Skip to content

පටුනට යන්න

මෙලොවට බිහි වුණේ ඉගෙනගන්නයි

මෙලොවට බිහි වුණේ ඉගෙනගන්නයි

මෙලොවට බිහි වුණේ ඉගෙනගන්නයි

“කුරුල්ලන් පියාසර කරනවා. මාළුන් පීනනවා. නමුත් මිනිසා කල්පනා කරනවා, ඉගෙනගන්නවා.”—කර්තෘවරයෙක් මෙන්ම ගුරුවරයෙක් වන ජෝන් හෝල්ට්.

උපන් මොහොතේම වාගේ මුව පැටවෙකු සහජයෙන්ම පෙලඹෙනවා වැටි වැටී කොහොමහරි කෙළින් සිටගෙන උගේ අම්මා පිටුපසින් ඇවිදගෙන යෑමට. එහෙත් ළදරුවෙකුට ඇවිදින්න නම් සමහරවිට අවුරුද්දක පමණ කාලයක් ගතවීමට ඉඩ තිබෙනවා. නමුත් මිනිසා සියලුම සතුන්ට වඩා ඉතා දියුණු වූ පුදුමසහගත මොළයකට හිමිකම් කියනවා. අලුත් දේවල් අත්හදා බැලීමට හා ඉගෙනීමට දරුවන් තුළ තිබෙන ඉමහත් ආශාව හා කුතුහලය මගින් මිනිස් මොළය කොයි තරම් දියුණුද යන්න පැහැදිලි වෙනවා.

සාමාන්‍යයෙන්, එම බලවත් කුතුහලය ඇති වන විට නිරෝගී ළදරුවන් තම වටා පිටාවන් පරීක්ෂණාගාරයක් බවට පත් කරගන්නවා. ඔවුන්ගේ අතට යමක් දුන්නොත් ඔවුන් ඒ දෙස විමසිල්ලෙන් බලයි. එය අතගා බැලූ පසු එහි ගඳ සුවඳ බලයි. අන්තිමට එය කටට දමා එහි රසද පරීක්ෂා කර බලයි! පරීක්ෂණය එතැනින් නතර වෙන්නේ නැහැ. සෑම මාපියෙකුම දන්නා පරිදි, ළදරුවන් අතට අහු වෙන ඕනෑම දෙයක් දෙකට නමන්න, සොලවන්න, පොළොවේ ගහන්න හා කඩලා දාන්න හරිම හපන්නු. බොහෝවිට, දඟකාර සිනාවක් පාමින් කරන මේ සියල්ල, තමන්ගේ වටා පිටාව තේරුම්ගැනීමට හා අලුත් අද්දැකීම් ලබාගැනීමට දරන වෑයමක්යයි පැවසිය හැකියි.

දරුවන් කතා කිරීමට පටන්ගන්නා අවදිය, දැනුම රැස් කරගැනීමට ඔවුන් සතු මහත් ආශාව කැපීපෙනෙන තවත් අවස්ථාවක්. ඇත්තෙන්ම, කතා කිරීමට ඉගෙනගැනීමම ලොකු හපන්කමක්! දරුවන් එකපාරටම ප්‍රශ්න වැලක් අහන්න පටන්ගන්නවා. ඔවුන් තම දෙමව්පියන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා යන තෙක්ම තොරතෝංචියක් නැතිව ‘අර මොකක්ද’ ‘මේ මොකක්ද’ කියා ප්‍රශ්න කරනවා. දරුවන්ට “එකපාරටම මහත් උනන්දුවක්, උද්‍යෝගයක් ඇති වෙනවා. ඒ උද්‍යෝගය පවතින්නේ කෙටි කාල සීමාවකටයි. ඔවුන් වැඩියෙන්ම දේවල් ඉගෙනගන්නේ ඒ උනන්දුව හා උද්‍යෝගය තිබෙන වෙලාවේදීයි” කියා ජෝන් හෝල්ට් නම් කර්තෘවරයා පවසනවා.

අවුරුදු කිහිපයක් ගෙවුණු පසු, ලෝ වෙසෙන බොහෝ දරුවන් ඉගෙනුම ලබන පිණිස අලුත් ලෝකයකට පිවිසෙනවා. එනම්, ගුරුවරුන්, අච්චු පොත්, ලියන මේස හා වෙනත් බොහෝ දරුවන්ගෙන් වට වුණු ඔවුන්ගේ පාසැල් ජීවිතයයි. නමුත් අවුරුදු කිහිපයක් ගෙවුණු පසු, මේ විදිහට ඉගෙනුම ලැබීම බොහෝ දරුවන්ට ක්‍රමක්‍රමයෙන් එපාවීම කනගාටුවට කාරණයක්. සමහර දරුවන් පාසැල වෙහෙසකර, පීඩාකාරී තැනක් ලෙසට පවා සැලකීමට පටන්ගන්නවා. ඉගෙනගන්නා ඇතැම් විෂයන් ඔවුන්ගේ සිත් නොගන්නවා විය හැකියි. එහෙමත් නැත්නම් ඇතැම් ගුරුවරුන් උගන්වන ආකාරය නීරස විය හැකියි. නිතරම හොඳ ලකුණු ලබාගත යුතුයයි සිතමින් ඔවුන් දැඩි කනස්සල්ලට පත් වෙන්නත් ඉඩ තිබෙනවා.

මෙලෙස ඉගෙනීමට අප්‍රිය කරන්න පටන්ගන්නා දරුවන් වැඩිහිටි වියේදී හා මහලු වියේදී පවා ඉගෙනගැනීම එපා කරන්න පුළුවන්. ගැඹුරට සිතා බැලීම, අධ්‍යයනය කිරීම හා ගවේෂණය කිරීම අවශ්‍ය කරවන ඕනෑම කාර්යයක නිරත වීමට ඔවුන් මැලි වෙනවා. මහලු වියේ පසු වන අයට ජයගැනීමට තවත් බාධකයක් තිබෙනවා. එනම්, වයසට යෑමත් සමඟම ඉගෙනගැනීමට තිබෙන හැකියාව ඉබේම මොට වෙනවාය යන විශ්වාසයයි. නමුත් අප දැන් සලකා බලන්න යන පරිදි එම විශ්වාසයට කිසිම පදනමක් නැහැ.

ඔබ කුමන වයසක සිටියත් ඉගෙනගැනීමට ඔබ සතු හැකියාව හා ආශාව තවත් වැඩි දියුණු කිරීමට ඔබ කැමතිද? ඔබ මාපියෙක් නම්, ඔබේ දරුවන් ඉතා දක්ෂ ශිෂ්‍යයන් වෙනවා දකින්න ඔබ කැමතිද? පාසැල් කාලයේදී පමණක් නොව මුළු ජීවිත කාලය පුරාම ඉගෙනගැනීමෙන් ප්‍රීතියක් ලබාගන්න ඔවුන්ට උපකාර කරන්න ඔබ කැමතිද? එසේනම්, ඊළඟ ලිපි කිහිපය කියවා බලන්න.

[2වන පිටුවේ පින්තූරය]

දරුවන් ඉගෙනගන්න හරි ආසයි

[3වන පිටුවේ පින්තූරය]

බොහෝ දරුවන් පාසැලේදී මානසික පීඩනයට හා කනස්සල්ලට පත්වීම කනගාටුවට කාරණයක්