම දුෂ්කර කාලය කොතරම් කාලයක් පවතියිද? යේසුස්ගේ ගෝලයන්ද මේ හා සමානම ප්‍රශ්නයක් ඇසුවා. නමුත් දුක්ඛිතභාවයෙන් පිරුණු මෙම ක්‍රමය අවසන් වන්නේ කවදාද කියා යේසුස් ඔවුන්ට විශේෂිත දිනයක් හෝ පැයක් ගැන කිව්වේ නැහැ. ඒ වෙනුවට යේසුස් මෙසේ පැවසුවා. “ගලවාගනු ලබන්නේ අවසානය දක්වා විඳදරාගන්නා තැනැත්තාවය.” (මතෙව් 24:3, 13NW) කාරණා දෙස දූරදර්ශීව බැලීමට යේසුස්ගේ වචන තුළින් අපට දිරිගැන්වීමක් ලැබෙනවා. අවසානය පැමිණීමට පෙර බොහෝ අමිහිරි අද්දැකීම් විඳදරාගැනීමට අප සූදානම්ව සිටිය යුතුයි.

දොස් කියන්න ඕනේ දෙවිටද?

එහෙමනම්, දෙවි දුක් වේදනා පැවතීමට ඉඩ දෙන නිසා ඔහුට දොස් පැවරීම සාධාරණද? ඇත්තෙන්ම නැහැ. දෙවි සියලුම දුක් වේදනා නැති කර දමන බවට දී තිබෙන පොරොන්දුව ගැන ඔබ සලකා බලන විට එය සාධාරණ නැති බව ඔබට පෙනේවී. නරක දේවල් සිදු කරන්නේ දෙවියි කියා නිගමනය කිරීමත් සාධාරණ නැහැ. බොහෝ දුක්ඛිත දේවලට හේතුව අහඹු සිදුවීම්. මේ උදාහරණය ගැන මොහොතකට හිතන්න. තද සුළඟක් හමන අතර ඒ සුළඟට ගහක් කඩා වැටී පුද්ගලයෙකුට තුවාල වෙනවා. මෙය දෙවිගේ වැඩක් කියා මනුෂ්‍යයන් කියන්න පුළුවන්. නමුත් එම ගස වැටීමට සැලැස්සුවේ දෙවි නෙවෙයි. එවැනි දේවල් “කාලයත් හදිසි කාරණාත්” නිසා සිදු වන ඛේදවාචකයන් කියා තේරුම්ගැනීමට බයිබලය අපට උපකාර කරනවා.—දේශනාකාරයා 9:11.

හරි අවබෝධය සහ සිහිකල්පනාව නැතිකමත් දුක් විඳින්න හේතුවක්. තරුණයෝ පිරිසක් මත්පැන් පානය කර පසුව රථයක් පදවාගෙන යනවා නම් දරුණු අනතුරක් සිදු විය හැකියි. දොස් කියන්න ඕනේ කාටද? දෙවිටද? ඇත්තෙන්ම නැහැ. සිහිකල්පනාවෙන් කටයුතු නොකිරීමේ ප්‍රතිඵල ඔවුන් නෙළාගත්තා.—ගලාති 6:7.

‘ඒත් දැන්ම දුක් වේදනා නැති කිරීමට දෙවිට බලයක් නැද්ද?’ කියා ඔබ කල්පනා කරනවා ඇති. බයිබල් කාලයේ සිටි සමහර විශ්වාසවන්ත පුරුෂයන්ද එසේ කල්පනා කළා. ප්‍රොපේත හබක්කුක් දෙවිගෙන් මෙසේ ඇසුවා. ‘ඔබ ද්‍රෝහීන් දෙස බලා සිටින්නෙත්, දුෂ්ටයා තමාට වඩා ධර්මිෂ්ඨ තැනැත්තා නාස්ති කරන කල ඔබ නිශ්ශබ්දව සිටින්නෙත් ඇයි?’ නමුත් හබක්කුක් ඉක්මන් නිගමනවලට එළඹුණේ නැහැ. ඔහු පැවසුවේ, ‘දෙවි මට කියන්නේ මොනවාද කියා බලා සිටින්නෙමි.’ ‘නියම කාලයේදී’ තමා දුක් වේදනා නැති කර දමනවා කියා දෙවි ඔහුට පසුව සහතික කළා. (හබක්කුක් 1:13; 2:1-3) අපත් ඉවසීමෙන් දෙවි තම නියමිත කාලයේදී දුෂ්ටකම අවසන් කරන තුරු බලා සිටිය යුතුයි.

දෙවිට ඕනේ අප දුක් විඳිනවා දකින්න කියා හෝ ඔහු අපව පෞද්ගලිකව සෝදිසි කරනවා කියා හෝ නිගමනය කිරීමට ඉක්මන් වෙන්න එපා. දුක් වේදනා අද්දකින විට අප තුළ තිබෙන හොඳ ගුණාංග ඉස්මතු වෙන බව ඇත්තයි. ඒ වගේම දෙවි සිදුවීමට ඉඩහරින පීඩාවන් තුළින් අපගේ ඇදහිල්ල ශක්තිමත් වෙන බවත් බයිබලයේ පවසා තිබෙනවා. (හෙබ්‍රෙව් 5:8; 1 පේතෘස් 1:7) ඇත්තෙන්ම පීඩාකාරී හෝ කම්පිත කරවන සිදුවීම් අද්දකින හුඟදෙනෙකු වඩාත් ඉවසිලිවන්ත, දයානුකම්පිත අය බවට පත් වෙනවා. නමුත් ඒ අය දුක් විඳින්නේ දෙවි දුක් පමුණුවන නිසයි කියා නිගමනය කිරීම සුදුසු නැහැ. අප එසේ සිතනවා නම් දෙවිගේ ප්‍රේමය සහ ප්‍රඥාව අප සැලකිල්ලට ගෙන නැති බව ඔප්පු වෙනවා. බයිබලයේ පැහැදිලිව මෙසේ පවසනවා. “පරීක්ෂා කරනු ලබද්දී, ‘දෙවි විසින් මාව පරීක්ෂා කරනු ලබන්නේය’ යි කිසිවෙක් නොකියාවා! මන්ද, නපුරු දෙයින් දෙවිව පරීක්ෂා කළ නොහැක. ඔහුද නපුරු දෙයින් කිසිවෙකුව පරීක්ෂා කරන්නේ නැත.” එයට වෙනස්ව “සෑම යහපත් දීමනාවක්ම හා සෑම සම්පූර්ණ ත්‍යාගයක්ම පැමිණෙන්නේ” දෙවිගෙන්!—යාකොබ් 1:13, 17NW.

නපුරට දෙවි ඉඩ දීමට හේතුව

එසේනම් නපුර පැමිණෙන්නේ කොහෙන්ද? දෙවිට විරුද්ධකාරයන් ඉන්නවා කියන එක මතක තියාගන්න. ඔවුන්ගේ ප්‍රධානියා වන්නේ ‘ මුළු පොළොවම නොමඟ යවන යක්ෂයා කියාද හඳුන්වන සාතන්ය.’ (එළිදරව් 12:9NW) දෙවි අපගේ මුල් දෙමාපියන් වන ආදම් සහ ඒවව පදිංචි කළේ කරදරවලින් තොර ලෝකයකයි. එහෙත් සාතන් ඒවට ඒත්තුගැන්නුවේ දෙවිගේ පාලනය නොමැතිව ඇයට යහපතක් උදා වේවි කියායි. (උත්පත්ති 3:1-5) කනගාටුදායක ලෙස ඒව සාතන්ගේ බොරුවට රැවටී දෙවිට අකීකරු වුණා. මෙම කැරැල්ලට ආදම්ද ඇයත් සමඟ හවුල් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් “මරණය සියලුදෙනා කෙරෙහි පැතිර ගියේය” කියා බයිබලයේ සඳහන් වෙනවා.—රෝම 5:12NW.

සාතන් සහ ඔහුගේ අනුගාමිකයන්ව විගස විනාශ කර, ඒ මොහොතේම ප්‍රශ්නය විසඳන්නේ නැතුව ටික කාලයක් බලා සිටීම සුදුසුයි කියා දෙවි තීරණය කළා. එයින් ඉටු වනු ඇත්තේ කුමක්ද? එක් දෙයක් නම්, සාතන් බොරුකාරයෙක් කියා ඔප්පු කිරීමට හැකි වේවි! ඒ වගේම දෙවිගෙන් ඈත් වී ස්වාධීනව කටයුතු කිරීමෙන් විනාශය මිස වෙන කිසිවක් අත් වන්නේ නැති බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ලැබේවි. ඇත්තවශයෙන්ම සිදු වී තිබෙන්නේ එය නොවේද? “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලයට යටත්” වී සිටිනවා. (1 යොහන් 5:19NW) ඊට අමතරව “මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩු කර” තිබෙනවා. (දේශනාකාරයා 8:9) මිනිසාගේ ආගම් පරස්පර විරෝධී ඉගැන්වීම් ඇති අවුල් ජාලයක් වගේයි. සදාචාරය පෙර කවරදාකටත් වඩා පහත වැටිලා. මිනිස් ආණ්ඩු සියලු ආකාරයේ ආණ්ඩු ක්‍රම අත්හදා බලා තිබෙනවා. ඔවුන් ගිවිසුම්වලට අත්සන් තබනවා. අලුත් නීති ක්‍රියාත්මක කරනවා. ඒ මොනවා කළත් පොදු ජනයාගේ අවශ්‍යතා අද වන තුරුත් ඉෂ්ට වී නැහැ. යුද්ධ, මෙම දුක්ඛිත තත්වය තවත් වැඩිවීමට හේතුවක් වෙලා තියෙනවා.

දෙවි මැදිහත් වී දුෂ්ටකම නැති කළ යුතු බව පැහැදිලියි! නමුත් මෙය සිදු වන්නේ දෙවිගේ නියමිත කාලයේදීයි. එතෙක් බයිබලයේ තිබෙන දෙවිගේ නීති සහ ප්‍රතිපත්තිවලට කීකරු වෙමින් ඔහුගේ පාලනයට සහය දීම අපට ලැබී තිබෙන අනගි වරප්‍රසාදයක්. අප්‍රසන්න දෙයක් සිදු වන විට කරදරවලින් තොර ලොවක ජීවිතය පිළිබඳ නිසැක බලාපොරොත්තුවෙන් සහනයක් ලබාගන්න අපට පුළුවන්.

තනි වී නැහැ

එසේ වුවත් අප පෞද්ගලිකව යම් වේදනාවක් අද්දකින විට ‘ඇයි මටම මේ දේවල් වෙන්නේ?’ කියා අප අසනවා ඇති. දුක් පීඩා අද්දකින විට අප තනි වී නැහැයි කියා ප්‍රේරිත පාවුල් අපට සිහිගන්වනවා. “මුළු මැවිල්ලම, මේ දක්වා එක්ව කෙඳිරිගාමින්ද වේදනා විඳිමින්ද සිටිනවා” කියා පාවුල් පවසනවා. (රෝම 8:22NW) මේ කාරණය තේරුම්ගැනීමෙන් දුක් පීඩා දරාගැනීමට සහ ඊට මුහුණ දීමට ඔබට යම් උපකාරයක් ලැබෙයි. උදාහරණයක් හැටියට, 2001 සැප්තැම්බර් 11වෙනි දා නිව් යෝක් සහ වොෂිංටන් ඩී.සී.වල සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා නිකොල් මානසික කම්පනයකට ලක් වුණා. “මම පුදුම විදිහට භය වුණා” කියා ඇය පවසනවා. නමුත් ඇය අනෙකුත් ක්‍රිස්තියානීන් එම දුක්මුසු තත්වය සමඟ කටයුතු කළ ආකාරය සම්බන්ධ වාර්තා කියෙවූ පසු ඇගේ ආකල්පය වෙනස් වුණා. * “මට තේරුණා මම කොහෙත්ම තනි වී නැහැ කියලා. ටිකෙන් ටික මගේ වේදනාව සහ දුක තුනී වී ගියා.”

සමහර අවස්ථාවලදී දෙමාපියෙක්, මේරූ මිතුරෙක් හෝ ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් වැනි ඔබේ අදහස් ප්‍රකාශ කිරීමට කැමති කෙනෙකු සමඟ කතා කිරීම සුදුසු විය හැකියි. ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබේ හදවතේ හැඟීම් පිට කිරීමෙන් දිරිගැන්වීමේ ‘කාරුණික වචනයක්’ ඔබට ඇසීමට හැකි වේවි. (හිතෝපදේශ 12:25) බ්‍රසීලයේ ක්‍රිස්තියානි යෞවනයෙක් මෙසේ සිහිපත් කරනවා. “අවුරුදු නවයකට කලින් මගේ තාත්තා මැරුණා. මම දන්නවා යෙහෝවා කවදාහරි දවසක ඔහුව නැවත නැඟිටුවයි කියලා. මට උපකාරවත් වූ එක දෙයක් තිබුණා. ඒ තමයි මගේ හැඟීම් ලිවීම. ඒ වගේම මම මගේ හැඟීම් ගැන මගේ ක්‍රිස්තියානි මිතුරන්ට පැවසුවා.” විශ්වාසයෙන් යමක් පැවසිය හැකි ‘අවංක මිතුරන්’ ඔබට සිටිනවාද? (හිතෝපදේශ 17:17NW) සිටිනවා නම් ඔවුන්ගේ ප්‍රේමනීය උපකාරයෙන් ප්‍රයෝජන ගන්න! අඬන්න, ඔබේ හැඟීම් පිට කරන්න ලැජ්ජ වෙන්න එපා. තම මිතුරාගේ වියෝවය නිසා යේසුස් පවා ‘ඇඬුවා!’—යොහන් 11:35.

අනාගතයේදී අප “දිරාපත් වීමේ වහල්කමින් නිදහස් වී දෙවිගේ දරුවන්ට හිමි තේජවත් නිදහස ලබන” බව බයිබලයේ අපට සහතික කරනවා. (රෝම 8:21NW) එතෙක් බොහෝ යහපත් මිනිස්සු දුක් විඳීවි. එවැනි දුක් වේදනා සිදුවීමට හේතුව සහ සදාකාලයටම එය පවතින්නේ නැති බව දැනගැනීමෙන් සහනයක් ලබාගන්න.

[පාදසටහන]

^ 3 ඡේ. සමහර නම් වෙනස් කර තිබෙනවා.

^ 20 ඡේ.මහා විපතක් මැද දිරිය ගත්තෝ” නමැති 2002 ජනවාරි 8 පිබිදෙව්! කලාපයේ ලිපි මාලාව බලන්න.

[14වන පිටුවේ පින්තූරය]

ඔබේ දුක ප්‍රකාශ කිරීම සහනයක් විය හැකියි