Skip to content

පටුනට යන්න

කඳු මුදුනේ පය ගසා සිටින මෙතුසෙලා

කඳු මුදුනේ පය ගසා සිටින මෙතුසෙලා

කඳු මුදුනේ පය ගසා සිටින මෙතුසෙලා

ලෝකයේ වයස්ගතම ගස විය හැකියි කියා සිතන ගසෙහි වාස භූමිය වන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 10,000ක් පමණ උසකින් පිහිටි අමෙරිකාවේ බටහිර දෙසට තිබෙන වයිට් කඳු මුදුන්. බ්‍රිස්ට්ල්කෝන් පයින් ගසක් වන එම ගස මෙතුසෙලා ගස සහ “මහල්ලා” ලෙසින්ද හඳුන්වනු ලබනවා. මෙතුසෙලා * ගස් රොද ලෙසින් හඳුන්වන ඉපැරණි බ්‍රිස්ට්ල්කෝන් පයින් ගස් අතුරින් වැඩිමහල්ම සාමාජිකයාගේ නම මෙතුසෙලායි. එය අවුරුදු 4,700කට වඩා පැරණි බව තක්සේරු කර තිබෙනවා.

මෙම ගස් කටුක දේශගුණයට හොඳින් ඔරොත්තු දෙනවා. “අවුරුද්දකට ලැබෙන අවම වර්ෂාපතනය සෙන්ටිමීටර 30ටත් වඩා අඩුයි. එයිනුත් වැඩි හරියක් පතිත වන්නේ හිම ආකාරයෙනුයි. ඒ නිසා තිබෙන්නේ අල්ප තෙතමනයක්. ඒ වගේම විශේෂිත පෝෂණ ගුණයක් නැති හුණුගල් විශේෂයක් වන ඩොලමයිට් මතයි මෙම ගස් වැවෙන්නේ.” ඊට අමතරව “උෂ්ණත්වයද දැඩි ලෙස ඉහළ යන අතර සුළං හමන්නේ ඉතාමත් රෞද්‍ර ලෙසයි” කියා නිව් සයන්ටිස්ට් සඟරාවෙහි වාර්තාවක සඳහන් වෙනවා.

එනමුත් ගසේ දීර්ඝ ආයු කාලයට හේතුවත් මෙම තත්වයන්මයි. “ඉතා වියළි තත්වයක් තිබෙන නිසා එය වයිරස් සහ බැක්ටීරියාවන්ගේ පැවැත්මට බාධාවක්. [බ්‍රිස්ට්ල්කෝන් පයින්] ගසේ ලීය ගනකම් නිසාත් එහි තිබෙන මැලියම් නිසාත් පළිබෝධකයන්ට ඇතුළට පසාරු කරගෙන යෑමට හැකියාවක් නැහැ. අකුණු වැදීමේ යම් අනතුරක් තිබුණද ගස් එකිනෙකට ප්‍රමාණවත් ඈතකින් පිහිටා තිබෙන නිසා ගින්න නොපැතිරෙන බව” නිව් සයන්ටිස්ට් සඟරාවේ තවදුරටත් පැහැදිලි කර තිබෙනවා.

ගස මුල් ඇද පැලවීමේ කාල සීමාව දින 45යි. එම ගස ඉතා මන්දගාමී ලෙස වර්ධනය වෙමින් තම සීමිත ශක්තිය රැකගන්නවා. කඳෙහි වට ප්‍රමාණය අඟලකින් වැඩිවීමට අවුරුදු සියයක් ගත වෙනවා. එහි පත්‍ර අවුරුදු තිහක් පමණ කාලයක් පවතිනවා. උසම ගස මීටර 18ක් පමණ වෙනවා. පැරණිම පයින් ගස්වලට තව අවුරුදු පන්සියයක් පමණ ජීවත් වීමට හැකියාව තිබිය හැකි බව පර්යේෂකයන් තක්සේරු කර තිබෙනවා.

මිනිස් ආයු කාලය වැඩි කරගැනීමට කැමැත්තක් දක්වන පුද්ගලයන් බ්‍රිස්ට්ල්කෝන් පයින් ගසේ දිගු කල් පැවැත්මට හේතුව කුමක්ද කියා දැනගැනීමේ බලාපොරොත්තුවෙන් ඒ ගැන සෙවීමට මෑත වසරවලදී ඉමහත් උනන්දුවක් දක්වා තිබෙනවා. දිගු ආයු කාලයක් ලබාගැනීමට කළ යුතු මූලික දෙය කුමක්ද කියා ඉතා පහසුවෙන් දැනගන්න පුළුවන්. ඒ සඳහා කඳු මුදුනක තිබෙන ගැට සහිත පැරණි ගසක් ගැන සොයා බැලීමට අවශ්‍ය නැහැ. ලෝකයේ පැරණිතම පොතක් වන බයිබලයෙහි මෙසේ සඳහන් වෙනවා. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3, NW) එම දැනුම සෑම කෙනෙකුටම ලබාගත හැකියි. ඇයි ඔබ ඒ ගැන සොයා බලන්න උත්සාහයක් නොගන්නේ?

[පාදසටහන]

^ 2 ඡේ. නෝවාගේ සීයා වන මෙතුසෙලා අවුරුදු 969ක් ජීවත් වුණා. බයිබලයේ වාර්තා කර තිබෙන අනෙක් පුරුෂයන්ට වඩා වැඩි කාලයක් ජීවත් වී තිබෙන්නේ ඔහුයි.—උත්පත්ති 5:27; ලූක් 3:36, 37.

[20වන පිටුවේ පින්තූරය]

මෙතුසෙලා ගස් රොදක තිබෙන බ්‍රිස්ට්ල්කෝන් පයින් ගසක්