Skip to content

පටුනට යන්න

හොර රහසේ පෙම් කිරීම සුදුසුද?

හොර රහසේ පෙම් කිරීම සුදුසුද?

යෞවන අය අසති . . .

හොර රහසේ පෙම් කිරීම සුදුසුද?

“එයා හරිම ලස්සන කෙනෙක්. මගේ යාළුවෝ කිව්වා එයා හුඟක් හොඳ ළමයෙක්, ගෑනු ළමයි කීපදෙනෙක්ම එයා එක්ක යාළු වෙන්න ආවත් එයා කැමති වුණේ මට විතරයි කියලා.” ජෙසිකා * මෙහෙම කියන්නේ ඇය ගැන ලෙන්ගතුකමක් දක්වපු ඇයගේ පන්තියේ හිටපු ජෙරමි ගැනයි. ඔහු සමඟ යාළු වෙනවද නැද්ද කියලා ජෙසිකාට තීරණයක් ගන්න සිදු වුණා.

වැඩි කල් යන්න ඉස්සර ජෙරමි කෙළින්ම ජෙසිකාගෙන් මේ ගැන ඇහුවා. ඉන්පසු සිදු වූ දෙය ඇය මෙසේ විස්තර කළා. “මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් නිසා සාක්ෂිකරුවෙක් නොවන කෙනෙක් එක්ක මට යාළු වෙන්න ගෙදරින් ඉඩ දෙන එකක් නැහැ කියලා මම කිව්වා. එතකොට ජෙරමි කිව්වා ‘අපි අම්මලාට හොරෙන් මේක කරමු’ කියලා.”

ඔබටත් මේ වගේ තත්වයකට මුහුණ දෙන්න වුණොත් ඔබ මොනවද කරන්නේ? ජෙසිකා නම් ජෙරමිගේ යෝජනාවට කැමති වුණා. “මම එයා එක්ක යාළු වුණොත් මං නිසා යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න එයාටත් පුළුවන් වෙයි කියලා මම හිතුවා” කියා ඇය පැවසුවා. මේ සම්බන්ධයට මොකද වුණේ කියලා පස්සේ බලමු. ආදර්ශවත් ක්‍රිස්තියානි යෞවනියක් වුණත් මේ උගුලට වැටෙන්න පුළුවන් කොහොමද කියලා අපි මුලින්ම සලකා බලමු.

වසං කරන්නේ ඇයි?

සමහර ළමයි ප්‍රේම සම්බන්ධකම් පටන්ගන්නේ හුඟක් අඩු වයසෙන්. “අවුරුදු දහයේ එකොළහේ ළමයි ප්‍රේම සම්බන්ධකම් පවත්වනවා මම දැකලා තියෙනවා” කියා බ්‍රිතාන්‍යයේ සූසන් පවසනවා. බොහෝවිට මේ වයසේදී ආදර හැඟීම් උත්සන්න වන නිසා විරුද්ධ ලිංගයේ කෙනෙකුට ඔවුන් ඉක්මනින්ම ආකර්ෂණය වෙනවා. ඒ ගැන ඕස්ට්‍රේලියාවේ ලොයිස් මෙහෙම කියනවා. “ඔය කාලෙදී හැමෝටම ඕනෙ කාත් එක්ක හරි යාළු වෙන්නයි.”

සමහර අය ඇයි හොරෙන් පෙම් කරන්නේ? “දෙමාපියෝ මේ ගැන මොනවා කියයිද කියන භය නිසා” කියා බ්‍රිතාන්‍යයේ ජෙෆ්රි පවසනවා. දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් කියන්නේ “දෙමාපියන් මේකට ඉඩ දෙන්නේ නැති බව ඔවුන් දන්න නිසා හංගනවා” කියලයි. ඕස්ට්‍රේලියාවේ ජේන් දකින්නේ මේ විදිහටයි. “හොර රහසේ පෙම් කරනවා කියන්නේ දෙමාපියන්ට විරුද්ධ වීමක්. ඒත් ඔවුන් හිතනවා තමන් කැමති දෙයක් කරන්න සුදුසු වයසකයි ඔවුන් ඉන්නේ කියලා. ඒ නිසා ඔවුන් පවත්වාගෙන යන සම්බන්ධය ගැන කාටවත් කියන්න ඕනෙ නැහැ කියලා ඔවුන් හිතනවා.”

නමුත් බයිබලයේ දරුවන්ට උපදෙස් දෙන්නේ දෙමාපියන්ට කීකරු වෙන්න කියලයි. (එෆීස 6:1) ඔබේ සම්බන්ධයට දෙමාපියන් අකමැති වෙන්නේ හොඳ හේතු ඇතුවයි. උදාහරණයකට ඔබ යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරයෙක් නම් දෙමාපියන් කැමති වන්නේ ඔබ නිසි වයසේදී සාක්ෂිකරුවෙක් සමඟ ආශ්‍රයක් පවත්වනවා දකින්නයි. * බලන්න ඔබටත් මෙහෙම හිතෙනවාද කියලා:

▪ හැමෝම යාළු වෙලා ඉද්දී මටත් කවුරු හරි හිටිය නම්!

▪ මම කෙනෙක්ට කැමතියි. ඒත් එයා මගේ ආගමේ කෙනෙක් නෙවෙයි.

▪ විවාහ වෙන්න තාම මං සුදුසු නැති වුණත් මමත් ආසයි මගේ ආගමේ කෙනෙක් එක්ක යාළු වෙන්න.

මේ වගේ දෙයකට දෙමාපියන් මොනවද කියන්නේ කියලත් ඔවුන් කියන දේ හරි කියලත් ඔබ දන්නවා. ජපානයේ මනාමිට හැඟුණ විදිහට ඔබටත් හැඟෙන්න පුළුවන්. “කෙනෙක් එක්ක යාළු වන්න ඕනෙ කියලා ඇති වන පීඩනය නිසා, සමහර වෙලාවට සම්බන්ධයක් ඇති කරගන්නේ නැහැ කියන ස්ථාවරයේ ඉන්න එකත් අමාරුයි. ජපානයේ ඉන්න හැම ළමයෙක්ම වගේ ප්‍රේම සම්බන්ධයක් පවත්වනවා.” මේ වගේ තත්වයක ඉන්න කෙනෙක් සම්බන්ධයක් පටන්ගන්නත් දෙමාපියන්ගෙන් ඒක හංගන්නත් උත්සාහ කරනවා. ඒ කොහොමද?

‘මේක රහසක් හැටියට තියාගන්න කිව්වා’

“හොර රහසේ පෙම් කිරීම” අනිත් අයව රැවටීමක්. මෙහෙම කරන සමහර යෞවනයන් හුඟක් වෙලාවට අනිත් අය ඉදිරියේ හැසිරෙන්නේ ඔවුන් අතර කිසිම සම්බන්ධයක් නැති ගාණටයි. ඒත් දුරකථනයෙන්, ඊ-මේල්වලින්, SMS පණිවිඩවලින් සිදු කරන්නේ වෙන දෙයක්.

මෙවැනි අය පාවිච්චි කරන උපක්‍රමයක් ගැන නයිජීරියාවේ සිටින කාලේබ් මෙහෙම විස්තර කරනවා. “යාළුවන් අතරෙදී ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධයන් ගැන කතා කරන විට ඔවුන් පාවිච්චි කරන්නේ කාටවත් නොතේරෙන ඔවුන්ම හදාගත්ත වචන හා නම්වලින්.” මේ අයගේ තවත් උපක්‍රමයක් තමයි යෞවන අය විතරක් සහභාගි වන සුහද හමු සැලසුම් කිරීම. ඒ ගැන බ්‍රිතාන්‍යයේ සිටින ජේම්ස් කියන්නේ මෙහෙමයි. “සැරයක් අපේ යාළුවෝ සුහද හමුවක් සූදානම් කළා. ඒත් ඒකෙ මූලික අරමුණ වෙලා තිබුණේ හොරෙන් යාළු වෙලා ඉන්න ජෝඩුවලට ටිකක් නිදහසේ කතා බහ කරන්න අවස්ථාවක් දෙන්නයි කියලා අපි දැනගත්තේ එහේ ගියාට පස්සේයි. ඒත් මේක රහසක් හැටියට තියාගන්න කියලා ඔවුන් අපිට කිව්වා.”

ජේම්ස් කිව්වා වගේ රහසේ පෙම් කරන අයට උදව් කරන්න යාළුවොත් ඉන්නවා. “කොහොම කළත් එක යාළුවෙක් හරි මේ ගැන දැනගන්නවා. ඒත් යාළුකම නැති වෙයි කියන භයට කාටවත් නොකියා ඉන්නවා” කියා ස්කොට්ලන්තයේ කැරල් පවසනවා.

මේ වගේ කරන එකෙන් කෙනෙක් බොරු කියන්නත් පෙලඹෙනවා. කැනඩාවේ සිටින බෙත් මේ ගැන මෙහෙම කියනවා. “කොහේ හරි ගමනක් යන්න ඕනෙ නම් ඔවුන් දෙමාපියන්ට බොරුවට කියනවා යන්නේ මෙතනට කියලා. ඒත් යන්නේ වෙන තැනකට.” ජපානයේ මිසාකිත් කළේ ඒකමයි. “මම සම්බන්ධය අහු වෙයි කියලා ඒක වහගන්න බොරු කිව්වා. ඒත් වෙන කිසිම දෙයක් ගැන මම බොරු කිව්වේ නැහැ. එහෙම කළේ දෙමාපියන්ගේ විශ්වාසය දිනාගන්න ඉන්න ඕනෙ නිසයි.”

ප්‍රතිවිපාක

හොරෙන් ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න පෙලඹීමක් තිබෙනවා නම් හෝ දැනටමත් එසේ කරමින් සිටිනවා නම් මේ ගැන සිතා බලන්න:

අවසානය කුමක් වෙයිද? ඔබ ආශ්‍රය කරන්නේ විවාහ වෙන්නමද? “විවාහ වෙන්න කිසිම අදහසක් නැතුව කරන ආශ්‍රය හරියට විකුණන්නෙ නැති දෙයකට වෙළඳ දැන්වීමක් පළ කරනවා වගේ වැඩක්” කියා එක්සත් ජනපදයේ එවන් පවසනවා. විවාහ වීමට සුදුසු නැති වයසකදී ඇති කරගන්න සම්බන්ධය අවසන් වෙන්නේ කනස්සල්ලෙන්. ඒ ගැන හිතෝපදේශ 13:12 මෙහෙම කියනවා. “පැතූ දේ ප්‍රමාදවීමෙන් සිත කලකිරෙන්නේය.” ඔබ ආදරය කළ කෙනාට මේ වගේ දෙයක් වෙනවට ඔබ කැමතිද?

යෙහෝවා දෙවිට හැඟෙන්නේ කොහොමද? බයිබලයේ කියන්නේ “අප විසින් ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ” කියායි. (හෙබ්‍රෙව් 4:13) ඔබගේ හෝ යාළුවෙකුගේ මෙවන් ප්‍රේම සම්බන්ධයක් කාගෙන් හංගන්න හැදුවත් යෙහෝවා දෙවිගෙන් නම් එය හංගන්න බැහැ. අනිත් අයව රවටන්න උත්සාහ කරනවා කියන්නේ ඔබට ඒ ගැන හිතලා බලන්න වෙනවා කියන එකයි. තවදුරටත් බයිබලයේ කියන්නේ දෙවි “බොරු කියන දිව” දැඩි ලෙස පිළිකුල් කරනවා කියායි.—හිතෝපදේශ 6:16-19.

හොර රහසේ කරන ප්‍රේම සම්බන්ධයකදී වැරදි ක්‍රියා කරන්න තියෙන අවස්ථා වැඩියි. ඒ කියන්නේ ලිංගික ක්‍රියාවක් වුණත් සිදු වෙන්න පුළුවන්. හොර රහසේ සම්බන්ධයක් පවත්වාගෙන ගිය යාළුවෙක් ගැන ඕස්ට්‍රේලියාවේ සිටින ජේන් මෙහෙම කියනවා. “එයා ගැබ් ගත්තටත් පස්සෙයි තාත්තා මේ සම්බන්ධය ගැන දැනගත්තේ.”

දැනටමත් ඔබ රහසේ සම්බන්ධයක් පවත්වාගෙන යනවා නම් ඒ ගැන දෙමාපියන් හෝ අද්දැකීම් ලත් වැඩිහිටියෙකු සමඟ කතා කරන්න. ඒ වගේම ඔබේ යාළුවෙක් මෙවැනි සම්බන්ධයක් පවත්වාගෙන යනවා නම් ඇයට හෝ ඔහුට උදව් කරන්නත් එපා. (1 තිමෝති 5:22) දියවැඩියාව තියෙන ඔබේ යාළුවෙක් හොරෙන් පැණි රස කෑම කනවා කියා ඔබ දැනගන්නවා. ඒකෙන් භයානක ප්‍රතිඵල ලැබෙන බව දන්න ඔබ තව තවත් පැණි රස ආහාර යාළුවට කන්න දෙනවද? මේ ගැන කාටවත් කියන්න එපා කියා යාළුවා ඉල්ලා සිටියොත් ඔබ කාටවත් නොකියා ඉන්නවද? ඔබ කළ යුත්තේ යාළුවා කියන දේද නැත්නම් යාළුවාගේ ජීවිතය රැකගන්න පුළුවන් යමක්ද?

රහසේ කරන ප්‍රේම සම්බන්ධයකුත් හරියට ඒ වගේ. ඔබේ යාළුකම නැති වෙයි කියලා භය වෙන්න එපා! දවසක ඔබේ යාළුවා දැනගනියි ඔබ එහෙම කළේ එයාගෙම හොඳටයි කියලා.—හිතෝපදේශ 27:6.

“කරන්න ඕන දේ මම තේරුම්ගත්තා”

මුලින්ම සඳහන් කළ ජෙසිකා ඇගේ සාක්ෂිකාර යෙහෙළියක් අද්දැක්ක දේ දැනගත් විට ඇගේ ප්‍රේම සම්බන්ධයත් නතර කර දැම්මා. ඒ ගැන ඇය මෙහෙම කියනවා. “මගේ යෙහෙළියගේ සම්බන්ධයට වුණ දේ දැනගත්තම කරන්න ඕන දේ මම තේරුම්ගත්තා.” ඇයට මේක කරන්න ලෙහෙසි වුණාද? කොහෙත්ම නැහැ! “මගේ හිත ගියේ එයාට විතරයි. ඒ නිසා සම්බන්ධය අත්හැරියට පස්සේ මම සති ගාණක් ඇඬුවා.”

ඒත් ජෙසිකා වැරදි සම්බන්ධයක පැටලුණත් නැවතත් නිවැරදි මාර්ගයට එන්න ඇයට අවශ්‍ය වුණේ ඇය යෙහෝවා දෙවිට ප්‍රේම කළ නිසයි. කාලයත් සමඟම ඇගේ දුක තුනී වී ගියා. තවදුරටත් ජෙසිකා මෙහෙම කියනවා. “වෙන කිසිදාකටත් වඩා මම දැන් යෙහෝවා දෙවිට හුඟක් කිට්ටුයි. අවශ්‍ය වෙලාවට දෙවි දෙන මඟ පෙන්වීම් මම හුඟක් අගය කරනවා.”

[පාදසටහන්වල]

^ 3 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

^ 9 ඡේ. වැඩි විස්තර සඳහා 2007 ජනවාරි පිබිදෙව්! කලාපයේ “යෞවන අය අසති . . . මේ වයසේ පෙම් කිරීම සුදුසුද?” යන ලිපිය බලන්න.

සිතා බලන්න

▪ විසිහත්වන පිටුවේ තද කලු අකුරෙන් දක්වා ඇති කරුණු තුනෙන් එකක් හෝ ඔබත් අද්දකිනවාද?

▪ ඉන් එකක් හෝ ඔබ අද්දකිතවා නම් රහසින් ප්‍රේම සම්බන්ධයක් ඇති කර නොගෙන එයට විසඳුමක් සොයාගන්නේ කෙසේද?

[28වන පිටුවේ කොටුව]

හැමෝම දැනගත යුතුද?

සමහර සම්බන්ධතාවලදී රහස්‍යභාවය රකින අවස්ථාත් තියෙනවා. විවාහ වීමට සුදුසු වයසක සිටින දෙදෙනෙක් එකිනෙකාව දැන හඳුනාගන්න තීරණය කර තිබෙනවා නම් එවන් අවස්ථාවක ඔවුන් ඒ බව කාටවත් නොකියා ඉන්න තීරණය කරන්න පුළුවන්. එහෙම කරන්නේ දෙදෙනාගේම යහපත වෙනුවෙනුයි. ඒකට හේතුව තෝමස් විස්තර කරනවා. “දෙන්නා ගැළපෙනවද කියලා ඒ දෙන්නා තීරණය කරන්නත් කලින් අනිත් අය ‘ඕගොල්ලන් බඳින්නේ කවදද’ කියලා අහන එක වළක්වාගන්නයි එහෙම නොකියා ඉන්නේ.”

එවැනි පීඩනයක් අනිත් අයගෙන් එල්ල වීම හානිකර විය හැකියි. (සලමොන්ගේ ගීතිකාව 2:7) ඒ නිසා සමහර අය ආශ්‍රයේ මුල් කාලයේදී කාටවත් ඒ ගැන නොකියා ඉන්න තීරණය කරන්න පුළුවන්. ඒ වගේම ඔවුනුත් පරෙස්සම් වෙන්න වගබලා ගන්නවා. (හිතෝපදේශ 10:19) “එමගින් ඒ දෙදෙනාට වඩා නිවැරදි තීරණයක් ගන්න අවස්ථාවක් ලැබෙනවා. සම්බන්ධය ස්ථිර වුණාට පස්සේ හැමෝම දැනගත්තට කමක් නැහැ” කියා 20-හැවිරිදි ඇනා පවසනවා.

කොහොමවුණත් ඕනෑම ප්‍රේම සම්බන්ධයක් දෙමාපියන්ගෙන් සැඟවීම වැරදියි. මේ ගැන අවංකවම දෙමාපියන් සමඟ කතා කරන්න බැරි නම් ඒ ඇයි කියා ඔබම කල්පනා කර බලන්න. ඔබේ තත්වයත් කලින් සඳහන් කළ ජෙසිකාගේ තත්වය වගේමද? දෙමාපියන් ඔබේ සම්බන්ධයට විරුද්ධ වුණොත් එහෙම වෙන්නේ හොඳ හේතු ඇතුව කියලා ඔබ පිළිගන්නවාද?

[29වන පිටුවේ කොටුව]

දෙමාපියෙනි මේ ඔබටයි

ඉහත ලිපිය කියෙව්වට පස්සේ ‘මගේ දරුවටත් මේ වගේ සම්බන්ධයක් තියෙනවාද’ කියලා ඔබ කල්පනා කරයි. කෙනෙක් හොර රහසේ පෙම් කිරීමට පෙලඹෙන්නේ ඇයි කියා බොහෝ යෞවනයන් පිබිදෙව්! සඟරාවට පැවසුවා. ඒ නිසා පහත සඳහන් ප්‍රශ්න ගැන සලකා බැලීම ඥානවන්ත නොවේද!

“සමහර දරුවන්ට ගෙදරින් කිසිම සැලකිල්ලක් ලැබෙන්නේ නැති නිසා කාගෙන් හරි ඒක ලබන්නයි ඔවුන් උත්සාහ කරන්නේ.”—වෙන්ඩි.

අවශ්‍ය ආදරය හා සැලකිල්ල ඔබගේ දරුවන්ට ලැබෙන බව ඔබට ස්ථිරද? නොඑසේනම් ඔබේ පැත්තෙන් ඉටු විය යුතු තවත් දේවල් තියෙනවද?

“පන්තියේ ළමයෙක් මට අවුරුදු 14දී යෝජනාවක් ගෙනාවා. කොල්ලෙක් මගේ කරට අත දාගෙන යනවට මම ආශා වුණ නිසා මමත් හා කිව්වා.”—ඩයෙන්.

ඩයෙන් ඔබේ දුව නම්, ඔබ මොනවද කරන්නේ?

“මේ වගේ සම්බන්ධයකට ජංගම දුරකථනය කරන්නේ හොඳ සේවයක්. මේකෙන් කරන කිසි දෙයක් දෙමාපියෝ දන්නේ නැහැ!”—ඇනට්.

ඔබේ දරුවා ජංගම දුරකථනයක් පාවිච්චි කරනවා නම් ඔවුන් කරන දේ ගැන ඔබ සැලකිලිමත්ද?

“දරුවෝ ඉන්නේ කාත් එක්කද කරන්නේ මොනවද කියලා දෙමාපියන් හොඳ අවධානයකින් ඉන්නේ නැත්නම් හොර රහසේ පෙම් කරන්න හරි ලේසියි.”—තෝමස්.

වැඩියෙන් නීති දාලා ඔවුන්ව හිර කරන්නේ නැතුව ඔවුන් සමඟ වැඩි කාලයක් ගත කරන්න ඔබට පුළුවන්ද?

“දරුවෝ ගෙදර ඉද්දී දෙමාපියෝ ගෙදර නැහැ. දෙමාපියෝ ගෙදර ඉද්දී දරුවෝ ගෙදර නැහැ. ඒ වගේම දරුවන්ගේ යාළුවෝ ගැනත් කරන දේවල් ගැනත් දෙමාපියෝ ඕනෑවට වඩා විශ්වාස කරනවා.”—නිකලස්.

ඔබේ දරුවා ආශ්‍රය කරන්නේ කාවද, ඔවුන් එකතු වුණාම කරන්නේ මොනවාද කියලා ඔබ දන්නවද?

“ඕනෑවට වඩා නීති දැම්මොත් දරුවෝ හොරෙන් පෙම් කරන්න පෙලඹෙනවා.”—පෝල්.

“ඔබේ සාධාරණකම සියලුදෙනාටම දැනගන්න ලැබේවා” කියා බයිබලයේ පවසන දෙයට එකඟව ඔබ කටයුතු කරනවාද?—ෆිලිප්පි 4:5.

“මට හැඟිලා තිබුණේ මගෙන් කිසිම වැඩක් නැහැ කියලයි. මට ඕනෙ කරන ආදරය ලැබුණෙත් නැහැ. ඒ නිසා මම පිරිමි ළමයෙක්ට ඊ-මේල් යවන්න පටන්ගත්තා. ඒක ආදරයකට පෙරලුණා. එයා මගේ වටිනාකම මට දැනෙන්න සැලැස්සුවා.”—ලින්ඩා.

ගෙදරදී ලින්ඩාට නොලැබුණේ මොනවද කියලා ඔබ හඳුනාගත්තද? ලින්ඩාට අවශ්‍ය කළ දේ ගෙදරදී ලබා දෙන්න හැකිකම තිබුණාද?

මේ ලිපියේ හා මේ කොටුවේ තිබෙන අදහස් ඔබේ දරුවා සමඟ සාකච්ඡා කිරීම හොඳ අදහසක් නොවේද? රහසින් පෙම් කිරීම වළක්වාගැනීමට අත්‍යවශ්‍යම දේ වන්නේ අවංක අදහස් හුවමාරුවයි. යෞවනයෙක්ගේ හැඟීම් හා අවශ්‍යතා තේරුම්ගන්න කාලය වගේම ඉවසීමත් අවශ්‍යයි. නමුත් ඉන් අත් වන ප්‍රතිඵලය මිල කරන්න බැහැ.—හිතෝපදේශ 20:5.