Skip to content

පටුනට යන්න

පුංචි පැරීසිය හෙවත් බුකරස්ට් නගරය

පුංචි පැරීසිය හෙවත් බුකරස්ට් නගරය

පුංචි පැරීසිය හෙවත් බුකරස්ට් නගරය

රුමේනියාවේ පිබිදෙව්! ලේඛක විසින්

බුකරස්ට් නගරය දුටු සැණින් නෙත ගැටෙන්නේ සද්දන්ත ගොඩනැඟිල්ලක්. (1) එය පාර්ලිමේන්තු මන්දීරයයි. මෙම ගොඩනැඟිල්ල ලෝකයේ තිබෙන විශාලතම ගොඩනැඟිලිවලින් එකක් වන අතර සංචාරකයන්ගේද සිත් වසඟ කරගැනීමට සමත් වූවක්.

මෙම ගොඩනැඟිල්ල නිසා බුකරස්ට් නගරයට නව මුහුණුවරක් ලැබී තිබෙනවා. එහෙත් බුකරස්ට් වැසියන්ට ඇත්තේ ප්‍රීතියක් වගේම දුකක්. ඔවුන් කැමතියි බුකරස්ට් නගරයට එන සංචාරකයන් පෞරාණික ගොඩනැඟිලිත් අගය කරනවා දකින්නයි.

එදා පැවති නගරය

බුකරස්ට් නගරය රුමේනියාවේ අගනුවර ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 1862දීයි. ඉන්පසු ගත වූ දශක කිහිපය ඇතුළත එහි ශීඝ්‍ර වර්ධනයක් සිදු වුණා. තුරුලතා අතරින් වැටී ඇති මං මාවත්වල ප්‍රංශ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ දස්කම් කියාපාන ගොඩනැඟිලි එකින් එක ඉදි වෙන්න පටන්ගත්තා. නගරය පුරා උයන්, මල්වතු දැකගත හැකි නිසා එය හැඳින් වූයේ උද්‍යාන නගරය ලෙසයි. බුකරස්ට් නගරය ලෝකයේ මුලින්ම තෙල් පහන්වලින් විථි ආලෝකවත් කළ නගරවලින් එකක්. (2) පැරීසියේ ෂෝන්සේලිසේ හි පිහිටි ආරුක්කුව (Arch of Triumph) හා සමාන ආරුක්කුවක් 1935දී බුකරස්ට්හි කිසලෙෆ් මාවතේ ගොඩනඟනු ලැබුවා. මෙහි පැමිණෙන ප්‍රංශ සංචාරකයන්ට තමන්ගේ රටේම සිටිනවා හා සමාන හැඟීමක් ඇති වෙනවා. බුකරස්ට් නගරය පුංචි පැරීසිය කියා නමක් පටබැඳී තිබෙන්නේද ඒ හේතූන් නිසයි.

දෙවන ලෝක මහ යුද්ධයෙන් පසු බුකරස්ට්හි වැසියන් කොමියුනිස්ට් පාලනය යටතේ විශාල වෙනස්කම් අද්දැක්කා. එහි තිබුණු ඓතිහාසික වටිනාකමින් යුත් බොහෝ ස්මාරක මෙන්ම ගොඩනැඟිලි ඉවත් කර තට්ටු නිවාස ඉදි කරනු ලැබුවා. වර්ෂ 1960 හා 1961 අතර කාලයේදී එවැනි තට්ටු නිවාස 23,000ක් ගොඩනැඟුවා. පාර්ලිමේන්තු මන්දීරය සෑදීමට සැලසුම් කළේ 1980දීයි. තට්ටු 12කින් හා කාමර 1,100කින් යුත් එම මන්දීරය තනා නිම වන විට එහි මුළු වර්ග අඩි ප්‍රමාණය 38,75,000යි. එම මන්දීරය ඇතුළත අලෝකවත් කිරීමට පහන් පොකුරු සිය ගණනක් සවි කර තිබුණා. එමෙන්ම බෝම්බ ප්‍රහාරවලින් ආරක්ෂාවීමට අඩි 300ක් පොළොව යටට වෙන්න ස්ථානයක් තනා තිබුණා. මෙම මන්දීරය ප්‍රංශයේ වර්සාල්ස්හි පිහිටි මන්දීරය මෙන් තුන්ගුණයක් විශාලයි. මෙම මන්දීරය හා එයට පිවිසෙන පළල් මාර්ගය තැනීමට නගරයෙන් විශාල භූමි ප්‍රදේශයක් කැප කරන්න සිදු වුණා. මෙම නගරය කලින් දුටු අයෙකුට නවීන ගොඩනැඟිලි නිසා නගරය හඳුනාගැනීමට නොහැකියි.

නගරයේ වැසියන්ට මෙම මන්දීරය දකින විට ඒකාධිපති පාලකයෙකු වන නිකලායි චව්චෙස්කු යටතේ ගත කළ අමිහිරි කාලය සිහියට නැඟේ. ඔහුගේ ස්මාරකයක් තැනීමට ඔහු තුළ තිබු ආශාව මල් පල ගැන්වීම සඳහා නිර්මාණ ශිල්පීන් 700දෙනෙකුත් සේවකයන් 20,000කුත් යොදාගත්තා. මෙම සේවකයන් රෑ දහවල් වෙහෙස නොබලා වැඩ කළා. නමුත් මෙම ස්මාරකය සඳහා ඩොලර් බිලියන ගණන් වැය වී තිබුණද ඔහුගේ පාලනය 1989දී අවසන් වීමත් සමඟම එම ඉදි කිරීම නතර වුණා.

ගැමි ජීවිතය

බුකරස්ට් නගරයේ පෞරාණික ගොඩනැඟිලි තිබෙන ප්‍රදේශය හාත් පසින්ම වෙනස් මුහුණුවරක් ගන්නවා. රුමේනියාවේ (3) ගැමි ජීවිතය පෙන්නුම් කරන ගම්මානයක් (Village Museum) දක්නට ලැබෙනවා. මෙම ගම්මානය වැවක් ඉදිරිපිට පිහිටා තිබෙන අතර එහි සාමාන්‍ය වැසියන් ජීවත් වූ නිවාස 50කට වඩා වැඩි ප්‍රමාණයක් දැකගත හැකියි. ගැමි ජනයා භාවිතයට ගත් භාණ්ඩ හා වෙනත් පෞරාණික වස්තූන් ඉතා වෙහෙස මහන්සි වී සොයාගෙන එහි ප්‍රදර්ශනය සඳහා තබා තිබෙනවා. මේ නිසා එම ගම්මානයේ තිබෙන සෑම නිවසක්ම කෞතුකාගාරයක් කියා පැවසිය හැකියි. අද බුකරස්ට් නගරයේ ජන ජීවිතය එදාට වඩා වෙනස් බව මනාව පැහැදිලියි.

බුකරස්ට් නගරයේ පැරණි හා නවීන ගොඩනැඟිලි දැකගත හැකියි. (4) පෞරාණික ගොඩනැඟිලි හා නවීන ගොඩනැඟිලි දිස්වන අයුරු. එකම නගරයේ මුහුණුවර දෙකක් දැකගත හැකියි. ඒ අතීතය හා වර්තමානයයි.

[10වන පිටුවේ පින්තූර]

1 පාර්ලිමේන්තු මන්දීරය

2 පැරීසියේ ෂෝන්සේලිසේ හි පිහිටි ආරුක්කුව

3 ගැමි ජීවිතය පෙන්නුම් කරන ගම්මානයක්

4 පෞරාණික ගොඩනැඟිලි හා නවීන ගොඩනැඟිලි

[හිමිකම් විස්තර]

© Sari Gustafsson/hehkuva/age fotostock