Skip to content

පටුනට යන්න

කුරුල්ලනේ පරෙස්සමින්

කුරුල්ලනේ පරෙස්සමින්

කුරුල්ලනේ පරෙස්සමින්

හිරුගේ ආලෝකය දසත පැතිරී තිබෙන යාමයේ කුරුල්ලෙකු උස් ගොඩනැඟිල්ලක වැදී බිම ඇද වැටෙයි. ඌ එසේ ඇද වැටුණේ එම ගොඩනැඟිල්ලේ වීදුරු ඌට නොපෙනුණ නිසයි. මෙය දුටු මඟියෙක් ඒ කුරුල්ලාට උපකාර කරන්නේ ඌ නැවත යථා තත්වයට පත් වෙයියන සිතුවිල්ලෙනුයි. ඔහු සිතූ දේ මල් පල ගන්වමින් කුරුල්ලා නැවත තටු සලා ඈතට පියඹා යයි. *

කනගාටුවට කරුණක් වන්නේ ගොඩනැඟිලිවලට වැදී එසේ අනතුරුට ලක් වන සෑම කුරුල්ලෙක්ම නැවත යථා තත්වයට පත් නොවීමයි. උන්ගෙන් අඩක්ම මිය යයි. එක් සංගමයක (Audubon) වාර්තාවකට අනුව ඇමරිකාවේ පමණක් වර්ෂයකට විවිධ වර්ගයේ කුරුල්ලන් මිලියන 100කට වඩා වැඩි ප්‍රමාණයක් ගොඩනැඟිලිවල ගැටී අකාලයේ මිය යනවා. තවත් එවැනි සමීක්ෂණ පැවැත් වූ අය එම සංඛ්‍යාව බිලියනයක් පමණ විය හැකියි කියා විශ්වාස කරනවා. කුරුල්ලන් මෙසේ ගොඩනැඟිලිවල ගැටෙන්නේ මන්ද? උන්ගේ දිවි රැකුමට යමක් කළ හැකිද?

වීදුරු සහ ආලෝකය

ගොඩනැඟිලි සහ නිවෙස්වල වීදුරු ජනෙල් හොඳින් සෝදා පිරිසිදුව තිබෙන විට එම වීදුරු තුළින් අවට පරිසරය හා නිල් අහස දිස් වෙනවා. මේ නිසා කුරුල්ලන් ඒ වෙත වේගයෙන් පියඹා එනවා. ඒ වගේම ඇතුළත අලංකාර කිරීමට තබා තිබෙන විසිතුරු පැළ නිසාත් උන් ඒ මත ලඟින්න ඒ දෙසට පියඹා එයි.

සමහර ගොඩනැඟිලිවල පරාවර්තිත වීදුරු යොදා තිබෙන නිසා ඒ තුළින් අවට පරිසරය දිස්වෙනවා. එවැනි දර්ශනවලට රැවටෙන කුරුල්ලන් ඒ වෙත පියඹා එයි. එම වීදුරු තුළින් කුරුල්ලන් දකින්නේ වීදුරුව නොව ඒ තුළින් දිස් වන අවට පරිසරයයි. ඒ විතරක් නෙවෙයි කුරුලු සංරක්ෂිත ස්ථානවල සිටින කුරුල්ලන් පවා එහි තිබෙන ගොඩනැඟිලිවල වීදුරුවල ගැටි අනතුරට ලක් වෙනවා. පක්ෂි හා ජීවි විද්‍යාඥයෙක් වන මහාචාර්ය ඩැනියෙල් ක්ලෙම් [කනිෂ්ඨ] පවසන්නේ කුරුල්ලන් මිනිසුන්ගෙන් එල්ල වන තර්ජන නිසා හා ස්වාභාවිකව වඳ වෙනවාට වඩා වැඩි සංඛ්‍යාවක් ගොඩනැඟිලි ජනෙල්වල ගැටී මිය යන බවයි.

සමහර කුරුල්ලන් විශේෂයෙන්ම මෙම අනතුරට ලක් වෙනවා. සංක්‍රමික කුරුල්ලන් වන සෝංබර්ඩ් මෙයට කදිම උදාහරණයක්. උන් බොහෝමයක් තම ගමන අරඹන්නේ රාත්‍රි කාලයේ තරු එළියේ උපකාරයෙන්. නගරයේ උස් ගොඩනැඟිලිවලින් දිස් වන විදුලි ආලෝකය නිසා උන් මංමුළා වෙනවා. සමහර කුරුල්ලන්ට තම ගමන් මඟ සොයාගැනීමට නොහැකිව ඒ මේ අත පියඹා යෑමෙන් දැනෙන වෙහෙස නිසා බිමට ඇද වැටෙනවා. ඒ වගේම වැහිබර දවස්වල ඇති අඳුරු වලාවන්ද උන්ට ඇති තවත් බාධාවක්. එවැනි දිනවලදී උන් පියාසර කරන්නේ පහළින් නිසා උස් ගොඩනැඟිලිවල ගැටීමට තිබෙන ඉඩ කඩ වැඩියි.

කුරුල්ලන්ගේ අනාගතය අඳුරුද?

සංක්‍රමික සමයේදී ඇමරිකාවේ චිකාගෝ ප්‍රාන්තයේ ඉලිනොයිස් නගරයේ තිබෙන එක් උස් ගොඩනැඟිල්ලකට වැදී කුරුල්ලන් 1,480ක් පමණ මිය යන බව වාර්තා වෙනවා. මෙම ගොඩනැඟිල්ලට වැදීමෙන් වසර 14ක කාලයක් පුරා කුරුල්ලන් 20,700ක් පමණ මිය ගොස් තිබෙනවා. මෙවැනි ගොඩනැඟිලිවල ගැටී මිය යන කුරුල්ලන්ගේ මුළු සංඛ්‍යාව ඊට වඩා ඉහළ අගයක් ගන්නා බව නිසැකයි. එසේ මිය යන්නේ “පරෙවියන්, මුහුදු ලිහිණින් හා පාත්තයන් නොව වඳ වී ගෙන යන කුරුලු විශේෂයන් වීම කනගාටුවට කරුණක්” කියා කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ කුරුල්ලන්ට සිදු වන හානි වැළක්වීමේ වැඩසටහනේ අධ්‍යක්ෂවරයා වන මයිකල් මෙෂර් පවසනවා.

මීට උදාහරණයක් ලෙස ඕස්ට්‍රේලියාවේ මෑත වසරකදී දැනට 2,000ක් පමණ සිටින සීඝ්‍රයෙන් වඳ වී යන ගිරව් විශේෂයකින් 30දෙනෙක් පමණ ගොඩනැඟිලිවල වැදී මිය ගොස් තිබෙනවා. රැවියන් විශේෂයක් (Bachman’s warbler) දැක ගත හැක්කේ කෞතුකාගාරවල පමණයි. උන් සමහර විට ලොවින් වඳ වී ගොස් ඇතැයි කියා විශ්වාස කරනවා. උන්ව ඇමරිකාවේ කෞතුකාගාරයට රැගෙන ආවේ ෆ්ලොරීඩා නගරයේ ප්‍රදීපාගාරයකට ගැටී මිය ගොස් සිටියදීයි.

ගොඩනැඟිලිවල ගැටෙන සෑම කුරුල්ලෙක්ම යථා තත්වයට පත් වන්නේ නැහැ. උන්ගෙන් බොහෝමයක් දුර්වලතාවලින් පෙළෙනවා. මෙය සංක්‍රමික කුරල්ලන්ට විශේෂයෙන්ම අනතුරුදායකයි. උන් ගොඩනැඟිලි අසල වැටි සිටියදී හරිහැටි ආහාරයක් සොයාගැනීමට නොහැකිව මියයයි. ඒ වගේම වෙනත් සතුන්ගේ ගොදුරු බවට පත් වෙයි. සමහර සතුන් මෙසේ වැටී සිටින කුරුල්ලන්ව කා දැමීමට පුරුදු වී සිටිනවා.

කුරුල්ලන්ට හානි නොවන ගොඩනැඟිලි

කුරුල්ලන් ගොඩනැඟිවල නොගැටීමට නම් උන් එම බාධකය හඳුනාගත යුතුයි. මේ සඳහා පුද්ගලයන් ගොඩනැඟිලි සහ නිවෙස්වල ජනෙල් පිට පැත්තේ කුරුල්ලන්ට පෙනෙන සේ නොයෙකුත් වර්ණවත් කොළ හෝ පින්තූර අලවා තබනවා. මහාචාර්ය ඩැනියෙල් ක්ලෙම් පවසන ආකාරයට වැදගත් වන්නේ අලවන වර්ණවත් කොළය හෝ පින්තූර නොව ඒ පින්තූර අතර ඇති පරතරයයි. එනම් තිරස් අතට අඟල් දෙකක් හා සිරස් අතට අඟල් හතරක් තිබීම අවශ්‍යයි.

රාත්‍රියේ පියාසර කරන සංක්‍රමික කුරුල්ලන්ට කුමනාකාරයේ සහනයක් සලසා දිය හැකිද? ‘රාත්‍රියේදී ගොඩනැඟිලිවල විදුලි බුබුළු නිවා දැමීමෙන් උන්ට සහනයක් සලසා දිය හැකියි’ කියා පාරිසරික ගැටලු පිළිබඳව පර්යේෂණවල නිරත වන ලෙස්ලි ජේ. ඊවාන්ස් ඔග්ඩන් පවසනවා. සමහර නගරවල රාත්‍රියේ යම් නිශ්චිත වේලාවකදී උස් ගොඩනැඟිලිවල තිබෙන විසිතුරු විදුලි බුබුළුවල ආලෝකය අඩු කර දැමීමට හෝ නිවා දැමීමට කටයුතු කරනවා. විශේෂයෙන් කුරුල්ලන් සංක්‍රමණය කරන කාලයේදී මේ ගැන ඔවුන් වඩාත් සැලකිලිමත් වෙනවා. ඒ වගේම සමහර උස් ගොඩනැඟිලිවල ජනෙල්වලට දැල් ගසා තිබෙන නිසා අවට පරිසරය ඒ තුළින් දිස්වන්නේ නැහැ.

එවැනි ක්‍රියා මාර්ග තුළින් කුරුලු ජීවිත අහිමි වීම සියයට 80කින් පමණ අඩු කර ගත හැකියි. මේ මගින් වසරකට මිලියන ගණනකගේ ජීවිත රැකෙයි. ඒත් මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳෙන්නේ නැහැ. ඊට හේතුව මිනිසුන් තවමත් වීදුරු ජනේල්වලට හා විදුලි බුබුළුවලට ළැදියාවක් දක්වන නිසයි. අප ඉහත කී කුරුල්ලන්ගේ ශුභසාධනය වෙනුවෙන් කටයුතු කරන එවැනි සංවිධානවලින් ගෘහ නිර්මාණ ශිල්පීන්ට හා ගොඩනැඟිලි ඉදි කරන්නන්ට ස්වාභාවික පරිසරයට හානි නොවන ආකාරයෙන් ක්‍රියා කරන මෙන් ආයාචනා කරනවා.

[පාදසටහන]

^ 2 ඡේ. ඔබ කුරුල්ලන්ට උපකාර කිරීමට යන බව උන් දන්නේ නැති නිසා එසේ කිරීමේදී පරෙස්සම් වෙන්න. කුරුල්ලන්ගෙන් ලෙඩ රෝග බෝ විය හැකියි. ඒ නිසා උපකාර කිරීමේදී අත් වැසුම් පැළදීමටත් පසුව අත් හොඳින් සේදීමටත් අමතක නොකරන්න. ඔබේ ආරක්ෂාව ගැනත් සනීපාරක්ෂාව ගැනත් කල්පනාකාරී වෙනවා නම් පුහුණුව ලද අයගේ උපකාරය පතන්න.

[10වන පිටුවේ කොටුව]

කුරුලු විපත්

එක්සත් ජනපදයේ වසරකදී කුරුල්ලන්ගේ ජීවිතවලට සිදු වී තිබෙන විනාශ පිළිබඳ කළ සමීක්ෂණයක වාර්තාවක්.

▪ සංඥා කුළුණුවල ගැටීමෙන්—මිලියන 40ක්

▪ පලිබෝධනාශක හේතුවෙන්—මිලියන 74ක්

▪ බළලුන්ගෙන් එල්ලවන අනතුරු—මිලියන 365ක්

▪ වීදුරු ජනෙල් නිසා ඇති වන අනතුරු—මිලියන 100 සිට බිලියනයක් දක්වා

▪ පාරිසරික වෙනස්කම් හේතුවෙන්—මෙයින් සිදු වන හානිය නිශ්චිතවම කිව නොහැකි වුවත් මෙයින් සිදු වන හානිය අනික් හානිවලට වඩා වැඩියි

[10වන පිටුවේ පින්තූරය]

සෑම වසරකම එක්සත් ජනපදයේ මිලියන 100ක් පමණ කුරුල්ලන් වීදුරුවල වැදී මිය යනවා

[හිමිකම් විස්තර]

© Reimar Gaertner/age fotostock