Skip to content

පටුනට යන්න

දෙමාපියන්ගේ වගකීම

දෙමාපියන්ගේ වගකීම

දෙමාපියන්ගේ වගකීම

“දරුවාට ආදරය පෙන්වන්න ඕනේ. පවුලේ කිට්ටු සාමාජිකයෙක් මෙන්ම වටිනා කෙනෙක් කියා දරුවාට දැනෙන්න සලස්වන්න ඕනේ. ඒවගේම දරුවා තුළ තිබෙන කුතුහලයත් සන්සිඳුවන්න ඕනේ. දරුවන්ගේ බුද්ධිය වර්ධනය වෙන්නේ එවිටයි. දෙමාපියන් වශයෙන් අපිට ඕනේ නිරෝගී, සිහි බුද්ධිය ඇතුව ක්‍රියා කරන, අන් අය ගැන සැලකිලිමත් වන දරුවෙක් මිසක් මොළයේ ස්නායු සෛල අතර තිබෙන සම්බන්ධක හැකි උපරිම මට්ටමට වර්ධනය කිරීමක් නෙමෙයි.” එසේ පැවසුවේ හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ පීටර් ගොර්ස්කි.

දෙමාපියෙක් හැටියට ඔබට ඔබේ දරුවා අන් අය ගැන සැලකිලිමත් වන, ගුණ යහපත් පුද්ගලයෙක් ලෙස හැදී වැඩෙනවා දැකීම මොනතරම් සතුටක්ද! එවන් සාර්ථකත්වයක් අද්දකින්න නම් ඔබේ ආදර්ශය, මිතුරෙකු සේ ඔබ දක්වන ලෙන්ගතුකම, අදහස් හුවමාරුව හා ඔබ ගුරුවරයෙකු සේ දරුවාට උගන්වන ආකාරය ඉතාමත් වැදගත්. ගුණ යහපත් ලෙස හැසිරීමට යම්තාක් දුරට හැකියාවක් දරුවන් උරුම කරගෙන තිබුණද, යහපත් ගුණ ධර්ම පිළිබඳ ප්‍රමිති දෙමාපියන්, දරුවන් වැඩිවියට පත් වන විට ක්‍රමානුකූලව ඉගැන්විය යුතුයි.

දරුවන්ව හැඩගස්වන්නේ කවුද?

දරුවන්ගේ හැදියාවට වැඩි බලපෑමක් කරන්නේ කවුද යන්න ගැන පර්යේෂකයන් අතර විවිධ අදහස් තිබෙනවා. සමහරෙකු කියන්නේ දරුවන් හැඩගැසෙන්නේ තම යහළුවන්ට ඕනේ විදිහට කියලා. නමුත් ළමා වර්ධනය පිළිබඳව අධ්‍යයනය කරන ටී. බෙරි බ්‍රෙසල්ටන් සහ ස්ටැන්ලි ග්‍රීන්ස්පැන් යන වෛද්‍යවරුන් විශ්වාස කරන්නේ, ළදරු වියේදී දරුවාගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වෙමින් දරුවාව ඇති දැඩි කිරීමට දෙමාපියෙකු සතු වගකීම ඉතා වැදගත් බවයි.

දරුවා පසුකාලයේ ලබන අද්දැකීම් සහ මිතුරන්ගෙන් එල්ල වන බලපෑම, ළදරුවියේ ලබන අද්දැකීමට එකතු වෙනවා. එමනිසා, පවුල් කවය තුළ දරුවන්ට දයානුකම්පාව පෙන්වීම සහ ඔවුන්ව තේරුම්ගැනීම ඉතාමත් වැදගත්. ඒවගේම ඔවුන්ගේ හැඟීම් නිසි අයුරින් පාලනය කරගැනීමටත් ඉගැන්විය යුතුයි. එවන් සැලකිල්ලක් ලබන දරුවන් සහයෝගයෙන් වැඩ කරන, දයානුකම්පාව ඇති හා අන් අය ගැන සැලකිලිමත් වන පුද්ගලයන් බවට පත් වෙයි.

දරුවන්ව ළදරුවියේ සිටම පුහුණු කිරීම ලෙහෙසි පහසු දෙයක් නම් නෙමෙයි. සාර්ථක වීමට නම්, විශේෂයෙන්ම ඔබ ඔබේ මුල්ම දරුවාව පුහුණු කිරීමේ නියැලෙනවා නම් පළපුරුදු අයගෙන් මඟ පෙන්වීම් ලබාගැනීම නැණවත් දෙයක්. ඉන්පසු ඊට එකඟව පැහැදිලි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්න. විද්වතුන් ළමා වර්ධනය පිළිබඳ පොත් පත් රාශියක් ලියා තිබෙනවා. බොහෝවිට ඔවුන් කියා තිබෙන්නෙත් බයිබලයේ අඩංගු විශ්වාසවන්ත උපදෙස්මයි. දෙවිගේ වචනයේ ස්ථිර ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් දෙමාපියන්ට තම දරුවන්ව සාර්ථක ලෙස පුහුණු කිරීමට හැකි වී තිබෙනවා. පහත දැක්වෙන ප්‍රායෝගික මඟ පෙන්වීම සලකා බලන්න.

ලෝබ නැතුව ආදරය පෙන්වන්න

දරුවනුත් පුංචි පැළ වගෙයි. අතපසු නොකර හොඳින් පැල රැකබලා ගන්නා විට ඒවා සරුවට වැඩෙනවා. කුඩා පැළයට ජලය හා හිරු එළිය හොඳින් ලැබුණ විට එම පැළය සරුවට වැඩී ශක්තිමත් ගසක් බවට පත් වෙනවා. ඒ හා සමානව දෙමාපියන් තම දරුවන්ට ආදරය වචනයෙන් හා ක්‍රියාවෙන් පෙන්වන විට, නිරෝගී මානසිකත්වයකින් හා සංවේදී හදවත් ඇතිව, මනා පෞරුෂත්වයකින් හෙබි දරුවන් ලෙස ඔවුන් හැදී වැඩෙයි.

“ප්‍රේමය ගොඩනංවන්නේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 කොරින්ති 8:1) ලෝබකම් නොකර තම දරුවන්ට ආදරය පෙන්වන දෙමාපියන් අනුකරණය කරන්නේ තම මැවුම්කරු වන යෙහෝවා දෙවිවයි. යේසුස් බව්තීස්ම වන අවස්ථාවේදී තම පියා, ඔහුගේ අනුමැතිය හා ප්‍රේමය ප්‍රකාශ කරමින් පැවසූ දේ යේසුස්ට ඇසුණා කියා බයිබලයේ වාර්තා කර තිබෙනවා. යේසුස් එවකට වැඩිහිටියෙක් වුවත් එම වදන් ඔහුට කොයිතරම් ශක්තියක් වන්න ඇද්ද!—ලූක් 3:22.

ඔබ දක්වන සෙනෙහස, ඔවුන්ට කියා දෙන කතන්දර සහ ඔවුන් සමඟ එක් වී කරන කෙළි සෙල්ලම් දරුවාගේ වර්ධනයට අත්‍යවශ්‍යයයි. ‘දරුවා කරන සෑම දෙයකින්ම ඔහු අද්දැකීමක් ලබනවා. දරුවා බඩ ගාන්න පුරුදු වෙන කොට ඔබ ඊට දක්වන ප්‍රතිචාරය සහ දෙන දිරිගැන්වීම ඉතා වැදගත්’ කියා වෛද්‍ය ජේ. ෆ්‍රේසර් මස්ටඩ් පවසනවා. ඔබේ දරුවා වගකීම් උසුලන මේරූ වැඩිහිටියෙකු ලෙස වර්ධනය වීමට නම් දැමිය යුතු මූලික අඩිතාලම තමයි දෙමාපියන්ගේ ආදරය සහ අවධානය.

හොඳ යාළුවෙක් වෙන්න, හොඳින් අදහස් හුවමාරු කරන්න

දරුවන් සමඟ කාලය ගත කිරීමෙන් බැඳීමක් ඇති වෙනවා. එමගින් අදහස් හුවමාරුව දියුණු වෙනවා. ගෙදරදී, වෙනයම් ස්ථානයකදී හෝ ඉඩ ලැබෙන කොයියම් අවස්ථාවකදී හෝ දරුවන් සමඟ සමීපව ඇසුරු කරන්න කියා බයිබලයේ දිරිගන්වා තිබෙනවා.—ද්විතීය කතාව 6:6, 7; 11:18-21.

දෙමාපියන් දරුවන් සමඟ ගත කරන කාලය, මිල අධික සෙල්ලම් බඩු හෝ නොයෙකුත් ක්‍රියාකාරකම්වලට වඩා වැදගත් බව ළමා වර්ධනය පිළිබඳ අධ්‍යයනය කරන විද්වතුන් කියා සිටිනවා. ඔබේ දරුවන් සමඟ අදහස් හුවමාරු කරගැනීමට මුදලක් වැය නොකර එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය ක්‍රියාකාරකම්වලින් ඉඩ ලැබෙනවා. උදාහරණයක් හැටියට, දරුවන් සමඟ ස්වභාව ධර්මයේ සිරි නැරඹීමට උද්‍යානයකට යෑමෙන් දරුවන්ගෙන් අර්ථවත් ප්‍රශ්න ඇසීමට කදිම අවස්ථාවක් උදාවෙන අතර එමගින් අදහස් හුවමාරුව දියුණු වෙනවා.

‘නටන්ට කාලයක්’ තිබෙන බව ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙනවා. (දේශනාකාරයා 3:1, 4) දරුවන්ගේ බුද්ධිය වර්ධනය වීමටත්, හැඟීම් දැනීම් ඇති හා මිනිසුන් හොඳින් ඇසුරු කිරීමට හැකි පුද්ගලයන් බවට ඔවුන්ව පත් වීමටත් දෙමාපියන්ගේ ඇඟිලි ගැසීමෙන් තොරව ඔවුවන්ට රිසි සේ සෙල්ලම් කරන්නට ඉඩ දීම අත්‍යවශ්‍යයි. වෛද්‍ය මස්ටඩ් කියන විදිහට දරුවන්ට සෙල්ලම් කිරීමට ඉඩ දීම අවශ්‍ය දෙයක් නෙමෙයි අත්‍යවශ්‍යම දෙයක්. ඔහු මෙහෙම කියනවා. “දරුවන්ට හොඳට සෙල්ලම් කරන්න ඉඩ දුන්නොත් තමයි දරුවන්ගේ මොළයේ ස්නායු සෛල අතර ඇති සම්බන්ධක හොඳින් වර්ධනය වන්නේ.” දරුවන්ට කැමති විදිහට සෙල්ලම් කරන්න ඉඩ දෙන විට ඔවුන් ඒ සඳහා සොයාගන්නේ අහක දමන දේවල්. හිස් කාඩ්බෝඩ් පෙට්ටි වගේ දේ තමයි දරුවෝ බොහෝවිට සොයාගන්නේ. දරුවාට අනතුරක් සිදු නොවන ගෙදර දොරේ සාමාන්‍ය දේවල් මිල අධික ඉලෙක්ට්‍රෝනික සෙල්ලම් බඩු හා සමානවම දරුවාගේ කුතුහලය අවුස්සනවා. *

වැඩිහිටියන් දරුවන්ගේ හැම දෙයකටම මැදිහත් වී ඔවුන්ගේ නිදහසට බාධා කරනවා නම් දරුවන්ගේ සිතීමේ හා නිර්මාණශීලී හැකියාවන් යටපත් වීමට ඉඩ තිබෙනවා කියා විද්වතුන් විශ්වාස කරනවා. මේ සම්බන්ධයෙන් සමබර වීම වැදගත්. ඔබේ දරුවාට ඔහුගේ ළමා ලෝකයේ ජීවත් වෙන්න ඉඩ දෙමින් ඔහුගේ දක්ෂතා ප්‍රගුණ කරගන්න ඉඩ හරින්න. බොහෝවිට දරුවා විසින්ම සතුටු වීමට යමක් සොයාගනීවි. ඒත් දරුවා මොනවද කරන්නේ, ඔහු කොහේද සෙල්ලම් කරන්නේ වැනි කාරණා ඔබ සොයා බැලිය යුතු නැහැයි කියා මින් අදහස් කරන්නේ නැහැ.

ඉගැන්වීමට කාලය කැප කරන්න

හැම සාර්ථක දරුවෙකුව ඇති දැඩි කිරීමට ඉගැන්වීම ඉතා අවශ්‍ය අංගයක්. දෙමාපියන් හුඟදෙනෙක් දිනපතාම දරුවන්ට ඇසෙන සේ කියවීමට කාලයක් වෙන් කර තබනවා. මෙලෙස කාලය මිඩංගු කිරීමෙන් දරුවන්ට යහපත් ලෙස හැසිරීමට උගන්වන්න හා අපගේ මැවුම්කරු කියන ආකාරයේ යහපත් ගුණ ධර්ම දරුවන්ට කියා දීමට අවස්ථාවක් ලැබෙනවා. විශ්වාසවන්ත ගුරුවරයෙක් හා මිෂනාරියෙක් වූ තිමෝති ‘ළදරුවියේ පටන් ශුද්ධ ලියවිල්ල දැනගෙන සිටියා’ කියා බයිබලයේ සඳහන් වෙනවා.—2 තිමෝති 3:15.

ඔබේ ළදරුවාට ඇසෙන සේ කියවීමෙන් ඔහුගේ මොළයේ ක්‍රියාකාරිත්වය අවදි කළ හැකියි. වැදගත්ම දේ තමයි දරුවාගේ අවශ්‍යතා තේරුම්ගෙන, හොඳ අවධානයක් දෙන කෙනෙකු විසින් කියවීම. අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ලින්ඩා සීගල් කියවන තොරතුරු ගැන අවවාදයක් දෙනවා. “දරුවන්ට අහගෙන ඉන්න ආස හිතෙන දේවල් කියවන්න ඕනේ.” ඒවගේම කියවීම නිතිපතා, සෑම දවසකම නියමිත වේලාවකදී කරන්න. එවිට දරුවා ඒ වේලාව එනතුරු බලා සිටිනවා.

ඉගැන්වීමට හික්මවීමත් ඇතුළත්. කුඩා දරුවන්ට ආදරයෙන් හික්මවීම දුන්නොත් එයින් ප්‍රයෝජන ලැබෙයි. “ඥානවන්ත පුත්‍රයෙක් තමන් පියාණන්ගේ ඉගැන්වීම [හෙවත් හික්මවීම] අසයි” කියා හිතෝපදේශ 13:1හි සඳහන් වෙනවා. හික්මවීම බොහෝ දේ ඇතුළත් කියන එක අමතක කරන්න එපා. උදාහරණ ලෙස, එයට අවවාදයක් දී නිවැරදි කිරීම, දරුවාට ලබා දී තිබෙන වරප්‍රසාද අඩු කිරීම හෝ වෙනත් ආකාරයක දඬුවම්ද ඊට ඇතුළත් කළ හැකියි. ලිපියේ මුල සඳහන් කළ වෛද්‍ය බ්‍රෙසල්ටන් කියන විදිහට හික්මවීම යන්නෙහි තේරුම “දරුවන්ට හැඟීම් පාලනය කරන ආකාරය හා මුරණ්ඩු හැසිරීම පිළිබඳ ඉගැන්වීමයි. දරුවන් තමන්ට දමා තිබෙන සීමා මොනවාදැයි කියා දැනගන්න කැමතියි. ආදරය තමයි දරුවෙකුට දිය යුතු වැදගත් දේ. දෙවෙනි තැනට එන්නේ හික්මවීමයි.”

දෙමාපියෙක් හැටියට ඔබ දෙන හික්මවීම මගින් හොඳ ප්‍රතිඵල ලැබෙයි කියා තීරණය කළ හැක්කේ කෙසේද? හොඳ ප්‍රතිඵල ලැබීමට නම් ඔබ දරුවන්ට හික්මවීමක් දුන්නේ ඇයි කියා දරුවන් තේරුම් ගත යුතුයි. ඔබ දරුවන්ව නිවැරදි කරන විට ඔබ සැලකිලිමත් මෙන්ම ඔවුන්ව තේරුම්ගන්න දෙමාපියෙක් කියා දරුවන්ට දැනෙන්න සලස්වන්න.

මල් පල ගන්නා වෑයම්

තම දුවට කුඩා කාලයේ පටන්ම නින්දට පෙර පුරුද්දක් වශයෙන් කතන්දර කියා දුන් පියෙක් තමයි ෆ්‍රෙඩ්. කාලයක් ගත වන විට ඔහු දැක්කා ඔහුගේ දුවට කියා දුන් කතන්දර ඇය කට පාඩමෙන් කියන විදිහත් වචන හා ඒවා උච්චාරණය කරන ආකාරය ඇය හඳුනාගෙන තිබෙන බවත්. තම දරුවන්ට ඇසෙන සේ කියවීමට අමතක නොකළ තවත් පියෙක් තමයි ක්‍රිස්. ඔහු විවිධ දේවල් කියවීමට උත්සාහ කළා. ඔහු දරුවන් ළදරු වියේ සිටින විට යහපත් ගුණධර්ම හා දෙවිට කීකරු වීමට ඉගැන්වීම සඳහා මගේ බයිබල් කතන්දර පොතේ පින්තූර යොදාගත්තා. *

තවත් සමහර දෙමාපියන් කියවීමත් සමඟ වෙනත් ක්‍රියාකාරකම්, ඒ කියන්නේ චිත්‍ර ඇඳීම, පාට කිරීම, සංගීත භාණ්ඩයක් වාදනය කිරීම, සත්තු වත්ත බැලීමට හෝ විනෝද ගමන් යෑම වැනි දේවල් ඇතුළත් කරනවා. මෙවැනි අවස්ථා පාඩම් ඉගැන්වීමටත්, ඉක්මනින්ම යම් දේවල් උරාගැනීමට හැකියාවක් ඇති දරුවන්ගේ සිත් හා මනස්වල යහපත් ගුණධර්ම හා යහපත් හැසිරීම කාවැද්දවීමටත් යොදාගත හැකියි.

මේ හැම වෑයමකටම වටිනාකමක් තිබෙනවාද? ඇත්තෙන්ම දෙමාපියන් විසින් මෙම ලිපි තුළ සාකච්ඡා කළ ප්‍රායෝගික මඟ පෙන්වීම් නිස්කලංක හා සුරක්ෂිත පරිසරයකදී ක්‍රියාත්මක කිරීමෙන් ධනාත්මක ආකල්ප ඇති දරුවන් බිහි වීමට තිබෙන ඉඩ කඩ වැඩියි. දරුවන්ගේ ළදරු වියේදීම බුද්ධිය හා අදහස් හුවමාරු කිරීමේ හැකියාව ප්‍රගුණ කරනවා නම් ගුණ යහපත් මෙන්ම දෙවිට ලැදි පුද්ගලයන් වීම සඳහා ඔබ ඉටු කරන්නේ මහඟු සේවයක්.

බොහෝ කාලයකට ඉහත දී බයිබලයේ හිතෝපදේශ 22:6හි පැහැදිලි ලෙස මෙසේ සඳහන් කළා. “ළදරුවෙකු යා යුතු මාර්ගයේ ඔහු පුහුණු කරන්න. එවිට වයස්ගත වූ කල ඔහු එයින් අහක්ව නොයන්නේය.” දරුවන්ව පුහුණු කිරීමේදී දෙමාපියන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ඔබේ දරුවන්ට ලෝබ නැතුව ආදරය පෙන්වන්න. ඔවුන් සමඟ කාලය ගත කරන්න. නිසි ලෙස ඔවුන්ව ඇති දැඩි කරන්න. උගන්වන්න. මෙසේ කිරීමෙන් දරුවන්ටත් ඔබටත් ප්‍රීතිය අත්වෙයි.—හිතෝපදේශ 15:20.

[පාදසටහන්වල]

^ 15 ඡේ. වර්ෂ 1993 මාර්තු 22වනදා මෙම සඟරාවේ පළ වූ “නොමිලයේ අප්‍රිකානු සෙල්ලම් බඩු” යන ලිපිය බලන්න.—සිංහලෙන් නැත.

^ 23 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. කුඩා දරුවන්ට ඉගැන්වීමට තවත් හොඳ ප්‍රකාශනයකි, උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු නමැති ප්‍රකාශනය. එයද යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.

[8වන පිටුවේ කොටුව]

ඔබේ ළදරුවා සමඟ සෙල්ලම් කරන්න

▪ පුංචි දරුවන්ට එක දිගටම යමකට අවධානය දීම අපහසුයි. ඒ නිසා ඔවුන් සතුටු වේලාවක පමණක් සෙල්ලම් කරන්න.

▪ සෙල්ලම් බඩු යොදාගන්නවා නම් අනතුරක් සිදු නොවන දරුවන්ගේ මනස අවදි කරවන සෙල්ලම් බඩු දීමට වගබලා ගන්න.

▪ දරුවන්ට ආස හිතෙන සෙල්ලම්වල නිරත වෙන්න. පුංචි ළමයි හරි ආසයි ඔබ ලවා එකම දේ නැවත නැවත කරවාගන්න. ඔවුන් බිම දමන සෙල්ලම් බඩුවක් අහුලා දීම වැනි දේ උදාහරණයක් ලෙස නම් කළ හැකියි.

[හිමිකම් විස්තර]

මූලාශ්‍රය: Clinical Reference Systems

[10වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඔබේ දරුවාට කියවීමේදී අදාළ කරගත හැකි යෝජනා

▪ පැහැදිලිව කතා කරන්න. පැහැදිලිව උච්චාරණය කරන්න. දරුවෙකු භාෂාවක් ඉගෙනගන්නේ දෙමාපියන් කතා කරන විට, ඊට ඇහුම් කන් දීමෙනි.

▪ ළදරුවන්ට පවා කතා පොත්වල තිබෙන දේවල් සහ පුද්ගලයන්ගේ නම් පෙන්වා කියවන්න.

▪ දරුවා වැඩිවියට පත් වන විට ඔහුගේ රුචිකත්වයට අනුව පොත් තෝරාගන්න.

[හිමිකම් විස්තර]

මූලාශ්‍රය: Pediatrics for Parents

[8, 9වන පිටුවේ පින්තූර]

ඔබේ දරුවන් සමඟ විනෝද වීම සඳහා කාලය වැය කරන්න