Skip to content

පටුනට යන්න

ලෙයින් නැහැවුණු ඉතිහාසයක්

ලෙයින් නැහැවුණු ඉතිහාසයක්

කලකට පෙර ත්‍රස්තවාදය යන වචනය ඇසූ පමණින් මතකයට නැඟුණේ උතුරු අයර්ලන්තය, උතුරු ස්පාඤ්ඤය සහ මැදපෙරදිග රටවල ඇති වූ සිදුවීම්. එහෙත් විශේෂයෙන්ම 2001 සැප්තැම්බර් 11වෙනිදා නිව් යෝර්ක්වල නිවුන් කුළුණු විනාශ වීමත් සමඟම ත්‍රස්තවාදය ලොව පුරා පැතිර ගියා. ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්, එංගලන්තයේ ලන්ඩන්, ශ්‍රී ලංකාව, තායිලන්තය, නේපාලය සහ පාරාදීසයක්ව තිබූ බාලි දූපත පවා ත්‍රස්තවාදයට ගොදුරු වී තිබෙනවා. එහෙත් මෙය අලුත් දෙයක් නම් නෙවෙයි. ඇත්තටම “ත්‍රස්තවාදය” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

එක් ශබ්දකෝෂයක ත්‍රස්තවාදය විස්තර කර තිබෙන්නේ පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් “දේශපාලනමය අභිමතාර්ථයන් ඉටු කරගැනීම පිණිස, රාජ්‍ය තන්ත්‍රය සහ මහජනයා බියගන්වමින් පැහැරගැන්ම, යුධ අවි භාවිතය, බෝම්බ ගැසීම, ඝාතනය වැනි සම්ප්‍රදාය විරෝධි ක්‍රම උපයෝගී කරගනිමින් ගෙනයන සංවිධානාත්මක භීෂණ කාර්ය පද්ධතිය” හැටියටයි. (සංස්කෘතික අමාත්‍යාංශය විසින් සම්පාදනය කළ සිංහල ශබ්දකෝෂය) මේ පිළිබඳව ලේඛිකාවක් වන ජෙසිකා ස්ටර්න් මෙසේ පැවසුවා. “ත්‍රස්තවාදය විවිධාකාරවලින් විස්තර කළත් එය සාමාන්‍ය ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් වෙන් කර හඳුනාගන්න මූලික ක්‍රම දෙකක් තිබෙනවා. සාමාන්‍ය වැසියන්ට විරුද්ධව ප්‍රහාර එල්ල කිරීම එක් ක්‍රමයක්. . . . අනික, ඔවුන්ගේ පරමාර්ථය ජනයා තුළ බිය හෝ ත්‍රාසය ඇති කිරීම මිස මිනීමැරීම හෝ හානියක් කිරීම නොවෙයි. නමුත් ඔවුන්ගේ ක්‍රියා නිසා සිදු වන්නෙත් එයමයි.”

මුල්ම ත්‍රස්තවාදීන්

ප්‍රචණ්ඩත්වයට ඉපැරණි ඉතිහාසයක් තිබෙනවා. පළමුවන සියවසේදී යුදයේ අන්තවාදී කල්ලියක් යුදෙව්වන්ගේ නිදහස වෙනුවෙන් රෝමයට විරුද්ධව නැඟී සිටියා. තමන්ගේ ඇඳුම් තුළ කිනිසි සඟවාගෙන යෙරුසලමේ උත්සවවලට සහභාගි වූ සෙනඟ අතරට ගිය මොවුන් තම සතුරන් දුටු වහාම ඔවුන් හැම කෙනෙකුගේම උගුරු දණ්ඩ කපා දැමුවා. එහෙමත් නැත්නම් පිටුපසින් ගොස් කිනිස්සෙන් ඇන මරා දැම්මා. ඒ නිසා ඔවුන්ව හැඳින්නුවේ කිනිසි දරන්නන් හැටියටයි. *

ක්‍රිස්තු වර්ෂ 66දී එම කල්ලිය මළ මුහුද අසල මැසඩා බලකොටුව අල්ලගත්තා. එහි සිටි රෝම සොල්දාදුවන්ව කුරිරු ලෙස මරා දැමූ ඔවුන් කන්දක් උඩ පිහිටි එම බලකොටුව තමන්ගේ මූලස්ථානය කරගත්තා. වසර ගණනාවක් පුරා මැර ප්‍රහාර එල්ල කළේ එම ස්ථානයේ සිටයි. අන්තිමේදී ක්‍රි.ව. 73දී රෝම ආණ්ඩුකාර ෆ්ලේවියස් සිල්වාගේ නායකත්වයෙන් රෝමානු සොල්දාදුවන් කණ්ඩායමක් යළි මැසඩා බලකොටුව අල්ලාගත් නමුත් එම ත්‍රස්තවාදී කල්ලිය යටත් කරගැනීමට අසමත් වුණා. ඒ කාලයේ සිටි ඉතිහාසඥයෙක් පවසන පරිදි මෙම ත්‍රස්තවාදී කල්ලියේ 960දෙනෙක් සිටි අතර ඔවුන්ගෙන් කාන්තාවන් දෙදෙනෙක් හා දරුවන් පස්දෙනෙක් හැර අන් සියලුදෙනාම රෝමයට යටත් නොවී සිය දිවි නසාගත්තා.

සමහරුන්ගේ අදහස වී තිබෙන්නේ මෙම විප්ලවවාදී කල්ලියේ කැරැල්ලත් සමඟ ත්‍රස්තවාදය පටන්ගත් බවයි. එහි ඇත්ත නැත්ත කුමක් වුවත්, එදා සිට ඉතිහාසය පුරාම ත්‍රස්තවාදය දසත පැතිර තිබෙනවා.

ආගමික ත්‍රස්තවාදීන්

වර්ෂ 1095 සිට සියවස් දෙකක් පුරා කතෝලික සභාවේ අනුමැතිය ඇතුව යුරෝපීය රටවල හමුදාවන් මැදපෙරදිගට අයත් රටවලට විරුද්ධව සටන් කළා. ඔවුන්ගේ ඉලක්කය වූයේ යෙරුසලම අල්ලාගැනීමයි. ඔවුන්ට විරුද්ධව ආසියාවේ හා දකුණු අප්‍රිකාවේ මුස්ලිම් හමුදා සටන් කළා. මේ සටන්වල යෙදුණු “ආගමික උන්මත්තක කණ්ඩායම්” ඔවුනොවුන්ව පමණක් නොව අහිංසක ජනතාවවත් කපා කොටා දැමුවා. දොළොස්වන සියවසේ සිටි පූජකයෙකු වන තීර්හි විලියම් විසින් 1099දී කතෝලික හමුදාවක් යෙරුසලමට ඇතුල් වූ විට සිදු වූ දේ විස්තර කළේ මෙලෙසයි.

“කඩු කිනිසි අතැතිව සිටි ඔවුන් අහු වෙන අහු වෙන හැම කෙනෙකුවම කුරිරු ලෙස මරා දැමුවා. . . . මොන තරම් ලේ හැළුවද කියනවා නම් කාණුවලත් ලේ ගලා ගියා. මළකඳන්වලින් පාරවල් වැහිලා තිබුණා. . . . කාටත් ගමන් කරන්න සිදු වුණේ මළකඳන් උඩින්.” *

ත්‍රස්තවාදීන් පසු කාලවල කඩු කිනිසි වෙනුවට බෝම්බ, තුවක්කු වැනි භයානක ආයුධ භාවිත කිරීමට පටන්ගත්තා. සිදු වූ විනාශය සිය දහස් වාරයකින් දරුණු වුණා.

මිලියන ගණනකට මරණය

බොහෝ ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ යුරෝපා ඉතිහාසයේ වැදගත්ම දිනය 1914 ජූනි 28 කියායි. එදා තරුණයෙකු විසින් ඔස්ට්‍රියාවේ කිරුළ හිමි ෆ්‍රැන්සිස් ෆර්ඩිනන්ඩ්ව ඝාතනය කළා. සමහරුන් එම ක්‍රියාව වීර ක්‍රියාවක් ලෙස සැලකුවත් 1වන ලෝක මහා යුද්ධයට හේතු වූයේ එයයි. එය අවසන් වූයේ තවත් මිලියන 20කගේ ජීවිත අහිමි කරමිනුයි.

මුළු ලොවම යුද්ධයට ඇද වැටුණේ 1914 ජූනි 28වනදායි

පළමු එකේදී වගේම දෙවන ලෝක මහා යුද්ධයේදීත් මිලියන සංඛ්‍යාත අහිංසක ජනතාවක් සිටියේ බියෙන්. හුඟදෙනෙකුව ගාල් කඳවුරුවලට ගෙන ගිය අතර ගුවන් ප්‍රහාරවලින් මිලියන ගණනක් ජීවිතක්ෂයට පත් වුණා. එම යුද්ධයද අවසන් වුවත් ත්‍රස්තවාද ඝාතන දිගින් දිගටම පැවතුණා. එක්දාස් නවසිය හැත්තෑ ගණන්වල කාම්බෝජයේ සිදු වූ ත්‍රස්තවාද ගැටුම්වලින් මිලියනයකට වඩා සංඛ්‍යාවක් මිය ගියා. ඒ වගේම 1990 ගණන්වල රුවන්ඩාවේ ජනතාවගෙන් 8,00,000ට වඩා සංඛ්‍යාවක් ඝාතනය කරනු ලැබුවා.

වර්ෂ 1914 සිට අද දක්වා බොහෝ රටවල සිදු වන ත්‍රස්තවාදී ක්‍රියාවලින් අපිත් විපාක විඳිනවා. සමහරු මේ ගැන බරෑරුම් ලෙස නොසිතුවත් මෙම ත්‍රස්තවාදී ප්‍රහාර නිසා නොකඩවා සිය ගණන් පිරිසක් මිය යනවා. දහස් ගණනක් ආබාධිත තත්වයට පත් වන අතර තවත් බොහෝ අයට සිදු වී තිබෙන්නේ බියෙන් වෙළුණු ජීවිතයක් ගත කරන්නයි. ත්‍රස්තවාදය හෙළා දැකීමට ජාත්‍යන්තර නීති තිබුණත් දිනෙන් දින ජනයා ගැවසෙන ස්ථානවල බෝම්බ පිපිරීම, ගම්මානවලට ගිනි තැබීම, කාන්තාවන්ව දූෂණය කිරීම, දරුවන්ව පැහැරගැනීම, මිනිස්සු මරණයට පත්වීම යනාදි දේවල් නොකඩවාම සිදු වෙනවා. මේ කුරිරු ක්‍රියාවන් කවදා හෝ අවසන් වෙයි කියා බලාපොරොත්තු විය හැකිද?

^ 5 ඡේ. ක්‍රියා 21:38හි වාර්තාවට අනුව පාවුල් “කිනිසි දරන්නන්” 4,000දෙනාගේ නායකයා කියා රෝමානු හමුදා සෙන්පතියෙක් පාවුල්ට නිරපරාදේ චෝදනා කළා.

^ 10 ඡේ. යේසුස් තම ගෝලයන්ට කියා සිටියේ ‘ඔවුන්ගේ සතුරන්ට ප්‍රේම කරන්න’ කියා මිස වෛර කර මරා දමන්න කියා නොවෙයි.—මතෙව් 5:43-45.