Skip to content

පටුනට යන්න

සිල්ක් “නූල්වල රැජිණ”

සිල්ක් “නූල්වල රැජිණ”

සිල්ක් “නූල්වල රැජිණ”

ජපානයේ පිබිදෙව්! ලේඛක විසින්

ලෝකයේ තිබෙන ලස්සන වටිනා ඇඳුම් අතරට ජපානයේ කිමෝනාව, ඉන්දියාවේ සාරිය සහ කොරියාවේ ජාතික ඇඳුම ඇතුළත් වෙනවා. ඒ සියල්ලටම පොදු එක් දෙයක් තිබෙනවා. එනම් ඒවා බොහෝවිට සාදා තිබෙන්නේ සේද හෙවත් සිල්ක්වලින් වීමයි. එදා මෙන්ම අදත් ලොව පුරා සිටින දුප්පත් පොහොසත් සියල්ලන්ගේම සිත් ඇදී යන්නේ මෙම සිල්ක්වල ඇති සුන්දරත්වයටයි. ඒත් එය හැමවිටම පහසුවෙන් මිල දී ගන්න හැකි වී නැහැ.

පුරාණ කාලයේදී සේද හෙවත් සිල්ක් නිෂ්පාදනය කළේ චීනය පමණයි. වෙන කවුරුත් එය නිෂ්පාදනය කරන ආකාරය දැනගෙන සිටියේ නැහැ. සිල්ක් ලබාගන්නේ පටපණුවාගෙන් යන රහස චීනයේ සිටින කවරෙකු හෝ හෙළි කළා නම් ද්‍රෝහියෙකු ලෙස මරණ දණ්ඩනයට යටත් වෙන්න ඔහුට සිදු වුණා. තනි අයිතියක්ව තිබූ සිල්ක් නිෂ්පාදනයේ මිල අධික වීම පුදුමයක් නෙවෙයි. උදාහරණයකට රෝම අධිරාජ්‍යයේ සිල්ක්වල වටිනාකම මසුරං මෙන් වුණා.

පසු කාලයේදී, චීනයේ නිෂ්පාදනය කළ සිල්ක් සියල්ලම පර්සියාව යටතට ගත්තා. එහෙත් මිල අධිකව තිබූ නිසා විටින් විට විවිධ අය මෙම තනි පාලනය කඩන්න හැදුවත් එය අසාර්ථක වුණා. ක්‍රිස්තු වර්ෂ 550දී නැඟෙනහිර රෝම අධිරාජ්‍යයේ ආණ්ඩුකාරයා වන ජස්ටිනියන් විසින් පැවිදිවරුන් දෙදෙනෙකුව රහස් මෙහෙයක් සඳහා චීනයට පිටත් කළා. අවුරුදු දෙකකට පස්සෙ මේ දෙන්නා නැවතත් ආවේ පටපණුවන්ගේ බිත්තර උණ බටවල සඟවාගෙනයි. එයින් පසු සේද හෙවත් සිල්ක් නිපදවීම රහසක් වුණේ නැහැ.

එළි වූ රහස

සිල්ක් නිෂ්පාදනය කරන්නේ පටපණුවාගෙන්. පණුවා කියලා කිව්වට ඌ ඇත්තටම දළඹු විශේෂයක්. සිල්ක් නිෂ්පාදනය කරන පටපණු වර්ග කිහිපයක් සිටියත් ඉස්තරම්ම සිල්ක් කෙඳි නිපදවන්නේ එක වර්ගයක් පමණයි. සිල්ක් රෙදි වියන්න පටපණුවන් සෑහෙන ප්‍රමාණයක දායකත්වය අවශ්‍ය වෙනවා. මේ හේතුව නිසා දැන් සමහර අය කරන්නේ පටපණුවන් ඇති කිරීමයි. මෙම වෘත්තියට සෑහෙන වෙහෙස වීමක් අවශ්‍ය වන අතර ජපානයේ පවුල් 2,000ක් පමණ එහි යෙදෙනවා. ගුම්මා ප්‍රදේශයේ වෙසෙන ෂොයිචි කවහාරාඩා පවුල ඉන් එක් උදාහරණයක්. ඔහුගේ තට්ටු දෙකේ නිවස විශාල මල්බෙරි වත්තක පිහිටා තිබෙන්නෙත් මේ නිසයි (1).

පටපණු සලබයාගේ ගැහැනු සතා වරකට ඇල්පෙනිති හිසක් තරම් පුංචි බිත්තර 500ක් පමණ දමයි (1). දවස් 20කට පස්සේ පටපණු පැටව් එළියට එන්නේ හරිම බඩගින්නෙන්. රෑ දවල් නොබලා කන එක විතරයි උන් කරන්නේ. මේ කුඩා පැටව් කන්නේ මල්බෙරි කොළ පමණයි (3, 4). දවස් 18කින් උන්ගේ ප්‍රමාණය 70 ගුණයකින් වැඩි වෙලා තිබෙනවා පමණක් නොව උන්ගේ හමත් හතර වාරයක් මුදාහැරලා තියෙනවා.

කවහාරාඩා මහතා සාමාන්‍යයෙන් වරකට පටපණුවන් 1,20,000ක් පමණ ඇති කරනවා. එක වරම මේ සතුන් කන්න පටන්ගත්තාම ඇහෙන ශබ්දය හරියට ධාරානිපාත වර්ෂාවක් වගෙයි. පටපණුවා සම්පූර්ණයෙන් වැඩුණට පස්සේ මුල් බර මෙන් දස දහස් වාරයකින් උගේ බර වැඩි වෙනවා. ඌ පිලා කෝෂය හදන්න පටන්ගන්නේ ඉන්පසුවයි.

නිහඬ නිෂ්පාදකයෝ

හොඳින් වැඩුණ පටපණුවන්ට තිබෙන්නේ විනිවිද පෙනෙන ස්වභාවයක්. ඒ කියන්නේ උන් සිල්ක් කෙඳි නිෂ්පාදනය කරන්න සූදානම්. පිලා කෝෂ හදන්න තැනක් හොයමින් ඉන්න නිසා උන්ව කුඩා කොටස්වලට බෙදා තිබෙන පෙට්ටිවලට දානවා. ඉන්පසු පටපණුවන් සිල්ක් කෙඳි නිෂ්පාදනය කරන්න පටන්ගන්නවා (5).

පටපණුවෝ 1,20,000දෙනාම එකවර සිල්ක් වියන්න පටන්ගන්න නිසා කවහාරාඩා මහතාට වැඩ ගොඩයි. ඔහුගේ ගෙදර උඩුමහල හොඳින් වාතාශ්‍රය තිබෙන තැනක් නිසා දැන් ඔහු කරන්නේ පටපණුවන් සහිත පෙට්ටි පේළි වශයෙන් එහි අඩුක් කිරීමයි (6).

පණුවන් දැන් නිහඬව සිටියත් උන්ගේ ශරීරය තුළ පුදුමාකාර දෙයක් සිද්ධ වෙමින් පවතිනවා. එනම් දවස් ගණනක් පුරා කාපු මල්බෙරි කොළ ෆයිබ්‍රොයින් නමැති ප්‍රෝටීනයක් බවට පත් වෙමින් නැවත මෙම ප්‍රෝටීනය ඇලෙන සුළු ද්‍රව්‍යක් වන සෙරිසින් සමඟ මිශ්‍ර වීමයි. පසුව පණුවා උගේ කට ළඟ තිබෙන විෂේශ අවයවයකින් දියර කෙන්දක් හැටියට එම ද්‍රව්‍ය පිට කරයි. එම කෙන්දට හුළං වැදුණ ගමන්ම එය ඝන වී සිල්ක් කෙන්දක් බවට පත් වෙනවා.

පණුවා නිදි මරාගෙන වැඩ. ඌ හිස දෙපැත්තට වනමින් විනාඩියකදී සෙන්ටි මීටර් 30ත් 40ත් පමණ දිගකින් යුත් කෙන්දක් වියනවා. කෙන්ද වියා අවසන් වන විට ඌ තම හිස 1,50,000ස් වාරයක් පැත්තෙන් පැත්තට වනා මීටර් 1,500ක් පමණ දිග තනි කෙන්දක්ද වියා නිම කරයි. මේ ක්‍රියාවලියට ගත වන්නේ දවස් දෙකයි. ඒත් ඌ වියන මේ කෙන්ද පොල් ගස් සීයක උසට සමානයි.

මේ ආකාරයට සෑදුව පිලා කෝෂ 1,20,000ක් සතියක් ඇතුළත එකතු කරන කවහාරාඩා මහතා සිල්ක් නූල් හා රෙදි නිෂ්පාදනය කිරීමේ ඉතිරි වැඩකටයුතු සඳහා ඒවා වෙනත් ස්ථානයකට යවනවා. සාමාන්‍යයෙන් ජපන් රටේ අඳින කිමෝනාවක් නිපදවීම සඳහා පිලා කෝෂ 9,000ක් පමණ අවශ්‍ය වන අතර ටයි පටියක් නිපදවීම සඳහා පිලා කෝෂ 140ක් පමණ අවශ්‍ය වෙනවා.

සිල්ක් රෙදි නිපදවන අයුරු

මුලින්ම කෙරෙන්නේ පිලා කෝෂයේ තිබෙන කෙන්ද රෝලක් වටා එතීමයි. මේ ක්‍රමය ඇරඹුණේ කොහොමද කියා ඔබ දන්නවාද? ඒ ගැන කට කතා බොහොමයක් තිබෙන අතර ඉන් එකක කියැවෙන්නේ මෙසෙයි. දිනක් චීන අධිරාජිනියක් වූ සි ලිං-ශීගේ තේ කෝප්පයට මල්බෙරි ගසකින් පිලා කෝෂයක් වැටිලා තිබෙනවා. ඇය ඒ පිලා කෝෂය ගන්න යද්දී ඇගේ අතට ඇවිත් තිබෙන්නේ සිහින් කෙන්දක්. මේ දැනුම සමඟ පිලා කෝෂවල කෙන්ද රෝලක් වටා එතීම ඇරඹුණා. අද දින එය කරන්නේ යන්ත්‍රාණුසාරයෙනුයි.

පිලා කෝෂ විකිණීමට පෙර ඒවා තුළ සිටින පට පණුවන්ව මරා දැමීමට සිදු වෙනවා. මෙය කෙරෙන්නේ ඒවා අධික උෂ්ණත්වයට නිරාවරණය කිරීමෙන්. හොඳ තත්වයක නැති පිලා කෝෂ ඉවත් කළායින් පසුව ඉතුරුවා උණු වතුරට හෝ වාෂ්පවලට ඇල්ලීමෙන් කෙන්ද බුරුල් කරනු ලබනවා. ඊළඟට යන්ත්‍රාණුසාරයෙන් කෙන්ද පරෙස්සමින් රෝලක ඔතනවා (7). ඝනකමින් වැඩි සිල්ක් නූලක් අවශ්‍ය නම් පිලා කෝෂ දෙකකින් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකින් කෙඳි එකතු කර ඝනකම් නූලක් සාදාගත හැකියි. මේ නූල රෝලක ඔතන ගමන්ම වියළෙයි. මේ අමු සිල්ක් නූල දැන් අවශ්‍ය කරන දිගට සහ බරට අනුව නැවතත් ඊට වඩා ලොකු රෝලක ඔතනු ලබනවා (8, 9).

ඔබ සිල්ක් රෙද්දක් අතට ගන්න විට එහි ඇති සිනිඳු සුමුදු ගතිය නිසා ඒ රෙද්දෙන් ඔබේ මුහුණ පිරිමදින්න පවා ඔබට හිතිලා ඇති. සිල්ක් රෙදි මෙතරම් සිනිඳු වෙන්න හේතුව මොකක්ද? එක හේතුවක් වෙන්නේ කෙන්දේ ඇලෙන සුළු ද්‍රව්‍යය වන සෙරිසින් ඉවත් කිරීමයි. මේ ද්‍රව්‍යය ඉවත් කළේ නැත්නම් සිල්ක් රෙද්ද ගොරෝසු ගතියක් ගන්න අතර ඊට සායම් දැමීමද අසීරු වෙනවා. සිල්ක් නූලෙන් වියන චිපොන් රෙද්ද මීට හොඳ උදාහරණයක්.

තව කාරණයක් වෙන්නේ සිල්ක් නූල් සෑදීමට කෙඳි අඹරන ප්‍රමාණයයි. ජපානයේ සාදන හබුටායි සිල්ක් රෙද්ද ගොඩක් සිනිඳු වෙන්නේ ඒ සඳහා සාදන නූල එතරම් අඹරන්නේ නැති නිසයි. සමහරවිට එය අඹරන්නේ නැති තරම්. ක්‍රේප් රෙද්ද ඊට හාත්පසින්ම වෙනස්. එය සෑදීමට ගන්න නූල්වල කෙඳි ගොඩක් අඹරා තිබෙන නිසා අතට ගොරෝසු බවක් දැනෙනවා.

ඊළඟට තිබෙන්නේ සායම් දැමීමයි. සිල්ක්වලට සායම් දැමීම ඉතා පහසුයි. කෙන්දේ සැකැස්ම නිසා එයින් සාදන නූල්වලට හෝ රෙදිවලට සායම් හොඳින් උරාගන්නවා විතරක් නෙවෙයි සිල්ක් රෙදිවලින් (10)ලෙහෙසියෙන් පාට යන්නෙත් නැහැ. නිම කළ රෙද්දෙන් කිමෝනාවක් මැසීමට පෙර අලංකාර මෝස්තර අතින් ඇඳ පාට කරනවා. මේ ජනප්‍රිය ක්‍රමය හඳුන්වන්නේ යූසන් ක්‍රමය ලෙසයි.

දැන් චීනය සහ ඉන්දියාව වැනි රටවල්වල සිල්ක් රෙදි නිෂ්පාදනය බහුලව කෙරෙන නමුත් ජනප්‍රියතම මෝස්තරවලට නාමයක් දිනාගෙන තිබෙන්නේ ප්‍රංශයේ සහ ඉතාලියේ මෝස්තර ශිල්පීනුයි. නවීන දින කෘත්‍රිම කෙඳිවලින් සාදන රෙයොන් සහ නයිලොන් ඇඳුම් වෙළඳ පොළෙන් ලබාගත හැකියි. ඒවා මිල අධික නූනත් ස්වාභාවික සිල්ක් රෙද්දට කොහෙත්ම සම කරන්න බැහැ. ජපානයේ යොකොහාමා නගරයේ පිහිටා තිබෙන සිල්ක් කෞතුකාගාරයේ අධ්‍යක්ෂක ඒ ගැන පැවසුවේ මෙසේයි. “අද කාලයේ විද්‍යාව කොතරම් දියුණු වෙලා තිබුණත් කෘත්‍රිම සිල්ක් රෙදි නිපදවීමට කාටත් බැහැ. ඒ කෙන්දේ රසායනික සංයෝගය පටන් සැකැස්ම දක්වා වූ සෑම විස්තරයක්ම අපි දැනගෙන සිටියත් ඊට සමාන දෙයක් නිපදවන්න අපිට හැකියාව නැහැ. සිල්ක්වල අරුමය එයයි!”

[25වන පිටුවේ කොටුව⁄පින්තූරය]

සිල්ක්වල තිබෙන ලක්ෂණ

ශක්තිමත්: සිල්ක් කෙන්දක් එම ප්‍රමාණයේම ලෝහ කෙන්දක් තරම් ශක්තිමත්.

දීප්තිමත්: මෙම කෙඳි සාදා තිබෙන ආකාරය නිසා ආලෝකය වැටෙනකොට ඒවා මුතු කැට මෙන් දිලිසෙනවා.

සිනිදුයි: සිල්ක් සෑදීමට උපකාර වන ඇමයිනො අම්ල සමට නොදැනෙන තරම් සිනිදුයි. සමහර සමේ රෝග වළක්වාගැනීමට සිල්ක් උපකාරවත් වෙයි. සිල්ක් කුඩුවලින් රූපලාවන්‍ය වර්ගත් සාදා තිබෙනවා.

තෙත උරාගනියි: සිල්ක් කෙඳිවල තිබෙන ඇමයිනො අම්ල හා පුංචි හිදැස් නිසා සිල්ක්වලට දාඩිය උරාගෙන පිට කිරීමේ හැකියාවක් තිබෙනවා. එමනිසා රස්නේ දවස්වල ඇඳීමට කදිම රෙදි වර්ගයක්.

නොදැවෙනසුලුයි: ඉක්මනින්ම දැවී යන්නෙත් දැවෙන විට විෂ වායු පිට කරන්නෙත් නැහැ.

ආරක්ෂිතයි: පාරජම්බූල කිරණ උරාගෙන සම රැක දෙයි.

ස්ථිතික විද්යුතය වර්ධනය නොවෙයි: ධන හා ඍණ අයන දෙවර්ගයම සිල්ක්වල තිබෙන අතර තෙතමනය උරාගැනීමේ හැකියාවත් තිබෙන නිසා සමහර රෙදි වර්ගවල මෙන් සිල්ක්වල ස්ථිතික විද්යුතය ඇතිවීමේ ඉඩ කඩ අඩුයි.

සිල්ක්වල කල් පැවැත්මට

සේදීම: සිල්ක් ඇඳුම් වියළිව ඇපිල්ලීම හෙවත් ඩ්‍රයි ක්ලීන් කිරීම හොඳම ක්‍රමයයි. අතින් සෝදනවා නම් රස්නේ වතුර (සෙල්සියස් අංශක 30ක් පමණ) හා සැර අඩු සබන් වර්ගයක් පාවිච්චි කරන්න. රෙද්ද අතුල්ලන්න හෝ මිරිකන්න එපා. පවනේ වියළෙන්න අරින්න.

ඉස්ත්‍රික්ක කිරීම: සිල්ක් රෙද්ද උඩින් වෙනත් රෙද්දක් තබන්න. සෙල්සියස් අංශක 130ක උෂ්ණත්වයක් ඇති ඉස්ත්‍රික්කයකින් රෙද්දේ දික් අතට මදින්න. වාෂ්ප ඉස්ත්‍රික්කයකින් මදින්න එපා.

පැල්ලම් ඉවත් කිරීම: ඉක්මනින් පැල්ලම ඉවත් කිරීමට වියළි රෙද්දක් මත පැල්ලම තිබෙන පැත්ත තියන්න. ඉන්පසු තෙත රෙදි කෑල්ලක් ගෙන තෙතමාත්තු කරන ආකාරයට හෙමින් සීරුවේ පැල්ලම යවන්න. ඉන්පසු ඩ්‍රයි ක්ලීන් කරන්න.

රැකගැනීම: තෙතමනය ඇති තැනක තබන්න එපා. පුස් බැඳීමෙන් හා හිරුඑළියට නිරාවරණය වීමෙන් වළක්වාගන්න. විශේෂ ඇඳුම් එල්ලනයන් භාවිත කරන්න. නැතහොත් අඩුක් කර තබනවා නම් නැමීමේ වාර ගණන අඩු කරන්න.

[25වන පිටුවේ පින්තූරය]

සිල්ක් කෙන්දෙන් සෑදුණ පිලා කෝෂ

[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Photos 7-9: Matsuida Machi, Annaka City, Gunma Prefecture, Japan; 10 and close-up pattern: Kiryu City, Gunma Prefecture, Japan