Skip to content

පටුනට යන්න

ජල අර්බුදය විසඳීමට ගෙන තිබෙන පිළියම්

ජල අර්බුදය විසඳීමට ගෙන තිබෙන පිළියම්

ජල අර්බුදය විසඳීමට ගෙන තිබෙන පිළියම්

ජල අර්බුදය ලෝක ව්‍යාප්ත ප්‍රශ්නයක්. මෙය බිලියන ගණන් ජනයාගේ සෞඛ්‍යයට තර්ජනයක් වී තිබෙනවා. ජලය නිසි ලෙස භාවිත කිරීම ගැන දැනුවත් කිරීම සඳහාත් ජල අර්බුදය විසඳීම සඳහාත් ගෙන තිබෙන පිළියම් මොනවාද?

දකුණු අප්‍රිකාව: “බොහෝ කාලයක් බලා සිටීමෙන් අනතුරුව ඩර්බන් නගරයේ වැසියන්ට ජලය ලැබුණා” කියා එක් සඟරාවක මුල් පිටුවේ පළ වුණා. එම ලිපියේ පෙන්වා දෙන පරිදි එහි ජනයාට දශක ගණනාවක් පුරා අවශ්‍ය තරම් ජලය නොලැබීමට දේශපාලන වාතාවරණය හේතු වුණා. වර්ෂ 1994දී “එහි සිටි ජනයාගෙන් 2,50,000කට පිරිසිදු ජලය හෝ සනීපාරක්ෂක ක්‍රම තිබුණේ නැහැ” කියා එම සඟරාවේ තවදුරටත් පවසා තිබුණා.—Science.

වර්ෂ 1996දී එක් ඉංජිනේරුවෙකුට එම ප්‍රශ්නය යම්තාක් දුරකට විසඳීමට හැකි වුණා. ඔහු සෑම දවසකම එක් පවුලකට ජලය ගැලුම් 50ක් ලබාදීමේ ක්‍රමයක් දියත් කළා. ඉහත කී සඟරාවේ සඳහන් පරිදි එහි ප්‍රතිඵලය වුණේ “ඩර්බන් නගරයේ වෙසෙන ලක්ෂ 350කගෙන් 1,20,000කට හැර අන් සියලුදෙනාටම පිරිසිදු ජලය ලබාගැනීමට හැකි වීමයි.” එහි වෙසෙන ජනයාට දැන් එතරම් දුරක් නොගොස් ජලය ලබාගැනීමට හැකියාව තිබෙනවා.

අප්‍රිකාවේ සනීපාරක්ෂක ක්‍රම දියුණු කිරීමට ගෙන තිබෙන පියවර ගැන එම සඟරාවේ තවදුරටත් මෙසේ සඳහන් වෙනවා. “එහි නිවෙස්වල එක වැසිකිළි වළක් වෙනුවට වැසිකිළි වළවල් දෙකක් සාදා තිබෙනවා. එමගින් එකකට මුත්‍රාද අනෙකට අසූචිද එකතු වෙනවා. මේ ක්‍රමය නිසා අසූචි වියැළී ඉක්මනින් දිරාපත් වෙනවා.” වර්ෂ 2008 මුල් භාගය වන විට එවැනි වැසිකිළි 60,000ක් සාදා නිම කර තිබුණු අතර තව අවුරුදු දෙකකින් එවැනි වැසිකිළි එහි සියලුම නිවෙස්වලට ලබාදීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

බ්‍රසීලය: සැල්වදෝරය නම් නගරයේ වැසිකිළි පහසුකම් සහ කැළි කසළ බැහැර කිරීමේ නිසි ක්‍රමයක් නොමැති නිසා සිය ගණන් දරුවන් පාචනය වැනි රෝගවලට ගොදුරු වී තිබෙනවා. * ඊට පිළියමක් ලෙස නිවෙස් 3,00,000කින් බැහැර වන අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා කිලෝමීටර් 20,000ක් පමණ දිග නළ පද්ධතියක් සාදා දී තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස නගරයේ පාචනය ඇති වීමේ ප්‍රතිශතය සියයට 22කින්ද මීට පෙර පාචන ප්‍රතිශතය වැඩිව තිබූ නගරවල එය සියයට 43කින්ද අඩු වී තිබෙනවා.

ඉන්දියාව: ලෝකයේ සමහර රටවලට අවුරුද්දේ විවිධ කාලවලදී වර්ෂාවෙන් පිරිසිදු ජලය වැඩිපුර ලැබෙනවා. නමුත් ඉන් නිසි ප්‍රයෝජනයක් නොගත්තොත් එය අපතේ යා හැකියි. වර්ෂ 1985දී ගුජරාට් ප්‍රාන්තයේ වයඹ දෙසින් පිහිටි දිස්ත්‍රික්කයක වෙසෙන කාන්තාවන් පිරිසක් වැසි කාලවලදී ජලය රැස් කරගැනීමට කදිම ක්‍රමයක් සොයාගත්තා. ඔවුන් ඒ සඳහා විශාල වැවක් සෑදීමට සැලසුම් කළා. එම වැව පාපන්දු ක්‍රීඩාංගනයක් තරම් විශාලයි. ඉන්පසු ඔවුන් මේ වැව ඇතුළත ගනකමින් යුත් පොලිතීන් අතුරාගත්තා. එසේ කළේ ජලය කාන්දු වීම වළක්වාගැනීමටයි. ඔවුන් දියත් කළ එම වැඩපිළිවෙල සාර්ථක වුණා. මෝසම් වැසි ලැබෙන කාලය නිමා වුණත් ඔවුන්ට අවශ්‍ය තරම් ජලය තිබුණා. එයින් සෑම කෙනෙක්ම ප්‍රයෝජන ලැබුවා.

චිලී: දකුණු ඇමරිකාවේ පිහිටි මෙම රට කිලෝමීටර් 4,265ක් තරම් දුරට විහිදී යනවා. එයට බටහිර දෙසින් පැසිෆික් සාගරයද නැඟෙනහිර දෙසින් ඇන්ඩීස් කඳු වැටියද පිහිටා තිබෙනවා. එම රටේ ජල සම්පාදනය සම්පූර්ණයෙන්ම රජය මගින් පාලනය වන නිසා ජලාශ හා ඇළ මාර්ග තනන්නේ රජයේ අනුමැතිය ඇතුවයි. එම නිසා නගරයේ ජීවත් වන අයගෙන් සියයට 99කට සහ ගම්බදව ජීවත් වන අයගෙන් සියයට 94කටම අවශ්‍ය තරම් ජලය එහි තිබෙනවා.

ස්ථිරසාර විසඳුමක්

ජල අර්බුදය විසඳාගැනීම සඳහා එක් එක් රටට ආවේණික වූ පිළියම් තිබෙනවා. සමහර රටවල දිගටම ප්‍රමාණවත් සුළං ලැබෙන නිසා සුළං මෝල් ආධාරයෙන් ජලය හා විදුලිය ලබාගැනීමට හැකි වී තිබෙනවා. ධනවත් රටවල් මුහුදු ජලයේ ඇති ලවණ ඉවත් කිරීමෙන් තමන්ට අවශ්‍ය පිරිසිදු ජලය ලබාගන්නවා. බොහෝ රටවල විශාල ජලාශ සෑදීමෙන් වැසි ජලය සහ ගංගාවල ජලය රැස් කරගන්නවා. එම ක්‍රමය ඉතා සාර්ථක ක්‍රමයක් බව ඔප්පු වී තිබෙනවා. කෙසේවෙතත් වියළි ප්‍රදේශවල මෙලෙස ජලය රැස් කළත් ඉන් සියයට දහයක් පමණ වාෂ්ප වී යනවා.

ජල අර්බුදයට ස්ථිරසාර විසඳුමක් දිය හැක්කේ මිනිසාට නොව දෙවිට බව මෙම සඟරාව ප්‍රකාශයට පත් කරන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරනවා. ඊට හේතුව ගැන බයිබලයේ පවසන්නේ මෙසේයි. “පොළොව හා එහි ඇති සියල්ල එසේය, භූමිය හා එහි සියලු ජීවීන් යෙහෝවා දෙවිට අයිතිය. ඔහු භූමිය මුහුදට ඉහළින් පිහිටෙව්වේය. ගංගාවන්ට ඉහළින් එය ස්ථිරව තැබුවේය.”—ගීතාවලිය 24:1, 2, නව ලොව පරිවර්තනය, NW.

පෘථිවිය රැකබලා ගැනීමේ වගකීම දෙවි මිනිසුන්ට දුන් බව ඇත්තයි. (උත්පත්ති 1:28) නමුත් මිනිසුන් පොළොවේ තිබෙන සම්පත් නිසි ලෙස භාවිත නොකිරීම නිසා පොළොවට සිදු වී තිබෙන හානියෙන් ඔප්පු වන්නේ ‘තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කරන්න ඔහුට [මිනිසාට] හැකියාවක්ද නැති’ බවයි.—යෙරෙමියා 10:23NW.

යෙහෝවා දෙවි මේ පොළොව කිසිම අඩු පාඩුවක් නැති තත්වයකට ගෙන ඒම සඳහා කුමක් කරයිද? බයිබලයේ පවසන්නේ දෙවි ‘සියල්ල අලුතෙන් සාදන’ බවයි. (එළිදරව් 21:5) දුගීකම, නියඟය හා ජල අර්බුදය නැති කාලයක් ගැන සිතා බලන්න. අධික මෝසම් වැසි හේතුවෙන් ඇති වන ගං වතුර තර්ජනය නිසා සෑම වසරකම දහස් ගණන් දෙනාගේ ජීවිත අහිමි නොවන කාලයක් පැමිණෙනවා නම් එය කොතරම් සැනසීමක්ද? දෙවිගේ රාජ්‍යයේදී ඔහු පොරොන්දු වී තිබෙන සියල්ලම ඔහු ඉටු කරන බව නිසැකයි. ඒ ගැන යෙහෝවා දෙවිම මෙසේ පොරොන්දු වෙනවා. “මාගේ මුවින් නික්මන මාගේ වචනයත් එලෙසමය. එය කිසිවිටෙකත් නිෂ්ඵල වී මා වෙතට හැරී එන්නේ නැත. මා කැමති දේ ඒ අයුරින්ම ඉටු වන්නේය. මා නියම කළ දේ එලෙසින්ම සිදු වන්නේය.”—යෙසායා 55:11NW.

බයිබලයේ සඳහන් සත්‍යය දැනගැනීමෙන් අපට මහත් සහනයක් ලැබෙනවා නිසැකයි. ඒ පිළිබඳව අප ඊළඟ ලිපියෙන් සළකා බලමු.

[පාදසටහන]

^ 6 ඡේ. සෑම වසරකම ලොව පුරා මිලියන 1.6ක් පමණ දරුවන් පාචනය වැනි රෝගවලින් මිය යනවා. එවැනි රෝගවලින් මිය යන සංඛ්‍යාව ඒඩ්ස්, ක්ෂය රෝගය හා මැලේරියාව යන රෝග තුනෙන්ම මිය යන සංඛ්‍යාවට වඩා වැඩියි.

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ජලය ජීවිතයට නැතුවම බැරි දෙයක්. ජලය නැත්නම් ජීවිතයක් නැහැ.”—Michael Parfit, writer for National Geographic

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ධාන්‍ය ටොන් එකක් නිපදවීමට ජලය ඝන මීටර 1,000ක් අවශ්‍යයි

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ලෝකයේ තිබෙන ජලයෙන් සියයට 70ක්ම භාවිත කරන්නේ කෘෂිකර්මය සඳහායි.”—Plan B 2.0, by Lester R. Brown

[7වන පිටුවේ වගු⁄පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

මිරිදිය කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද?

මුළු ජල ප්‍රමාණය

97.5% කරදිය

2.5% මිරිදිය

මිරිදිය

99% ග්ලැසියරවල අයිස් කුට්ටිවල හෝ පොළොව යට තිබෙන මිරිදිය

1% මෙය බිලියන හතක් පමණ ජනයාගෙත් අනිකුත් බිලියන ගණන් ජීවීන්ගෙත් ජල අවශ්‍යතාව සපුරනවා

[7වන පිටුවේ පින්තූරය]

දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයේ පිරිසිදු ජලය ලබාගැනීම සඳහා දරන වෑයමක්

[හිමිකම් විස්තර]

Courtesy eThekwini Water and Sanitation Programme

[7වන පිටුවේ පින්තූරය]

ඉන්දියාවේ රාජස්තාන් ප්‍රාන්තයේ වැසි ජලය එකතු කරගැනීමේ ව්‍යාපෘතියක වැඩ කරන කාන්තාවෝ (2007)

[හිමිකම් විස්තර]

© Robert Wallis/​Panos Pictures

[7වන පිටුවේ පින්තූරය]

කේපන් හොන්ඩ්‍යුරාස් ප්‍රදේශයට ආසන්න ගමක ජල සැපයුම් මාර්ගයක් ඉඳි කරන පිරිසක්

[හිමිකම් විස්තර]

© Sean Sprague/​SpraguePhoto.com