Skip to content

පටුනට යන්න

ඉස්කෝලේ මිතුරන්ව ළඟින් ඇසුරු කරන්න බැරිද?

ඉස්කෝලේ මිතුරන්ව ළඟින් ඇසුරු කරන්න බැරිද?

යෞවන අය අසති . . .

ඉස්කෝලේ මිතුරන්ව ළඟින් ඇසුරු කරන්න බැරිද?

“යාළුවෝ සති අන්තයේ විනෝද වුණ හැටි කතා කරනකොට, මට මං ගැන දුක හිතුණා.”—මිෂෙල්. *

“ළමයි එකට එකතු වෙලා ඉන්නවා දැක්කාම ‘එයාලා කොයිතරම් හොඳ යාළුවෝද, අනේ මටත් ඒ වගේ යාළුවෝ ඉන්නවා නම් කියලා මට හිතුණා.’”—ජෝ.

“මම ඉක්මනින්ම ඉස්කෝලේ ළමයි එක්ක යාළු වෙනවා. ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි. මේක මට ප්‍රශ්නයක් වුණා.”—මරියා.

දවසෙන් වැඩි හරියක් ඔබ ගත කරන්නේ පාසැලේ මිතුරන් සමඟ. ඔවුන්ටත් තියෙන්නේ ඔබට තිබෙන ප්‍රශ්න ගැටලුමයි. සමහර පැතිවලින් ඔබේ දෙමාපියන්ට, සහෝදර සහෝදරියන්ට හෝ ක්‍රිස්තියානි සභාවේ අයට වඩා ඔබේ මිතුරන් සමඟ පෑහිලා කටයුතු කරන්න පහසු ඇති. ඒ නිසා ඔබ ඔවුන් වෙත සමීප වෙනවා. මෙසේ මිතුරන් සමඟ සමීප මිතුදමක් ඇති කරගැනීම වැරදිද? යම් අන්තරාවන් ඇති වෙන්න පුළුවන්ද? කොයිතරම් දුරකට සමීප මිත්‍රත්වයක් පවත්වාගන්න පුළුවන්ද? සීමාවන් මොනවාද?

මිතුරන් නැතුව බැහැ

දුකේදීත් සැපේදීත් අපි ළඟින් ඉන්න මිතුරන් අපි හැමෝටම අවශ්‍යයි. යේසුස්ටත් මිතුරන් හිටියා. ඔවුන් සමඟ ඇසුරු කිරීමෙන් ඔහු සතුටක් අද්දැක්කා. (යොහන් 15:15) යේසුස් වද කණුවේ මැරෙන අවස්ථාවේ ඔහු ළඟින්ම හිටියේ ඔහු “[විශේෂයෙන්] ප්‍රේම කළ ගෝලයා” වූ යොහන්. (යොහන් 19:25-27; 21:20) ඔබේ දුකේදීත් සැපේදීත් ඔබ ළඟින් ඉන්න එවැනි මිතුරන් ඔබටත් අවශ්‍යයි. බයිබල් හිතෝපදේශයක මෙසේ සඳහන් වෙනවා. “සැබෑ මිතුරෙක් සැමදා ප්‍රේමය පෙන්වයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.”—හිතෝපදේශ 17:17.

ඔබේ සිතුම් පැතුම්වලට සමාන සිතුම් පැතුම් තිබෙන අවංක මිතුරෙක් පාසැලේ සිටිනවා කියා ඔබට හිතෙන්න පුළුවන්. ඔබ දෙදෙනා උනන්දු වෙන දේවල්ද එක සමානයි. ඒ වගේම කතා බහ කිරීමෙනුත් ඔබ සතුටක් ලබනවා ඇති. ඔහු හෝ ඇය සෙසු ඇදහිලිවන්තයෙක් නොවුණත් ඔබ හිතනවා ඇති ‘ආශ්‍රයට සුදුසු නැහැයි’ කියා අයින් කරන්න තරම් නරක කෙනෙක් නෙවෙයි කියලා. (1 කොරින්ති 15:33) ඔව් ඒක ඇත්ත. සමහර ළමයි ඔබේ බයිබල් විශ්වාසයන් පිළිනොගත්තත් ඔවුන් තුළ හොඳ ප්‍රතිපත්ති තියෙන්න පුළුවන්. (රෝම 2:14, 15) ඒත් ඒ අය සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට එය පදනමක්ද?

ක්‍රිස්තියානීන් සමාජශීලීයි

සැබෑ ක්‍රිස්තියානීන් තමන්ගේ ආගමට අයිති නැති අයගෙන් ඈත් වෙලා ජීවත් වෙන්නේ නැහැ. “ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න” කියා ක්‍රිස්තියානීන්ට දී තිබෙන පැවරුම ඉටු කිරීමට ඔවුන් සෑම ජාතියකම, ආගමකම හා සංස්කෘතියකම සිටින ස්ත්‍රීන් හා පුරුෂයන් සමඟ කතා බහ කරනවා. (මතෙව් 28:19) ඔවුන් තම අසල්වැසියන්, කාර්යාලයේ මිතුරන් හෝ පාසැල් මිතුරන්ගෙන් ඈත් වෙලා තපස් ජීවිතයක් ගත කරන්නේ නැහැ. ක්‍රිස්තියානීන් අන් අය ගැන සැබෑ උනන්දුවක් පෙන්වනවා.

බයිබල් ලේඛකයෙක් වූ පාවුල් මේ සම්බන්ධයෙන් කදිම ආදර්ශයක් තැබුවා. ඔහු “සියලු ආකාරයේ පුද්ගලයන්,” ඒ කියන්නේ ඇදහිල්ලේ නැති අය සමඟ පවා කතා කරන විදිහ දැනගෙන හිටියා. ඒත් පාවුල්ගේ අරමුණ වුණේ ඔවුන් සමඟ නිකම් විනෝදය සඳහා කතා බහ කිරීම නෙමෙයි. “මා සියල්ල කරන්නේ ශුභාරංචිය වෙනුවෙන්ය” කියා ඔහු පැවසුවා.—1 කොරින්ති 9:22, 23.

ඔහුගේ ආදර්ශය ඔබට අනුගමනය කරන්න පුළුවන්. ඔබේ මිතුරන් සමඟ සුහදව ආශ්‍රය කරන්න. ඔවුන් සමඟ හොඳින් අදහස් හුවමාරු කරන විදිහ ඉගෙනගන්න. පංතියේ ළමයින්ගෙන් සමහරෙක් ඔබේ බලාපොරොත්තුව ගැන දැනගන්න කැමති ඇති. ජැනට් කියන ක්‍රිස්තියානි දැරියට එවැනි අද්දැකීමක් තිබෙනවා. ඇයටත් ඇගේ පංතියේ ළමුන්ටත් පැවරුමක් ලැබුණා පංතියේ අනිත් ශිෂ්‍යයන් ගැන කෙටි විස්තරයක් ලියන්න. ඉන්පසු එක් එක් ශිෂ්‍යයා ගැන ලියා තිබෙන දේ කියවා බලන්න අදාළ ශිෂ්‍යයාට අවස්ථාවක් දුන්නා. ජැනට් ගැන ලියා තිබුණු විස්තරවලින් එකක මෙහෙම ලියා තිබුණා. “ඔයා නිතරම හරි සතුටින් ඉන්නේ. ඒකට හේතුව මොකක්ද?”

මෙම ඇද්දැකීමෙන් පෙන්වන ලෙස සමහරවිට ඔබේ පංතියේ මිතුරන් ඔබේ විශ්වාසයන් ගැන ඉගෙනගැනීමට කැමැත්තෙන් ඉන්නවා ඇති. ඇත්තෙන්ම එවැනි ළමයි සමඟ මිත්‍රවීම ප්‍රයෝජනදායකයි. මෙයින් ඔබට ඔබේ විශ්වාසයන් ගැන පැහැදිලි කිරීමට අවස්ථාවක් ලැබෙනවා. පංතියේ ළමයින්ට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ දෙන අතර ඔවුන් කියන දේට හොඳින් සවන් දීමටත් වග බලාගන්න. ඔබේ මිතුරන් සමඟ හොඳින් අදහස් හුවමාරු කරගැනීමෙන් ලබන අද්දැකීම් අනාගතයේ ඔබ රැකියාවක් කරන විට ප්‍රයෝජනදායක වෙයි. පාසැලේ හා රැකියා ස්ථානයේදී අන් අයට මිත්‍රශීලීව සැලකීමෙන් ‘සියල්ලෙහිදී අපේ ගැලවුම්කරු වන දෙවිගේ ඉගැන්වීම අලංකාර කිරීමට’ අපට හැකි වෙනවා.—තීතස් 2:10.

අනවශ්‍ය මිතුරුකම් එපා

ඔබේ පංතියේ මිතුරාට හොඳින් සැලකීමත් ඔහුගේ හෝ ඇගේ කිට්ටුම මිතුරා වීමත් අතර වෙනසක් තියෙනවා. පාවුල් කිව්වේ “නොඇදහිලිකරුවන් සමඟ එක් නොවන්න” කියායි. (2 කොරින්ති 6:14) කෙනෙකුගේ කිට්ටුම මිතුරා වීමට නම් ඔබට සිදු වෙනවා ඔහුගේ හෝ ඇගේ ප්‍රතිපත්ති හා පරමාර්ථයන්වලට එකඟ වෙන්න. එහෙමනම්, ඔබේ ආගමික විශ්වාසයන් හා ප්‍රතිපත්ති පිළි නොගන්න කෙනෙකු සමඟ කිට්ටු මිත්‍රත්වයක් තබාගන්නේ කොහොමද? ඔබේ ආගමික විශ්වාසයන් පිළිගන්නේ නැති කෙනෙකු සමඟ අනවශ්‍ය ලෙස ඇසුරු කිරීමෙන් වැරදි දේ කිරීමට හෝ ඔබේ හොඳ පුරුදු නැති වීමට යම් බලපෑමක් එල්ල විය හැකියි.

මරියා පාඩමක් ඉගෙනගත්තේ අත පුච්චගෙනමයි. ඇය හුඟක් මිත්‍රශීලී කෙනෙක් නිසා හැමෝම ඇයත් සමඟ ඉක්මනින්ම යාළු වෙනවා. ඒත් ඇයට තම සීමාව මොකක්ද කියලා තේරුම්ගන්න බැරි වුණා. ඇය මෙසේ පැවසුවා. “ගැහැනු ළමයි වගේ පිරිමි ළමයිනුත් මාත් එක්ක හරි එකතුයි. මම හරි ආසයි හැමෝවම ආශ්‍රය කරන්න. මටත් නොදැනීම ටිකෙන් ටික මම වැරදි දේවලට ඇදිලා ගියා.”

මරියා වගේ ඔබටත් සමහරවිට ඔබේ ආගමික විශ්වාසයන් පිළි නොගන්න මිතුරන් සමඟ කොතරම් කිට්ටු ඇසුරක් තිබෙනවාද කියා තේරුම්ගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ඔබ කිට්ටුවෙන් ඇසුරු කරන්නේ කාවද, අතේ දුරින් ඇසුරු කරන්නේ කාවද කියලා කලින්ම පැහැදිලිව අවබෝධ කරගත්තොත් පසුවට අද්දකින්න සිදු වෙන සිත් වේදනාවලින් ආරක්ෂා විය හැකියි. එය කරන්නේ කොහොමද කියලා බලමු.

හොඳ මිතුරන්ව සොයාගැනීමට. . .

කලින් සඳහන් කළා වගේ යේසුස් පොළොවේ ජීවත් වූ කාලයේ ඔහුට කිට්ටු මිතුරන් හිටියා. යේසුස් එය කළේ අවංක ජීවිතයක් ගත කිරීමෙන් හා දෙවිගේ අරමුණු ගැන කතා කිරීමෙන්. මිනිසුන් ඔහුගේ ඉගැන්වීම් හා ජීවන රටාව පිළිගත් විට ඔහුට සමීප වුණා. (යොහන් 15:14) උදාහරණයකට යේසුස් දුන් කතාවකට පුරුෂයන් හතරදෙනෙක් තුළ විශාල පැහැදීමක් ඇති වුණා. ඉන්පසු ඔවුන් ‘සියල්ලම අත්හැර ඔහු අනුව ගියා.’ මේ පුරුෂයන් හතරදෙනා තමයි පේතෘස්, අන්දෘ, යාකොබ් හා යොහන්. ඔවුන් යේසුස්ගේ සමීපතම මිතුරන් වුණා.—ලූක් 5:1-11; මතෙව් 4:18-22.

යේසුස්ගේ කතාව හා ක්‍රියාව තුළින් ඔහු විශ්වාස කළ දේ හා ඔහුගේ ප්‍රතිපත්ති ගැන තමන්ට පූර්ණ නිසැකකමක් තිබෙන බව පැහැදිලිව පෙනෙන්න සැලැස්සුවා. යේසුස්ව හා ඔහුගේ ඉගැන්වීම් පිළි නොගත් අය ඔහුව අත්හැර ගියා. යේසුස් ඔවුන්ව බලෙන් තියාගන්න උත්සාහ දැරුවේ නැහැ.—යොහන් 6:60-66.

එමෙන්ම තවත් අවස්ථාවක තරුණයෙක් තුළ තිබූ අවංකකම යේසුස්ගේ සිතට කාවැදුණා. බයිබලයේ සඳහන් වී තිබෙන්නේ ‘යේසුස් ඔහු දෙස බැලූ විට ඔහු කෙරෙහි ප්‍රේමයක් ඇති වුණා’ කියායි. නමුත් යේසුස් තම මිත්‍රයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියා ඔහු දැනගත් විට ඔහු ‘යන්න ගියා.’ එම පුද්ගලයා හොඳ කෙනෙක් වෙන්න ඇති. ඒ නිසයි යේසුස් තුළ “ඔහු කෙරෙහි ප්‍රේමයක්” ඇති වුණේ. යේසුස් මිතුරන්ගෙන් බලාපොරොත්තු වුණේ ඊට වඩා වැඩි දෙයක්. (මාක් 10:17-22; මතෙව් 19:16-22) ඔබ ගැන මොනවද කියන්න තියෙන්නේ?

පංතියේ ළමයෙක් සමඟ හොඳ මිත්‍රකමක් ඔබට තියෙනවා ඇති. ඒත් ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘මේ පුද්ගලයා යේසුස් කියූ දේ කරන්න කැමතිද? යේසුස් නමස්කාර කරන්න කියා කියූ යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න ඔහු හෝ ඇය කැමතිද?’ (මතෙව් 4:10) ඔබේ පංතියේ ළමයි සමඟ කතා කරන විට සහ බයිබල් ප්‍රතිපත්ති අනුව ජීවත් වන විට මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙයි.

යේසුස් සෑම ආකාරයකම පුද්ගලයන් සමඟ මිත්‍රශීලීව කටයුතු කළා හා සමානව ඔබටත් පුළුවන් පංතියේ මිතුරන් සමඟ මිත්‍රශීලීව හා සහයෝගයෙන් කටයුතු කරන්න. ඒත් යේසුස් තම සමීපතම මිතුරන් කරගත්තේ ඔහුගේ ස්වර්ගික පියාට ආදරය කළ අයවයි. ඔබටත් පුළුවන් එසේ කටයුතු කරන්න. පාසැලේදී “ඔබේ හැසිරීම යහපත් ලෙස පවත්වාගන්න.” ඔබේ විශ්වාසයන් ගැන පංතියේ ළමයි සමඟ කල්පනාකාරීව කතා කරන්න. ඒ වගේම හොඳ මිත්‍රයන්ව පමණක් ඇසුරු කරන්න අමතක කරන්න එපා.—1 පේතෘස් 2:12.

[පාදසටහන]

^ 3 ඡේ. සමහර නම් සැබෑ ඒවා නොවෙයි.

සිතා බලන්න

▪ පාසැල් වේලාවෙන් පසු තමන්ගේ ආගමික විශ්වාසයන්ට ගරු නොකරන මිත්‍රයෙක් සමඟ කාලය ගත කිරීම ආරක්ෂාකාරීද? එය නැණවත්ද?

▪ මෙම ලිපිය කියෙවූ පසු ඔබේ පංතියේ ළමයෙක් සමඟ සමීප ඇසුරක් ඔබට තිබෙනවා කියා සිතෙනවාද? එසේනම්, ඔබට ඒ ගැන මොනවද කරන්න පුළුවන්?

[18වන පිටුවේ කොටුව⁄පින්තූර]

මට සැබෑ මිතුරන් ඇති කරගත හැක්කේ කෙසේද?

යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් නිපදවා තිබෙන මෙම වීඩියෝ පටය තුළ එක්සත් ජනපදයේ, ඉතාලියේ, ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ තරුණ අය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවන් ඇතුළත් කර තිබෙනවා. මෙය භාෂා 36කින් ලබාගත හැකියි.

[18වන පිටුවේ පින්තූරය]

පංතියේ ළමයින්ගෙන් සමහරෙක් ඔබේ විශ්වාසයන් ගැන දැනගැනීමට කැමැත්තක් දක්වනවා ඇති