Skip to content

පටුනට යන්න

රතු ග්‍රහයාගේ තතු

රතු ග්‍රහයාගේ තතු

රතු ග්‍රහයාගේ තතු

අවුරුදු 60,000කට පමණ පසු විශේෂ දෙයක් සිදු වුණා. එනම් අඟහරු ග්‍රහයාත් අපේ පෘථිවියත් කිලෝමීටර් මිලියන 56ක පරතරයකින් පිහිටීමයි. එය සිදු වූයේ 2003 අගෝස්තු මාසයේදීයි. එම දුර අපට විශාල දුරක් මෙන් පෙනුණත් තරු සහ ග්‍රහයන් ගැන අධ්‍යනයේ යෙදෙන විද්‍යාඥයන්ට නම් එය ඉතාම කෙටි දුරක්.

වර්ෂ 2004 මුල් භාගයේදී අඟහරු ග්‍රහයා මතට අභ්‍යවකාශ යානා කිහිපයක් ගොඩ බැස්සුවා. ඉන් සමහර යානා අඟහරු ග්‍රහයාගේ කක්ෂය වටා ගමන් කර තොරතුරු රැස් කළ අතර තවත් ඒවා ග්‍රහයා මතට ගොඩබැස යම් ගවේෂණ කටයුතුවල නිරත වුණා. මෙම ගවේෂණවලින් අපේ අසල්වැසි ග්‍රහයා ගැන ලබාගෙන තිබෙන තොරතුරු මොනවාද?

රතට රතේ දිස්වෙන ග්‍රහයා

මාර්ස් ග්ලෝබල් සර්වයර් නම් යානය අඟහරු මතට ගොඩ බැස්සුවේ 1997දීයි. අඟහරු ග්‍රහයා අවට චුම්බක ක්ෂේත්‍රයක් තිබුණු බවට එම යානාව කළ ගවේෂණයෙන් සොයා ගැනුණා. අඟහරු ග්‍රහයාගේ සිතියමක් මෙන්ම එහි භූ ලක්ෂණත් ඉතාම නිවැරදි ලෙස සටහන් කරනු ලැබුවා. සොයාගත් භූ ලක්ෂණ අතරින් එකක් නම් එහි ගැඹුරුම ස්ථානයේ සිට උසම ස්ථානයට ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 29ක් ඉක්මවා තිබූ බවයි. මෙය පෘථිවියේ ගැඹුරුම ස්ථානයේ සිට උසම ස්ථානය දක්වා තිබෙන දුර ප්‍රමාණයට වඩා වැඩියි. පෘථිවියේ එම දුර ප්‍රමාණය කිලෝමීටර් 19යි. *

අඟහරු ග්‍රහයාගේ ගැඹුරුම ස්ථානය වන හෙලාස් ආවාටය තැනී ඇත්තේ අති විශාල උල්කාපාතයක් පතිත වීමෙන් කියා විද්‍යාඥයන් විශ්වාස කරනවා. එමෙන්ම උසම ස්ථානය වන්නේ කිලෝමීටර් 21ක උසකින් පිහිටි ඔලම්පස් මොනස් නම් ගිනි කන්දයි. ඒ වගේම මීටර් 18ක තරම් පළලින් යුත් ගල් පරත් පස් වැටිත් මෑතකදී සෑදුණු අගල්ද යානයේ කැමරාවට අසු වී තිබෙනවා. එහි තිබෙන බොහෝ පාෂාණ ගිනි කඳු පුපුරා යෑමෙන් ඉතිරි වූ ඒවා බව තවත් උපකරණයක් මගින් සොයා ගැනුණා.

වර්ෂ 2006 නොවැම්බර් මාසයේදී ග්ලෝබල් සර්වයර් යානය සමඟ තිබූ පණිවිඩ හුවමාරුව ඇන හිටියා. නමුත් 2001දී යවනු ලැබූ යානා තුනක් වන මාර්ස් ඕඩිසි, මාර්ස් එක්ස්ප්‍රස් සහ මාර්ස් රිකොනිසන්ස් තවමත් අඟහරු ග්‍රහයා ගැන ගවේෂණ කටයුතුවල යෙදෙනවා. * සියුම් දේ පවා රූ ගත කළ හැකි අධි තාක්ෂණික කැමරා සහ උපකරණ යොදා ගෙන අඟහරු ග්‍රහයාගේ වායු ගෝලයත් එහි පාරිසරික තත්වයත් සොයා බලනු ලැබුවා. ඒ වගේම උත්තර ධෘවය අසල අයිස් තිබෙන බව සොයාගනු ලැබූ අතර ඒවායේ ඡායාරූපද ගනු ලැබුවා.

අයිස් පිළිබඳව පුළුල් ගවේෂණයක් කිරීම සඳහා ෆීනික්ස් මාර්ස් නම් යානය කිසිම බාධාවකින් තොරව අඟහරු ග්‍රහයා මතට ගොඩබැස්සුවේ 2008 මැයි මස 25වන දිනයි. ධෘවාසන්න ප්‍රදේශයේ වායුගෝලයත් භූගත අයිස් තට්ටුවත් ගවේෂණය කිරීමට අවශ්‍ය අධි තාක්ෂණික උපකරණ එහි සවි කර තිබුණා. විද්‍යාඥයන් එම අයිස් තට්ටුව ගැන ගවේෂණය කරන්නේ ක්ෂුද්‍ර ජීවින්ට එහි හිතකර පරිසරයක් කවදා හෝ තිබුණාද කියා සොයා බැලීමටයි. කෙසේවෙතත් එවැනි සොයාබැලීම් කිරීමට පටන්ගත්තේ මීට පෙරයි.

අඟහරු ලොවට ගිය වෙනත් යානා

වර්ෂ 2004 ජනවාරි මාසයේ ස්පිරිට් සහ ඔපචුනිටි නමින් තවත් යානා දෙකක් යවනු ලැබුවා. ඒ යානා ගොඩ බස්වන තැන තීරණය කරනු ලැබුවේ කලින් යානාවලින් ලබාගත් තොරතුරුවලට අනුවයි. තාප ආවරණ, පැරෂූට හා රොකට් ආධාරයෙන් මේ කුඩා යානා අඟහරු ග්‍රහයා මත සෙමින් සෙමින් පතිත වුණා. පතිත වීමේදී යානය අඟහරු ග්‍රහයාගේ භූමියේ වැදී කිහිපවරක්ම ගැස්සීමට ලක් වුණා. වර්ෂ 1997දී පාත් ෆයින්ඩර් යානය පතිත වූයේද ඒ ආකාරයටමයි. *

පොළොවේ තිබෙන වියළි ප්‍රදේශයක් හා සමාන ප්‍රදේශයක් අඟහරු ග්‍රහයාගෙත් දකින්න ලැබෙනවා. මේ නිසා එය ගවේෂණය කිරීමට නොයෙක් මාදිලියේ යානා යැවීමට හැකි වී තිබෙනවා. ස්පිරිට් යානය ගොඩ බස්සනු ලැබුවේ ගුසෙව් නම් විශාල ආවාටය අසළයි. සමහර ගවේෂකයන් මෙම ආවාටය කලින් විලක් වී තිබෙන්න ඇතැයි කියා විශ්වාස කරනවා. ඔපචුනිටි යානාව ගොඩ බැස්සවීමට තෝරාගත්තේ මෙරිඩියානා ප්ලෑනම් නම් උස් සමබිමකයි. එම භූමි ප්‍රදේශය සෑදී තිබුණේ යකඩ හා ඛනිජවලින් යුත් ඉපැරණි ගල් තට්ටුවලිනුයි. එම යානා දෙක යැවීම සම්බන්ධයෙන් නාසා ආයතනය පවසන්නේ “අඟහරු ග්‍රහයා මත ජීවීන්ට උචිත පරිසරයක් තිබුණාද කියා පර්යේෂණ කිරීම” ඔවුන්ගේ අරමුණ වූ බවයි.

අඟහරු ග්‍රහයාට ගිය භූ විද්‍යාඥයන්

ස්පිරිට් යානය 2004 ජනවාරි 4වෙනිදා ගොඩ බැස්සුවේ කුඩා වළවල්වලින් පිරී නිසරු ගල් බිම් සහිත ප්‍රදේශයකයි. සාමාන්‍යයෙන් භූ විද්‍යාඥයෙක් මෙවැනි ස්ථානයකට පැමිණියා නම් ගවේෂණය කරන ආකාරයටම මෙම යානයද විවිධ වැලි පාෂාණ හා භූ ලක්ෂණ ගැන අධ්‍යනය කළා. එම ප්‍රදේශයේ පාෂාණ විසිරී තිබෙන්නේ ගිනිකඳු පුපුරා යෑමෙන් ඉතිරු වූ කැබලි නිසා බවත් වළවල් සෑදී තිබෙන්නේ උල්කාපාත වැටීම නිසා බවත් යානය හසුරුවන විද්‍යාඥයන් නිගමනය කළා. ඉන්පසු ස්පිරිට් යානය කිලෝමීටර් දෙකහාමාරකට වඩා ටිකක් ඈතින් පිහිටි කුඩා කඳු වැටි නිරීක්ෂණය කිරීමට පිටත් වුණා. එහි අසාමාන්‍ය පාෂාණ මෙන්ම තුනී පාෂාණ තට්ටු දැකගැනීමට හැකි වුණා. ඒවාත් ගිනිකඳු පුපුරා යෑමෙන් ඇති වූ ඒවා විය හැකියි.

කිලෝමීටර් මිලියන 456ක් දුර ගෙවා 2004 ජනවාරි 25වෙනිදා ඔපචුනිටි යානය අඟහරු ග්‍රහයා මතට ගොඩබැස්සේ නියමිත ප්‍රදේශයට කිලෝමීටර් 25ක දුරකිනුයි. මෙරිඩියානා නම් සමභූමිය මත කිහිපවරක් ගැස්සීමට ලක් වීමෙන් පසු එය පෙරළී ගොස් ආවාටයක් තුළට වැටුණා.

ඔපචුනිටි යානය ආවාට කිහිපයක් ගවේෂණය කළා. එහිදී කුඩා රවුම් පාෂාණ සොයා ගැනුණා. රතු පාට පස් හා ගල් තිබෙන ආවාටවල මෙම කුඩා අළු පැහැති පාෂාණ දිස්වන්නේ දම් පැහැයෙනුයි. සමහර ගල් තට්ටුවල රැළි ස්වභාවයක් දක්නට තිබුණා. එය හරියට දිය පාරක් ගලා ගිය විට දක්නට තිබෙන රටා හා සමානයි. මෙම ගල්වල එවැනි රටා ඇඳී තිබෙන නිසාත් ගල්වල ක්ලෝරීන් හා බ්‍රෝමීන් අඩංගු නිසාත් එහි කලකදී ලවණ මිශ්‍රිත ජලය තිබෙන්න ඇතැයි කියා විද්‍යාඥයන් සැක කරනවා.

වර්ෂ 2008දී ෆීනික්ස් මාර්ස් යානය යැවීමේ ප්‍රතිඵලයක් ලෙස අඟහරු ග්‍රහයා ගැන වැඩිමනත් දත්ත ලැබුණු අතර විශේෂයෙන්ම එහි අයිස්වලින් වැසී ගිය ප්‍රදේශ පිළිබඳ තොරතුරු සොයාගත්තා. එම යානයේ තිබූ අතක් බඳු හැන්දෙන් අයිස් තිබූ ප්‍රදේශයෙන් සාම්පලයක් ලබාගෙන යානයේ තිබූ රසායනාගාර දෙකෙන් ඒවා පරීක්ෂා කරනු ලැබුවා. මෙම යානය යොදාගෙන ගවේෂණ කටයුතු කිරීමට සැලසුම් කර තිබුණේ කෙටි කාලයකටයි. ඊට හේතුව ගැන සයන්ස් සඟරාවේ පවසන්නේ අඟහරු ග්‍රහයාගේ සීත කාලයේදී “කාබොන්ඩයොක්සයිඩ් සහිත අයිස්වලින් යානය මුළුමණින්ම වසාගන්න නිසයි.”

කිලෝමීටර් මිලියන සියගණන් ඈත එපිට තිබෙන ග්‍රහලෝක ගැන විද්‍යාඥයන් කරන ගවේෂණවලින් පැහැදිලි වන්නේ මිනිසුන් එකතු වී එක අරමුණක් ඔස්සේ ක්‍රියා කරන විට ඔවුන්ට මහත් දේවල් අත් කරගත හැකි බවයි. එවැනි දේවල් කිරීමට මිනිසුන්ට ඇති බුද්ධිය ගැන අප ආඩම්බර විය යුතුයි. ඒත් මේ සෑම දෙයක්ම කිරීමට හැකි වී තිබෙන්නේ මෙම විශ්වය පාලනය වන භෞතික නීති නිසයි. එම නීති ඇති කළේ කවුද? ඒ නීති ඉබේ ඇති වූ ඒවා නෙවෙයි. ඒවා ඇති කළේ විශ්වයේ උදාරතම ගෘහ නිර්මාණ ශිල්පියා වන යෙහෝවා දෙවියි.

[පාදසටහන්වල]

^ 5 ඡේ. පෘථිවියේ ගැඹුරුම ස්ථානය වන පැසිෆික් සාගරයේ පිහිටි මරියානා ආගාධයේ සිට උසම ස්ථානය වන එවරස්ට් කඳු මුදුන දක්වා තිබෙන දුර ප්‍රමාණයයි.

^ 7 ඡේ. වර්ෂ 2001දී මාර්ස් ඕඩිසි සහ මාර්ස් රිකොනිසන්ස් යවනු ලැබුවේ ජාතික ගුවන් ගමන් හා අභ්‍යවකාශ පරිපාලන ආයතනය (NASA) මගින් වූ අතර මාර්ස් එක්ස්ප්‍රස් යවනු ලැබුවේ යුරෝපයේ අභ්‍යවකාශ ඒජන්සිය මගිනුයි.

^ 10 ඡේ. වැඩි විස්තර සඳහා 1998 පිබිදෙව්! සඟරාවේ ජූලි කලාපයේ “අඟහරුව රොබෝ යන්ත්‍රයක් ගවේෂණය කරයි” යන ලිපිය බලන්න.

[16වන පිටුවේ කොටුව/පින්තූරය]

අඟහරු ග්‍රහයේ ජීවීන් ඉන්නවාද?

දහඅට සහ දහනව වන ශතවර්ෂයේ තාරකා විද්‍යාඥයන් දෙදෙනෙක් වන සර් විලියම් හර්ෂල් සහ පර්සිවල් ලොවෙල් අඟහරු ග්‍රහයේ බොහෝ ජීවීන් සිටි බව විශ්වාස කළ අතර ඩාවින්ගේ පරිණාම වාදය පිළිබඳ අදහස ඊට මහත් රුකුලක් වුණා. නමුත් මේ සියලුම උපකල්පන බැහැර කරමින් චන්ද්‍රිකා ඡායාරූප මගින් පෙන්නුම් කළේ අඟහරු ග්‍රහයා නිසරු මෙන්ම අධික කාබන්ඩයොක්සයිඩ්වලින් පිරුණු වායු ගෝලයකින් සමන්විත බවයි. වර්ෂ 1976දී වයිකිං 1 යානාව මගින් කළ ගවේෂණ මගින් අඟහරු ග්‍රහයා මත ජීවීන් නැති බව සොයාගත්තා. *

නමුත් විද්‍යාඥයන් අඟහරු ග්‍රහයා මත ජීවීන් සිටිනවාද කියා සොයා බැලීමේ උත්සාහය අත්හැර නැහැ. මේ සඳහා ඔවුන් යොදාගත් නවතම යානය ෆීනික්ස් මාර්ස් යානයයි. පෘථිවියේ අධික ශීත හා වියළී තත්වයන් යටතේ ජීවීන්ට පැවතිය හැකි නම් අඟහරු ග්‍රහයා මතද එවැනි තත්වයන්ට ඔරොත්තු දෙන ජීවීන් සිටිය යුතුයි කියා සිතනවා. මාර්ස් එක්ස්ප්‍රස් යානයත් සමඟ සම්බන්ධ කර යැවූ බීගල් 2 යානාවේ අඟහරු ග්‍රහයාගේ පසෙහි කාබනික සංයෝග හෙවත් ජීවීන්ට හිතකර සංයෝග තිබෙනවාද කියා සොයා බැලීමට අවශ්‍ය උපකරණ එහි සවි කර තිබුණා. නමුත් 2003 අවසාන භාගය වන විට එම යානය පිළිබඳ කිසිම තොරතුරක් ඔවුන්ට ලැබුණේ නැහැ. විද්‍යාඥයන් ඊළඟ වසරේ අඟහරු ග්‍රහයාගේ වායුගෝලයේ මීතෙන් වායුව තිබෙන බව සොයාගත්තා. දැන් ඔවුන් සොයා බලන්නේ එය වායුගෝලයට එක් වුණේ ජීවීන්ගෙන්ද නැත්නම් ගිනිකඳු පුපුරා යෑමෙන්ද කියායි.

හතු පිපෙන්නාක් මෙන් හදිස්සියේම විශ්වයේ කොතැනක හෝ ජීවය හටගත හැකිද? නැහැ. ඊට බයිබලයේ දෙන පිළිතුර මෙයයි. “ජීවිතයේ උල්පත ඔබය [දෙවිය].” (ගීතාවලිය 36:9, නව ලොව පරිවර්තනය) ජීවයක් ආරම්භ විය හැක්කේ තවත් ජීවයකින් පමණයි. අපේ ජීවිතදායකයාණන් වන්නේ යෙහෝවා දෙවියි.—ක්‍රියා 17:25.

[පාදසටහන]

^ 24 ඡේ. වැඩි විස්තර සඳහා 1999 පිබිදෙව්! දෙසැම්බර් කලාපයේ “නැවතත් යමු රතු ග්‍රහයා වෙතට” නමැති ලිපිය බලන්න.

[හිමිකම් විස්තර]

NASA/JPL/Cornell

[15වන පිටුවේ පින්තූරය]

ෆීනික්ස් මාර්ස් යානයේ සවිකර තිබෙන අත හා කැමරාව

[15වන පිටුවේ පින්තූරය]

දම් පැහැයෙන් දිස් වෙන ගල්

[15වන පිටුවේ පින්තූරය]

කිලෝමීටර් 21ක උසකින් යුක්ත වූ ඔලම්පස් මොනස් නම් ගිනි කන්ද

[15වන පිටුවේ පින්තූරය]

ස්පිරිට් යානය ගවේෂණය සඳහා ගලකින් සාම්පල ලබාගත් ස්ථානය

[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Top left: NASA/JPL-Caltech/University of Arizona/Texas A&M University; top right: NASA/JPL/Malin Space Science Systems; bottom left and right: NASA/JPL/Cornell