Skip to content

පටුනට යන්න

අශුභවාදී සිතිවිලි පරාජය කිරීමට ඔබට පුළුවන්

අශුභවාදී සිතිවිලි පරාජය කිරීමට ඔබට පුළුවන්

අශුභවාදී සිතිවිලි පරාජය කිරීමට ඔබට පුළුවන්

ජීවිතයේ ඔබ මුහුණ දෙන අසාර්ථකත්වයන් හෙවත් පසුබැසීම් දෙස ඔබ බලන්නේ කෙසේද? බොහෝ විශාරදයන් දැනට විශ්වාස කරන්නේ, එම ප්‍රශ්නයට දෙන පිළිතුර මගින් ඔබ සර්වශුභවාදී පුද්ගලයෙකුද නැත්නම් අශුභවාදියෙක්ද යන්න බොහෝදුරට කිව හැකි බවයි. අප සැවොම ජීවිතයේ විවිධ දුෂ්කර තත්වයන්ට මුහුණ දෙනවා. අපගෙන් සමහරෙක් වෙනත් අයට වඩා වැඩියෙන් එවන් තත්වයන්ට මුහුණපානවා. එහෙත්, ඇතැම් අය තමන්ගේ දුෂ්කරතාවලින් පරාජය නොවී, තවත් වරක් උත්සාහ කරන්නේ ඇයි? තත්වය එසේ තිබියදී තවත් අය සුළු සුළු දුෂ්කරතා හමුවේ පවා පසුබසින්නේ ඇයි?

හිතන්න, ඔබ රැකියාවක් සොයමින් සිටිනවා කියා. ඔබ සම්මුඛ පරීක්ෂණයකට ගියත් ඉන් සමත් වෙන්නේ නැහැ. මේ සිද්ධියෙන් පසුව ඔබට සිතෙන්නේ කොහොමද? ඔබේ යම් අඩු පාඩුවක් තිබුණු නිසයි ඔබව ප්‍රතික්ෂේප කළේ කියා සිතමින්, ‘මං වගේ කෙනෙක්ව කිසිම කෙනෙක් රස්සාවකට ගන්නේ නැහැ. ඉතින් මට කවදාවක්වත් රස්සාවක් හම්බ වෙන එකක් නැහැ’ කියා ඔබ ඔබටම කියාගන්නවා විය හැකියි. නැත්නම්, එක් සම්මුඛ පරීක්ෂණයකින් අසමත් වීම නිසා, ‘මම නම් කිසිම කමකට නැති කෙනෙක්. කිසි කෙනෙකුට මගෙන් වැඩක් නැහැ’ යන සිතිවිල්ල මගින් ඔබේ මුළු ජීවිතයම පාලනය වීමට ඔබ ඉඩහරිනවා විය හැකියි. මේ සෑම අවස්ථාවකදීම සිතේ ඇති වන සිතිවිලි තමයි සර්වඅශුභවාදයේ අරටු වෙන්නේ.

සර්වඅශුභවාදයට එරෙහිව සටන් වැදීම

මේ සිතිවිලි පරාජය කිරීමට ඔබට හැක්කේ කොහොමද? එවන් ඍණාත්මක සිතිවිලි හඳුනාගැනීමට ඉගෙනගැනීම පළමු වැදගත්ම පියවරයි. ඊළඟ පියවර නම් ඒවාට එරෙහිව සටන් කිරීමයි. ඔබ සම්මුඛ පරීක්ෂණයෙන් අසමත් වීමට තිබිය හැකි වෙනත් සාධාරණ හේතු ගැන විමසා බලන්න. නිදසුනක් වශයෙන්, ඔබ සම්මුඛ පරීක්ෂණයෙන් අසමත් වුණේ කිසිම කෙනෙක් ඔබට රැකියාවක් දෙන්නේ නැති නිසාද? නැත්නම් එම රැකියා ස්ථානයේ ස්වාමියා වෙනත් රැකියා සුදුසුකම් ඇති කෙනෙකුව සොයමින් සිටියා විය හැකිද?

එවන් නිශ්චිත සත්‍ය කරුණු දෙස බලමින් තර්කයට වඩා හැඟීම්වලට ඉඩ දෙන අශුභවාදී සිතිවිලිවලට යට වෙන්න එපා. එක් අයෙක් ඔබව රැකියාවට තෝරාගත්තේ නැහැ කියන්නේ වෙනත් කිසිම කෙනෙක් ඔබට රැකියාවක් දෙන්නේ නැහැ කියන එකද? නැත්නම් ඔබේ ජීවිතයේ වෙනත් පැති ගැන ඔබට සිතන්නට පුළුවන්ද? එනම්, ඔබ යම් තරමක් දුරට සාර්ථක වී ඇති ආත්මික ඉලක්ක? පවුල් සම්බන්ධතා? නැත්නම් මිත්‍රත්වයන් වැනි ඉලක්ක? “කිසිම දෙයක් හරි යන්නේ නැහැනේ” යන අශුභවාදී සිතිවිල්ල මුළුමනින්ම පහ කරන්න. අනික, ඔබට කිසිමදාක රැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා ඔබ ඇත්තටම දන්නවාද? මෙවන් ඍණාත්මක සිතිවිලි ඔබේ සිතෙන් දුරු කරගැනීමට ඔබට තවත් බොහෝ දේවල් කළ හැකියි.

ජීවිතයේ යම් ඉලක්ක තබාගෙන ධනාත්මකව සිතන්න

මෑත කාලවලදී ඇතැම් පර්යේෂකයන් බලාපොරොත්තුව යන විෂය ගැන කුහුල දනවන පටු අර්ථකථනයක් ගොඩනඟා තිබෙනවා. ඔවුන්ගේ අදහස නම්, ඔබට ඔබගේ ඉලක්ක අත් කරගැනීමට හැකි වේය යන විශ්වාසය බලාපොරොත්තුවට ඇතුළත් බවයි. මීළඟ ලිපියේ පෙන්වන්නාක් මෙන්, බලාපොරොත්තුවට ඇත්තෙන්ම ඊට වඩා බොහෝ දේවල් ඇතුළත්. නමුත් මේ අර්ථකථනයද පෙනෙන විදිහට පැති කිහිපයකින් ප්‍රයෝජනවත්. අපට පෞද්ගලිකව ඇති බලාපොරොත්තු සම්බන්ධ මේ පැත්ත වෙතට අවධානය යොමු කිරීමෙන් ඉලක්ක සහිත වඩාත් ධනාත්මක සිතිවිලි වර්ධනය කරගැනීමට පුළුවන්.

අපට අපගේ අනාගතික ඉලක්ක අත් කරගැනීමට හැකිය කියා විශ්වාස කිරීමට නම්, යම් ඉලක්ක කිහිපයක් තබා ඒවා අත් කරගත් බවට වාර්තාවක් ගොඩනඟන්නට අවශ්‍යයි. ඔබට එවන් වර්තාවක් නැහැ කියා සිතෙනවා නම්, ඔබ විසින්ම තබාගත හැකි ඉලක්ක ගැන බැරෑරුම් ලෙස සිතීම වටී. පළමුව, ඔබට එවන් ඉලක්ක තිබෙනවාද? යාන්ත්‍රික ලෙස ගත කරන කලබලකාරී ජීවිතය නිසා ජීවිතයෙන් ඇත්තටම වුවමනා කරන්නේ කුමක්ද, අපට වඩාත් වැඩියෙන්ම වැදගත් වන්නේ කුමක්ද යන්න සිතා බැලීමටවත් ඉස්පාසුවක් නොතිබෙන්නට පුළුවන්. ජීවිතයේ ප්‍රමුඛත්වයන් එලෙස තැබීමට දී ඇති මෙම ප්‍රායෝගික ප්‍රතිපත්තිය ගැනද බොහෝ කලකට පෙරාතුව බයිබලයේ මනාව පැහැදිලි කළේ මෙසේයි. “වඩා වැදගත් දේවල් සහතික කරගන්න.”—ෆිලිප්පි 1:10NW.

අප අපේ ජීවිතයේ ප්‍රමුඛස්ථානය ලැබිය යුතු දේවල් මොනවාද කියා තීරණය කළ විට, අපගේ ආධ්‍යාත්මික ජීවිතය, අපගේ පවුල් ජීවිතය සහ අපගේ රැකියාව යනාදිය සම්බන්ධයෙන් යම් ප්‍රධාන ඉලක්ක තබාගැනීම පහසු දෙයක් වෙනවා. එහෙත්, ඕනෑවට වඩා ඉලක්ක තබාගෙන නොසිටීම හොඳයි. එක වරකට එක බැගින් අත් කරගත හැකි ඉලක්ක තැබීමයි සුදුසු වෙන්නේ. යම් ඉලක්කයක් අපට අත් කරගැනීමට වඩාත් දුෂ්කර නම්, අප තුළම කලකිරීමක් ඇති වී අප අධෛර්යයට පත් විය හැකියි. ඒ නිසා, මහා පරිමාණයේ දීර්ඝ කාලීන ඉලක්ක තබාගන්නවා වෙනුවට, කෙටි කාලීන සුළු සුළු ඉලක්ක තබාගැනීමයි බොහෝවිට හොඳම දේ වෙන්නේ.

“හිත ඇත්නම් පත කුඩාද?” යන්න පැරණි කියමනක්. ඒ කියමනේ යම් සත්‍යයක් තියෙන බවක්ද පේනවා. අපේ මනසේ ප්‍රධාන ඉලක්ක තබාගෙන සිටිනවා නම්, අපට අවශ්‍ය වන්නේ සිතේ කැමැත්තයි. එනම්, යමක් අත් කරගැනීමට අවශ්‍ය ආශාව හා අධිෂ්ඨානයයි. අපගේ ඉලක්කවල ඇති වටිනාකම ගැන සිතා බැලීමෙන් සහ ඒවා අත් කරගැනීමෙන් ඇති වන වාසි ප්‍රයෝජන ගැන සිතීමෙන් අපට එම අධිෂ්ඨානය ශක්තිමත් කරගන්නට පුළුවන්. බාධා ඇති වන බව නොකිවමනායි. එහෙත් ඒවා අපේ පය පැටලී වැටීමට හේතු වන ගල් ලෙස සිතනවාට වඩා ඉහළට නැඟීමට තිබෙන පඩි ගල් ලෙස සිතීමට අප පුරුදු විය යුතුයි.

කෙසේවෙතත්, අප තබා ඇති ඉලක්ක අත් කරගැනීමට උපකාරවත් වන ප්‍රායෝගික ක්‍රම ගැනත් අප සිතන්න අවශ්‍යයි. බලාපොරොත්තුවක ඇති වටිනාකම ගැන ඉතා පුළුල් අධ්‍යයනයක් කළ සී. ආර්. ස්නයිඩර් නමැති ලේඛකයා යෝජනා කරන්නේ තමාට ඇති ඉලක්කයක් අත් කරගැනීමට ක්‍රම ගණනාවක් ගැන සිතන ලෙසයි. මෙසේ, එක් ක්‍රමයක් අසාර්ථක වන විට, අපට දෙවෙනි ක්‍රමය තුන්වෙනි ක්‍රමය යනාදි වශයෙන් විවිධ ක්‍රම අත්හදා බැලිය හැකියි.

ඒ වගේම එක ඉලක්කයකින් තවත් ඉලක්කයකට මාරු වෙන්නේ කොයි අවස්ථාවේද කියාත් ඉගෙනගන්නා ලෙස ස්නයිඩර් නිර්දේශ කරනවා. අප යම් ඉලක්කයක් අත් කරගැනීමට බැරිව එක තැන හිර වී සිටිනවා නම්, ඒ ගැනම සිත සිතා සිටීමෙන් සිදු වෙන්නේ අප තවත් අධෛර්යයට පත්වීමයි. අනෙක් අතට, ඒ වෙනුවට අත් කරගත හැකි වෙනත් යථාර්ථවාදී ඉලක්කයක් තබාගැනීම අප තුළ බලාපොරොත්තුවක් ජනිත කරයි.

බයිබලය තුළ මේ සම්බන්ධයෙන් ඉතා චමත්කාරජනක ආදර්ශයන් අන්තර්ගතයි. දාවිත් රජ තම දෙවි යෙහෝවාට දේවමාලිගාවක් ඉදි කිරීමට ඉලක්කයක් තබා සිටියා. එහෙත්, දෙවි දාවිත්ට පැවසුවේ ඔහුට නොව ඔහුගේ පුත් සලමොන්ට එම වරප්‍රසාදය හිමි වෙන බවයි. තමාගේ ඉලක්කය සාක්ෂාත් කරගැනීමට නොහැකි වීම ගැන තැවෙමින් හෝ එය අත් කරගැනීමට දිගින් දිගටම උත්සාහ කරමින් හෝ සිටිනවා වෙනුවට, දාවිත් කළේ ඔහුගේ ඉලක්කය වෙනස් කිරීමයි. මෙම ව්‍යාපෘතිය නිම කිරීම සඳහා තම පුත්‍රයාට අවශ්‍ය වන්නාවූ මුදල් හා ද්‍රව්‍යමය දේවල් එකතු කිරීමට ඔහු තමාගේ ශක්තිය වැය කළා.—1 රාජාවලිය 8:17-19; 1 ලේකම් 9:3-7.

සර්වඅශුභවාදයට එරෙහිව සටන් කරමින් සහ ඉලක්ක සහිත ධනාත්මක සිතිවිලි වර්ධනය කරගැනීම මගින් පෞද්ගලික මට්ටමින් බලාපොරොත්තු ගොඩනැංවීමේදී අප සාර්ථක වුවත්, බලාපොරොත්තුවේ සැලකිය යුතු ඌනතාවක් තිබෙන බවට අපට වැටහෙන්නට පුළුවන්. ඒ කෙසේද? මේ ලෝකයේ අපේ බලාපොරොත්තු කඩවීම් බොහොමයක් ඇති වන්නේ අපට කිසිසේත් පාලනය කළ නොහැකි සාධක නිසයි. දිලිඳුකම, යුද්ධ, අයුක්තිය, වැළැක්විය නොහැකි අසනීප හා මරණය වැනි මිනිස් වර්ගයාට දරාගත නොහැකි ගැටලු ගැන අප කල්පනා කරන කල, බලාපොරොත්තු සහිත ආකල්පයක් පවත්වාගැනීමට අපට හැක්කේ කෙසේද?

[7වන පිටුවේ පින්තූරය]

ඔබ කැමති රැකියාව ඔබට නොලැබුණා නම්, ඔබට කවදාවත් වෙනත් රැකියාවක් ලැබෙන්නේ නැහැ කියා ඔබ සිතනවාද?

[8වන පිටුවේ පින්තූරය]

ඉලක්ක තැබීමේදී දාවිත් නම්‍යශීලී වුණා