Skip to content

පටුනට යන්න

විරහ වේදනාව දරාගන්නේ කොහොමද?

විරහ වේදනාව දරාගන්නේ කොහොමද?

යෞවන අය අසති

විරහ වේදනාව දරාගන්නේ කොහොමද?

“අප පෙම්වතුන් ලෙස ආශ්‍රය කළේ මාස හයක කාලයක් වුණත් අපි අවුරුදු පහක් පුරා හොඳ මිතුරන් ලෙස ආශ්‍රය කළා. නමුත් ඔහුට අපේ ප්‍රේම සම්බන්ධය නවතා දැමීමට අවශ්‍ය වුණා. ඊට පස්සේ ඔහු මාව මඟ හරින්න පටන් ගත්තා. මා සමඟ කතා බහ කරන එක පවා නතර කළා. මගේ මුළු ලෝකයම කඩා වැටුණා වගෙයි මට දැනුණේ. මම මොනවාද කරන්නේ කියලවත් මට හිතා ගන්න බැරිව ගියා. මම හැම තිස්සේම කල්පනා කළේ මම කළ වරද මොකක්ද කියලා.”—රේචල්. *

ආදර සබඳතාවක් බිඳී ගිය විට දැනෙන වේදනාව කොතරම්දයත් කෙනෙකුගේ ජීවිතයේ සතුට නැති වී යා හැකියි. වසර දෙකක් පුරා පෙම්වතුන් ලෙස ඇසුරු කළ ජෙෆ් සහ සුසෑන්ගේ අද්දැකීමෙන් එය සත්‍යයක් බව ඔප්පු වෙනවා. ඒ කාලය තුළ ඔවුන් දෙදෙනා හදවතින් එකිනෙකාට ළං වුණා. ජෙෆ් නිතර දෙවේලේ සුසෑන්ට ඔහුගේ ආදරය ගැන පවසා පණිවිඩ එව්වා. ඇය ගැන ඔහුට ඇති ආදරය පෙන්වීමට කලින් කලට ඔහු ඇයට තෑගි දුන්නා. සුසෑන් ජෙෆ් පෙන්වූ ආදරය ගැන පවසන්නේ මෙලෙසයි. “ජෙෆ් නිතරම මාව තේරුම් ගන්න උත්සාහ කළා. මට ඉවසීමෙන් සවන් දුන්නා. මට වඩා කෙනෙක් ඔහුට හිටියේ නැහැ.”

වැඩි කල් නොගොස් ඔවුන් තම විවාහය සැලසුම් කරන්න පටන්ගත්තා. නමුත් ඔවුන්ගේ ආදර ලෝකය බිඳී ගියේ ඔවුන් නොසිතූ ලෙසයි! ඇයට දැනුණේ ඇගේ මුළු ලෝකයම කැඩී බිඳී ගියා වගෙයි. ඇය එදිනෙදා වැඩවල නිරත වුවත් ඒවා කළේ සිතකින් නොවෙයි. ඇයට දැනුණ වේදනාව කොතරම්ද කියා ඇය පැවසූ දෙයින් පැහැදිලි වෙනවා. “මගේ ගතත් සිතත් වේදනාවෙන් දැවී ගියා.” *

ඇයි මෙතරම් වේදනාවක්

ඔබත් සුසෑන් හා සමාන අද්දැකීමකට මුහුණ දී තිබෙනවා නම් ඔබ සිටින තත්වයෙන් කිසි ලෙසකින්වත් ගොඩ ඒමට නොහැකියි කියා ඔබට සිතෙන්න පුළුවන්. (ගීතාවලිය 38:6) ඔබට දැනෙන වේදනාව තේරුම් ගත නොහැකි යමක් නොවෙයි. ඇත්තෙන්ම මෙය ඔබේ ජීවිතයේ ඔබ ලද අමිහිරිම ඇද්දැකීම්වලින් එකක් විය හැකියි. එමනිසයි ආදරය අහිමි වීම සමහරුන්ට දරාගත නොහැකි තරම් වේදනාවක් වී තිබෙන්නේ. ඔබ මෙවන් වේදනාවක් අද්දකින අතරතුරේ ඔබට මෙවැනි සිතුවිලි ඇති විය හැකියි.

යථාර්ථය පිළිනොගැනීම. ‘අපේ සම්බන්ධය ඉවරයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඔහු තව දවසකින් දෙකකින් වෙනස් වෙයි.’

කෝපයක් ඇති වීම. ‘ඔහු මට මොන හිතකින් මේ වගේ දෙයක් කළාද? මම ඔහුගේ මුහුණවත් දකින්න කැමති නැහැ.’

මානසිකව පීඩා විඳීම. ‘මට කවුරුත් ආදරේ නැහැ. මට ආයෙත් ආදරය කරන්න ලැබෙයි කියා මට විශ්වාස නැහැ.’

සුබවාදී වීම. ‘වේදනාවක් දැනුණත් මේ තත්වයෙන් ගොඩ එන්න පුළුවන්.’

ආදරය අහිමි වීම නිසා වේදනාවක් ඇති වුණත් අවසානයට පැවසූ ලෙස එම තත්වයෙන් ගොඩ ඒමට හැකියි. නමුත් ඒ සඳහා කොතරම් කාලයක් ගත වෙනවාද යන්න රඳා පවතින්නේ ඔබේ සබඳතාව කොතරම් කාලයක් පුරා පැවතුණාද සහ එය කොතරම් කිට්ටු බැඳීමක්ද වැනි කාරණා මතයි. මේ අතරතුර ඔබට කළ හැකි දේ ගැන සලකා බලමු.

තත්වයෙන් ගොඩ ඒමට නම් . . .

කාලය හැම දෙයක්ම විසඳයි කියා සමහරුන් කියනවා ඔබ අසා ඇති. ආදරයේ වේදනාව දැනුණු මුල් කාලයේදී එවැනි වදන්වලින් සහනයක් නොදැනීම සාධාරණයි. මන්ද එය සම්පූර්ණ විසඳුම නොවන නිසයි. එය මෙම උදාහරණයෙන් පැහැදිලි වෙනවා. ඔබේ ශරිරයේ යම් කැපුමක් සිදු වූ විට එය කාලයත් සමඟම සුව වෙනවා. නමුත් කැපුම සිදු වූ අවස්ථාවේදී ඔබට මහත් වේදනාවක් දැණිය හැකියි. ඒ වේදනාව නැති කරගැනීමටත් ලේ ගැලීම නවතා දැමීමටත් යමක් කළ යුතුයි. ඒ වගේම කැපුම විෂ බීජවලින් ආරක්ෂා කරගැනීමටත් යමක් කළ යුතුයි. ඒ හා සමානව කාලය සියලු දේ විසඳුවත් ආදරය අහිමි වූ මොහොතේ ඇති වන වේදනාව තුනී කරගැනීමටත් ඔබ තුළ තිබෙන වෛරසහගත හැඟීම් පාලනය කරගැනීමටත් ඔබ දැන් යම් පියවර ගත යුතුයි. පහත සඳහන් යෝජනා ප්‍රයෝජනවත් වෙයි.

දුක තුනී කරගන්න. ඇති තරම් කඳුළු සලා ඔබේ දුක තුනී කරගන්න. එය දුර්වලකමක් නොවෙයි. ‘අඬන්න කාලයක්ද වැලපීමට කාලයක්ද’ තිබෙන බව බයිබලයේද පවසා තිබෙනවා. (දේශනාකාරයා 3:1, 4, නව ලොව පරිවර්තනය, NW) දාවිත් නිර්භීත සෙනෙවි රජෙක් වුණත් දුක්බර අවස්ථාවලදී කඳුළු සැලූ බව බයිබලයේ සඳහන් වෙනවා. “මාගේ කඳුළුවලින් යහන තෙත් වී ඇත. රාත්‍රිය පුරා මා හෙළන කඳුළෙන් මාගේ යහන පෙඟී ඇත.”—ගීතාවලිය 6:6NW.

ඔබ ගැන සැලකිලිමත් වෙන්න. ඔබ මානසිකව යම් පීඩාවක් විඳ තිබෙන නිසා ඔබට හොඳ පෝෂ්‍යදායි ආහාර මෙන්ම ව්‍යායාම් අවශ්‍යයි. ‘ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන’ තිබෙන බව බයිබලයේ පවසා තිබෙනවා.—1 තිමෝති 4:8.

ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් ඔබ සැලකිලිමත් විය යුතු පැති මොනවාද?

․․․․․

වැඩවල යෙදෙන්න. ඔබ ආශාවකින් කළ දේවල දිගටම නිරත වන්න. පෙරට වඩා තනි නොවී සිටීමට වග බලාගන්න. (හිතෝපදේශ 18:1) ඔබ ගැන සැලකිල්ලක් දක්වන අය ඔබට ප්‍රයෝජනවත් වන දේවල නිරත වීමට ඔබට උපකාර කරයි.

ඔබට කළ හැකි දේවල් මොනවාද?

․․․․․

යාච්ඤාවෙන් සිතේ තිබෙන දේ යෙහෝවා දෙවියන්ට පවසන්න. ආදරය අහිමි වූ විට යෙහෝවා දෙවියන් උපකාර කළේ නැහැයි කියා සමහර අයට සිතෙන්න පුළුවන්. එමනිසා යාච්ඤා කිරීම අභියෝගයක් විය හැකියි. එවැනි අය මෙසේ කීමට ඉඩ තිබෙනවා. ‘විවාහ වෙන්න කෙනෙක් ලැබෙන්න කියලා මම කොයිතරම් යාච්ඤා කළාද, දැන් මට වෙලා තියෙන දේ බලන්න!’ (ගීතාවලිය 10:1) දෙවියන් එවැනි බැඳීම්වලට මැදිහත් නොවන බව මතක තබාගන්න. එමෙන්ම ඔබේ පෙම්වතා ඔබට ද්‍රෝහිවීම සම්බන්ධයෙන් දෙවියන් වග කිව යුතු නැහැ. ඇත්තෙන්ම යෙහෝවා දෙවි “ඔබ ගැන සලකන නිසා” ඔබේ සිතේ තිබෙන සියලු කාරණා දෙවිට නොසඟවා පවසන්න. (1 පේතෘස් 5:7) බයිබලයේ අපට උනන්දු කරන්නේ “කන්නලව්වෙන් ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න. එවිට, සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ඔබේ සිත්ද, මනස්ද ආරක්ෂා කරනවා ඇත” කියායි.—ෆිලිප්පි 4:6, 7.

මෙවැනි අවස්ථාවක ඔබට යාච්ඤාවෙන් කිව හැකි දේවල් මොනවාද?

․․․․․

හෙට දවස ගැන සිතන්න

වේදනාව අඩු වූ පසු ඔබට වැරදුණේ කොතැනද කියා සිතා බලන්න. ඔබට ඒ දේ කළ හැකි නම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමෙන් ඔබට යම් ප්‍රයෝජන ලැබිය හැකියි.

සබඳතාව නවතා දැමීමට දුන් හේතුව කුමක්ද? එය සාධාරණ වුවත් නැතත් එය සටහන් කරන්න.

․․․․․

මෙයට බලපෑ වෙනත් හේතු තිබෙනවා නම් ඒවාද සටහන් කරන්න.

․․․․․

ඔබ අතින් යම් දේවල් අත පසු වුණා කියා ඔබට සිතෙනවාද? ඒවා සටහන් කරන්න.

․․․․․

දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය මීට වඩා ශක්තිමත් කළ යුතු බවත් මීට වඩා කල්පනාකාරී විය යුතු බවත් ඔබට මේ සිද්ධියෙන් වැටහෙනවාද?

․․․․․

අලුතින් සබඳතාවක් පටන්ගන්නවා නම් කුමන කාරණා ගැන සැලකිලිමත් විය යුතුයි කියා ඔබ සිතනවාද?

․․․․․

ඔබ පැතූ ලෙස ඔබේ ආදරය මල් පල ගැන්වුණේ නැතත් මේ දෙය මතක තබා ගන්න. චණ්ඩ මාරුතයක් හමන අවස්ථාවේදී දකින්නේ අඳුරු වළාවන් හා ඇද හැලෙන වර්ෂාව පමණයි. නමුත් වර්ෂාව නතර වෙන බවත් ඉන්පසු පැහැදිලි අහසක් දැක ගත හැකි බවත් අමතක නොකරන්න. මෙම ලිපිය ආරම්භයේදී සඳහන් කළ යෞවනයන්ටත් කාලයත් සමඟ තත්වයෙන් ගොඩ ඒමට හැකි වුණා. ඔබ සම්බන්ධයෙන්ද එය සැබැවක් වන බවට නිසැක වන්න.

[පාදසටහන්වල]

^ 3 ඡේ. මේ ලිපියේ නම් වෙනස් කර ඇත.

^ 5 ඡේ. මෙම ලිපියේ කතා කරන්නේ ගැහැනු ළමයින්ට හැඟෙන ආකාරය වුවද එය පිරිමි ළමයින්ටද අදාළයි.

සිතා බලන්න

▪ ඔබ ලද අද්දැකීමෙන් ඉගෙනගත් පාඩම කුමක්ද?

▪ පිරිමි ළමයින් ගැන ඔබ දරණ ආකල්පය කුමක්ද

▪ ඔබේ හිතට දරාගත නොහැකි දුකක් තිබෙනවා නම් එය පැවසිය හැක්කේ කාටද?

[20වන පිටුවේ කොටුව]

යෝජනාවක්

කලින් සඳහන් කළ සුසෑන් බයිබල් පද ලියාගෙන නිතරම ඇය ළඟ තබාගත්තා. ඇගේ හිතට දුකක් දැනෙන අවස්ථාවලදී ඇය ඒවා කියවනවා. ඔබටත් හැකියි මෙම ලිපියේ සඳහන් බයිබල් පද ලියා ළඟ තබාගන්න.

[19වන පිටුවේ පින්තූරය]

විරහ වේදනාවත් කැපුමක් හා සමාන වුවද කාලය විසින් එය සුව කරයි