Skip to content

පටුනට යන්න

මාරාන්තික දුම ඉවත් කරන්න

මාරාන්තික දුම ඉවත් කරන්න

මාරාන්තික දුම ඉවත් කරන්න

 වසේ සෑම විනාඩියකට වරක් තිදෙනෙක් තම නිවසේදීම මරු දකී. ඊට හේතුව ඓන්ද්‍රීය ද්‍රව්‍ය දහනයෙන් ඇති වන දුමයි. එවන් සංඛ්‍යා ලේඛන සිත කම්පා කරවයි.

ඓන්ද්‍රීය ද්‍රව්‍ය යනු කුමක්ද? කසළ බවට පත් වන වියළි සත්ව අශුචි, දිරාගිය ලී, දර කෝටු, තණ කොළ හෝ බෝග වගාවන් විය හැකියි. නේපාලයේ පුවත්පතක වාර්තා වන්නේ ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් එනම් බිලියන දෙකකට වැඩි ජනකායක් ආහාර පිළියෙල කිරීමට හා උණුසුම් වීමට ඉන්ධනයක් වශයෙන් ඓන්ද්‍රීය ද්‍රව්‍ය යොදාගන්නා බවයි. (The Kathmandu Post නම් පුවත්පත.) ඉතා දුගී අයට බොහෝවිට පිහිට වන එකම ඉන්ධනය ඓන්ද්‍රීය ද්‍රව්‍යයයි.

එහෙත් ඓන්ද්‍රීය ද්‍රව්‍ය දහනය වීමේදී මාරාන්තික වායූන් පිට කිරීම කනගාටුවට කරුණක්. ඒ සඳහා කළ හැක්කේ කුමක්ද? රටවල් බොහොමයක ජනයාට තම ජීවිත නඟා සිටුවීමට අත හිත දෙන සංවිධානයක් ඊට පිළිතුරු දෙන්නේ මෙසේයි. “නිවස තුළ සිදු වන වායු දූෂණයට පිළිතුර ඉතා සරලයි. කරන්න තියෙන්නේ ඒ දුම නිවස තුළට ඇතුල් වීම වැළැක්වීම එසේ නැත්නම් නිවස තුළ තියෙන එම දුම පිටතට ඇදී යෑමට සැලැස්වීමයි.”—Intermediate Technology Development Group (ITDG) නම් සංවිධානය.

පළමුවන යෝජනාව නම් නිවසෙන් පිට ඉවුම් පිහුම් කිරීමයි. එහෙත් එය කළ නොහැකි නම් හෝ යෝග්‍ය දෙයක් නොවෙයි නම් කුමක්ද? නිවසේ වාතාශ්‍රය තව වැඩි කරන්න කියායි ITDG සංවිධානය කියා සිටින්නේ. එය කළ හැකි ක්‍රම දෙකක් තිබෙනවා. එකක් නම් බිත්තියේ වහලට ආසන්නයේ වා කවුළු දැමීමයි. (ඒවා දැලකින් වසා තැබීමෙන් කුඩා කෘමීන්ගෙන් ආරක්ෂාව සලසාගත හැකියි.) අනෙක නම් ජනේල දැමීමයි. (ජනෙල් පියන් පත්වලින් පෞද්ගලිකභාවයක් ලැබෙයි.) මෙය පිරිසිදු වාතය නිවස තුළට ඒමට හා දුම ඉවතට යෑමට උපයෝගී වෙයි. එහෙත් උණුසුම ලබාගැනීමට ඉහත ඉන්ධනය දවන්නේ නම් බිත්තිවල වා කවුළු තැනීම ප්‍රායෝගික නැහැ. ඒ සඳහා වෙනත් ක්‍රමයක් යොදාගත හැකියි.

දුම ඉවත් කළ හැකි ඉතා හොඳම ක්‍රමයක් නම් දුම් කවුළු තැනීම කියා ITDG සංවිධානය කියා සිටියි. තහඩුවලින් නැතිනම් ගඩොල් හා මැටි භාවිත කර ඉතා ලාභදායී ලෙසට දුම් කවුළු තනාගත හැකියි. මෙය ලිපට උඩින් තනන අතර වහලෙන් පිටතට දුම යැවීම සඳහා පෝරණුවක් සෑදිය හැකියි. නිවසේ වහල අසල වාතාශ්‍රය එන ලෙස වා කවුළු සැකසීමෙන් හා දුම් කවුළු භාවිත කිරීමෙන් විෂ දුම් නිවසේ රැඳීම සියයට අසූවකින් පමණ අඩු කළ හැකි බව ප්‍රවීණයන් පවසනවා. තම නිවෙස්වල දුම් කවුළු තියෙන අය කියා සිටින්නේ ඔවුන් වැඩි ශරීර සනීපයක් අද්දකින බවයි. එමෙන්ම ඔවුන්ගේ පිරිසිදුකමත් වැඩි වී තිබෙනවා. වැඩියෙන් වැඩ කිරීමටත් වැඩි කාලයක් නිවසේ රැඳී සිටීමටත් ආසාවක් ඇති වන බව ඔවුන් කියා සිටිනවා. ඒ සාක්ෂිවලින් පෙනී යන්නේ පොඩි දේකින් ජීවිතයේ සැබෑ වෙනසක් ඇති වන බවයි.

[26වන පිටුවේ පින්තූරය]

කෙන්යාවේ නිවස ඇතුළත තියෙන මුළුතැන් ගෙයක්. මෙය දුම් කවුළු, පළල් අගුවක් සහ ජනෙල්වලින් සමන්විතයි

[හිමිකම් විස්තර]

Dr. Nigel Bruce/www.itgd.org