Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

යේසුස්ගේ උපත සිදු වුණේ කවදාද?

යේසුස්ගේ උපත සිදු වුණේ කවදාද?

“යේසුස්ගේ උපත සිදු වූ දිනය කිසිම කෙනෙක් හරියට දන්නේ නැහැ” කියා එක් විශ්වකෝෂයක සඳහන් වෙනවා. (Encyclopedia of Early Christianity) බයිබලයේද යේසුස්ගේ උපත සිදු වූ දිනය ගැන කිසිම සඳහනක් නැහැ. නමුත් ලොව පුරා වෙසෙන මිලියන ගණන් ක්‍රිස්තියානීන්යැයි කියා ගන්නා අය දෙසැම්බර් 25වෙනිදා යේසුස්ගේ උපත සමරනවා. ඇත්තටම යේසුස්ගේ උපත සිදු වුණේ දෙසැම්බර් මාසයේදීද?

යේසුස්ගේ උපත දෙසැම්බර් මාසයේ සිදු නොවූ බවට පැහැදිලි සාක්ෂි බයිබලයෙන්ම සොයාගත හැකියි. ඒ වගේම වෙනත් මූලාශ්‍රවලද යේසුස්ගේ උපත සැමරීමට දෙසැම්බර් 25 තෝරාගැනීමට හේතු ගැන පැහැදිලි කරනවා.

උපත දෙසැම්බර්වල සිදු නොවීමට හේතු

යේසුස් උපත ලැබුවේ බෙත්ලෙහෙම් නුවරෙයි. ඒ අවස්ථාව ගැන බයිබලයේ ලූක්ගේ සුවිශේෂයේ සඳහන් වන්නේ මෙසේයි. “එම ප්‍රදේශයේම එඬේරු රාත්‍රියේ මාරුවෙන් මාරුවට තම බැටළු රැළ රකිමින් එළිමහනේ සිටියහ.” (ලූක් 2:4-8) එම සිදුවීම අසාමාන්‍ය දෙයක් නොවෙයි. ඒ ගැන එක් පොතක මෙවැනි දෙයක් සඳහන් වෙනවා. “එඬේරුන් අවුරුද්දෙන් වැඩි කාලයක් තම බැටළු රැළවල් බලා ගනිමින් එළිමහනේ කාලය ගත කළා.” නමුත් අධික ශීත කාලයක් වන දෙසැම්බර් මාසයේදී එඬේරුන් තම බැටළු රැළවල් සමඟ එළිමහනේ සිටියිද? ඒ ගැන තවදුරටත් එම පොතේ මෙසේ සඳහන් වෙනවා ‘අධික ශීත කාලයේදී එඬේරුන් සිටියේ තම නිවෙස් තුළට වෙලයි. නමුත් ලූක්ගේ සුවිශේෂයේ සඳහන් වන්නේ යේසුස්ගේ උපත සිදු වූ කාලයේදී එඬේරුන් එළිමහනේ සිටි බවයි. මින් පැහැදිලි වන්නේ යේසුස්ගේ උපත එවැනි ශීත කාලයක සිදු නොවූ බවයි.’—Daily Life in the Time of Jesus.

යේසුස්ගේ උපත දෙසැම්බර් මාසයේ සිදු නොවූ බවට ලූක්ගේ සුවිශේෂයෙන් තවත් සාක්ෂියක් සොයාගත හැකියි. “ඒ දවස්වලදී, ලොව පුරා සිටි සියල්ලන්ට ලියාපදිංචි වන ලෙස සීසර් ඔගස්ටස් වෙතින් නියෝගයක් නිකුත් විය. (කිරිනියස් සිරියාවේ ආණ්ඩුකාරයාව සිටියදී සිදු වූ පළමුවන ලියාපදිංචි කිරීම මෙය විය.) එවිට සියලුදෙනාම ලියාපදිංචි වන පිණිස තම තමාගේ නුවරට ගමන් කළෝය.”—ලූක් 2:1-3.

ඔගස්ටස් ආණ්ඩුකාරවරයා බදු එකතු කිරීමට හා යුද්ධයට බඳවාගැනීමට තොරතුරු ලබා ගැනීම සඳහා සංගණනයක් ගැනීමට නියම කළා. එම නීතියට අවනත වූ මරියා යේසුස්ව බිහිකිරීමට ආසන්නයේ සිටියත් ලියාපදිංචි වීම සඳහා යෝසෙප් සමඟ නාසරෙත් සිට බෙත්ලෙහෙම් නගරයට කිලෝමීටර 150ක් පමණ දුරක් ගෙවා ගියා. ඒත් එම සංගණනය සිදු කළේ අධික ශිත කාලයක නොවන බව විශ්වාස කිරීමට හේතු තිබෙනවා. මන්ද ඒ වන විටත් රෝම ආණ්ඩුකාරවරයා වූ ඔගස්ටස්ට විරුද්ධව කැරලිගැසීමට යුදෙව්වන් තුළ නැඹුරුවාවක් තිබුණා. එවැනි තත්වයක් යටතේ අධික ශීත කාලයක් වන දෙසැම්බර් මාසයේදී යුදෙව්වන්ට ලියාපදිංචි වන ලෙස ඔහු නියම කරයිද?

බොහෝ ඉතිහාසඥයන් හා බයිබල් විශාරදයන් පවා යේසුස්ගේ උපත දෙසැම්බර් 25වෙනිදා සිදු වූ බව පිළිගන්නේ නැහැ. විවිධ මූලාශ්‍ර මගින්ද අපට ඒ පිළිබඳව තවත් විස්තර දැනගත හැකියි. “යේසුස් දෙසැම්බර් 25වෙනිදා උපත ලැබුවා කියා විශ්වාස නොකරන බව” එක් කතෝලික විශ්වකෝෂයකද සඳහන් කර තිබෙනවා.—Our Sunday Visitor’s Catholic Encyclopedia.

යේසුස් දෙසැම්බර් මාසයේ උපත නොලැබූ බවට බයිබලයේ සාක්ෂි තිබෙනවා

දෙසැම්බර් 25 තෝරාගැනීමට හේතු

එම දිනය තෝරාගත්තේ යේසුස්ගේ මරණයෙන් වසර සිය ගණනකට පසුවයි. බොහෝ ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ එම කාලයේදී බොහෝ මිථ්‍යා උත්සව පැවැත්වූ බවයි.

එක් විශ්වකෝෂයක දෙසැම්බර් 25 තෝරාගැනීමට හේතුව ගැන මෙවැනි දෙයක් සඳහන් වෙනවා. ‘අපරාජිත හිරුගේ උපන් දිනය ලෙස රෝමවරුන් පැවැත්වූ මිථ්‍යා උත්සවය යෙදී තිබුණේ දෙසැම්බර් 25 වෙනිදායි. එම උත්සවය පැවැත්වූයේ හිරු නැවත ගෙන්වා ගැනීමේ අරමුණෙනුයි.’—Encyclopæedia Britannica.

තවත් එක් විශ්වකෝෂයක මෙවැනි දෙයක් සඳහන් වෙනවා. ‘නත්තල සැමරීමට දෙසැම්බර් 25වෙනිදා යොදාගැනීමට හේතුව හරියටම පැහැදිලි නැහැ. නමුත් එම දිනය හිරුගේ උපත සැමරීම සඳහා පැවැත්වූ මිථ්‍යා උත්සවයක් හා සම්බන්ධ බව විශ්වාස කෙරෙනවා.’ ඒ වගේම දෙසැම්බර් 25 තෝරාගැනීමට රෝම සැටනේලියා උත්සවයද හේතු වී තිබෙනවා. ‘එය පවත්වනු ලැබුවේ රෝමවරුන් ඇදහූ කෘෂිකර්මයට අධිපති දෙවියාට ගරු බුහුමන් දැක්වීම සඳහායි.’ මෙම උත්සව පැවති කාලයේදී භෝජන සංග්‍රහයන්, විනෝද වීම, එකිනෙකාට තෑගි බෝග දීම වැනි දේවල්වලද මිනිසුන් යෙදුණා. එවැනි දේවල් අද කාලයේ පවත්වන නත්තල් උත්සවවලද දැකිය හැකියි.—The Encyclopedia Americana.

යේසුස්ට ගෞරවය දැක්විය හැක්කේ කෙසේද?

යේසුස්ගේ උපත සිදු වූ දිනය නිශ්චිතව නොදැන සිටියත් යේසුස්ගේ උපත සිහි කළ යුතු බව සමහර ක්‍රිස්තියානීන් සිතනවා. එම උපත සැමරීම ගෞරවාන්විත ලෙස කිරීමෙන් යේසුස්ට ගෞරව කළ හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි.

බයිබලයේ සඳහන් වන පරිදි යේසුස්ගේ උපත අපි සැමෝටම වැදගත්. යේසුස් උපත ලැබූ අවස්ථාවේදී දේවදූත සේනාවක් යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගායනා කළ බව බයිබලයේ සඳහන් වෙනවා. “ඉතා උස් තැන්හි දෙවිට මහිමයද මිහිපිට දේවප්‍රසාදය ලත් මිනිසුන්ට සමාදානයද වේවා!” (ලූක් 2:13, 14) කෙසේවෙතත් බයිබලයේ කිසිම තැනක යේසුස්ගේ උපත සැමරිය යුතු බව සඳහන් වන්නේ නැහැ. නමුත් ඒ වෙනුවට යේසුස්ගේ මරණය සිහිකරන්න කියා අණ කර තිබෙනවා. එම නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අවුරුද්දකට වතාවක් එසේ කරනවා. (ලූක් 22:19) එය යේසුස්ට ගෞරවය පෙන්විය හැකි එක ක්‍රමයක්.

යේසුස්ගේ ජීවිතයේ අවසාන දින රාත්‍රියේදී ඔහු මෙසේ පැවසුවා. “මා ඔබට අණ කරන දේ ඔබ කරනවා නම් ඔබ මාගේ මිත්‍රයෝ වන්නහුය.” (යොහන් 15:14) “ඔබ මට ප්‍රේම කරනවා නම්, ඔබ මාගේ ආඥා පවත්වන්නහුය.” (යොහන් 14:15) ඉන් පැහැදිලි වන්නේ යේසුස්ට ගෞරවය පෙන්විය හැකි හොඳම ක්‍රමය ඔහුගේ ඉගැන්වීම් පිළිගෙන ඒවා අනුගමනය කිරීමයි.