Skip to content

පටුනට යන්න

සාප්පු සොරකමේ නියැලෙන්නේ ඇයි?

සාප්පු සොරකමේ නියැලෙන්නේ ඇයි?

සාප්පු සොරකමේ නියැලෙන්නේ ඇයි?

“මේක ඇත්තටම සොරකමක් හැටියට සලකන්න බැහැ. නැති අය ඇති අයගෙන් ගැනීමක් විතරයි සිදු වෙන්නේ.”—එංගලන්ත සභාවේ පූජකයෙක්.

ප්‍රබන්ධ කතාවල යම් සත්‍යයක් තිබෙනවා නම් එක් ප්‍රබන්ධ කතාවක වීර චරිතයක් වන රොබින් හුඩ් නමැති පුද්ගලයාට සොරකම් කිරීමෙහි වරදක් නැහැයි කියා හැඟෙන්න ඇති. එම එංගලන්තයේ ජන කතාවෙන් අපට කියාපාන්නේ රොබින් හුඩ් ධනවතුන්ගෙන් සොරකම් කර දුප්පතුන්ට දුන් ආකාරයයි. ඉහත සඳහන් කළ පූජකවරයාගේ අදහසත් ඊට සමානයි. සාප්පුවලින් බඩු සොරකම් කරන අය ගැන ඔහු මෙසේ පවසනවා. “සාප්පුවලින් බඩු සොරකම් කරන අය ගැන මට හරිම කනගාටුවක් දැනෙනවා. ඒ අය අතේ කිසි වරදක් නැහැ.” ලොකු සාප්පු හිමියන් අවුරුද්දකට එක දවසක් නොමිලයේ බඩු ගැනීමට දුප්පත් අයට ඉඩ දිය යුතුයි කියා එම පූජකවරයා යෝජනා කරනවා.

සාප්පුවලින් බඩු සොරාගන්න පෙලඹෙන හුඟදෙනෙක් එවැනි ක්‍රියාවක නියැලෙන්නේ දුප්පත්කම නිසා නෙමෙයි. ජපානයේ පොලිස් නිලධාරීන් තම සෙසු නිලධාරීන් දෙදෙනෙකුව සාප්පු සොරකමේ යෙදීම නිසා අත් අඩංගුවට ගනු ලැබුවා. එක්සත් ජනපදයේ ආහාර බෙදාහරින විශාල සමිතියක අධ්‍යක්ෂවරයෙක් එම සමිතියේම වෙළඳ සැලකින් බඩු සොරකම් කිරීමට ගොස් අසු වුණා. සමහර නහඹරයන්ට අතේ මුදල් තිබෙනවා. ඒ වුණත් තමන්ට අවශ්‍ය නැති බඩු සොරකම් කරනවා. මෙවැනි පුද්ගලයන් සොරකමේ නියැලෙන්නේ ඇයි?

‘විනෝදයක් ලැබීමට’

සාප්පුවලින් බඩු හොරකම් කරන අය විනෝදය, බිය සහ බලය වැනි හැඟීම්වලින් කුල්මත් වෙන්න කැමතියි. කලින් ලිපියේ සඳහන් කළ තරුණියන් දෙදෙනාත් ඒ වගෙයි. පළමු වතාවට සොරකමේ නියැලුණ ස්ත්‍රියක් මෙසේ පවසනවා. “මට දැනුණ හැඟීම් ගැන කියන්න වචන නැහැ. මාව අහු වුණේ නැති නිසා තමයි මට පුදුම සතුටක් දැනුණේ!” කාලයක් සොරකමේ නියැලුණාට පසු ඇයට හැඟුණ ආකාරය ගැන ඇය පවසන්නේ මෙවැනි දෙයක්. “මට මං ගැනම ලජ්ජාවක් ඇති වුණා. ඒත් මට අමුතු සතුටකුත් දැනුණා. මේක තමයි නියම ජීවිතේ කියා මට හිතුණා. හොරකම් කරලා අහු නොවීමෙන් මටත් යමක් කමක් කරන්න බලයක් තියෙනවා කියලත් හිතුණා.”

හෙක්ටර් නමැති තරුණයා පවසන්නේ සාප්පුවලින් බඩු සොරකම් කිරීමේ පුරුද්ද නතර කර මාස ගණනක් ගිය පසුත් යළි යළිත් සොරකම් කිරීමට ආශාවක් තමන් තුළ ඇති වුණ බවයි. * “ඒ ආශාව කාලයක් යනකම්ම තිබුණා. ඒක නිකං ඇබ්බැහි වීමක් වගේයි. සමහර අවස්ථාවලදී සාප්පුවක යම් භාණ්ඩයක් දකින විට ඒක ‘අහු වෙන්නේ නැති විදිහට ගන්න එක හරි ලේසියිනේ’ කියලා මට හිතෙනවා.”

විනෝදයක් ලැබීමට සොරකමේ නියැලෙන අය, එම භාණ්ඩ සොරකම් කරන්නේ ඇත්තටම එම භාණ්ඩ ඔවුන්ට අවශ්‍ය නිසා නොවෙයි. ඉන්දියාවේ එක් පුවත්පතක මෙසේ වාර්තා කර තිබුණා. “මනෝවිද්‍යාඥයන් පවසන ආකාරයට මෙවැනි සොරකම් කරන අය එවැනි දේ කරන්නේ තහනම් කර තිබෙන දේ කිරීමෙන් ඔවුන්ට විනෝදයක් ලැබෙන නිසයි. . . . සමහරෙක් සොරකම් කළ භාණ්ඩ නැවත ගොස් එම ස්ථානයේම තබා එනවා.”

වෙනත් හේතු

මානසික අවපීඩනය පුද්ගලයන් මිලියන ගණනකට තිබෙන ගැටලුවක්. සමහර අවස්ථාවල මෙම රෝගයෙන් පෙළෙන අය එම තත්වය පෙන්නුම් කරන්නේ සාප්පුවලින් බඩු සොරකම් කිරීම වැනි නුසුදුසු හැසිරීම් තුළින්.

වත්කමක් තිබෙන වැදගත් පවුලක අවුරුදු 14ක ගැහැනු ළමයෙක් සිටියා. ඇයට යමක් කමක් තිබුණත් ඇගේ කලකිරීමේ හැඟීම් “අඳුරු වලාවක් මෙන්” ඇගේ මුළු ජීවිතයම වෙළා ගත්තා. “මට ඒකෙන් ගොඩ එන්න බැරුව ගියා” කියා ඇය පවසනවා. ඇය මත්පැන් බිවූ අතර මත්ද්‍රව්‍යද භාවිත කළා. දිනක් සාප්පුවකින් බඩු සොරා ගනිද්දී අසු වුණා. ඒ වගේම දෙවරක් සිය දිවි නසාගන්න තැත් කළා.

හොඳ හැසිරීමක් තිබූ යෞවනයෙක් හෝ යෞවනියක් හදිසියේම සාප්පු සොරකමේ නියැලෙනවා නම් ඔවුන් යම් මානසික පීඩනයකින් පෙලෙනවාද කියා ඔවුන්ගේ දෙමාපියන් විසින් සොයා බැලීමට ඉඩ තිබෙනවා. නහඹරයන්ගේ රෝගවලට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරයෙක් වන රිචර්ඩ් මැකැන්සි මෙසේ පවසනවා. “ඔබේ දරුවා මොනයම් ආකාරයකින් හෝ අසාමාන්‍ය ලෙස හැසිරෙනවා නම් වෙනත් හේතුවක් සොයාගන්නා තුරු එය මානසික අවපීඩනය කියා සැක කළ හැකියි.”

සමහර යෞවනයන් සාප්පුවලින් සොරකම් කරන්නේ මිතුරන්ගේ බලපෑම නිසයි. තම මිතුරන්ගෙන් පිළිගැනීම ලබාගැනීමට ඔවුන් එසේ කරනවා. තවත් සමහරෙකු එවැනි දේවල් කරන්නේ පාළුව මකාගන්නයි. සමහරෙකු තම බඩ වියත රැකගැනීමට රැකියාවක් ලෙස සාප්පුවලින් බඩු සොරකම් කරනවා. හේතුව කුමක් වුවත් සෑම දිනකම සොරුන් මිලියන ගණනක් වටිනා බඩු සාප්පුවලින් සොරාගන්නවා. මෙයින් පාඩු විඳින්නේ කවුද?

[පාදසටහන]

^ 7 ඡේ. මෙම ලිපි මාලාවේ සමහර නම් වෙනස් කර තිබෙනවා.

[21වන පිටුවේ කොටුව]

මෙය ඇත්තටම රෝගයක්ද?

“මගේ නහඹර වියේ ඉඳලාම සාප්පුවලින් බඩු සොරකම් කිරීමට පෙලඹීමක් තිබුණා. ඒ පෙලඹීම ටිකෙන් ටික වැඩි වුණා. අන්තිමේදී දවසකට රුපියල් 50,000ක පමණ වටිනා භාණ්ඩ මිල දී ගැනීමට තරම් මම පෙලඹුණා” කියා මාරියා පවසනවා.

“මගේ හිතේ හොරකම් කරන්න චේතනාවක් නැහැ. හැබැයි පෙලඹීම ඉතාමත් දරුණු වෙනවා. මට මේක නවත්වන්න ඕනේ.” සොරකම් කිරීමට තමා තුළ තිබෙන පෙලඹීම පාලනය කිරීමට අමාරු නිසා චෞර උන්මාදය නමැති මානසික රෝගය තමාට තිබෙනවා කියා මාරියා සැක කරනවා.

“චෞර උන්මාදය” කියන්නේ “ස්නායු ආබාධයක් නිසා කිසිම ආර්ථික හේතුවක් නොමැතිව සොරාගැනීමට තිබෙන පෙලඹීමයි.” මෙය නිකම්ම ඇබ්බැහි වීමක් නෙමෙයි. මෙය කාලාන්තරයක් තිස්සේ තිබෙන මානසික රෝගයක් නිසා ඇති වන පෙලඹීමක්.

පුරුද්දක් ලෙස සොරකම් කරන අයට මෙම රෝගය තිබෙනවා කියා සමහරෙකු නිගමනය කරනවා. එය වැරදි නිගමනයක්. වෛද්‍යවරු පවසන්නේ එම රෝගය කලාතුරකින් ඇති වන දෙයක් කියායි. අමෙරිකාවේ මානසික රෝග සඳහා ප්‍රතිකාර කරන සංගමයට අනුව, සාප්පුවලින් බඩු සොරාගන්නා අය අතුරෙන් මෙම රෝගයෙන් පෙළෙන්නේ සියයට පහකටත් වඩා අඩු සංඛ්‍යාවක්. එමනිසා සාප්පුවලින් බඩු සොරකම් කරන හැම කෙනෙකුම මෙම රෝගයෙන් පෙළෙනවා කියා නිගමනය කිරීමට ඉක්මන් වෙන්න එපා. මේ සඳහා වෙනත් හේතුද තිබිය හැකියි.

[21වන පිටුවේ පින්තූරය]

සැලකිලිමත් දෙමාපියන් දරුවෙක් සාප්පුවලින් බඩු සොරකම් කිරීමට හේතුව සොයා බලනවා