Skip to content

පටුනට යන්න

නොසිතූ මොහොතක රැකියාව අහිමි වීම

නොසිතූ මොහොතක රැකියාව අහිමි වීම

නොසිතූ මොහොතක රැකියාව අහිමි වීම

“මගේ රස්සාව නැති වුණාම, මොනවද කරන්නේ කියලා හිතාගන්න බැරුව ගියා. මම දැන් කිසි වැඩකට නැති මිනිහෙක් කියලා මට හිතුණා.”—ජර්මනියේ ටෝනි.

“මගේ ඔළුවේ ලොකු බරක් පැටවුණා වගෙයි මට දැනුණේ. ස්වාමි පුරුෂයෙක් නැති මම මගේ දරුවෝ දෙන්නට කන්න දෙන්නේ කොහොමද, බිල් ගෙවන්නේ කොහොමද කියලා කල්පනා කෙරුවා.”—ඉන්දියාවේ මේරි.

“මගේ රස්සාව නැති වුණාම මම හොඳටම කලකිරුණා. මට ආයෙත් රස්සාවක් හොයාගන්න පුළුවන් වෙයිද කියලා මම දහ අතේ කල්පනා කෙරුවා.”—මෙක්සිකෝවේ හයිමි.

ටෝනි, මේරි සහ හයිමි වැනි අයවලුන්ගේ අද්දැකීම්වලට සමාන අද්දැකීම් ලෝකයේ කොතැනත් අහන්න දකින්න තිබෙනවා. නව සියවස ඇරඹෙනවාත් සමඟම යුරෝපයේ සහ මධ්‍යම ආසියාවේ සිටි මුළු ශ්‍රම බලකායෙන් සියයට 10ක් එනම් මිලියන 23ක ජන සංඛ්‍යාවක් විරැකියාවෙන් පෙළුණා. සංවර්ධනය වෙමින් පවතින සමහර රටවල ශ්‍රම බලකායෙන් හතරෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක්ද අද්දැක්කේ එවැනි තත්වයක්. එක්සත් ජනපදයේ “සමස්තයක් වශයෙන් මිලියන 2.6ට ආසන්න සංඛ්‍යාවකට පසුගිය මාස 28 ඇතුළත රැකියා අහිමි වුණා” කියා 2003 ජූලි මාසයේදී පළ කළ ද නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළා.

බොහොමයක් රටවල රැකියාවක් සොයාගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. සෑම වසරකම උසස් අධ්‍යාපනය නිම කර සිටින අය හා උපාධිධාරීන් විශාල පිරිසක් රැකියා සඳහා තරඟ වැදීම ඊට එක් උදාහරණයක් ලෙස පෙන්විය හැකියි. ඊට අමතරව උපාධියක් හෝ යම් ක්ෂේත්‍රයක් පිළිබඳ නිපුණත්වයක් තිබුණත් එම සුදුසුකම්වලට අනුව රැකියාවක් ලැබෙයි කියා ස්ථිර වෙන්න බැහැ. පුද්ගලයන් රැකියාවක නිරත වන කාලය අතරතුර කිහිප වතාවක් රැකියාවන් වෙනස් කිරීම සාමාන්‍ය දෙයක්. තවත් සමහරෙකු එක් ක්ෂේත්‍රයක් පිළිබඳව වෘත්තිමය වශයෙන් යම් සුදුසුකම් ලබා තිබුණත් ඊට හාත්පසින්ම වෙනස් රැකියාවන්වල නිරත වන ආකාරය දක්නට තිබෙනවා.

ඔබේ රැකියාව ඔබට අහිමි වුණොත් පහසුවෙන්ම යළි රැකියාවක් සොයාගැනීම සඳහා ඔබට කළ හැක්කේ කුමක්ද? ඒ වගේම රැකියාවක් සොයාගත් පසු එය රැකගැනීම සඳහා ඔබට කුමක් කළ හැකිද?