Skip to content

පටුනට යන්න

මට කැමැත්තක් දක්වන යෞවනියකට මම සලකන්න ඕනේ කොහොමද?

මට කැමැත්තක් දක්වන යෞවනියකට මම සලකන්න ඕනේ කොහොමද?

යෞවන අය අසති . . .

මට කැමැත්තක් දක්වන යෞවනියකට මම සලකන්න ඕනේ කොහොමද?

“පළමු පියවර ගත්තේ සූසන්. ඒක මට ප්‍රශ්නයක් වුණේ නෑ. මම ඒකට කැමති වුණා.”—ජේම්ස්. *

“යෞවනියක් කැමැත්තක් දක්වද්දී යෞවනයා බොරු මවා පෑම් කරනවා නම් විනාශකාරී ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්.”—රොබෙර්ටෝ.

මෑතකදී ගෑනු ළමයෙක් ඔබෙන් යමක් අහන්න තියෙනවා කියලා කිව්වයි කියලා හිතමුකෝ. ඒ ගෑනු ළමයා යාළුවෝ කට්ටිය එක්ක ඉන්නකොට හැසිරෙන විදිය ඔබ බොහෝවිට දැකලා තියෙනවා. ඇය ඉන්න තැන කිසි පාළුවක් නෑ. ඒත් ඇය කියූ දෙයින් ඔබ බිරන්තට්ටු වෙනවා. ඇය කැමතියි ඔබත් සමඟ පෙම් සබඳතාවක් පවත්වන්න! ඔබත් එයට කැමතිද කියලා දැනගන්න ඇයට ඕනේ.

සාමාන්‍යයෙන් පෙම් සබඳතාවකට මුල් පියවර ගත යුත්තේ පිරිමි ළමයා කියන මතය ඔබ දරනවා නම් ඉහත සඳහන් යෝජනාව ගැන ඔබ පුදුමයට පත් වෙන්න පුළුවන්. ගොඩක් දුරට ඒ මතය හරි වෙන්න පුළුවන්. නමුත් යෞවනිය මුල් පියවර ගත්තා කියලා බයිබල් ප්‍රතිපත්ති කැඩෙන්නේ නෑ. * ඒ කරුණ වටහාගෙන සිටීම, සුදුසු විදියට ප්‍රතිචාරයක් දැක්වීමට ඔබට උපකාරවත් වෙයි.

ඒ යෝජනාව ගැන සිතීමෙන් පසු, පෙම් සබඳතාවක් පවත්වන්න ඔබට තාම වයස මදි කියලා හිතෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ තුළ ඒ යෞවනිය ගැන තාම කැමැත්තක් ඇති වෙලා නැතිව ඇති. ඒ වගේම ඇයට කැමැත්තක් ඇති වන ආකාරයෙන් ඔබ හැසිරුණාද කියලත් ඔබට සැකයක් ඇති වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවකදී ඔබ මොනවාද කරන්න ඕනේ? මුලින්ම ඇයගේ හැඟීම් ගැන හිතන්න.

ඇයට හැඟෙන විදිහ සලකා බලන්න

මේ වගේ කාරණයකදී යෞවනියකගේ තත්වය ගැන සිතා බලන්න. ඇයට ඕනේ ඔබගේ සිත දිනාගැනීමටයි. ඒ නිසා දවස් ගානක් තිස්සේ වචන ටික ගළපගන්නත්, ඒවා ආකර්ෂණීය ලෙස කියන විදිහ ගැන හිතන්නත් සෑහෙන මහන්සියක් ගන්න ඇති. ඒ වගේම ඔබ බැහැයි කියයිද දන්නේ නෑ කියන හැඟීම එක්කත් ඇය පොර බදන්න ඇති. අන්තිමේදී කොහොම හරි හිතත් හදාගෙන, නිර්භීතකමත් වඩවාගෙන ඇගේ හිතේ තියෙන දේ ඔබට කිව්වා.

ඒක කියන්න ඇය එච්චර මහන්සි වුණේ ඇයි? සමහරවිට ඇගේ ආදරය බොළඳ එකක් වෙන්න පුළුවන්. අනෙක් අතට වෙන අය නොදකින ඔබේ හොඳ ගුණාංග ඇය අගය කරනවා වෙන්න පුළුවන්. එහෙම බලද්දී ඇගේ වචනවලින් ඇය ඔබව ප්‍රශංසාවට ලක් කළා. එවැනි ප්‍රශංසාවක් හැමදාම ඔබට ලැබෙන දෙයක් නෙවෙයි.

ඉහත කරුණු පෙන්වා තිබෙන්නේ ඔබගේ තීරණයට බලපෑමක් කරන්න නෙවෙයි. ඒ වෙනුවට ඔබ ඇයට කතා කිරීමේදී කරුණාවන්ත වෙන්න කියන සිහිගැන්වීම ලබා දීමටයි. ජූලි කියන යෞවනිය මෙසේ පවසයි. “ඔහුට ඇය කෙරෙහි හැඟීමක් නැති වුණත්, ඔහු ගැන ඇය සැලකිල්ලක් දැක්වීම ගැන ඔහු තුළ යම් ආඩම්බරයක් ඇති වෙන්න ඕනේ. ඒ නිසා එකපාරටම ඇයට කැමති නැහැයි කියන්නේ නැතිව, ඇගේ හිත රිද්දන්නේ නැතිව, ඇයට දරාගත හැකි ආකාරයකින් ඒක කියන්න ඕනේ.” අපි දැන් හිතමු ඔබ කැමති නැහැ කියලා. එහෙම නම් මෘදුකමින් යුතුව ඒ ගැන කියන්න.

මීට කලිනුත් ඔබ ඇගේ යෝජනාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා නම් තත්වය මොකද්ද? එවිට කිසි හැඟීමක් නැතිව බැහැයි කියා කියන්න තියෙන පෙලඹීම වැඩියි. එසේ කීමෙන් වළකින්න. හිතෝපදේශ 12:18 කියන්නේ මෙහෙයි. “කඩුවකින් අනින්නාක් මෙන් නොසැලකිලි ලෙස කතා කරන්නෙක් ඇත; එහෙත් ඥානවන්තයාගේ දිවෙන් සුවය වේ.” ‘ඥානවන්ත දිවකින්’ යුතුව කතා කරන්නේ කොහොමද?

අදහස් පළ කළාටත් ගෞරවයකින් යුතුව කතා කළාටත් ආදරයක් දැක්වූවාටත් ඇයට ස්තුතිවන්ත වෙන්න ඔබට පුළුවන්. නොදැනුවත්ව වැරදි හැඟීමක් දීලා තිබුණා නම් ඒ ගැන සමාව අයදින්න. පැහැදිලිව ඒත් කාරුණිකව කියන්න ඇයගේ යෝජනාවට ඔබ අකමැති බව. නමුත් කියපු දේ ඇය වටහා නොගත්තා නම් කෙළින් කතා කරන්න. ඒ වුණත් දැඩි ස්වරයක් හා කැපෙන සුළු වචන මඟ හරින්න. ඔබ මේ වෙලාවේදී ඇගේ හිත පාරන්නේ නැතිව ඇයගේ හැඟීම් සැලකිල්ලට ගන්න. ඔබ ඇගේ තත්වයේ හිටියා කියලා හිතන්න. ඇය ඔබගේ යෝජනාව කාරුණිකව ප්‍රතික්ෂේප කරනවාට නේද ඔබ කැමති?

කොහොමවුණත් ඇය කියා සිටින්න පුළුවන් ඔබ හිතාමතාම ඇයට හැඟීම් දුන්නා කියලා. ඊට හේතු ඉදිරිපත් කරන්නත් පුළුවන්. ‘මතක නැද්ද ඔයා එදා මට දුන්න තෑග්ග?’ නැත්නම් ‘ඇයි අපි එදා පයින් යද්දී ඔයා කියපු දේ ඔයාට අමතක වුණාද?’ කියලා ඇය කියන්න පුළුවන්. දැන් ඔබ ඔබවම බැරෑරුම් ලෙස සෝදිසි කර බැලිය යුතුයි.

යථාර්ථයට මුහුණ දෙන්න

අතීතයේදී ගවේෂකයන් යම් රටවල් සොයාගනිද්දී බොහෝවිට එසේ කළේ යම් ජයගැනීමක් කළ බව පෙන්වන්න සහ තමන්ගේ වාසි ප්‍රයෝජනය තකායි. ඒ වගේම අද කාලේ සමහර යෞවනයන් යෞවනියන්ව සලකන්නෙත් ඒ විදියටයි. ඔවුන් පෙම් සබඳතාව පවත්වන්න කැමතියි. නමුත් විවාහයත් එක්ක එන වගකීම් කරට ගන්න කැමති නෑ. කිසිම වගකීමේ හැඟීමක් නැතිව ස්ත්‍රීන්ගේ සිතුම් පැතුම් සමඟ සෙල්ලම් කරනවා. ඒ වගේ යෞවනයෙක් යෞවනියකගේ ආදරය ලබාගන්නේ ඇයව රවටලා. ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් මෙවැනි අදහසක් දැක්වූවා. “සමහර කොල්ලෝ කෙල්ලන්ව මාරු කරන්නේ හරියට ඇඳුම් මාරු කරනවා වගේ. ගෑනු ළමයෙකුගේ හැඟීම් එක්ක ඒ විදියට සෙල්ලම් කිරීම වැරදියි.” තමන් ගැන පමණක්ම සිතන එවැනි ආකල්පයක් මඟ පාදන්නේ කුමකටද?

“තමාගේ අසල්වාසියා රවටන්නා: මම සෙල්ලම් නොකෙරෙම්දැයි කියමින් ගිනි පෙනෙලිද ඊගස්ද මරණයද පමුණුවන පිස්සෙකු මෙන්ය.” (හිතෝපදේශ 26:18, 19) යෞවනයෙක් තමන්ගේ වාසියට යෞවනියක් සමඟ සබඳකමක් පවත්වනවා නම් ඇය කවදා හෝ ඔහුගේ සැබෑ රූපය දකීවි. එය ඇයට මහත් වේදනාවක්. පහත සඳහන් අද්දැකීමෙන් එය දැකිය හැකියි.

එක යෞවනයෙක් යෞවනියක් එක්ක පෙම් සබඳතාවක් පටන්ගත්තා. නමුත් ඇයව විවාහ වීමේ අරමුණින් නෙවෙයි. කෑම ගැනීම සඳහා ඔහු ඇයව නිවසෙන් පිටට එක්කරගෙන ගියා. සාදයන්වලටත් ගියේ එකට. ඔහු, ඇය සමඟ ගත කළ කාලයට ප්‍රිය කළා. ඇය, ඔහු දුන් අවධානය ගැන සතුටු වුණා. ඇය හිතුවේ ඔහු ඇය සමඟ විවාහයට පෙර කරන ආශ්‍රය පවත්වනවා කියලයි. නමුත් ඔහු ඇයව ඇසුරු කළේ විනෝදයට කියලා දැනගත්තාම ඇයගේ හදවත පැලී ගියා.

ඔබ වෙතට ආ යෞවනියට ඔබ නොදැනුවත්වම හරි වැරදි අදහසක් දීලා තිබුණා නම් තත්වය කුමක්ද? නිදහසට කරුණු කියන්න යෑමෙන් වෙන්නේ ප්‍රශ්නය තව තවත් උග්‍ර වෙන එකයි. මේ බයිබල් උපදේශය සලකා බලන්න. “තමාගේ අපරාධ සඟවන්නා දියුණු නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නා කරුණාව ලබන්නේය.” (හිතෝපදේශ 28:13) ඒ නිසා ඇත්ත කතා කරන්න. වැරදි වටහාගැනීමකට වූ ඔබේ දායකත්වය පිළිගන්න. ඔබ හිතාමතාම ඇයගේ හැඟීම් සැහැල්ලුවට ගත්තා නම් ඔබ කළේ ලොකු වරදක් බව පිළිගන්න. අවංකව සමාව අයදින්න.

සමාව ඉල්ලුවාම ඔක්කොම හරියි කියලා හිතන්න එපා. යම් කාලයකට යෞවනිය ඔබත් සමඟ කේන්තියකින් ඉන්න පුළුවන්. සමහරවිට ඇයගේ දෙමාපියන්ටත් සිදු වූ දේ ගැන විස්තර කරන්න වෙයි. වෙනත් ගැටලුවලටත් මුහුණ දීමට ඔබට සිදු විය හැකියි. ගලාති 6:7 කියන්නේ මෙහෙමයි. “යමෙක් තමා වපුරන දේම නෙළාගන්නේය.” නමුත් සමාව අයැදීම සහ වැරැද්ද හරිගැස්වීමට ඔබට කළ හැකි සියල්ලම කිරීම ඇයට සාර්ථකව තත්වය ජයගන්න උපකාරයක් වේවි. ජීවිතයේ හැම කාරණයකදීම ඒ කියන්නේ විරුද්ධ ලිංගයේ අය සමඟ කටයුතු කිරීමේදී පවා ‘ඔබේ දිව වංචා කතාවෙන් වළක්වාගන්න’ ඔබ ලද ඒ අද්දැකීම ඔබට උපකාර වේවි.—ගීතාවලිය 34:13.

උත්තරයක් දෙන්න පෙර හොඳින් සිතා බලන්න

යෞවනිය ගෙනා යෝජනාවට ඔබ කැමති නම් තත්වය කුමක්ද? එහෙම නම් පෙම් සබඳතාවක් පවත්වනවා කියන්නේ නිකම්ම නිකං සෙල්ලමක් නොවන බව ඔබ මතක තබාගත යුතුයි. පෙම් සබඳතාවක් පවත්වන යුවළක් තුළ ඇති වෙන හැඟීම් මුල පුරන්නේ විවාහ බන්ධනයකටයි. ඒ ඇති වූ හැඟීම් ඔවුන්ගේ විවාහයෙන් පසුව ස්වාමිපුරුෂයෙක් හා භාර්යාවක් හැටියට ඔවුන්ගේ යුග දිවිය ශක්තිමත් කිරීමට දායක වෙයි. ඒ අවබෝධය ඔබට දැන් බලපෑ යුත්තේ කෙසේද?

මේ යෝජනාව ගෙනා යෞවනිය ගැන සිතන්න පටන්ගත්තාම ඇය බොහෝ පැතිවලින් හොඳ කෙනෙක් බව ඔබට වැටහෙන්න පුළුවන්. ඇය මුල් පියවර ගත් නිසා අවස්ථාව විවෘත වෙලා. ඔබත් ඇයට මනාප නිසා සබඳතාව අරඹන්න ඔබ කැමති ඇති. නමුත් විවාහයට කැමතියි කියලා කියන්න ඉක්මන් වෙන්න එපා. ඔබ දෙදෙනාටම පසුව ඇති විය හැකි වේදනාකාරී අද්දැකීම් මඟ හරවාගැනීමට දැන්ම ආරක්ෂාකාරී පියවර ගන්න.

ටික කලක් ගත වෙද්දී ඇයව හඳුනන මේරූ අය කිහිපදෙනෙක් එක්ක කතා කිරීමට ඔබට උවමනා විය හැකියි. ඔබව දන්නා කිහිපදෙනෙක් එක්කත් එලෙසම කරන්න කියලා ඇයට යෝජනා කරන්න. දෙදෙනාම ඒ අයගෙන් අහන්න ඕනේ ඔහුගේ හෝ ඇයගේ හොඳ ගුණාංග වගේම දුර්වලකම් මොනවාද කියලත්. ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගෙනුත් අදහස් විමසන්න පුළුවන්. ඔබේ සිත් ගත් පුද්ගලයාට සභාව තුළ හොඳ නමක් තියෙනවාද කියලා සොයා බැලීමත් නුවණට හුරුයි.

‘අනිත් අය මගේ පුද්ගලික ජීවිතයට ඔය තරම් ඇඟිලි ගහන්න ඕනේ ඇයි?’ කියා සමහරවිට ඔබ අසන්න ඉඩ තිබෙනවා. පෙම් සබඳතාවක් වැනි පුද්ගලික දෙයකදී පවා අනෙක් අයගේ අදහස් දැනගැනීම ඥානවන්තයි. එය ශුද්ධ ලියවිල්ලටත් එකඟයි. හිතෝපදේශ 15:22හි සඳහන් වන්නේ “බොහෝ මන්ත්‍රීන් ඇති තැන ඒවා පිහිටුවනු ලැබේ” කියායි. ඔබ කතා කරන්න බලාපොරොත්තු වෙන වැඩිහිටියන් ඔබ වෙනුවෙන් තීරණ ගන්නේ නෑ. නමුත් ‘හිතේසි මිත්‍රයන්ගෙන් ලැබෙන මන්ත්‍රණයෙන්’ඔබ අනික් පුද්ගලයා ගැන හා ඔබ ගැන පවා නොදකින පැත්ත සම්බන්ධයෙන් තොරතුරු හෙළි වෙයි.—හිතෝපදේශ 27:⁠9.

මුලින් සඳහන් කළ ජේම්ස් එසේ කළා. ඔහු ජීවත් වන්නේ තනිවමයි. ඒ වුණත් සූසන් සම්බන්ධයෙන් ඔහු තම දෙමාපියන්ගෙන් විමසුවා. ඉන්පසු දෙදෙනාම යුවළක් වශයෙන් ගැළපෙනවාද කියලා වෙනත් මේරූ අයගෙන් අදහස් ලබාගත්තා. ඔවුන්ගෙන් දෙදෙනා ගැනම හොඳ වාර්තා අහන්න ලැබුණාම ජේම්ස් සහ සූසන් විවාහ වීමට ඔවුන් දෙදෙනා ගැළපෙනවාද කියලා සොයා බලන්න එකිනෙකාව ඇසුරු කිරීමට පටන්ගත්තා. හැඟීම් උත්සන්න වීමට පෙර ඔබත් එවැනිම ක්‍රියාමාර්ගයක් ගතහොත් ඔබ ගන්නා අවසාන තීරණයේදී ඔබ වඩා නිසැකකමක් අද්දකීවි.

ඒ හැම දෙයකටම වැඩියෙන් කළ යුතු වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි යෙහෝවාට යාච්ඤා කිරීම. විවාහයට පෙර කරන ආශ්‍රය විවාහයට තබන පළමු පියවරයි. එමනිසා ඔබ ඇය සමඟ කරන ආශ්‍රය සාර්ථක විවාහයකට මඟ පාදයිද කියා දැනගැනීමට උපකාර කරන ලෙස ඉල්ලා දෙවිට අයදින්න. ඊටත් වඩා වැදගත් ලෙස ඔබ දෙදෙනාවම දෙවිට ළං කරවන අන්දමේ තීරණ ගැනීම සඳහා උපකාර ඉල්ලන්න. ඔබ දෙපළටම සැබෑ සතුට ගෙන දෙන මඟ එයයි.

[පාදසටහන්වල]

^ 3 ඡේ. මේ ලිපියේ නම් වෙනස් කර තිබෙනවා.

^ 6 ඡේ. යෞවනියක් යෞවනයෙකුට කැමති බව කියන්න පුළුවන් ආකාරය ගැන තොරතුරු දැනගැනීමට 2004 නොවැම්බර් 8 සහ 2005 ජනවාරි 8 යන පිබිදෙව්! කලාපවල “යෞවන අය අසති” යන ලිපි සලකා බලන්න.

[17වන පිටුවේ පින්තූර]

ඔබ ඇයට කැමැත්තක් දක්වන්නේ නැත්නම් ඉඟි දීමෙන් වළකින්න