Skip to content

පටුනට යන්න

මතකය අමතක නොවීමට නම් . . .

මතකය අමතක නොවීමට නම් . . .

මතකය අමතක නොවීමට නම් . . .

‘අපට කිසි දෙයක් මතක නැත්නම් අපේ ජීවිතය මොන වගේ එකක් වෙයිද? සෑම උදෑසනකම නැඟිට කැඩපතකින් මුහුණ බලන විට කැඩපතින් දිස් වන්නේ අපේ මුහුණද කියාවත් අපට අමතක විය හැකියි. ඊයේ සිදු වීම් අද මතක් වෙන්නේවත් අද සිදුවීම් හෙට මතක් වෙන්නේවත් නැහැ.’—MYSTERIES OF THE MIND.

සතුන්ට තිබෙන මතකය ගැන මොහොතකට සිතා බලන්න. සමහර කුරුල්ලන්ට මාස ගණනාවකට පෙර උන් සඟවා තැබූ ආහාර කිසිම කරදරයකින් තොරව සොයාගන්න පුළුවන්. එමෙන්ම ලේනුන්ටද උන් ඇට වර්ග වළලා තැබූ තැන් අමතක නොවෙයි. ඒත් අපි ගැන කිව හැක්කේ කුමක්ද? සමහරවිට පැයකට කලින් යතුරු කැරැල්ල තැබූ තැන පවා අපට අමතක විය හැකියි. මෙවැනි අද්දැකීම් අපෙන් බොහෝදෙනෙක් ලබා ඇති. නමුත් අපේ මොළයට තොරතුරු ලබාගැනීමටත් ඒවා මතක තබාගැනීමටත් තිබෙන හැකියාව අද්විතීයයි. එම හැකියාවෙන් ප්‍රයෝජන ලබාගැනීමට නම් අප යමක් කළ යුතුයි.

මොළය සතු බලය

මිනිස් මොළය බරින් රාත්තල් තුනක් පමණ වන අතර එය පෙනුමෙන් දොඩම් ගෙඩියකට වඩා මදක් විශාලයි. එසේ වුවත් එහි ස්නායු සෛල බිලියන 100ක් පමණ අඩංගු වෙනවා. එය දිස් වන්නේ ස්නායු සෛල ජාලාවක් ලෙසයි. එක් ස්නායු සෛලයක් තවත් ස්නායු සෛල 1,00,000 සමඟ සම්බන්ධ විය හැකියි. මෙලෙස ස්නායු එකිනෙකට සම්බන්ධ වී තිබෙන නිසා තොරතුරු රාශියක් ලබාගැනීමටත් ඒවා රඳවා තබාගැනීමටත් හැකියි. ඒත් අපට තිබෙන ගැටලුව නම් අවශ්‍ය වේලාවට එම තොරතුරු මතකයට නඟාගැනීමට තිබෙන අපහසුතාවයි. නමුත් සමහරදෙනෙකු පාසැල් අධ්‍යාපනයක් නොලැබුවත් ඔවුන්ට තියුණු මතක ශක්තියක් තිබෙනවා.

එයට කදිම නිදසුනක් නම් දකුණු අප්‍රිකාවේ ගෝත්‍රික ජනතාවක් වන ග්රියෝවරුයි. මේ ගෝත්‍රිකයන්ට ලිවීමටවත් කියවීමටවත් හැකියාවක් නැහැ. නමුත් මොවුන්ට ඔවුන්ගේ පාරම්පරික තොරතුරු සියල්ල මතකයෙන් තව කෙනෙකුට කිව හැකියි. ඔවුන්ගේ ගමේ පරම්පරා කිහිපයකට පෙර ජීවත් වූ අයගේ නම් පවා ඔවුන්ට මතකයි. වහල් වෙළදාම ගැන ලියූ ඇමරිකානු ලේඛකයෙක් ඔවුන් ගැන මෙසේ ප්‍රශංසා මුඛයෙන් කතා කළා. “මට මේ අයගේ උපකාරය ලැබුණේ නැත්නම් මට මේ පොත කවදාවත් ලියන්න ලැබෙන්නේ නැහැ. එහි සිටින එක ගෝත්‍රිකයෙක් මිය යනවා කියන්නේ පුස්තකාලයක් වැළලී යනවා හා සමානයි.”

ප්‍රසිද්ධ ඉතාලි ජාතික සංගීතඥයෙක් වන ආටුරෝ ටොස්කානිද තියුණු මතක ශක්තියක් තිබු කෙනෙක්. ඔහු වයස අවුරුදු 19දී පෙනීමේ දුර්වලතාවකින් පෙළුණත් ඒයිඩා නම් ඔපෙරාව ඔහු මතකයෙන් මෙහෙයවූවා.

එවැනි උදාහරණ ගැන සලකා බලන විට අප විමතියට පත් වෙනවා නොඅනුමානයි. නමුත් ඔබ සිතනවාට වඩා ඔබේ මතක ශක්තිය ඔබට දියුණු කළ හැකියි.

මතකය දියුණු කිරීමට

මතකය යනු තොරතුරු ලබාගැනීමටත් තොරතුරු ගබඩා කිරීමටත් අවශ්‍ය විටක ඒවා ආවර්ජනය කිරීමටත් ඇති හැකියාවයි. අප යමක් මතකයට නඟාගැනීමට නම් ඒ කාරණා තුනම ක්‍රියාත්මක විය යුතුයි.

මතකය වර්ග කළ හැකියි. ඒවා නම් කෙටි කාලීන මතකයන්, දිගු කාලීන මතකයන් හා සංවේදී ඉන්ද්‍රියන් මාර්ගයෙන් ඇති වන මතකයන්. කෙටි කාලින මතකයන් සඳහා උදාහරණයක් නම් අපට යම් කෙනෙක් දුරකථන අංකයක් පැවසූ විට අපට එම අංකය එම අවස්ථාවේදී මතකයේ රැඳෙන අතර එයින් ඇමතුමක් ලබාගත හැකියි. අප යමක් කියවන විට හෝ යමක් ඇසෙන විට අපට මතක තිබෙන්නේ එහි මුල් කොටස පමණයි. නමුත් එය දිගු කාලීනව මතකයේ රැඳෙන්නේ නැහැ.

ඔබට දිගු කාලීනව යමක් මතක තබාගැනීමට නම් ඔබ යමක් කළ යුතුයි. ඒ සඳහා පහත සඳහන් දේවල් ඔබට උපකාරවත් වෙයි.

උනන්දුවක් දක්වන්න ඔබ රැස් කරගන්නා තොරතුරු කෙරෙහි ඇල්මක් දක්වන විට ඒවා මතකයේ රැඳෙන ප්‍රමාණයද වැඩියි. උදාහරණයකට දෙවිගේ වචනය වන බයිබලය අධ්‍යනය කරන අය ගැන සිතා බලන්න. ඔවුන් එය කරන්නේ දෙවිට තිබෙන ප්‍රේමය නිසාත් අන් අයට එය කියා දීමට තිබෙන උනන්දුව නිසාත් නම් ඔවුන් ඉගෙනගන්නා දේ මතකයේ රැඳෙන ප්‍රමාණයද වැඩියි.—හිතෝපදේශ 7:3; 2 තිමෝති 3:16.

අවධානය දෙන්න “බොහෝවිට අමතක වෙන්නේ නිසි අවධානයක් නොදෙන නිසා” කියා ඉහත සඳහන් කළ පොතේ තව දුරටත් පවසා තිබෙනවා. හොඳ අවධානයක් දීමට නම් ඔබ ලබාගන්නා තොරතුරු ගැන උනන්දු වන්න. හැකි සෑම අවස්ථාවකදීම සටහන් ගන්න. එසේ කිරීමෙන් අවධානය එක තැන තබාගැනීමට පමණක් නොව එම සටහන් නැවත සලකා බැලීමටත් හැකි වෙනවා.

තේරුම්ගන්න ‘ඔබ අත් කරගන්නා අන් සෑම දෙයකටම වඩා වැදගත් වන්නේ තේරුම්ගැනීමේ හැකියාවයි’ කියා බයිබලයේ හිතෝපදේශ පොතේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 4:7, නව ලොව පරිවර්තනය, NW) ඔබට යම් ඉගැන්වීමක් හෝ අදහසක් තේරුම්ගන්න බැරි නම් එය මතක තබාගැනීමට අපහසුයි. යමක් අපට තේරුම්ගන්න පුළුවන් නම් අප ලබාගන්නා තොරතුරු අතර ඇති සම්බන්ධය හොඳින් පැහැදිලි වන අතර එහි සම්පූර්ණ චිත්‍රය අපේ මනසට නඟාගත හැකියි. උදාහරණයකට කාර්මික ශිල්පය හදාරන ශිෂ්‍යයෙකු එන්ජිමක් ක්‍රියා කරන ආකාරය හොඳින් තේරුම්ගන්නා විට එන්ජිමේ තිබෙන සෑම කොටසක්ම ක්‍රියා කරන ආකාරය ගැන ඔහුගේ මතකයේ හොඳින් රැඳෙනවා.

කාණ්ඩවලට වෙන් කරන්න උදාහරණයකට ඔබ බඩු ලැයිස්තුවක් පිළියෙල කිරීමේදී මස් මාළු, එළවළු, පළතුරු ආදී වශයෙන් කාණ්ඩවලට වෙන් කිරීමෙන් ඒවා මතක තබාගැනීමට පහසු වෙනවා. එක කාණ්ඩයකට ප්‍රමාණවත් තොරතුරු ඇතුළත් කිරීමෙන් එය මතක තබගැනීමට පහසුයි. ඒ වගේම දුරකථන අංකයක් මතක තබාගැනීමට එය දෙකකට හෝ තුනකට බෙදීමෙන් ඔබට පහසුවෙන් මතක තබා ගත හැකියි. මේ ආකාරයට ඕනෑම තොරතුරක් හෝ අදහසක් කාණ්ඩ ගත කළ හැකියි.

ශබ්ද නඟා පවසන්න ඔබට මතක තබා ගත යුතු දේ නැවත නැවත ශබ්ද නඟා පවසන්න. එසේ කිරීමෙන් ඔබේ මොළයේ තිබෙන නියුරෝන අතර ඇති බන්ධනය ශක්තිමත් කරයි. එසේ වන්නේ කොහොමද කියා සලකා බලමු. උදාහරණයකට ඔබ වෙනත් භාෂාවක් ඉගෙනගන්නවා කියා සිතන්න. එම භාෂාවේ වචනයක් ඔබ ශබ්ද නඟා පවසන විට එයට හොඳ අවධානයක් දීමට ඔබ පෙළඹෙනවා. එමෙන්ම ඔබ පැවසූ දේ ඔබේ ගුරුවරයා විසින් නිවැරදි කරනු ලබයි. ඒ විතරක් නෙවෙයි ඔබ එකම වචනය දිගටම පැවසීමෙන් ඔබේ මොළයේ වෙනත් කොටස්ද ක්‍රියාත්මක වෙයි.

මනසින් මවාගන්න ඔබට මතක තබාගන්න අවශ්‍ය දේ මනසින් මවාගන්න. කැමති නම් එවැනි තොරතුරු චිත්‍රයට නඟාගැනීමටත් හැකියි. ඔබ යමක් මතක තබාගැනීමට සංවේදී ඉන්ද්‍රියයන් වැඩි වැඩියෙන් භාවිත කරන විට තොරතුරු මතකයේ රැඳෙන ප්‍රමාණයත් වැඩි වෙනවා.

සම්බන්ධ කරන්න ඔබ ලබාගන්නා තොරතුරු ඔබ දැනටමත් දන්නා තොරතුරු සමඟ සම්බන්ධ කරන්න. උදාහරණයකට පුද්ගලයෙක්ගේ නමක් මතක තබාගැනීමට ඒ නම හා සමාන වෙනත් දෙයක නමක් මතක තබාගන්න. මෙසේ සම්බන්ධ කිරීමේදී එහි හාස්‍ය වැඩි වන තරමටම මතකයේ තබාගැනීමට ඇති හැකියාවද වැඩි වෙනවා.

කාලය දෙන්න තොරතුරු මනසට ධාරණය කරගැනීම සඳහා කාලය දෙන්න. මේ සඳහා හොඳම දේ නම් ඔබ ලබාගත් තොරතුරු නැවත මතක් කරගැනීම සඳහා එම තොරතුරු තවත් කෙනෙකුට පැවසීමයි. උදාහරණයට ඔබ බයිබලය කියෙව්වා නම් ඔබ කියවූ කොටස ඔබේ මිතුරාට හෝ මිතුරියට පවසන්න. එසේ කිරීමෙන් එම තොරතුරු මතකයේ රැඳෙනවා පමණක් නොව ඔබේ මිතුරාද එයින් ප්‍රයෝජනයක් ලබනවා.

මතකයේ රඳවාගැනීමට උපක්‍රම දෙකක්

මතකයේ රඳවාගැනීමට උපක්‍රම දෙකක් තිබෙනවා. ඉන් එක් ක්‍රමයක් නම් අප මතක තබා ගත යුතු දේවල් අප අවට පරිසරයේ තිබෙන දේවල් සමඟ සම්බන්ධ කිරීමයි. ග්‍රීක හා රෝමවරුන්ට කිසිම සටහනක් නොබලා මතකයෙන් දීර්ඝ කතා ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබුණේ මේ ක්‍රමය භාවිත කිරීමෙනුයි. එම ක්‍රමය මඟින් දීර්ඝ කාලයක් පුරා තොරතුරු මතකයේ රඳවාගත හැකියි.

මේ ක්‍රමය සම්බන්ධයෙන් පැහැදිලි විස්තරයක් දැනගැනීම සඳහා  “මතක මාවතේ” යන කොටුව බලන්න.

ලෝකයේ තියුණු මතක ශක්තියක් ඇති පුද්ගලයන්ව තේරීමේ තරඟයක් වාර්ෂිකව පවත්වනවා. මේ පිළිබඳව කළ සමීක්ෂණයකින් හෙළි වූයේ ඊට සහභාගි වූ අය වයස අවුරුදු 40ත් 50ත් අතර පසු වන අය බවයි. එමෙන්ම ඔවුන්ට තියුණු මතක ශක්තියක් තිබුණේ ඔවුන් ලැබූ අධ්‍යාපනය නිසා නොව පෙර කී ක්‍රමය භාවිත කිරීම නිසා බවත් සොයා ගැනුණා.

මතකයේ රඳවාගැනීමේ තවත් ක්‍රමයක් තිබෙනවා. එමගින් වචන මතක තබාගැනීම පහසු කරවයි. වචන කිහිපයක මුල් අකුරු එකතු කර තනි වචනයක් සාදා එය මතක තබාගැනීමෙන් වචන කිහිපයම නැවත මතකයට නඟාගත හැකියි. මෙයට එක් උදාහරණයක් නම් උතුරු අමෙරිකාවේ වැසියන් පංච මහා විල් මතක තබාගන්නේ හෝම්ස් (HOMES) යන වචනයෙනුයි. එම එක් එක් අකුරෙන් හියුරන්, ඔන්ටාරියෝ, මිචිගන්, ඊරි, සුපීරියර් යන විල්වල නාමයන් නියෝජනය වෙනවා.

ඔබටත් හැකියි ඔබේ මතකය දියුණු කරගන්න. අපේ මතකය පේශියකට සමාන කරන්න පුළුවන් කියා අධ්‍යයනවලින් පෙන්නුම් කර තිබෙනවා. පේශියක් භාවිත කරන තරමට එය ශක්තිමත් වෙනවා හා සමානව අපේ මතකය දියුණු කරන්න වෑයම් කරන තරමට තියුණු මතකයක් වර්ධනය කරගැනීමටත් හැකිවෙනවා. මතකය දියුණු කරගැනීමට වයස බාධාවක් නොවෙයි.

[27වන පිටුවේ කොටුව]

අමතර යෝජනා

▪ මතකය දියුණු කිරීමට අලුත් භාෂාවක් හෝ සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට ඉගෙනගන්න.

▪ වඩාත් වැදගත් දේවල් කෙරෙහි ඔබේ මනස යොමු කරන්න.

▪ මතකය රඳවාගැනීමේ උපක්‍රම ඉගෙනගන්න.

▪ ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න. විජලනය වීමෙන් මානසිකව ව්‍යකූලත්වයට පත් විය හැකියි.

▪ ප්‍රමාණවත් නින්දක් ලබාගන්න. අපි නිදාගන්නා විට අපේ මොළය තොරතුරු තැන්පත් කරනවා.

▪ විවේකයක් නොගෙන එක දිගටම අධ්‍යයනවල නොයෙදෙන්න. මානසික ආතතිය නිසා කෝටිසෝල් හෝමනය නිකුත් වෙයි. එමගින් ස්නායු අතර තිබෙන බන්ධනයට බාධා ඇති විය හැකියි.

▪ අධික ලෙස මත්පැන් හා දුම් පානයෙන් වළකින්න. මත්පැන් භාවිතය කෙටි කාලීන මතකයට බාධා ඇති කරන අතර මතක ශක්තියට අත්‍යවශ්‍ය බී විටමිනයක් වන තයමින්වල ඌනතාවයක් ඇති කරයි. දුම්පානය මොළයට අවශ්‍ය ඔක්සිජන් සැපයුම අඩාළ කරයි. *

[පාදසටහන]

^ 35 ඡේ. මෙම තොරතුරු ලබාගත්තේ අන්තර්ජාලය ඇසුරෙනි.—Brain & Mind.

[28වන පිටුවේ කොටුව/පින්තූරය]

මතක මාවත

  ඔබට මිල දී ගැනීමට අවශ්‍ය බඩු මතක තබාගන්නේ කෙසේද? මේ ක්‍රමය අත් හදා බලන්න. උදාහරණයකට ඔබට පාන්, බිත්තර, කිරි සහ බටර් මිල දී ගන්න අවශ්‍ය වුණා කියා සිතන්න. ඔබට නිවසේදී මෙවැනි දෙයක් කළ හැකියි.

පුටුවේ කුෂන් වෙනුවට පාන් තිබෙනවා කියාත්

මේස ලාම්පුව මත කිකිළියක් ඉඳගෙන බිත්තර දමනවා කියාත්

මාළු ටැංකියේ වතුර වෙනුවට කිරි තිබෙනවා කියාත්

රූපවාහිනි තිරය මත බටර් ආලේප කර තිබෙනවා කියාත් සිතින් මවා ගන්න.

ඉන්පසු ඔබ කඩේට ගිය විට එම රූප මතකයට නඟාගෙන ඔබට අවශ්‍ය දෑ මිල දී ගන්න. මෙම ක්‍රමය යොදාගැනීමේදී එයට හාස්‍ය මුසු වන තරමටම එය මතකයේ රැඳෙන ප්‍රමාණයත් වැඩියි.

[29වන පිටුවේ කොටුව]

අමතක වීමත් වාසියක්!

ඔබේ ජීවිතයේ සෑම දෙයක්ම ඔබට මතක නම් ඔබේ ජීවිතය මොන වගේ එකක් වෙයිද? ඔබේ මනස තොරතුරුවලින් රැස් වූ ගබඩාවක් මෙන් වෙයි. තමන්ගේ ජීවිතයේ සිදු වූ සෑම සිදු වීමක්ම වාගේ මතකයේ තිබුණු කාන්තාවක් එක් සඟරාවකට මෙසේ පවසා තිබුණා. ‘සෑම දෙයක්ම මතකයට නැඟෙන නිසා මට එය දරා ගත නොහැකි බරක් වුණා.’ අනවශ්‍යය තොරතුරු අපේ මතකයෙන් ඉවතලන්න අපේ මනසට හැකියාවක් තිබෙන බව අධ්‍යයනවලින් හෙළි වී තිබෙනවා. එම සඟරාවේ තව දුරටත් පෙන්නුම් කරන ආකාරයට සමහරදෙනෙකුට ඉක්මනින් දේවල් අමතක වෙනවා නම් ඉන් අදහස් වන්නේ ඔවුන්ගේ අමතක වීමේ ක්‍රියාවලිය වේගවත්ව සිදු වන බවයි.—New Scientist.