Skip to content

පටුනට යන්න

දෙවි ඇත්තටම දරුවන් ගැන සැලකිලිමත් වෙනවාද?

දෙවි ඇත්තටම දරුවන් ගැන සැලකිලිමත් වෙනවාද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

දෙවි ඇත්තටම දරුවන් ගැන සැලකිලිමත් වෙනවාද?

සෑම වසරකම මිලියන සිය ගණන් දරුවන්ගෙන් අයුතු ප්‍රයෝජන ගැනීම, අතවර කිරීම් සහ හිංසාකාරී ලෙස පහර දීම් වැනි දේවල් සිදු වෙනවා. බොහෝ දරුවන් වහලුන් මෙන් අවදානම් තත්වයන් යටතේ සේවය කරනවා. තවත් සමහර දරුවන්ව පැහැරගෙන ගොස් හමුදා සේවයේ හෝ ළමා ගණිකා වෘත්තියේ බලෙන් යොදවනවා. දරුවන් තුළ ඇති විශ්වාසය තවත් බොඳ වී යෑමට හේතුවක් වී තිබෙන්නේ ඔවුන්ව ව්‍යාභිචාරයේ යෙදවීම හා වෙනත් භයානක අතවරවලට ලක් කිරීමයි.

අවංක, සැලකිලිමත් පුද්ගලයන් දරුවන් මේ විඳින දුක් ගැහැට ගැන කම්පා වීම පුදුමයට හේතුවක් නෙවෙයි. දරුවන්ව මෙලෙස සැලකීමට හේතුව මූලිකවම මනුෂ්‍යයන් තුළ තිබෙන තණ්හාව හා දුෂ්ටකම කියා පිළිගත්තද, දෙවි ප්‍රේමය නම් මෙවැනි අයුක්තිසහගත ක්‍රියාවලට ඉඩහරින්නේ ඇයි කියා තේරුම්ගැනීමට සමහර අයට අපහසුයි. දෙවි මේ දරුවන්ව අතහැර දමා තිබෙනවා සහ ඔහු ඔවුන් ගැන ඇත්තටම සලකන්නේ නැහැයි කියා ඔවුන්ට හැඟෙන්න පුළුවන්. එය සත්‍යයක්ද? දරුවන්ගෙන් අයුතු ප්‍රයෝජන ගැනීම හා බොහෝවිට අතවරවලට ලක්වීම යන කනගාටුදායක යථාර්ථයෙන් අඟවන්නේ දෙවි ඔවුන් ගැන සලකන්නේ නැති බවද? මේ ගැන බයිබලයේ පවසන්නේ මොනවාද?

දෙවි අතවර කරන්නන්ව හෙළාදකියි

කිසිම හිතක් පපුවක් නැති විදිහට වැඩිහිටියන් දරුවන්ගෙන් අයුතු ප්‍රයෝජන ගැනීම කිසිදාකවත් යෙහෝවා දෙවිගේ අරමුණ වූයේ නැහැ. දරුවන් අතවරවලට ලක්වීම ඒදන් උයනේ කැරලිගැසීමෙන් ඇති වූ වඩාත්ම දුක්ඛදායක විපාකවලින් එකක් වෙයි. දෙවිගේ පරමාධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීමෙන් ඇති වූ විපාකය වූයේ කුරිරු ලෙස සෙසු මිනිසුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට මිනිස් වර්ගයාට මං විවෘත වීමයි.—උත්පත්ති 3:11-13, 16; දේශනාකාරයා 8:9.

දුර්වල හා සරණක් නැත්තන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න අයව දෙවි පිළිකුල් කරයි. යෙහෝවාට සේවය නොකළ පුරාණයේ විසූ බොහෝ ජාතීන් අතර දරුවන්ව පූජා කිරීමේ සිරිත තිබුණා. නමුත් යෙහෝවා පැවසුවේ ‘එය ඔහු අණ කළේවත් ඒක ඔහුගේ සිතට පැමුණුණේවත් නැත’ කියායි. (යෙරෙමියා 7:31) පුරාණ කාලයේ සිටි තම සෙනඟට දෙවි මෙසේ අනතුරු ඇඟෙව්වා. “ඔබ යම් ආකාරයකින් [පියා නැති දරුවන්ට] හිංසා කළොත් ඔවුන් මට හඬගැසුවාම මම සැබවින්ම ඔවුන්ගේ හඬ අසන්නෙමි. එවිට මාගේ උදහස ඇවිළෙනවා ඇත.”—නික්මයාම 22:22-24.

යෙහෝවා දරුවන්ට ආදරෙයි

දෙවි දරුවන් ගැන සැලකිලිමත් බව දෙමව්පියන්ට ඔහු ලබා දෙන ප්‍රඥාවන්ත උපදෙස්වලින් ඔප්පු වෙනවා. හොඳ ආරක්ෂිත පවුල් පරිසරයක හැදී වැඩෙන දරුවන් බොහෝවිට මේරූ, සමාජය සමඟ පෑහී කටයුතු කිරීමට හැකි වැඩිහිටියන් බවට පත් වෙයි. අපේ මැවුම්කරු විවාහය ජීවිතාන්තය දක්වාම පවතින විධිවිධානයක් ලෙස ස්ථාපිත කළේ එම නිසයි. එනිසා “පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම් වන්නේය. ඔව්හු එක මාංසයක් වන්නෝය.” (උත්පත්ති 2:24) බයිබලයේ ලිංගික සම්බන්ධකම් පැවැත්වීමට අනුබල දී තිබෙන්නේ විවාහය තුළ පමණයි. එම විධිවිධානය තුළ බිහි වෙන්නාවූ දරුවන්ට තිරසාර පරිසරයක අවශ්‍ය රැකවරණය ලැබිය හැකිවීම ඊට හේතුවයි.—හෙබ්‍රෙව් 13:4.

තවද ශුද්ධ වූ ලියවිලිවල දෙමව්පියන් විසින් දරුවන්ව පුහුණු කරනු ලැබීමේ ඇති අවශ්‍යතාව පිළිබඳවද කාවද්දයි. බයිබලයේ පවසන්නේ “දරුවෝ යෙහෝවා දෙන උරුමයක්ය. කුසේ පලයද ඔහුගෙන් ලැබෙන විපාකයක්ය. බලවන්තයෙකුගේ අතෙහි ඊගස් යම් සේද යෞවන මවුපියන්ගේ දරුවොත් එසේමය” කියායි. (ගීතාවලිය 127:3, 4) දරුවෝ දෙවිගෙන් ලැබෙන වටිනා තෑග්ගක්. දෙවි කැමතියි මේ දරුවන් සපල වෙනවා දකින්න. දුනුවායෙක් ඊගස විදින්න කලින් හොඳින් කුරුමානම් අල්ලනවා හා සමානව දරුවන්ගේ ජීවිතයට අවශ්‍ය යහපත් මඟ පෙන්වීම් ලබා දීමට දෙවි දෙමව්පියන්ට උපදෙස් දෙනවා. දේවවචනයේ උපදෙස් දෙන්නේ “පියවරුනි, ඔබේ දරුවන්ව තරහ නොගස්වා යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද ඔවුන්ව ඇති දැඩි කරන්න” කියායි.—එෆීස 6:4NW.

යෙහෝවා දෙවි දරුවන්ට ප්‍රේමය පෙන්වා තිබෙන තවත් ක්‍රමයක් තිබෙනවා. එනම්, තම දරුවන්ව අනුකම්පා විරහිත දුෂ්ට මනුෂ්‍යයන්ගෙන් ආරක්ෂා කරගන්නා හැටි දෙමව්පියන්ට ඉගැන්වීමෙනුයි. ඉපැරණි ඊශ්‍රායෙලයේ ‘බාලයන්ට’ පවා ව්‍යවස්ථාවට හෙවත් නීතියට ඇහුම්කන් දීමට අණ කර තිබුණා. එහි සුදුසු හා නුසුදුසු ලිංගික හැසිරීම් පිළිබඳ නීති රීති අඩංගු වෙලා තිබුණා. (ද්විතීය කතාව 31:12; ලෙවී කතාව 18:6-24) තම දරුවන්ව අයුතු ක්‍රියාවලට යොදාගන්නා අයගෙන් හෝ අතවර කරන අයගෙන් ඔවුන්ව ආරක්ෂා කරගැනීම සඳහා තමන්ගේ උපරිමය කිරීම දෙවි දෙමව්පියන්ගෙන් බලාපොරොත්තු වෙයි.

දරුවන්ට බලාපොරොත්තුවක්

තම පියාව පරිපූර්ණ ලෙස පිළිබිඹු කරන යේසුස්, දරුවන් කෙරෙහි වූ යෙහෝවාගේ නොවෙනස් වන ප්‍රේමය මනා ලෙස පෙන්නුම් කළා. (යොහන් 5:19) යේසුස්ට උපකාර කිරීමේ චේතනාවෙන් වැරදි තීරණයක් ගත් ප්‍රේරිතයෝ දෙමව්පියන් තම කුඩා දරුවන්ව යේසුස් වෙතට ගෙන ඒම වැළැක්කුවා. ඒ සම්බන්ධයෙන් උදහස් වූ යේසුස් ඔවුන්ව නිවැරදි කළා. ඔහු මෙසේ පැවසුවා. “කුඩා දරුවන්ට මා ළඟට එන්න ඉඩහරින්න” කියායි. ඉන්පසු “ඔහු දරුවන්ව තුරුළු කරගෙන ඔවුන් පිට අත් තබමින් ඔවුන්ට ආශීර්වාද” කළා. (මාක් 10:13-16NW) යෙහෝවා දෙවි සහ යේසුස් ඉදිරියේ දරුවන් නොවැදගත් පුද්ගලයන් නෙවෙයි.

අයුතු බලපෑම්වලට ලක් වී සිටින දරුවන්ට ඉක්මණින්ම දෙවි විසින් පත් කරන ලද රජ වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් සහනයක් ලබා දීමට දෙවි ළඟදීම ක්‍රියා කරයි. දරුවන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්නා කෑදර මිනිසුන් හා අනුකම්පා විරහිත අතවර කරන්නන් සදහටම මේ ලෝකයෙන් තුරන් කර දමනු ලබයි. (ගීතාවලිය 37:10, 11) යෙහෝවාව සොයන මොළොක් ගුණැති මනුෂ්‍යයන් සම්බන්ධයෙන් බයිබලයේ පවසන්නේ “ ඔහු ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය” කියායි.—එළිදරව් 21:3, 4NW.

එම පොරොන්දු ඉෂ්ට වන කාලය එන තුරු පවතින මේ කාලයේදීත් යෙහෝවා ඔහුගේ ප්‍රේමය පෙන්වයි. ඔහු මෙය කරන්නේ අයුතු දේවල්වලට යොදවනු ලැබූ අය හා අතවරවලට ගොදුරු වූ සියල්ලන්ටම ආත්මික හා චිත්තවේගීය උපකාර සැපයීමට ඉදිරිපත් වීම මගින්. ඔහු මෙසේ පොරොන්දු වෙයි. “මම නැති වූ එකා සොයන්නෙමි. පන්නා දමනු ලැබූ එකා දෙවනුව ගෙනෙන්නෙමි. පොඩි වූ එකාගේ තුවාල බඳින්නෙමි. ලෙඩ වූ එකා ශක්තිමත් කරන්නෙමි.” (එසකියෙල් 34:16) පීඩිත හා දුබල වූ දරුවන්ට යෙහෝවා ඔහුගේ වචනය තුළින්, ශුද්ධාත්මය මාර්ගයෙන් සහ ක්‍රිස්තියානි සභාව මාර්ගයෙන් සහනය සලසා දෙයි. අනාගතයේදී වගේම දැනුත් “දයානුකම්පාවේ පියාණන්ද සියලු සැනසිල්ලේ දෙවිද, . . . අපේ සියලු පීඩාවලදී අපව සනසන” බව දැනගැනීම මොන තරම් ප්‍රීතිමත් ආරංචියක්ද!—2 කොරින්ති 1:3, 4NW.

[22වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Mikkel Ostergaard /Panos Pictures