Skip to content

පටුනට යන්න

නරක පුරුදු අත්හැරිය හැකිද?

නරක පුරුදු අත්හැරිය හැකිද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

නරක පුරුදු අත්හැරිය හැකිද?

කර්තෘවරයෙකු වූ මාර්ක් ට්වේන් එක් අවස්ථාවකදී උපහාසාත්මකව මෙසේ පැවසුවේය. “දුම්පානය නතර කිරීම හරිම ලේසි දෙයක්. මම දහස් වාරයක්ම ඒක නතර කරලා තියෙන හින්දා මං ඒක දන්නවා.” ට්වේන්ගේ එම ප්‍රකාශයට බොහෝදෙනෙකු එකඟ වන බව නිසැකය. ඇතැම් පුරුදු වැරදි මෙන්ම හානිදායක බව ඔවුන්ට හොඳින් වැටහෙන නමුත් ඒවා එපා කර, ඒවා අත්හැරීම කියන තරම් පහසු දෙයක් නොවන බවද ඔවුන් දන්නා කරුණකි. පුරුදුවලට ඇබ්බැහි වීමෙන් පසුව යම් කාලයක් ගෙවී යද්දී ඒවා ගැඹුරටම කිඳා බැසිය හැකි අතර ඒවා වෙනස් කිරීමට කෙතරම් වෑයමක් දැරුවත් එය අතිශයින් දුෂ්කර කාර්යයක් විය හැක. එවැනි ආශාවන් පාලනය කිරීමට දරන වෑයම වෙහෙසකර මෙන්ම වේදනාකාරීද විය හැකිය.

වරදකරුවන් බොහෝවිට කියා සිටින්නේ, තමන්ගේ නරක සිතුවිලිවලින් හා පහත් ආශාවන්වලින් ගොඩ ඒමට නොහැකි සේම තමන් ඊට වහල් වී සිටින බවයයි බන්ධනාගාරයක සේවය කරන කාය වෛද්‍යවරයෙකු වූ වෛද්‍ය ඇන්තනි ඩැනියෙල්ස් පවසයි. කෙනෙකු යම් දෙයකට ඇබ්බැහි වී සිටින විට “ඔහු නොවැළැක්විය හැකි දරුණු පෙලඹීමකට අසු වී සිටිනවා” යයි ඔවුහු තර්ක කරති. එම හේතු දැක්වීම සැබෑවක් නම් අපේ පෙලඹවීම් අනුව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අප වග කිව යුතු නැත. එහෙත් අප අපේ ඇතුළාන්ත පෙලඹීම් සහ ආශාවන්ට ගොදුරු වී සිටින අසරණයන් බව පැවසීම සැබෑවක්ද? නැතහොත් නරක පුරුදු ඇත්තටම අත්හැරිය හැකිද? විශ්වසනීය පිළිතුරක් ලබාගැනීම සඳහා බයිබලයේ පවසන්නේ කුමක්දැයි අපි බලමු.

ක්‍රියාවට එරෙහිව ආශාව

අපේ ක්‍රියා වෙනුවෙන් අප දෙවිට වග උත්තර බැඳිය යුතු බව බයිබලයේ පැහැදිලිව දක්වයි. (රෝම 14:12) එමෙන්ම ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව අප ජීවත් වීමද ඔහුට ඕනෑ කරයි. (1 පේතෘස් 1:15) ඔහු අපේ මැවුම්කරු බැවින් අපට හොඳම දේ කුමක්දැයි දන්නේ ඔහුය. එමෙන්ම ඔහුගේ ප්‍රතිපත්ති මගින් ඔහු මෙම ලෝකයේ පවතින පොදු පුරුදු බොහොමයක් හෙළාදකියි. (1 කොරින්ති 6:9, 10; ගලාති 5:19-21) කෙසේවුවද, අසම්පූර්ණ මිනිසාගෙන් ඔහු අපේක්ෂා කරන දේ සම්බන්ධයෙන්ද ඔහු යථාර්ථවාදී මෙන්ම දයානුකම්පිතය.—ගීතාවලිය 78:38; 103:13, 14.

ගීතිකාකරු මෙසේ ලීවේය. “යෙහෝවා, ඔබ අයුතුකම් ගණනට ගන්නේ නම්, ස්වාමිනි, කාට සිටින්ට හැක්කේද?” (ගීතාවලිය 130:3) “බාල වයසේ පටන් [මිනිසාගේ] සිතේ කල්පනා නපුරුව” තිබෙන බව යෙහෝවා මැනවින් දනියි. (උත්පත්ති 8:21) අපේ ජන්ම උරුමය, උරුම වී ඇති දුර්වලකම් සහ අතීත අද්දැකීම් නිසා අපේ සියලුම නරක සිතුවිලිවලින් හා ආශාවන්වලින් වැළකීමට අපට නොහැකියි. එබැවින්, යෙහෝවා අපෙන් සම්පූර්ණත්වය බලාපොරොත්තු නොවන්නේ ප්‍රේමණීය ලෙසයි.—ද්විතීය කථාව 10:12; 1 යොහන් 5:3.

කෙසේවුවද, දෙවි මෙසේ සැලකිලිමත් වීමෙන් අදහස් කරන්නේ නැහැ අප නරක ආශාවන් පාලනය කිරීමේ වගකීමෙන් නිදහස් වන බව. නරක ආශාවන්ට එරෙහිව තමන්ටද සටනක් කිරීමට සිදු වූ බව ප්‍රේරිත පාවුල් පිළිගත්තත් ඔහු එම සටන අත්හැරියේ නැත. (රෝම 7:21- 24) “මගේ ශරීරයට දැඩි ලෙස පහර දෙමින්, වහලෙකුව ඇදගෙන යන්නාක් මෙන් එය ඇදගෙන යමි” යි කියා ඔහු පැවසුවේය. කෙතරම් දුරකටද? එසේ ඇදගෙන යන්නේ “මොනයම් හෝ හෙයකින් මා ප්‍රතික්ෂේප කරනු නොලබන” තෙක්ය. (1 කොරින්ති 9:27NW) එසේය, අපේ වැරදි ආශාවන්වලට හා පුරුදුවලට එරෙහිව සටන් කරමින් ඒවායෙන් ජයගැනීමට නම් ආත්ම දමනය අත්‍යවශ්‍යය.

වෙනස් කළ හැකියි

චර්යා විද්‍යාඥයන් පවසන්නේ හොඳ පුරුදු කාලයක් පුරා ඉගෙනගෙන වර්ධනය කරගත හැකි සේම නරක පුරුදුද එලෙසම වර්ධනය කරගත හැකි බවය. එය එසේනම්, නරක පුරුදු අත්හැරීමටද ඉගෙනගත හැක. කෙසේද? “පරණ හැසිරීම් රටාව ඉවත් කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන සිතා බලන්න” කියා මානසික පීඩනය පාලනය කිරීම පිළිබඳ පොතක කර්තෘවරු පවසති. ඉන්පසු, “ඔබේ හැසිරීම වෙනස් කිරීමෙන් ඔබේ ජීවිතය යහපත් අතට හැරවිය හැකි ආකාරය පිළිබඳ ලැයිස්තුවක් සාදන්න.” ඇත්තෙන්ම, අපේ නුසුදුසු හැසිරීම වෙනස් කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන කෙරෙහි සිත යොමු කිරීමෙන් අපව වෙනස් කරගැනීමට පෙලඹීමක් ඇති කරගත හැකියි.

‘අපේ මනස ක්‍රියාත්මක කරන බලයෙන් අලුත්’ වන්න කියා ප්‍රේරිත පාවුල් දෙන උපදෙස සලකා බලන්න. (එෆීස 4:22, 23NW) එම බලය අප තුළ බලපවත්වන ප්‍රධාන මානසික නැඹුරුවාවයි. ඔබ එම බලය අලුත් කරගන්නේ දෙවිට තව තවත් ළංවීමෙන් හා ඔහුගේ ප්‍රමිති සඳහා අගය වර්ධනය කරගැනීමෙන්ය. ඔබ යෙහෝවාව සතුටු කරන බව දැන සිටීම, අවශ්‍ය වෙනස්කම් කිරීමට ඔබට දිරියක් ලබා දේ.—ගීතාවලිය 69: 30-33; හිතෝපදේශ 27:11; කොලොස්සි 1:9, 10, 12ආ.

ඇත්තවශයෙන්ම, වසර ගණනාවක් පුරා අපේ ජීවිත පාලනය කර තිබෙන නරක පුරුදු අපෙන් උදුරා දැමීම අසීරු කාර්යයක් වනු ඇත. එසේ කිරීමට නම් අපට වෑයමක් දැරීමට සිදු වෙනවාය යන කාරණය අපි සුළු කොට නොසිතිය යුතුය. ස්ථිර වශයෙන්ම පසුබෑම් හා අසමත් වීම් තිබෙනු ඇත. එහෙත් කලක් ගත වෙද්දී වෙනස්කම් කිරීම බොහෝවිට පහසු වන බවට නිසැක වන්න. ඔබ දරන වෑයම කෙතරම්ද එපමණටම ඔබේ අලුත් හැසිරීම් රටාවද ඔබේ ජීවිතයේ කොටසක් බවට පත් වනු ඇත.

දෙවිට ප්‍රේම කරන තැනැත්තාට ඔහුගේ උපකාරය හා ආශීර්වාදයද ලැබෙන බවට සහතික විය හැක. “දෙවි විශ්වාසවන්තය. ඔබට දරාගත හැකි තරමට වඩා පරීක්ෂා කරනු ලබන්න ඔහු ඉඩ දෙන්නේ නැත. ඒ වෙනුවට, පරීක්ෂාවත් සමඟම, ඔබට එය විඳදරාගත හැකි වන පිණිස ඔහු ඉන් ගැලවීමට මඟද සලසා දෙන්නේය” යයි පාවුල් පොරොන්දු වේ. (1 කොරින්ති 10:13NW) වැඩි කල් නොගොස් යෙහෝවා දෙවි මෙම පවතින දුෂ්ට ක්‍රමයද, එහි ඇති සියලු පහත් පෙලඹීම් හා ආශාවන්ද විනාශ කරනු ඇත. (2 පේතෘස් 3:9-13; 1 යොහන් 2:16, 17) මෙම විනාශයෙන් ගැලවෙන සියලුම අසම්පූර්ණ මනුෂ්‍යයන්ට ශාරීරික, මානසික හා චිත්තවේගීය පීඩා සියල්ලෙන් සම්පූර්ණයෙන්ම සදාකාලේටම මිදෙන්න හැකියි. “පළමු දේ මතක් කරනු ලබන්නේවත් සිහි වන්නේවත් නැත” කියා දෙවි පොරොන්දු වේ. (යෙසායා 65:17) මෙම “පළමු දේ” අතරෙහි වරදකාරී පෙලඹීම් හා ආශාවන් තිබෙන බවට සැකයක් නැත. නරක පුරුදුවලින් වැළකීම හා ඒවාට එරෙහිව සටන් කිරීම සඳහා අපේ උපරිමය කිරීමට එය ප්‍රබල හේතුවක් නොවේද?

[21වන පිටුවේ කොටුව⁄පින්තූර]

නරක පුරුදු අත්හැරීමට . . .

1. නරක පුරුදු හඳුනාගන්න; ඒවා තිබෙන බව පිළිගන්න. ‘මෙම පුරුද්දෙන් ඇත්තෙන්ම මට වාසියක් තිබේද? එය අන්‍යයන්ට හිරිහැරයක්ද? එය මගේ සෞඛ්‍යයට, මූල්‍යමය තත්වයට, ශුභසිද්ධියට, පවුලට හෝ මනසේ සාමයට බලපායිද? එය නොමැතිව මගේ තත්වය කෙතරම් දුරකට යහපත් වනු ඇද්ද?’ කියා ඔබෙන්ම අසාගන්න.

2. නරක පුරුදු වෙනුවට යහපත් පුරුදු ඇති කරගන්න. උදාහරණයකට ඔබ අන්තර්ජාලය බැලීමට බොහෝ වේලාවක් ගත කරන්නෙහිද? සමහරවිට එහි ඇති යම් අහිතකර දේවල් නැරඹීමට ඔබ බොහෝ කාලයක් ගත කරන්නෙහිද? එසේනම් ඵලදායී යමක් කියවීමට, අධ්‍යයනය කිරීමට හෝ ව්‍යායාම් කිරීමට කාලය වෙන් කරන්න.

3. ඔබේ ප්‍රගතිය මැන බලන්න. ඔබේ ප්‍රගතිය පිළිබඳව සෑම දිනකම විනාඩි කීපයක් මෙනෙහි කරන්න. ඔබ නැවතත් ඊට ඇදී යන බවක් පෙනේ නම්, ඊට හේතු පාදක වූ තත්වයන් නිශ්චය කරගන්න.

4. අන්‍යයන්ගේ උපකාරයද පතන්න. ඔබ මෙම පුරුද්ද අත්හැරීමට වෑයම් කරමින් සිටින බව මිතුරන්ට හා පවුලේ සාමාජිකයන්ට පවසා, ඔබ යළිත් වරක් ඊට ඇදී යෑමට ඉඩ ඇති අවස්ථාවන්හිදී ඔබට එය සිහිපත් කරවන්න කියා ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. එම පුරුද්දෙන් සාර්ථකව ගොඩ ආ අය සමඟ කතා කර බලන්න.—හිතෝපදේශ 11:14.

5. සමබර හා යථාර්ථවාදී වන්න. ක්ෂණික සාර්ථකත්වයක් අපේක්ෂා නොකරන්න. වසර ගණනාවක් පුරා වර්ධනය වූ ඇතැම් පුරුදු ඉවත් කිරීම පහසු දෙයක් නොවේ.

6. දෙවිට යාච්ඤා කරන්න. දෙවිගේ උපකාරයෙන් ඕනෑම නරක පුරුද්දක් අත්හැරිය හැක.—ගීතාවලිය 55:22; ලූක් 18:27.