Skip to content

පටුනට යන්න

සදාචාරය බිඳවැටීමේ කඩඉම

සදාචාරය බිඳවැටීමේ කඩඉම

සදාචාරය බිඳවැටීමේ කඩඉම

සදාචාරය බිඳවැටෙන්න පටන්ගත්තේ ඔබේ ජීවිත කාලයේදීද? නැත්නම් ඔබේ දෙමාපියන්ගේ කාලයේදීද? සමහරු කියන්නේ 1914දී 1වෙනි ලෝක මහා යුද්ධය හටගැනීමත් සමඟම පෙර නොවූ විරූ අන්දමින් සදාචාරය පිරිහුණා කියලයි. ඉතිහාසඥ මාහාචාර්ය රොබට් වෝල් 1914 අළලා ලියූ කෘතියේ පවසන්නේ මෙයයි. “යුධ සමයේ සිටි අයට, 1914 අගෝස්තුවලදී අලුත් යුගයක් බිහි වුණා කියන එක නම් කවදාවත් අමතක නොවේවි.”—එම පොත The Generation of 1914.

“කලින් තිබුණ සදාචාර ප්‍රමිති එකපාරටම බිඳ වැටුණා. දේශපාලනඥයන් හා හමුදාපතීන් තමන් යටතේ සිටින්නන්ව බොහෝවිට දමා ඇත්තේ මස් කඩේට ගෙනයන තිරිසනුන්ගේ ගාණටයි. ආගම්වලටවත් ගුණධර්මවලටවත් හැකි වෙලා නැහැ ඒ තත්වය වෙනස් කරන්න. . . . පළවෙනි ලෝක මහා යුද්ධයේදී [1914-1918] හිත් පිත් නැති විදිහට මිනිසුන්ව මරා දැමීමත් සමඟම මිනිස් ජීවිතයේ වටිනාකම බිංදුවටම බැස්සා” කියා පැවසුවේ ඉතිහාසඥ නෝමන් කැන්ටර්.

“වැඩියෙන්ම ගුණධර්ම පිරිහෙන්න පටන්ගත්තේ” පරිණාමයේ සංකල්පය පිළිගත් නිසයි කියා ඉංග්‍රීසි ජාතික ඉතිහාසඥ එච්. ජී. වෙල්ස් තම පොතේ සඳහන් කළා. ඇයි එහෙම කියන්නේ? සමහරුන්ගේ අදහස වන්නේ මිනිසා බුද්ධියෙන් පරිණත වූ උසස් ගණයේ සත්වයෙක් පමණක් බවයි. පරිණාමවාදියෙකු වූ වෙල්ස් 1920දී මෙසේ ලියුවා. “ඔවුන් කියා සිටියේ මිනිස්සු හරියට වෘක රංචුවක් වගෙ කියලයි. . . . ඒ නිසා මේ රංචුවේ බලවත් සතා අනිත් සතුන්ව පාලනය කිරීම වරදක් නොවන බව දක්වන්නයි ඔවුන් උත්සාහ කරලා තියෙන්නේ.”—එම පොත The Outline of History.

ඇත්තෙන්ම පළවෙනි ලෝක මහා යුද්ධය හරි වැරැද්ද කියන දෙකේ පෙරළියක් ඇති කළා යන්නයි කැන්ටගේ අදහස. “දේශපාලනය, ඇඳුම් පැළඳුම් හා ලිංගිකත්වය ගැන 1914ට කලින් පරම්පරාව දැරුව ආකල්ප සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට එය සමත් වුණා” කියා කැන්ටර් පැහැදිලි කළා. පරිණාමවාදයේ ඉගැන්වීම පිළිගැනීමත්, යුද්ධවලට අනුමැතිය දීමත් පල්ලිවල සදාචාර ප්‍රමිති විශාල ලෙස බිඳ වැටීමට හේතුවක් වුණා. එංගලන්තයේ බ්‍රිගේඩියර් ෆ්‍රෑන්ක් ක්‍රෝසර් මෙසේ ලිව්වා. “ක්‍රිස්තියානි පල්ලිවලින් පුදුමාකාර ලේ පිපාසයක් ඇති කෙරෙව්වා. අපිත් කල දුටු කල වළ ඉහගත්තා.”

සදාචාර ප්‍රමිති අමතක කරයි

පළවෙනි ලෝක මහා යුද්ධයෙන් පසුව ජනයාට හැඟුණේ ගුණධර්මවලට හා නීති රීතිවලට කොටු වෙලා නොඉඳ කාලා බීලා සතුටෙන් ජීවිතය ගත කළ යුතු බවයි. “යුද්ධය අවසන් වූ පසු ඊළඟ වසර දහය තුළදී ජනයා හිතුවේ තම තමාට කැමති දේවල් කරන්න පුළුවන් කියලයි. . . . ඒ නිසා ඔවුන් සාර්ථක මෙන්ම හරවත් ජීවිතයකට දායක වූ සදාචාර ප්‍රමිති මුළුමනින්ම අමතක කරලා දැම්මා” කියා ඉතිහාසඥ ෆ්‍රෙඩ්‍රික් ලුයිස් ඇලන් පැවසුවා.

ඔවුන් තැනූ අහස් මාලිගා කඩා බිඳ වැටුණේ 1930 ගණන්වල ලොව පුරා සිදු වූ මහා පරිහානිය නිසයි. බොහෝදෙනෙක් අන්ත අසරණ තත්වයකට ඇද වැටුණා. එම වසර දහය අවසන් වත්ම පළවෙනි එකටත් වඩා දරුණු දෙවෙනි ලෝක මහා යුද්ධය පටන්ගත්තා. වැඩි කල් නොගොස් රට රටවල් තම ආරක්ෂාව තර කරගැනීමට භයානක යුධ අවි නිපදවන්න පටන්ගත්තා. දුක් ගැහැටවලට ගොදුරු වෙමින් මිනිසා භීතියෙන් වෙළී ගියේ නොහිතූ නොපැතූ ලෙසයි. යුද්ධය අවසන් වෙද්දී සිය ගණන් නගර නටබුන් බවට පත් වුණා. ජපානයේ නගර දෙකක්ම අළු වී ගියා. එක නගරයක් අළු වී යන්න අවශ්‍ය වුණේ එක පරමාණු බෝම්බයයි! දස දහස්ගණන්දෙනෙක් ගාල් කඳවුරුවල මිය ගියා. මේ දරුණු යුද්ධය පුරුෂයන්, ස්ත්‍රීන් හා දරුවන් මිලියන 50කගේ පමණ දිවි බිලිගත්තා.

දෙවෙනි ලෝක මහා යුධ සමයේ සිටි ජනයා කළේ කලක් තිස්සේ පවත්වගෙන ආ සදාචාර ප්‍රමිති අමතක කර තමන්ගේම ප්‍රමිති මාලාවක් පිහිටුවාගැනීමයි. එක් ප්‍රකාශනයක මෙසේ සඳහන් වෙනවා. “යුධ සමයේදී මිනිස් ජීවිතවල වටිනාකම පහත් අඩියටම බැස්සා. යහපත් ගති පැවතුම් නැතුව ගියා. . . . යුධ වැදී සිටියවුන් තම ආශාවන් පිනවාගැනීමට සදාචාර ප්‍රමිති උල්ලංගනය කරද්දී ගෙවල්වල සිටි අයත් ඒ දේම කළා.”—එම ප්‍රකාශනය Love, Sex and War—Changing Values, 1939-45.

කොයි මොහොතේ හෝ තමන් මිය යයි යන හැඟීම නිසා එදා ඔවුන් තාවකාලික සබඳතා ඇති කරගැනීමෙන් සෑහීමට පත් වුණා. යුධ බියෙන් පසු වෙද්දී යම් වින්දනයක් ලැබීමට සදාචාර ප්‍රමිතිවලින් පිට පැනීම එතරම් වරදක් නොවන බව ඇඟවූ එක් බ්‍රිතාන්‍ය ගෘහණියක් පැවසුවේ මෙයයි. “යුද්දේ තිබුණානේ ඒකයි, නැත්නම් අපි අනාචාරයේ යන අය නෙවෙයිනේ.” “හුඟදෙනෙක් අපි දිහා බලන්නේ අපි අනාචාරයේ හැසිරෙන අය හැටියටයි. ඒත් අපි එතකොට හුඟක් තරුණයි; අපේ ජීවිත තිබුණේ අනතුරේ” කියා ඇමරිකානු හමුදාභටයෙක් පැවසුවා.

යුද්ධය ඇසින් දුටු හුඟදෙනෙක් යුද්ධයෙන් පසුවත් දුක් වින්දා. එවකට දරුවන්ව සිටි අයට තවමත් ඒ ගැන මතකයට නැඟෙද්දී කම්පනයක් ඇති වෙනවා. ආපහු ඒ වගේ දෙයක් වෙයිද කියන භයත් ඔවුන්ට තිබෙනවා. බොහෝදෙනෙකුට තම ධර්මය ගැනත් සදාචාර ප්‍රමිති ගැනත් තිබුණ විශ්වාසය නැති වී ගියා. හරි දේ හා වැරදි දේ අතර වෙනස පැහැදිලිව හඳුනගන්න නොහැකි වුණා.

අලුත් සමාජ ප්‍රමිති

දෙවන ලෝක මහා යුද්ධයෙන් පසු ලිංගිකත්වය පිළිබඳ විවිධ අධ්‍යයනයන් සිදු කර බොහෝ වාර්තා ඉදිරිපත් කරනු ලැබුවා. මේ නිසා බොහෝ අය ලිංගික කාරණා ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න පටන්ගත්තා. එක්සත් ජනපදයෙහි 1940 ගණන්වල සකස් කළ පිටු 800කට වැඩි කින්සේ වාර්තාව ඉන් එකක්. සමලිංගික හා වෙනත් විකෘති ලිංගික හැසිරීම්වල යෙදුණු අය සම්බන්ධ සංඛ්‍යා ලේඛනයක් එම වාර්තාවේ තිබුණත් පසුව දැනගන්න ලැබුණේ එය අතිශයෝක්තියක් බවයි. කෙසේවෙතත් සදාචාරය විශාල වශයෙන් බිඳ වැටුණේ යුද්ධයෙන් පසුව බව එම අධ්‍යයනයෙන් සොයාගනු ලැබුවා.

යම් කලකට ශිෂ්ටසම්පන්න සමාජයක් තිබෙනවා වගේ මතුපිටින් පෙනෙන්න තිබුණා. එම තත්වය රැකගැනීමේ වෑයමක් ලෙස, ගුවන්විදුලියෙන්, චිත්‍රපටිවලින් සහ රූපවාහිනියෙන් සදාචාරයට පටහැනි දේවල් ඉදිරිපත් කිරීම තහනම් කළා. නමුත් වැඩි කලක් එම තත්වය පැවතුණේ නැහැ. එක්සත් ජනපද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ විලියම් බෙනට් කියා සිටියේ මෙවැන්නක්. “කොහොමවුණත් 1960 ගණන්වලදී ප්‍රපාතයකින් වැටෙන්නාක් මෙන් ඇමරිකාවේ සදාචාරය එකපාරටම පහත් අඩියකට වැටුණා.” මෙය ඇමරිකාවට පමණක් සීමා වුණේ නැහැ. මෙලෙස 60 ගණන්වලදී සදාචාරය ශීඝ්‍රයෙන් පහත් අඩියකට වැටුණේ ඇයි?

ඊට සමහර හේතු මේවායි. එම වසර දහය ඇතුළත කාන්තා විමුක්ති සංවිධානත් පිහිටුවනු ලැබූ අතර ලිංගික කාරණා සම්බන්ධයෙන් හිතන පතන ආකාරයේ විශාල පෙරළියක්ද ඇති වුණා. වඩාත් සාර්ථක උපත් පාලන පෙති හඳුන්වා දෙනු ලැබුවා. ඒකෙන් වුණේ දරුවන් ලැබෙයි යන බියත් පලා යෑමයි. ඒ නිසා බැඳීමක් හෝ වගකීමක් නැතුව හිතේ හැටියට දුරාචාරයේ යෙදුණා.

මේ අතරතුරේ පොත් පත්, චිත්‍රපට හා රූපවාහිනිය මගින්ද පහත් දේවල් ඉදිරිපත් කරන්න පටන්ගත්තා. පසුව එ.ජ. ජාතික ආරක්ෂාව පිළිබඳ කවුන්සලයේ කලින් ප්‍රධානියාව සිටි ස්බිග්නියූ බ්‍රේසින්ස්කී රූපවාහිනියේ පෙන්වන දේවල් ගැන පැවසුවේ මෙයයි. “එහි තමන්ගේ ආශාවන් පිනවාගත හැකි ආකාරය පැහැදිලිවම පෙන්වනවා. කෲර ප්‍රචණ්ඩත්වය, රෞද්‍ර ගති [මෙන්ම] අශික්ෂිත ලිංගික හැසිරීම්වලටත් දිරි දෙනවා.”

හැත්තෑව දශකයේදී වීඩියෝ පට කරළියේ පෙරළිකාරයෙක් වී සිටියා. කවදාවත් ප්‍රසිද්ධියේ බැලිය නොහැකි පහත් දේවල් නිවෙස්වල සිටම හොර රහසේ නැරඹීමට මඟ විවෘත වී තිබුණා. මෑතකදී ඊටත් වඩා ඔබ්බට යා හැකි දොරක් ඇරුණා. ඒ තමයි අන්තර්ජාලය. පරිගණකයක් තිබෙන ඕනෑම කෙනෙකුට ඒ හරහා නින්දිත දේවල් දැකගන්නත් ඉන් ඔබ්බට යන්නත් හැකියාව තිබෙනවා.

මේ හැම පැත්තෙන්ම ඇති වී තිබෙන ප්‍රතිඵල භයානකයි. එක්සත් ජනපදයේ බන්ධනාගාර නිලධාරියෙක් මෑතකදී මෙසේ පැවසුවා. “මීට අවුරුදු දහයකට කලින් බන්ධනාගාර ගත වන වීදි දරුවෙකුට හරි වැරැද්ද පෙන්නලා දෙන්න හැකිකම තිබුණා. ඒත් අද සමාජයේ හරි වැරැද්ද පැහැදිලිව දකින්න නැති නිසා ඒ දරුවන්ට මම කියන දේ තේරෙන්නේ නැහැ.”

විසඳුමක් තිබෙනවාද?

පල්ලිවලින් නම් සදාචාර ප්‍රමිති ගැන උත්තර ලැබෙන්නේ නැහැ. ඊට හේතුව ඔවුන් යේසුස් සහ මුල් සියවසේ සිටි ඔහුගේ අනුගාමිකයන් පිළිපැද්ද ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති පිළිපදිනවා වෙනුවට, ලෝකයේ සහ එහි නපුරු දේවල පංගුකාරයන් වී සිටීමයි. ලේඛකයෙක් මෙසේ ඇසුවා. “යුද්ධ කරද්දී දෙපාර්ශ්වයම කියන්නේ දෙවි අපේ පැත්තේ ඉන්නවා කියලයි.” දෙවි දී තිබෙන සදාචාර ප්‍රතිපත්ති පිළිපැදීම සම්බන්ධයෙන් නිව් යෝර්ක් නගරයේ පූජකයෙක් කලකට පෙර පැවසුවේ මෙයයි. “පල්ලියට ඇතුල් වෙන එක, බස් රථයකට නඟිනවාටත් වඩා ලේසි දෙයක්. බස් රථයේදී නම්, හරියට හැසිරුණේ නැත්නම් වැඩි දුර යන්න ලැබෙන එකක් නැහැ. ඒත් පල්ලියේ? ඕනම දෙයක් කරලා ඇවිත් ඉඳගෙන ඉන්න පුළුවන්.”

එසේනම් සක්සුදක් සේ පැහැදිලි වන්නේ තත්වය යහපත් අතට හැරවීමට කඩිනම් පියවරක් ගත යුතු බවයි. ඒත් ඒක කරන්නේ කොහොමද? කුමන වෙනස්කම් කළ යුතුද? සමතෙක් සිටිනවාද? සිටී නම් ඔහු එය කරන්නේ කොයි ආකාරයෙන්ද?

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“පළවෙනි ලෝක මහා යුද්ධයේදී [1914-1918] හිත් පිත් නැති විදිහට මිනිසුන්ව මරා දැමීමත් සමඟම මිනිස් ජීවිතයේ වටිනාකම බිංදුවටම බැස්සා”

[6, 7වන පිටුවේ කොටුව පින්තූරය]

පහත් වින්දනයක් ලබාගැනීම දැන් කිරි කජු වගේ වැඩක්