Skip to content

පටුනට යන්න

පිරිසිදු නිවසක් අප සැමගේ සහයෝගයෙන්

පිරිසිදු නිවසක් අප සැමගේ සහයෝගයෙන්

පිරිසිදු නිවසක් අප සැමගේ සහයෝගයෙන්

මෙක්සිකෝවේ පිබිදෙව්! ලේඛක විසින්

පිරිසිදු නිවසක ජීවත් වෙන්න ලැබීම මොනතරම් ප්‍රීතියක්ද! නගරවල කුණු කසළ වැඩි වෙමින් පවතින විට අපේ පරිසරය පිරිසිදුව හා පිළිවෙළකින් යුක්තව තබාගැනීම අසීරු කාර්යයක් වී තිබෙනවා.

නගර සභාවලින් කුණු කසළ එකතු කිරීමේ සැලසුම් යොදා පාරවල් පිරිසිදුව තැබීමට වෑයමක් දැරුවත් ඇතැම් ප්‍රදේශවල කුණු කසළ එකතු වීම වැඩි වෙමින් පවතියි. එය දැකීමට අප්‍රසන්න දෙයක් මෙන්ම මහජනයාගේ සෞඛ්‍යයටද තර්ජනයක් වෙමින් පවතිනවා. කුණු කසළ එකතු වීම නිසා මීයන්, කැරපොත්තන් හා වෙනත් පළිබෝධකයන් වැඩි වී රෝග පැතිරෙනවා. මෙම තත්වය සම්බන්ධයෙන් යමක් කිරීමට ඔබට හැකියාව තිබෙනවාද? ඇත්තෙන්ම ඔව්! ඔබට හැකියි ඔබේ නිවස හා වටපිටාව පිරිසිදුව සහ පිළිවෙළකට තබාගන්න.

සුදුසු ආකල්පය

සමහර මිනිසුන් සිතන්නේ අපිරිසිදු නිවෙස් හා වටපිටාවන්ට හේතුව දිලිඳුකම කියලයි. එය වැරදි අදහසක්. මුදල් හිඟකම නිසා අපේ වටපිටාවන් පිරිසිදුව තබාගැනීම යම් දුරකට අසීරු කාර්යයක් බව ඇත්තයි. ඒ වුණත් “ඇතොත් දිලිඳුකම නැති වෙයි පිරිසිදුකම යනුවෙන් කීම අනුවණ කතාවක්” බවයි ස්පාඤ්ඤ හිතෝපදේශයක පවසන්නේ. අනෙක් අතට, කෙනෙකුට මුදල් හා අවශ්‍ය දේවල් ප්‍රමාණවත්ව තිබුණ පළියට ඔහු තම වටපිටාව පිරිසිදුව තබාගනියි කියා සහතික විය නොහැකියි.

නිවස තුළ සහ ඒ අවට පිරිසිදුව තබාගැනීම රඳා පවතින්නේ ඒ සඳහා සුදුසු ආකල්පයක් තිබෙනවා නම් හා එය ක්‍රියාවට නැඟීමට පෙලඹීමක් තිබෙනවා නම් පමණයි. ඇත්තෙන්ම පවුලේ හැමෝම දරන ආකල්පය මතයි නිවසක පිරිසිදුකම රඳා පවතින්නේ. ඒනිසා අපේ වටපිටාව මෙන්ම අපේ නිවස පිරිසිදුව තබාගැනීමට අපි සියල්ලන්ටම කළ හැකි දේ ගැන සෝදිසි කර බලන එක හොඳයි.

පිරිසිදු කිරීමේ වැඩසටහනක්

මවකට නිවසෙහි වැඩ කටයුතුවල නම් කෙළවරක් නැති බවයි පෙනෙන්න තිබෙන්නේ. ආහාර පිස දරුවන්ව පාසැල් යවන්න සූදානම් කිරීමට අමතරව නිවස සහ ඒ අවට පිරිසිදුව තබාගැනීමටද ඇයට සිදු වෙනවා. දරුවන් කාමරය පුරා දමා යන කිලිටි ඇඳුම් හෝ අනෙකුත් දේවල් නිතර අස් පස් කර දමන්නේ ඔවුන්ගේ මව බව ඔබ දැක තිබෙනවාද? පවුලේ එක් එක්කෙනා ඉටු කළ යුතු වැඩ කොටස් ඇතුළත් වැඩසටහනක් සකස් කිරීමෙන් මවගේ වැඩ කොටස සැහැල්ලු කිරීමට උපකාර කරන්න සැමටම හැකියි.

දිනපතා සැලකිලිමත් විය යුතු හා පිරිසිදු කළ යුතු දේවල් මොනවාද කියාත්, සතියකට වරක් සහ මසකට වරක් පිරිසිදු කරන්නේ කුමන ඒවාද කියාත් සමහර භාර්යාවන් තීරණය කරනවා. ඇත්තෙන්ම වාර්ෂිකව පිරිසිදු කළ හැකි දේවල් පවා සටහනට ඇතුළත් කළ හැකියි. උදාහරණයකට ලොව පුරා තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාල පිහිටි බෙතෙල් නිවාසවල වාර්ෂිකව සම්පූර්ණ පිරිසිදු කිරීමක් කෙරෙනවා. පාවිච්චියට නොගැනෙන දේවල් ඉවත් කර අවශ්‍ය ඒවා පිළිවෙළකට තැබීම සඳහා හොඳම අවස්ථාව එයයි. එහි නිතිපතා බිත්ති සේදීම සඳහාද වැඩසටහනක් තිබෙනවා.

නිරෝගී සෞඛ්‍යයක් පවත්වාගැනීම සඳහා නාන කාමරය වැනි ස්ථාන පිරිසිදුව තබාගැනීම අත්‍යවශ්‍යයි. දිනපතා සුළු පිරිසිදු කිරීමක් සිදු කළත් හැකි නම් සතිපතාවත් සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමෙන් නිවසේ ක්ෂුද්‍ර ජීවීන් බෝවීම වළක්වාගත හැකියි. වැසිකිළි පෝච්චියේ පැල්ලම් ඇති වෙන එක වළක්වන්නත්, ඒවා ඉවත් කරන්නත් බැහැයි කියා සමහරු සිතනවා. එහෙත් කිසිම පැල්ලමක් නැතුව පිරිසිදුව ලස්සනට වැසිකිළි තිබෙන නිවෙස් නැහැයි කියා නම් පැවසිය නොහැකියි. නිතිපතා පිරිසිදු කිරීම හා සුදුසු පවිත්‍රකාරකයන් භාවිත කිරීම පමණයි අවශ්‍ය වන්නේ.

මුළුතැන් ගෙයත් හොඳින් පිරිසිදු කළ යුතුයි. දිනපතා පිඟන් කෝප්ප සේදීම, උදුන සහ ආහාර පිසින තැන් හා මේස මතු පිට පිරිසිදු කිරීම සිදු කළත් අඩුම තරමින් මසකට වරක්වත් සම්පූර්ණ පිරිසිදු කිරීමක් කළ යුතුයි. බඩුබාහිරාදියේ පිටුපස කොටස සහ සෝදන ස්ථානය වන සින්ක් එක වගේ ස්ථානවල යට පැත්ත වැනි, නිතර පිරිසිදු නොකෙරෙන තැන් පවා පවිත්‍ර කළ යුතුයි. ආහාර ගබඩා කර තිබෙන ස්ථානය හෝ කබඩ් පිරිසිදු කිරීම නිතර කිරීමෙන් කැරපොත්තන් මෙන්ම වෙනත් හානිකර කෘමීන් බෝවීම වළක්වාගත හැකියි.

පවුලේ සියල්ලන්ගේ සහයෝගය

සමහර දෙමාපියන් දරුවන්ට නීති දමා පුහුණු කර තිබෙනවා. ඒනිසා ඔවුන් උදෑසන පාසැල් යන්න පෙර ඇඳ සකස් කර, කිලිටි ඇඳුම් නිසි ස්ථානයට දමා අනෙක් දේවල් නිසි ස්ථානවල තබා යෑමට පුරුදුව සිටිනවා. සැමට ප්‍රයෝජනවත් වන රීතියක් වන්නේ “සෑම දෙයකටම ස්ථානයක් හා නිසි ස්ථානයෙහි සෑම දෙයක්ම” යන්නයි.

එමෙන්ම පවුලේ ඇතැම් අයට නිශ්චිත වැඩ කොටසක් කිරීමට හෝ නිවසේ යම් කොටසක් පිරිසිදු කිරීමට පැවරිය හැකියි. උදාහරණයක් බලමු. වාහන නවතන ස්ථානය හෙවත් ගරාජ් එක පිළිවෙළකට තබන්නෙත්, වසරකට වතාවක් සම්පූර්ණයෙන්ම පිරිසිදු කරන්නෙත් පියා විසින්ද? මෙයට සහයෝගය දීමට එක් දරුවෙකුට හැකිද? තණ කොළ කැපීමේ හා මිදුලේ වල් පැළ උදුරා දැමීමේ වගකීම දරන්නේ කවුද? නිවසේ වටපිටාව ලස්සනට පිරිසිදුව තැබීම සඳහා මෙය කොපමණ කලකට වරක් සිදු කළ යුතුද? අනවශ්‍ය ලෙස ගොඩ ගැසී තිබෙන දෑ ඉවත් කර පිරිසිදු කළ යුතු ගබඩා කාමරයක් නිවසෙහි තිබෙනවාද? එසේනම් කවුද ඒ වගකීම දරන්නේ? සමහර දෙමාපියන් එවැනි කාර්යයන් මාරුවෙන් මාරුවට කිරීමට දරුවන්ට පවරනවා.

එබැවින් ඔබේ නිවස පිළිවෙළකට නඩත්තු කිරීම සඳහා හොඳ වැඩසටහනක් සකස් කරගන්න. ඔබ හෝ ඔබේ පවුලේ සාමාජිකයන්ගේ සහයෝගයෙන් හෝ කුලියට ගන්නා කෙනෙකු ලවා හෝ පිරිසිදුව පිළිවෙළකට දේවල් කරන්න නම් කළ යුතු දේවල් පිළිබඳ පැහැදිලි වැඩසටහනක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. තම නිවස පිරිසිදුව පිළිවෙළකට තබාගන්නාවූ එක් මවක් පවුලේ හැමදෙනාම සහයෝගය දක්වන අයුරු මෙසේ පවසයි. “මගේ දියණියන් තුන්දෙනා සහ මම ගෙදර දොරේ වැඩ බෙදාගන්නවා. නෝමාර් ආන්ඩ්‍රියානා විසිත්ත කාමරය සහ නිදන කාමර දෙකත්, මිදුල සහ ගෙට ඇතුල් වෙන පාරත් පිරිසිදු කරනවා. ආනා ජාකිනා මුළුතැන්ගෙය පිරිසිදු කරන්න භාරගන්නවා. මාරියා ඩෙල් කාමන් පිඟන් කෝප්ප සෝදන අතරතුර මම ඇඳුම් සෝදන්නත් වෙනත් දේවල් බලාගන්නත් යොමු වෙනවා.”

නිවස අවට ප්‍රසන්න පෙනුමක්

නිවස අවට තත්වය කොහොමද? ඔබ බංගලාවක ජීවත් වුණත්, කුඩා නිවසක විසුවත් වටාපිටාව පිරිසිදු කිරීම හා පිළිවෙළකට තබාගැනීම සඳහා වැඩසටහනක් තබාගත යුතුයි. උදාහරණයකට ගේට්ටුවේ සරනේරුවක් ගැලවී ගේට්ටුව ගැලවෙන තත්වයක තිබිය හැකියි. එය ගැලවිලා වැටෙන තුරු අලුත්වැඩියා නොකර තැබුවොත් මොන තරම් අවලස්සනද? නිවස ඉදිරිපිට හෝ පිළිකන්නෙහි කුණු කසළ එකතු වීමට ඉඩහැරියොත් තත්වය එයම නොවෙයිද? එමෙන්ම ටින් කැබලි, වැඩ පළ කිරීමට ගත් ආයුධ සහ වෙනත් උපාංග මිදුලේ තැනින් තැන එකතු වී තිබිය හැකියි. එවිට පළිබෝධකයන්ටත් එය තෝතැන්නක් වෙයි.

අවශ්‍ය පරිදි දවසකට වරක් හෝ සතිපතා හෝ ගෙයි පිළිකන්න, නිවසට ඇතුල් වන මාර්ගය පවා අතු ගා සුද්ද පවිත්‍ර කර නිවසේ වටාපිටාව පිරිසිදුව තබාගැනීමට ඇතැම් පවුල් තීරණය කර තිබෙනවා. වටාපිටාව පිරිසිදුව තැබීමට රජයෙන් ඇතැම් ස්ථානවලට හොඳ සැලසුම් යොදා තිබෙන බව සත්‍යයක් වුවත් තවත් ස්ථානවල එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ නැහැ. අප වෙසෙන වටාපිටාව පිරිසිදුව තබාගැනීමට අප එක් එක්කෙනාගේ කොටස කරනවා නම් ලස්සනට මෙන්ම නිරෝගීව ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙන බව නිසැකයි.

සමහර පවුල් එකිනෙකාගේ වැඩ කොටස සඳහන් කර එවැනි වැඩසටහනක් සකස් කර තිබෙනවා පමණක් නොව ඒවා කොළයක ලියා පවුලේ සැමට දැකිය හැකි වන තැනක තබා තිබෙනවා. මෙමගින් හොඳ ප්‍රතිඵල නෙළාගත හැකි වෙයි. පිරිසිදුකම ගැන ඔබ දත යුතු සියල්ල අප මෙහි සඳහන් කර නැහැ. ගැළපෙන්නේ කුමන පවිත්‍රකාරකයන්ද, ඔබේ වත්කම අනුව ලබාගත හැක්කේ කුමන උපාංගද කියා තීරණය කළ යුතු වන්නේ ඔබයි.

ඔබේ නිවසේ හා වටපිටාවේ නඩත්තුව සඳහා අවශ්‍ය වන්නේ කුමක්දැයි යන්න ගැන පවුලේ හැම සාමාජිකයෙකුටම මෙම සුළු යෝජනාවලින් දැනුමක් ලැබෙයි. නිවස සහ අවට පරිසරය පිරිසිදුව තබාගැනීම රඳා පවතින්නේ ඔබ සතු මුදල් ප්‍රමාණය අනුව නොව නමුත් ඔබේ ආකල්පය අනුව බව මතක තබාගන්න.

[16, 17වන පිටුවේ කොටුව]

නිවස පිරිසිදුව තබාගැනීමට වැඩසටහනක්

අමතර කරුණු ඇත්නම් ලැයිස්තුවේ හිස් කොටසෙහි සඳහන් කරන්න

මෙය මතක තබාගන්න: පවිත්‍රකාරකයන් කීපයක් එකට මිශ්‍ර කිරීම අතිශයින් අනතුරුදායක විය හැකියි විශේෂයෙන්ම බ්ලීචිං කුඩු ඇමෝනියා සමඟ මිශ්‍ර කිරීමෙන් වළකින්න

දිනපතා

නිදන කාමරය: ඇඳ සකස් කර කාමරය පිළිවෙළකට තබන්න

මුළුතැන්ගෙය: භාජන සෝදන්න. ඒවා සෝදන බේසම හෝ ස්ථානයද සෝදන්න. මතුපිට හා මේස මතුපිට අස් පස් කර තබන්න. අවශ්‍ය නම් බිම අතුගාන්න. නැතහොත් සෝදා තෙත මාත්තු කරන්න

නාන කාමරය: මූණ සෝදන බේසම සහ වැසිකිළිය සෝදන්න. එහි ඇති සෑම දෙයක්ම පිළිවෙළකට තබන්න

විසිත්ත කාමරය සහ වෙනත් කාමර: මෙහි ඇති සියල්ල පිළිවෙළකට තබන්න. බඩු මුට්ටුවල දූවිලි ගසා පිස දමන්න. අවශ්‍ය නම් බිම අතුගාන්න; සෝදා තෙත මාත්තු කරන්න; වැකියුම් ක්ලීනර් යන්ත්‍රය පාවිච්චි කර පිරිසිදු කරන්න

මුළු නිවසම: කුණු කසළ නිසි ස්ථානයට ඉවත් කරන්න

සතිපතා

නිදන කාමරය: ඇඳ ඇතිරිලි මාරු කරන්න. අවශ්‍ය නම් බිම අතුගාන්න; සෝදා තෙත මාත්තු කරන්න; වැකියුම් ක්ලීනර් යන්ත්‍රය පාවිච්චි කර පිරිසිදු කරන්න. බඩු මුට්ටුවල දූවිලි ගසා දමන්න

මුළුතැන්ගෙය: උදුන පිරිසිදු කරන්න. සෝදන ස්ථානය ළඟ සවි කර ඇති උපාංග සෝදන්න. බිම සෝදා තෙත මාත්තු කරන්න

නාන කාමරය: බිත්ති මෙන්ම සින්ක් එක හා නාන ටැංකිය සෝදන්න. ලාච්චු සහිත රාක්කයක් ඇත්නම් එයද, වැසිකිළියද, වෙනත් දේවල මතුපිටද විෂබීජ නාශක යොදා පිරිසිදු කරන්න. තුවා මාරු කරන්න. බිම අතුගාන්න නැත්නම් සෝදා තෙත මාත්තු කරන්න

මාස්පතා

නාන කාමරය: හැම බිත්තියක්ම හොඳට සෝදන්න

මුළු නිවසම: දොර රාමු පිරිසිදු කරන්න. කුෂන් කර ඇති පුටුවල දූවිලි ගසා දමා පිරිසිදු කරන්න

වත්ත, මිදුල, රථ ගාල: අවශ්‍ය නම් අතු ගා පිරිසිදු කරන්න. කුණු කසළ හෝ අනවශ්‍ය දෑ එකතු වෙන්න ඉඩ නොහරින්න

මාස හයකට වතාවක්

නිදන කාමරය: අලංකාරය සඳහා අමතරව දමා ඇති ඇඳ ආවරණ නිෂ්පාදකයාගේ උපදෙස් අනුව පිරිසිදු කරන්න

මුළුතැන්ගෙය: ශීතකරණය හිස් කර හොඳින් පිරිසිදු කරන්න

නාන කාමරය: තට්ටු සහ ලාච්චු හිස් කර පිරිසිදු කරන්න. අනවශ්‍ය හෝ පරණ වූ දේවල් ඉවත් කරන්න

මුළු නිවසම: විදුලි බුබුළු, විදුලි පංකා සහ විදුලි බුබුළු ආවරණ පිරිසිදු කරන්න. දොරවල් පිරිසිදු කරන්න. ජනෙල් තිර, ජනේල සහ ජනෙල් රාමු සෝදන්න

වාර්ෂිකව

නිදන කාමරය: ඇඳුම් අල්මාරිය හිස් කර හොඳින් පිරිසිදු කරන්න. අනවශ්‍ය දේවල් ඉවත් කරන්න. බ්ලැන්කෙට්ටු සෝදන්න. වැකියුම් යන්ත්‍රය පාවිච්චි කර මෙට්ටවල දූවිලි ඉවත් කරන්න. නැතහොත් හොඳින් ගසා දමන්න. නිෂ්පාදකයාගේ උපදෙස් අනුව කොට්ට පිරිසිදු කරන්න

මුළුතැන්ගෙය: රාක්කවල තට්ටු, කබඩ් සහ ලාච්චු හිස් කර හොඳින් පිරිසිදු කරන්න. අනවශ්‍ය දේවල් ඉවත් කර දමන්න. බඩු මුට්ටු එහාට මෙහාට කර ඒවා මතු පිට මෙන්ම ඒවා තිබුණ තැන්වල පොළොවද පිරිසිදු කරන්න

මුළු නිවසම: බිත්ති සියල්ලම සෝදන්න. නිෂ්පාදකයාගේ උපදෙස් අනුව කුෂන් පුටු සහ තිර රෙදි පිරිසිදු කරන්න

රථ ගාල සහ ගබඩා කාමර: හොඳින් පිරිසිදු කරන්න. දේවල් පිළිවෙළකට තබන්න. නැතහොත් අනවශ්‍ය දේ ඉවතලන්න

[18වන පිටුවේ පින්තූර]

“සෑම දෙයකටම ස්ථානයක් හා නිසි ස්ථානයෙහි සෑම දෙයක්ම”

[18වන පිටුවේ පින්තූර]

පාවිච්චියට නොගැනෙන දේවල් ඉවත් කිරීම අවශ්‍ය විය හැකියි