Skip to content

පටුනට යන්න

ඔබට සැබෑ බලාපොරොත්තුවක් සොයාගත හැක්කේ කොහෙන්ද?

ඔබට සැබෑ බලාපොරොත්තුවක් සොයාගත හැක්කේ කොහෙන්ද?

ඔබට සැබෑ බලාපොරොත්තුවක් සොයාගත හැක්කේ කොහෙන්ද?

ඔබේ අත්ඔරලෝසුවේ වේලාව නැවතිලා. පේන විදිහට නම් ඒක කැඩිලා. ඒක සාදාගන්න ඕනෑ නම්, අත්ඔරලෝසු අලුත්වැඩියා කරන කිහිපදෙනෙක්ම ඉන්නවා. අත්ඔරලෝසු අලුත්වැඩියා කරන බවට කරන ලද පුවත්පත් දැන්වීම්ද එමටයි. මේ හැම දැන්වීමකින්ම හොඳ සේවාවක් දෙන බවට පොරොන්දු වෙනවා. සමහරක් දැන්වීම් එකිනෙකට පටහැනි අදහස්ද ඉදිරිපත් කරනවා. ඒ වුණත්, ඔබට දැනගන්නට ලැබෙනවා, ඔබ සතු අත්ඔරලෝසු වර්ගය වසර ගණනාවකට පෙර නිර්මාණය කළ අතිදක්ෂ තැනැත්තා ඔබේ නිවස අසලම පදිංචිව සිටිනවා කියලා. දැන් ඔබ මොකක්ද කරන්නේ? ඒ විතරක් නෙවේ, ඔහු කැමතියි කිසිම මුදලක් අය කරන්නේ නැතිව ඔබට උදව් කරන්න. දැන් ඔබ අත්ඔරලෝසුව අරගෙන කා වෙතටද යන්නේ කියන එක ගැන නම් කතා දෙකක් නැහැ.

දැන් ඒ අත්ඔරලෝසුව, බලාපොරොත්තුවක් ඇති කරගැනීමට ඔබ සතු හැකියාව සමඟ සසඳන්න. මේ අර්බුද සහිත කාලයේදී බොහෝදෙනෙකු මෙන් ඔබත් බලාපොරොත්තු සුන් වූ තත්වයක සිටී නම් උපකාරය පතා ඔබ හැරෙන්නේ කොහාටද? ගැටලු විසඳන බවට බොහෝදෙනෙක් පොරොන්දු දුන්නත්, මේ සඳහා දෙන අපමණ යෝජනා වියවුල්සහගතයි, එකිනෙකට පටහැනියි. එහෙමනම්, බලාපොරොත්තුවක් ඇති කරගැනීමේ හැකියාව ඇතුව මිනිසාව නිර්මාණය කළ තැනැත්තා වෙතට නොයන්නේ ඇයි? බයිබලය කියන්නේ “ඔහු අප එකිනෙකාට නුදුරුව සිටින්නේය” කියලයි. ඇරත් ඔහු ඉතා කැමැත්තෙන් සිටිනවා අපට පිහිට වෙන්න.—ක්‍රියා 17:27NW; 1 පේතෘස් 5:7.

බලාපොරොත්තුව පිළිබඳ වඩාත් ගැඹුරු අර්ථකථනයක්

වත්මන් වෛද්‍යවරුන්, විද්‍යාඥයන් සහ මානසික විශේෂඥයන් බලාපොරොත්තුව කියන වචනයට දී තිබෙන අර්ථයට වඩා ඉතා ගැඹුරු පුළුල් අර්ථයක් තමයි බයිබලය තුළ බලාපොරොත්තුව කියන දේට දී තිබෙන්නේ. බයිබලයේ “බලාපොරොත්තුව” යනුවෙන් පරිවර්තනය කර ඇති මුල් භාෂාමය වචනවලින් අදහස් කරන්නේ ඉතා ඕනෑකමින් බලා සිටීම සහ යහපත අපේක්ෂා කිරීමයි. මූලික වශයෙන්, බලාපොරොත්තුව කියන්නේ ප්‍රධාන සාධක දෙකකින් සමන්විත දෙයක්. යම් යහපත් දෙයකට ආශාවීමත් ඒ වගේම එම යහපත තමන්ට අත් වේවිය කියා විශ්වාස කිරීමට හොඳ පදනමක් තිබීමත් ඊට ඇතුළත් වෙනවා. බයිබලය ඉදිරිපත් කරන බලාපොරොත්තුව නිකම්ම සිතේ ඇති වන ප්‍රාර්ථනාවක් නොවෙයි. අපේක්ෂා කරන දේ සිදු වන බවට ඉදිරිපත් කළ හැකි කරුණු හා සාක්ෂි තිබෙන නිසා එය විශ්වාස කිරීමට ස්ථිරසාර පදනමක් තිබෙනවා.

මේ සම්බන්ධව බලනකොට, බලාපොරොත්තුව හා ඇදහිල්ල අතර යම් සමානත්වයක් තිබෙනවා. ඇදහිල්ල කියන්නේ හුදෙක් හැම විශ්වාසයක්ම ප්‍රශ්න නොකර පිළිගැනීම නොවෙයි. එය ස්ථිරසාර සාක්ෂි මත පදනම් වූවක් බවයි බයිබලයේ කියන්නේ. (හෙබ්‍රෙව් 11:1NW) එහෙත්, ඇදහිල්ල සහ බලාපොරොත්තුව අතර ඇති වෙනසද බයිබලයේ වෙන් කොට දක්වා තිබෙනවා.—1 කොරින්ති 13:13.

මෙය අපි මෙසේ උපහැරණය කරමු. ඔබ ඔබේ හිතෛෂී මිතුරෙකුගෙන් යම් උපකාරයක් ඉල්ලුවා නම්, ඔබ බලාපොරොත්තු වෙනවා ඔහු ඔබට උපකාර කරයි කියා. ඔබ ඒ ගැන බලාපොරොත්තු වෙන්නේ කිසිම පදනමක් නැතිව නොවෙයි. මන්දයත් ඔබට ඔබේ මිතුරා විශ්වාසයි. ඔබ ඔහු ගැන හොඳින් දන්නවා. මීට පෙර ඔහු ඉතා කාරුණිකව සහ ත්‍යාගශීලී අන්දමින් ක්‍රියා කර තිබෙනවා ඔබ දැක තිබෙනවා. ඇදහිල්ල යනු මෙයාකාරයෙන් දෙවි කෙරෙහි විශ්වාසයක් තැබීමයි. එහෙයින්, ඔබේ ඇදහිල්ලත් බලාපොරොත්තුවත් අතර සබඳතාවක් තිබුණද, ඒවා අතර වෙනසක් තිබෙන බවද මෙම උදාහරණයෙන් පෙනී යයි. ඔබට දෙවි කෙරෙහි එවන් බලාපොරොත්තුවක් තබාගත හැක්කේ කොහොමද?

බලාපොරොත්තුව සඳහා ඇති පදනම

සැබෑ බලාපොරොත්තුවේ උල්පත දෙවියි. බයිබල් කාලවලදී යෙහෝවාව හැඳින්වූයේ, “ඊශ්‍රායෙල්වරුන්ගේ බලාපොරොත්තුව” ලෙසයි. (යෙරෙමියා 14:8) යම් විශ්වාසවන්ත බලාපොරොත්තුවක් ඔහුගේ ජනයාට ලැබුණා නම්, ඒ ඔහුගෙනි. මෙසේ ඔහුයි ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ. එවැනි බලාපොරොත්තුවක් නිකම්ම නිකම් පැතුමක් වූයේ නැහැ. බලාපොරොත්තුවක් සඳහා ස්ථිරසාර පදනමක් දෙවි ඔවුන්ට දී තිබුණා. ඔවුන් සමඟ ශතවර්ෂ ගණනාවක් තිස්සේ කටයුතු කිරීමෙන්, ඔහු තමන් දී තිබූ පොරොන්දු ඉටු කළ බවට වාර්තාවක් ගොඩනඟා තිබුණා. ඊශ්‍රායෙල් නායක යෝෂුවා ඔවුන්ට පැවසුවේ මෙහෙමයි. “ඔබේ දෙවි වූ යෙහෝවා ඔබ ගැන කී සියලු යහපත් දේවලින් එක දෙයක්වත් අත් නෑරුණු බව . . . ඔබ දන්නහුය.”—යෝෂුවා 23:14.

වසර දහස් ගණනකට පසුව, එම වාර්තාව තවමත් එසේමයි. දෙවිගේ අතිවිශේෂ පොරොන්දුවලින් මෙන්ම ඒවා ඉටු වූ ආකාරය ගැන නිවැරදි ඓතිහාසික වාර්තාවලින් බයිබලය පිරිලා. ඔහුගේ අනාවැකිමය පොරොන්දු කොතරම් විශ්වාසවන්තද කියනවා නම්, ඒවා වාර්තා කර තිබෙන්නේ එම පොරොන්දු දෙන විටම ඒවා ඉෂ්ට වුණාය කියන අදහසින්.

අන්න ඒ නිසයි අපි බයිබලය බලාපොරොත්තුවලින් පිරි පොතක් කියා හඳුන්වන්නේ. දෙවි මිනිසුන් සමඟ කටයුතු කර ඇති ආකාරය ගැන ඔබ අධ්‍යයනය කරත්ම, ඔහු කෙරෙහි ඔබ බලාපොරොත්තු තැබීමට තිබෙන හේතුව තව තවත් ශක්තිමත් වෙනවා. ප්‍රේරිත පාවුල් ලීවේ මෙසේයි. “අපේ විඳදරාගැනීම මාර්ගයෙන්ද, ශුද්ධ ලියවිල්ලෙන් ලැබෙන සැනසිල්ල මාර්ගයෙන්ද අප බලාපොරොත්තුව ඇතිව සිටින පිණිස කලින් ලියන ලද සියල්ල අපේ ඉගෙනීම සඳහා ලියා ඇත.”—රෝම 15:4NW.

දෙවි අපට දෙන බලාපොරොත්තුව කුමක්ද?

බලාපොරොත්තුව සඳහා වැඩියෙන්ම අවශ්‍යතාවක් අපට දැනෙන්නේ කොයි වේලාවටද? ඒ අප මරණයට මුහුණ දෙන මොහොතේදී නොවේද? එහෙත් ඒ වගේ මොහොතකදී තමයි, බලාපොරොත්තුව කියන එක අපෙන් ගිලිහී ගොස් ඇතැයි කියා හැඟෙන්නේ. නිදසුනකට, තමන් ආදරය කළ කෙනෙක් මිය යන මොහොතක් ගැන සිතන්න. ඇත්තෙන්ම, මරණය තරම් අපේ බලාපොරොත්තු නැති කරන්නේ වෙන මොකකින්ද? එය අප සෑම කෙනෙක්ම පසුපස හඹා එන්නේ හිත් පිත් නැති විදිහටයි. සදහටම එය මඟහරිමින් සිටින්නට අපට බැහැ. ඒක පලවාහරින්නටත් අපට බැහැ. ඒකයි, මරණය “අන්තිම සතුරා” කියා බයිබලය හඳුන්වන්නේ.—1 කොරින්ති 15:26NW.

එහෙමනම්, මරණය හමුවේ අපට බලාපොරොත්තුවක් තබාගත හැක්කේ කොහොමද? මරණය අන්තිම සතුරා කියා හඳුන්වන ඒ බයිබල් පදයේම මෙම සතුරාව “නැති කර දමන්නේය” කියාත් කියනවා. යෙහෝවා දෙවි මරණයට වඩා බලවත්. ඔහු එය අවස්ථා ගණනාවකදීම ඔප්පු කර තිබෙනවා. ඒ කොහොමද? මළවුන්ව නැඟිටුවීමෙන්. දෙවි තමාගේ බලය යොදාගෙන මිය ගිය පුද්ගලයන්ව නැවත ජීවනයට ගෙන ආ සැටි බයිබලයේ වෙන වෙනම අවස්ථා නවයක විස්තර කර තිබෙනවා.

එක් කැපීපෙනෙන උදාහරණයක් සලකා බලන්න. යෙහෝවා තම පුත් යේසුස්ට බලය දුන්නා දවස් හතරකට කලින් මිය ගොස් සිටි ලාසරුස් නම් තම හිතෛශී මිතුරාව නැවත නැඟිට්ටුවන්න. යේසුස් මෙය කළේ රහසින් නොවෙයි. නමුත් බලා සිටින්නන් රාශියක් ඉදිරිපිට ප්‍රසිද්ධියේයි.—යොහන් 11:38-48, 53; 12:9, 10.

ඔබ මෙසේ කල්පනා කරනවා ඇති. ‘මිනිසුන්ව නැවත නැඟිටනු ලැබුවේ ඇයි? මොනවා වුණත් ඒ අය මහලු වී අන්තිමේදී ආයෙත් මිය ගියා නේද?’ ඔව්, ඒ අය මිය ගියා. නමුත් නැවත නැඟිටීම ගැන තිබෙන මේ වගේ විශ්වාසවන්ත වාර්තා නිසා, අප ප්‍රේම කළ මිය ගිය අය නැවත ජීවත් වේය යන ආශාවට වඩා, ඔවුන් නැවත ජීවත් වෙනවාය යන කාරණය විශ්වාස කිරීමට අපට හේතු තිබෙනවා. වෙනත් වචනවලින් කියනවා නම්, අපට තිබෙන්නේ අව්‍යාජ බලාපොරොත්තුවක්.

යේසුස් මෙහෙම කිව්වා. “නැවත නැඟිටීමත් ජීවනයත් මමය.” (යොහන් 11:25NW) මහා පරිමාණයෙන් නැවත නැඟිටීම් සිදු කිරීමට යෙහෝවා බලය පවරන්නේ ඔහුටයි. යේසුස් මෙහෙම පැවසුවා. “මේ ගැන මවිත නොවන්න. මන්ද සොහොන් ගෙවල්හි සිටින සියල්ලන්ට [ක්‍රිස්තුස්ගේ] හඬ ඇසෙන පැය [පැමිණෙන්නේය.]” (යොහන් 5:28, 29) ඔව්, මිනීවළේ නිදා සිටින සියලුදෙනාටම පාරාදීස පොළොවක ජීවත් වීම සඳහා නැවත නැඟිටීමේ අපේක්ෂාව තිබෙනවා.

ප්‍රොපේත යෙසායා නැවත නැඟිටීම සම්බන්ධ හැඟීම් දනවන පින්තූරයක් ඇන්දා. ‘අපේ මළ ගිය අය නැවත ජීවත් වනු ඇත. ඔවුන්ගේ මළ සිරුරු නැවත පණ ගැන්වෙනු ඇත. සොහොන්වල සැතපී සිටින සියලුදෙන පිබිද ප්‍රීතියෙන් ගී ගයත්වා! බැබළෙන පිනි පොළොව ප්‍රාණවත් කරන සේ බොහෝ කලක් මැරී සිටින අය සමිඳාණෝ නැවත පණගන්වන්නේය.’—යෙසායා 26:19, නව අනුවාදය.

එය සැනසිලිදායක දෙයක් නොවේද? මළවුන් සිටින්නේ සිටිය හැකි හොඳම ආරක්ෂා ස්ථානයේයි. හරියට බිලිඳෙක් තම මව්ගේ ගර්භාෂයේ සුරක්ෂිතව සිටිනවා වගේ. මිනිවළේ සැතපී සිටින අය පරිපූර්ණ ලෙස ආරක්ෂා වී සිටින්නේ සර්වබලධාරී දෙවිගේ අසීමිත මතකය තුළයි. (ලූක් 20:37, 38) ඇරත් ඔවුන්ව නැවත ජීවිතයට ගෙනෙනු ලබන විට, එදාට පවතින සමාජය ඒ අයව පිළිගන්නේ හරියට කුඩා දරුවෙක් ඉපදෙන තෙක් බලා සිටින පවුලේ ආදරණීය සාමාජිකයන් ඒ බිලිඳාව පිළිගන්නවා වගේ! ඒ නිසා මරණය හමුවේ පවා බලාපොරොත්තුවක් තිබෙනවා.

බලාපොරොත්තුව ඔබ කෙරෙහි ඇති කරන බලපෑම

බලාපොරොත්තුවේ වටිනාකම ගැන පාවුල් අපට බොහෝ දෑ උගන්වනවා. ඔහු බලාපොරොත්තුව ගැන කතා කළේ ආත්මික යුද්ධායුධ කට්ටලයක අතිවැදගත් අංගයක් වන ආරක්ෂක හිස්වැස්මක් වගේ කියලයි. (1 තෙසලෝනික 5:8) මේ මගින් ඔහු අදහස් කළේ කුමක්ද? බයිබල් කාලවලදී සොල්දාදුවෙක් යුද්ධයට යන විට ලෝහවලින් තැනූ ආරක්ෂක හිස්වැස්මක් පැළඳගත්තා. බොහෝවිට ආරක්ෂක හිස්වැස්මට යටින් තළන ලද ලොම් හා කෙඳි වර්ග සංයෝගයකින් හෝ හම්වලින් හෝ සාදන ලද තොප්පියක් පැළඳගත්තා. හිසට එල්ල වූ මාරාන්තික පහරවලින් හිසට හානියක් නොවූයේ මේ ආරක්ෂක තොප්පියට ස්තුතිවන්ත වෙන්නටයි. පාවුල් කාවද්දන්නට උත්සාහ කළ මූලික කරුණ මොකක්ද? ආරක්ෂක තොප්පියෙන් හිස ආරක්ෂා වෙනවා වගේම, බලාපොරොත්තුව මගින් මනස හෙවත් සිතිවිලි ආරක්ෂා කරනවා. දෙවිගේ අරමුණු ගැන ස්ථිර බලාපොරොත්තුවක් ඔබට තිබෙනවා නම්, ඔබ දුෂ්කරතාවලට මුහුණ දෙන විට, ඔබ කලබල වී වියවුල් වී මනසේ සාමය නැති කරගන්නේ නැහැ. ඒ වගේ ආරක්ෂක තොප්පියක් අවශ්‍ය නොවන්නේ අපගෙන් කාටද?

දෙවිගේ කැමැත්තට සම්බන්ධ වී ඇති බලාපොරොත්තුව සඳහා පාවුල් තවත් චමත්කාරජනක උපහැරණයක් යොදාගත්තා. ඔහු ලීවේ මෙසේයි. “අපට තිබෙන මේ බලාපොරොත්තුව අපේ ජීවිතයට නැංගුරමක් වැනිය. එය සහතිකය, ස්ථිරය.” (හෙබ්‍රෙව් 6:19NW) එකවරකට වඩා මුහුදුබත් වීම්වලට ගොදුරු වී දිවි ගලවාගත්තෙකු හැටියට පාවුල් හොඳින් දැනගෙන සිටියා නැංගුරමක ඇති වටිනාකම ගැන. කුණාටුවකට මුහුණ දෙන නැවියෝ නැවේ නැංගුරම මුහුදට දමනවා. එය මුහුද පතුලේ ගැටී ඍජුව සවි වෙන්නේ නම්, නැවත කුණාටුවෙන් ඉවතට ගසාගෙන ගොස් ගල්පරයක හැපී විනාශ වෙනවා වෙනුවට ආරක්ෂිතව මුහුදේම රැඳී තිබීමේ අවස්ථාව වැඩියි.

ඒ හා සමානව, දෙවිගේ පොරොන්දු අපට ‘සහතික, ස්ථිර’ බලාපොරොත්තුවක් නම්, මෙම ‘කුණාටු’ සහිත අර්බුද කාලවලදී ආරක්ෂාකාරීව සිටීමට එම බලාපොරොත්තුව අපට පිහිට වෙනවා. යුද්ධ, අපරාධ, ශෝකය, දුක හෝ මරණයෙන් පවා මිනිස් වර්ගයා පහර නොලබන කාලයක් ඉතා ඉක්මනින් පැමිණෙන බව යෙහෝවා අපට පොරොන්දු වෙනවා. (10 වන පිටුවේ ඇති කොටුව බලන්න.) එම බලාපොරොත්තුවට අප ඇලී සිටිනවා නම්, විපත්තිය නමැති කුණාටුවෙන් බේරීමට අපට හැකි වෙයි. අද දින මේ ලෝකයේ පැතිර පවතින කලහකාරී දුරාචාරමය ස්වභාවයට හසු නොවී දේවප්‍රමිතිවලට අනුව ජීවත් වීමට අපට එය තවත් ශක්තියක් වෙනවා.

යෙහෝවා ඉදිරිපත් කරන බලාපොරොත්තුවට ඔබත් පෞද්ගලිකව සම්බන්ධයි. දෙවි ඔබට ලබා දීමට අරමුණු කළ ජීවිතයම ඔබ අද්දකිනවාට ඔහු කැමතියි. ඔහුගේ ආශාව වන්නේ ‘සියලු ආකාර මිනිසුන් ගැලවීම ලැබීමයි.’ කෙසේද? ඒ සෑම කෙනෙක්ම, ‘සත්‍යය පිළිබඳ නිවැරදි දැනුම’ ලබාගත යුතුයි. (1 තිමෝති 2:4NW) මේ සඟරාවේ ප්‍රකාශකයින් ඔබෙන් උදක්ම ඉල්ලා සිටින්නේ දෙවිගේ වචනයේ සඳහන් සත්‍යය පිළිබඳ ජීවනය ගෙන දෙන දැනුම ලබාගන්නා ලෙසයි. දෙවි ඔබට ඒ මගින් දෙන බලාපොරොත්තුව මේ ලෝකයෙන් ඔබට ලබාගත හැකි කොයියම් බලාපොරොත්තුවකට වඩා වටිනවා.

ඒ වගේ බලාපොරොත්තුවක් තිබෙද්දී, ඔබට කිසිවිටෙක අසරණ බවක් නොදැනෙයි. මන්දයත්, දෙවිගේ කැමැත්තට එකඟව තිබිය හැකි ඕනෑම ඉලක්කයක් ඉෂ්ට කරගැනීමට අවශ්‍ය ශක්තිය ඔබට දීමට දෙවිට හැකියි. (2 කොරින්ති 4:7; පිලිප්පි 4:13) ඔබට අවශ්‍ය වන්නේ එවන් ආකාරයේ බලාපොරොත්තුවක් නොවේද? ඉතින්, ඔබට බලාපොරොත්තුවක් අවශ්‍ය නම්, ඔබ ඒ වගේ බලාපොරොත්තුවක් මෙතෙක් සොයමින් සිටියා නම්, දැන් ධෛර්යවත් වන්න. බලාපොරොත්තුව අත ළඟ. ඔබට එය සොයාගත හැකියි!

[10වන පිටුවේ කොටුව⁄පින්තූරය]

බලාපොරොත්තු තැබිය හැකිවීමට හේතු

ඔබේ බලාපොරොත්තුව ගොඩනැංවීම පිණිස ඔබට උපකාර කිරීමට මෙම ශුද්ධ ලියවිලිමය අදහස්වලට හැකියි:

▪ දෙවි සන්තෝෂවත් අනාගතයක් පොරොන්දු වෙයි.

ඔහුගේ වචනය පවසන්නේ පොළොව ප්‍රීතිමත් එක්සත් මිනිස් පවුලකින් ජනාවාස වූ සමස්ත ලෝක පාරාදීසයක් වන බවයි.—ගීතාවලිය 37:11, 29; යෙසායා 25:8; එළිදරව් 21:3, 4.

▪ දෙවිට බොරු කීමට බැරිය.

සියලු ආකාරවල බොරු කීම දෙවි පිළිකුල් කරනවා. යෙහෝවා සදාකාලයටම ශුද්ධයි, පිරිසිදුයි. එම නිසා ඔහුට කොහෙත්ම බොරු කිව නොහැකියි.—හිතෝපදේශ 6:16-19; යෙසායා 6:2, 3; තීතස් 1:1; හෙබ්‍රෙව් 6:18.

▪ දෙවිට අසීමිත බලයක් තිබෙනවා.

යෙහෝවා පමණක් සර්ව බලධාරීයි. ඔහුගේ පොරොන්දු ඉෂ්ට කිරීමෙන් ඔහුව වැළැක්වීමට විශ්වයේ තිබෙන කිසිම දෙයකට බැහැ.—නික්මයාම 15:11; යෙසායා 40:25, 26.

▪ දෙවිගේ කැමැත්ත නම් ඔබ සදාකල් ජීවත් වීමය.

යොහන් 3:16; 1 තිමෝති 2:3, 4.

▪ දෙවි අප දෙස බලන්නේ බලාපොරොත්තුවක් සමඟිනුයි.

ඔහු අප දෙස බලන කල, බලන්නේ අපගේ වැරදි සහ දෝෂයන් දෙස නොව අපගේ හොඳ ගුණාංග සහ අප දරන ප්‍රයත්නයන් දෙසය. (ගීතාවලිය 103:12-14; 130:3; හෙබ්‍රෙව් 6:10) අප හරි දේ කරන බවට බලාපොරොත්තු වන ඔහු අප එසේ කරන විට සන්තෝෂ වෙනවා.—හිතෝපදේශ 27:11.

▪ දේවභක්තික ඉලක්ක අත් කරගැනීමට අප දරන වෑයමේදී අපට පිහිට වීමට දෙවි පොරොන්දු වෙනවා.

ඔහුගේ සේවකයන්ට කිසිම විටෙක අසරණ බවක් හැඟෙන්නේ නැහැ. දෙවි තම ප්‍රබලතම බලවේගය වන ශුද්ධාත්මය බහුල ලෙස ලබා දෙමින් අපට පිහිට වෙනවා.—පිලිප්පි 4:13.

▪ දෙවි කෙරෙහි ඇති බලාපොරොත්තුව කිසිම විටෙක නිෂ්ඵල වෙන්නේ නැහැ.

එය සම්පූර්ණයෙන්ම විශ්වාස කළ හැකියි, රඳා පැවතිය හැකියි. ඔහු කිසිම විටෙක ඔබේ බලාපොරොත්තු කඩ කරන්නේ නැහැ.—ගීතාවලිය 25:3.

[12වන පිටුවේ පින්තූරය]

ආරක්ෂක තොප්පියකින් හිස ආරක්ෂා කරනවා වගේ, බලාපොරොත්තුව මනස ආරක්ෂා කරනවා

[12වන පිටුවේ පින්තූරය]

නැංගුරමක් හා සමානව, ස්ථිර පදනමක් ඇති බලාපොරොත්තුවකට පුළුවන් ජීවිතයට ස්ථාවරත්වයක් ලබා දෙන්න

[හිමිකම් විස්තර]

René Seindal/Su concessione del Museo Archeologico Regionale A. Salinas di Palermo අනුග්‍රහයෙන්