Skip to content

පටුනට යන්න

දෙවිගේ ක්‍රමයට අනුව දරුවන් හික්මවීම

දෙවිගේ ක්‍රමයට අනුව දරුවන් හික්මවීම

බයිබලයේ දෘෂ්ටිකෝණය

දෙවිගේ ක්‍රමයට අනුව දරුවන් හික්මවීම

“ඔබේ දරුදැරියන්ට පිළිපැදිය හැකි නීති දැමිය හැකි අන්දම”

“ඔබේ දරුවාට අවුරුදු පහක් වන විට ඉගැන්විය යුතු ගුණධර්ම පහක්”

“සෑම දරුවෙකුටම තිබිය යුතු හැඟීම් ප්‍රකාශ කරන විධි පහක්”

“ඕනෑවට වඩා ඔබ බුරුල දී ඇති බවට තිබෙන ලක්ෂණ පහක්”

“විනාඩියකට හික්මවීමේ විජ්ජාව”

දරුවන්ව හික්මවීම පහසු එකක් වී නම් සඟරාවල පළ වී තිබෙන ඉහත සඳහන් ලිපි පිළිබඳව මිනිසුන් එතරම් උනන්දුවක් නොපෙන්වීමට ඉඩ තිබේ. දරුවන් ඇති දැඩි කිරීම සම්බන්ධයෙන් වැල නොකැඩී එළිදැක්වෙන පොත්වල ප්‍රමාණයද ක්‍රමක්‍රමයෙන් අඩු වී යනු ඇත. කෙසේවෙතත් දරුවන් ඇති දැඩි කිරීම කෙදිනකවත් පහසු දෙයක් වී නොතිබිණ. වසර දහස් ගණනකට පෙර පවා “අඥාන පුත්‍රයා තමන් පියාට ශෝකයකි; ඔහු වැදූ ඇත්තීට තික්තකම වේ” යයි පවසා තිබිණ.—හිතෝපදේශ 17:25.

අද දින, මෙම විෂය පිළිබඳ උපදෙස් බහුලව ඇතත්, තම දරුවන්ව හික්මවන්නේ කෙසේදැයි බොහෝ දෙමාපියෝ නොදනිති. බයිබලයෙහි ලබා දෙන්නේ කුමන උපකාරයක්ද?

හික්මවීම යන්නෙහි සැබෑ අර්ථය

හික්මවීම සම්බන්ධයෙන් දෙමාපියන්ගේ කාර්ය භාරය බයිබලයේ පැහැදිලිව පෙන්වා දෙයි. උදාහරණයකට එෆීස 6:4හි මෙසේ පවසයි. “පියවරුනි, ඔබේ දරුවන්ව තරහ නොගස්වා යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද ඔවුන්ව ඇති දැඩි කරන්න.” මෙම පදයෙහි විශේෂයෙන්ම සඳහන් වන්නේ තම දරුවන්ව හදා වඩාගැනීමේදී මූලිකත්වය ගත යුත්තේ පියා බවය. තම සැමියාට සහයෝගය දීම මවගේ වගකීමයි.

මෙම විෂය පිළිබඳව ශබ්දකෝෂයක පවසන්නේ මෙයයි. “බයිබලයේ සඳහන් හික්මවීමට, එක් අතකින් පුහුණු කිරීම, උපදෙස් දීම හා දැනුම ලබා දීම ඇතුළත් වන අතර, අනික් අතට තරවටු කිරීම, වරද පෙන්වා දී නිවැරදි කිරීම, දඬුවම් දීමද ඊට ඇතුළත් වේ. දරුවන් පුහුණු කිරීමේදී හික්මවීම සාමාන්‍යයෙන්ම සිදු කරන්නකි.” එයට ඇතුළත් වන්නේ තරවටු කිරීම පමණක්ම නොවේ. ඊට දරුවෙකුගේ සාර්ථකත්වයට සෑම පැත්තකින්ම දෙන පුහුණුව අයත්ය. එහෙත් දරුවන්ව කුපිත නොකර හික්මවන්න දෙමාපියන්ට හැක්කේ කෙසේද?

දරුවාගේ තත්වය තේරුම්ගන්න

දරුවන්ව කුපිත කරන්නේ කුමක්ද? මෙම තත්වය ගැන සිතා බලන්න. නිතර කේන්ති යන, නොඉවසිලිවන්ත සෙසු සේවකයෙක් ඔබට සිටිනවා යයි සිතන්න. ඔබව ඔහුට රුස්සන්නේ නැහැ. ඔබ කරන කියන හැම දෙයකම ඇදයක් අල්ලන්නයි ඔහු බලන්නේ. බොහෝවිට ඔබේ වැඩවල කිසි හොඳක් දකින්නේ නැති ඔහු ඔබව දමන්නේ කිසිම දෙයක් හරියට කරන්න බැරි කෙනෙකුගේ ගණයටයි. ඔබ කුපිත නොවී, අධෛර්යයට පත් නොවී සිටියිද?

දෙමාපියන් දරුවෙකුට නිතර දෙවේලේ බැණවදිනවා නම් සහ කේන්තියෙන් ඔහුගේ වැරදි පෙන්වනවා නම් එසේ විය හැකියි. විටින් විට වැරදි පෙන්වා දී දරුවන්ව නිවැරදි කළ යුතු බව සැබෑවකි. දෙමාපියන්ට එසේ කිරීමට බයිබලයෙහි අධිකාරිත්වය දී ඇත. එනමුත්, දරඳඬු, අකාරුණික සැලකිල්ලක් දැක්වීමෙන් ඔහුට චිත්ත වේගීය හා ආත්මික හානි පමණක් නොව ශාරීරිකවද හානි සිදු විය හැක.

ඔබේ දරුවන්ට ඔබේ අවධානය අත්‍යවශ්‍යයි

දෙමාපියන් තම දරුවන් සමඟ කාලය ගත කළ යුතුයි. දෙවිගේ නීති සම්බන්ධයෙන් ද්විතීය කථාව 6:7හි පියවරුන්ට පවසන්නේ මෙයයි. “ඔබේ පුත්‍රයන්ට ඒවා මනාකොට උගන්වා ඔබ ගෙයි හිඳින කලද මාර්ගයෙහි යන එන කලද සයනය කරන කලද නැඟිටින කලද ඒවා ගැන කතා කරන්න.” දරුවන් උපදින්නේ තම දෙමාපියන් තමන්ට ගැඹුරු සැලකිල්ලක් දක්වන බව හැඟීමේ අවශ්‍යතාව ඇතුවයි. ඔබේ දරුවන් සමඟ දිනපතා සන්සුන්ව කතා බහ කිරීම, ඔවුන්ගේ හැඟීම් තේරුම්ගැනීමට උපකාරයක් විය හැකියි. බයිබලය මත පදනම් ප්‍රතිපත්ති ඔවුන්ගේ සිත්වල රැඳවීමට හා ‘දෙවිට භය වෙමින් ඔහුගේ ආඥාවන් රක්ෂා කිරීමට’ ඔවුන්ව පෙලඹවීමට එමඟින් හැකි වේ. (දේශනාකාරයා 12:13) මෙය දෙවිගෙන් ලැබෙන හික්මවීමේ අංගයකි.

දරුවන් ඇති දැඩි කිරීම නිවසක් ඉදි කිරීම සමඟ සැසඳිය හැකි නම්, හික්මවීම යනු ඉදි කිරීමට භාවිත කරන උපකරණයකි. දෙමාපියන් එය නිසියාකාරව පාවිච්චි කරන විට, තම දරුවන් තුළ යහපත් ගුණාංග පැලපදියම් කර, ජීවිතයේ අභියෝගයන්ට මුහුණ දීමට ඔවුන්ව සූදානම් කිරීමට දෙමාපියන්ට හැකි වේ. හිතෝපදේශ 23:24, 25හි ඉන් ලැබෙන ප්‍රතිඵල දක්වයි. “ධර්මිෂ්ඨයාගේ පියා ඉතා ප්‍රීති වන්නේය; ඥානවන්ත පුත්‍රයෙකු ජාතක කරන්නා ඔහු ගැන ප්‍රීතිය ලබන්නේය. ඔබේ පියාද මවද සතුටු වෙත්වා; ඔබ වැදූ ඇත්තී ප්‍රීති වේවා.”

[27වන පිටුවේ කොටුව⁄පින්තූරය]

‘යෙහෝවා සිතන ආකාරයට සිතීම’

එෆීස 6:4හි ‘යෙහෝවා සිතන ආකාරයට සිතීම’ ගැන සඳහන් කරයි. මෙම ප්‍රකාශනයෙහි මුල් ග්‍රීක් යෙදුම ඇතැම් බයිබල්වල පරිවර්තනය කර තිබෙන්නේ “සැලකිලිමත්කම,” “අවවාදය” සහ “උපදෙස්” යනුවෙනි. මෙම යෙදුම් සියල්ලෙන් අඟවන්නේ බයිබලය හෝ බයිබල් අධ්‍යයන ආධාරක පොතක තිබෙන කරුණු පුරුද්දක් වශයෙන් කියවීමට වඩා වැඩි යමක් කළ යුතු බවය. දෙවිගේ වචනයේ තේරුම, කීකරු වීමේ වැදගත්කම, යෙහෝවා දක්වන ප්‍රේමය හා ඔහු ඔවුන්ට සපයන ආරක්ෂාව ඔවුන් අවබෝධ කරගෙන තිබෙන බවට දෙමාපියන් තුළ ස්ථිරත්වයක් තිබිය යුතුයි.

එය අත් කරගැනීමට හැක්කේ කෙසේද? තිදරු මවක් වන ජූඩිට, තම දරුවන්ට නිතරම දෙවිගේ ප්‍රතිපත්ති මතක් කර දීමට වැඩි යමක් කළ යුතු බව වැටහිණ. “හැම තිස්සෙම එකම විදිහට එකම දේවල් කියනකොට ඒගොල්ලන්ට එපා වෙන බව මට තේරුණා. නොයෙක් ක්‍රමවලින් ඒගොල්ලන්ට උගන්වන්න මම පටන්ගත්තා. නව ආරකට එවැනි කරුණු ඉදිරිපත් කර තිබෙන පිබිදෙව්! සඟරාවේ ලිපි සලකා බැලීම එක ක්‍රමයක්. මේ විදිහට මම ඉගෙනගත්තා කේන්ති ගස්වන්නේ නැතුව දරුවන්ට අවශ්‍ය මතක් කිරීම් කරන්න.”

දුෂ්කරතාවලට මුහුණ දී තිබූ පවුලක පියා වන ආන්ජිලෝ තම දියණියන්ට දෙවිගේ වචනය මෙනෙහි කිරීමට ඉගැන්වූ ආකාරය පවසයි. “අපි එකතු වෙලා බයිබල් පද කියෙව්වා. ඊට පස්සේ මම සමහර කොටස් තෝරගෙන ඒවා අදාළ කරගන්නේ කොහොමද කියලා දුවලාට පැහැදිලි කළා. පස්සේ කාලෙක ඒගොල්ලෝ තනියම බයිබලේ කියවද්දී, උනන්දුවෙන් කියවන ගමන් ඒගොල්ලන්ට ඒකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනය ගැන මෙනෙහි කරනවා මම දැක්කා.”